Sunday, June 22, 2025

149. පිනි කුමාරි

ඒක හරිම ලස්සන උද්යෝගිමත් උදෑසනක්. ඉර මාමා අවදි වෙන්න ඉතිරි වෙලා තිබුනෙ තව චුට්ට වෙලාවයි. අන්න ඒ වෙලාවේ මල් වත්තෙ තිබුණු තණකොළ අතරේ කොළ පාට කොළයක කෙළවරේ පුංචිම පුංචියට පිනි කුමාරියක් ඉපදුණා. එයා පුංචි උනාට හරිම ලස්සනයි. දකින කෙනෙකුට ආස හිතෙන තරම් වටකුරුවට හුරුබුහුටියට හිටිය පිනි කුමාරි දිස්නෙ දෙමින් දීප්තියෙන් පිරිලා හිටියෙ මුතු ඇටයක් වගේ. 


තමන් ඉපදුණු කොළ පාට කොලේ කෙලවරේ ඉඳගෙනම හොඳට හුස්මක් අරගත්ත පිනි කුමාරි හෙමින් හෙමින් වටපිට බැලුවා. බැලු බැලූ අත පෙනෙන්නට තිබුණු ලස්සනින් පිනි කුමාරි වශී වුණා. මෘදු ආලෝකයෙන් දිලිසෙන උද්‍යානය, හිමින් හිමින් ඇස් අරින මල් පෙති විහිදන විදිය, කම්මලියාව එළවලා දාලා උදේම වැඩ අල්ලපු මී මැස්සො රංචු පිටින් ඇවිත් ගුමු ගුමු කියන විදිය පිනි කුමාරිට පෙනුණා. "වාව්! මේ ලෝකෙ හරිම ලස්සනයි. හරිම විසාලයි." මම මේ හැම දෙයක් ගැනම හොයලා බලලා දැන ගන්න ඕනෙ.!" පිනි කුමාරි හිතුවා. 


ඉතින් පිනි කුමාරි ඇගේ විශාල වික්‍රමය ආරම්භ කළා. අතේ පයේ හිරිගඩු නංවාගෙන ආපු සීතල සුළං රැල්ලක උදව්වෙන් පිනි කුමාරි ඇය මෙතෙක් වෙලා රැඳී හිටි කොළයෙන් ලිස්සා ගෙන ගිහින් මල් පෙත්තක් මතට වැටුණා. අනේ ඒ මල් පෙත්ත හරිම සිනිඳුයි. සනීපයි. ඒ විතරක් නෙමෙයි. ඒකෙන් හමාගෙන ආවා හරිම අපුරු සුවඳක්. හරියට ස්ට්‍රෝබෙරි සුවඳ වගේ! 

පිනි කුමාරි මල් පෙත්ත උඩ ඉන්නවා දැක්ක සමනලයෙක් පිනි කුමාරිට කතා කළා. "ඔයා කොහෙද යන්නේ?" සමනලයා පිනි කුමාරිගෙන් ඇහුවා. "මම ලෝකෙ ලස්සන බලන්න යනවා!" පිනි කුමාරි සන්තෝසෙන් උත්තර දුන්නා. 


සමනලයා හිනා වුනා. "බොහොම හොඳයි. හැබැයි පරිස්සම් වෙන්න පුංචි පිනි කුමාරි! ඉර මාමා දිගටම මේ විදියට ඉන්නේ නෑ. ඉක්මනින්ම උණුසුම් වෙනවා." සමනලයා පිනි කුමාරිට කිව්වා. "හොඳයි! මම පරිස්සමින් යන්නම්." සමනලයාට උත්තර බැන්ද පිනි කුමාරි පෙත්තෙන් පෙත්තට මලින් මලට පෙරළෙමින් හිනා වේවි දිගටම ගමන ගියා. 

ඔහොම ටික වෙලාවක් ගත වෙද්දී ඉර මාමා ටික ටික ඉහළට ගියා. ඒත් එක්කම මොකද දන්නවද උනේ? ඉර මාමගේ රත්තරන් කෙඳි වගේ කිරණ පිනි කුමාරිගේ දිලිසෙන පිට ස්පර්ශ කළා. ඇයට උණුසුම් බවක් දැනෙන්නට පටන් ගත්තා.


පිනි කුමාරි ටිකෙන් ටික උණුසුම් වුණා. තවත් උණුසුම් උනා තව තවත් උණුසුම් උනා. හුඟාක් උණුසුම් වෙලා අවසානෙදි ............ 

පොහ් ! 

පිනි කුමාරි ඇසිල්ලකින් මීදුමක් බවට පත්වෙලා අහසට පාවී ගියා! 

"ඕ හෝ හෝ ..." පිනි කුමාරි කිංකිණි හඬින් හිනා වුණා. 

“දැන් මම ඉගිල්ලෙනවා!” සතුට වැඩිකමට පිනි කුමාරිට කෑ ගැහුණා. 

ඇය තව තවත් ඉහළට නැගුණා. ඉහළට ඉහළට ඉහලට ගිහින් සිනිඳු පුළුන් පොට්ටනියක් වගේ පෙනුන වලාකුළු නැන්දාගේ උකුළ උඩට පැන්නා. එතැනදී වලාකුළු පුළුන් පොට්ටනියේ හිටිය පිනි කුමාරි වගේම තවත් යාලුවෝ ගොඩාක් පිනි කුමාරිට හම්බ උනා. පිනි කුමාරිඒගොල්ලොත් එක්ක යාලු වුනේ හරිම සන්තෝසෙන්. එහෙදි පිනි කුමාරි හුඟක් දේවල් යාලුවන්ගෙන් අහල දන ගත්තා. වලාකුළු නැන්දා පිනි කුමාරිටයි යාලුවන්ටයි ලෝකෙ ගැන හුඟාක් දේවල් කියා දුන්නා.


දන්නවද එයා ඉගනගත්ත වැදගත්ම දේ මොකක්ද කියලා? දැන් මෙහෙම වලාකුළු නැන්දාගේ උකුලට වෙලා හිටියාට මොකද දවසක පිනි කුමාරි ඇතුළු හැමෝටම වැහි බින්දු වෙලා ආපහු පොළොවට යන්න පුළුවන් කියලා පිනි කුමාරි ඉගෙන ගත්තා. එදා ඉඳන් පිනි කුමාරිගේ දකින්නේ එකම එක හීනයයි. 

ඒ තමයි ........... 
දවසක, වැහි බිංදුවක් වෙලා පහළට ගිහින් අලුත් වික්‍රමයක් පටන් ගන්න එක. ඉතින් පිනි කුමාරි වැහි බින්දුවක් වෙලා පහලට එනකන් අපිත් බලාගෙන ඉමු නේද ?


No comments:

Post a Comment

අලුත් සිතුවම්

149. පිනි කුමාරි