Wednesday, January 4, 2023

120. ලස්සන වැස්ස


අද ඉර කොහෙද මන්දා හැංගිලා. මුළු අහසම කළුවරයි. ලොකු හුළඟකුත් හමනවා. ඒ හුළඟට අහුවෙන ගස්වල අතු එහෙට මෙහෙට පැද්දෙනවා.  කොළ කැරකි කැරකි බිමට වැටෙනවා.මිදුලේ තියෙන පුංචි මල් ගසුත් එහෙට මෙහාට වැනෙනවා. ලොකුම ලොකු වැස්සක් ළඟ එන්න වගේ. පැංචිට ලොකු සතුටක් හිතට දැනුණා. වහින දවස්වලට වැස්ස දිහා බලාගෙන ඉන්න පැංචි හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි. වැස්සෙ ටිකක් තෙමෙන්න ඇත්නම්...මඩ වතුර වලවල් වල පැන පැන නටන්න ඇත්නම්...මිදුලේ පිරෙන වතුර පාර දිගේ පුංචි පුංචි ඔරු හදලා පා කරන්න ඇත්නම්...ඊට වඩා සතුටක් පැංචිට වෙන නෑ.

ටික වෙලාවක් ගතවුණා. පැංචි හිතුවා හරියටම හරි. හෝ හෝ හෝ සද්දෙකුත් එක්ක  ලොකු වැස්සක් පටන් ගත්තා. පොළොව හරිම ආසාවෙන් බිමට වැහි වතුර බීගෙන බීගෙන ගියා. දැන් නම් පොළොවටත් වතුර ඇති වගේ. ඒත් තව වහිනවා. වැඩි වැහි වතුර එකතුවෙලා මුළු මිදුලම හරි ඉක්මනට පිරුණා. බලන බලන හැම තැනම වතුර. හරිම ඉක්මනට වේගෙන් වේගෙන් වැහැලා වහැලා හතර අතේ වතුර පුරවලා, ලොකු පුංචි දිය පහරවල් හැම තැනටම යවලා වැස්ස පෑව්වා. පැංචි ඉස්තෝප්පුවට වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. ගේ ඇතුලේ ඉඳන් කොච්චර බැලුවත් පැංචිගේ හිතට මදි. එලියට ගිහින් පොඩ්ඩක් වතුරේ නටන්නමයි පැංචිගේ ආසාව. ඊත් වතුරේ සෙල්ලම් කරලා ලෙඩ වුනොතින් එහෙම අම්මගෙන් බැනුම් අහන්න වෙනවා. අනික ඉස්කෝලේ යන්නත් බැරි වෙනවානෙ. පැංචි ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම හොඳ අදහසක් පැංචිගේ හිතට ආවා.

පැංචි ගේ ඇතුලට ගිහින් එයාගේ වැහි කබාය අන්ද ගත්තා. බොත්තම් ඔක්කොම පිළිවෙලට දා ගත්තා. දැන් හරි ඇඟ නම්  තෙමෙන එකක් නෑ. ඊට පස්සෙ බූට් සපත්තු දෙක හොයාගෙන කකුල් පරිස්සමට දා ගත්තා. දැන් කකුල් දෙකත් හොඳට වැහිලා. තෙමෙන්න විදියක් නෑ. ඊ ලඟට තාත්තාගෙ ලොකු කුඩේ අරන් ඔලුවට ඉහල ගත්තා. කුඩේ ගොඩක් ලොකු නිසා ඔළුව තෙමෙන්නෙත් නෑ. මේ විදියට ලස්සනට සැරසිලා පැංචි අම්මා ලඟට ගියා. මිදුලට ගිහින් පොඩ්ඩක් වටේ ඇවිදලා වැස්ස බැලුවට කමක් නැද්ද කියලා අම්මගෙන් ඇහුවා. අම්මට හරි හිනා. "තෙමෙන්නේ නැති වෙන්න ඔහොම පිළිවෙලට ලෑස්ති වෙලා  යනවා නම් මම මොකටද එපා කියන්නෙ. මගේ හොඳ පැංචි එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..." කියලා අම්මා අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි හාද්දකුත් දුන්නා. පැංචිට ලෝකයක් ලැබුණා වගේ. එයා හරිම සතුටින් ම්දුලට ගියා.

පැංචි එදා එළියේ ඇවිද ඇවිද හුඟාක් විනෝද වුනා. වතුර බීලා හොඳට නාලා අතු වලින් වතුර බේර බේර හිටිය ගස් පැංචිට පෙනුණේ හරියට දියබරියෝ වගේ. රෝස පඳුරේ මල් ටික නම් ඔක්කොම අතුත් එක්කම බිමට නැවිලා බිම ගෑවී ගෑවී තමයි තිබුණේ.  පෙති ගැලවිලා බිමට වැටිලා තිබුන විදිය දැක්කම පැංචි ට දුකත් හිතුණා. පැංචි පාරටත් ගිහින් ඇවිදලා බැලුවා. ඒ හරිය නම් කහ පාට මුහුදක් වගේ. පාරට උඩින් වතුර ගිහින් වෙල බාගයක්ම පිරිලා. ගොයමේ උඩ හරිය විතරයි පැංචිට පෙනුණේ. ඒ ගොල්ලෝ නාන බේසමක බැහැලා වගේ වතුරේ නැලවී නැලවී ඉන්නවා පැංචි හරිම ආසාවෙන් බලාගෙන හිටියා. වතුර බැහැලා ගිය සමහර තැන්වල සුදු වැලි ගොඩවල් මතුවෙලා තිබුණ නිසා පැංචි ගෙදර එනකොට ආවෙ ඒවා උඩින් අඩි තිය තියා. ගෙදර ඇවිත් පැංචි කඩදාසි ඔරු හදලා  අරගෙන ගිහින් ඇල දිගේ පා කළා. ඒවා තාරාවෝ වගේ වතුරේ පා වෙලා ඈතට ගියේ හරිම සැහැල්ලුවෙන්. ඊට පස්සෙ පැංචි පුංචි ගංගාවල් මැද්දෙ හැදිලා තිබුණු දූපත් වල කොඩි දැම්මා. ඇත්තෙන්ම කිව්වොත් පරිසරය පාඩමක්ම තනියෙන් ඉගන ගෙන ඉවර කළා වගේ තමයි අද පැංචිට හිතුණේ. වැස්සට පෙර පරිසරය කොයි වගේද, වහින අතරතුර පරිසරය කොයි වගේද, වැස්සට පසු පරිසරය කොයි වගේද මේ ඔක්කොම ටික පැංචි හොඳට තේරුම්ගත්තා. ඇත්තටම වැස්ස කියන්නෙ හරි අපූරු දෙයක් බව පැංචිට හරියටම තේරුම් ගියේ අද තමයි. ඉතින් ඔයාලත් මේ අපේ පැංචි වගේ අපට ගොඩාක් පාඩම් කියාදෙන, ලස්සන අත්දැකීම් ලබා දෙන වැහි දවස්වලට කැමතියි නේද යාලුවනේ?

© සිත්තර පැංචි.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

134. පාට ගෑම