Friday, April 8, 2022

88. කරුණාවන්ත සුළඟ

එකමත් එක රටක මල් ගසක් තිබුණා. මල් පිපෙන කාලෙ ආවා. මල් ගසේ ලස්සනට මල් පිපුණා. සීතල සුළඟක් මල් ගස ළඟට හැමුවා. 

"ඔයා කොහේද යන්නෙ ?" මල් ගස සුළගෙන් ඇහුවා. "මම ඇවිදින්න යනවා." සුළඟ කිව්වා. "මටත් ආසයි ඇවිදින්න. අර ළමයි සෙල්ලම් කරන තැනට යන්න." මල් ගස දුකෙන් කිව්වා. සුළඟ ටිකක් කල්පනා කළා. උපායක් පහල වුනා. 

මල් ගසෙන් සුවඳ ටිකක් ඉල්ලා ගෙන ළමයි සෙල්ලම් කරන පැත්තට හැමුවා. "කොහෙන්ද මේ අපූරු මල් සුවඳක් එන්නෙ?" ළමයින්ට මල් සුවඳට ආසා හිතුණා. මල් සුවඳ ආවේ කොහෙන්ද කියා විපරම් කළා. අපූරු මල් සුවඳ එන මල් ගස සොයා ගත්තා.

"ඔයා ළඟ හරිම සුවඳයි. අපි ගහ යට සෙල්ලම් කරන්නද?" ළමයි මල් ගසෙන් ඇහුවා. මල් ගස හරිම සතුටින් "හා" කිව්වා. ළමයි එදා ඉඳලා හැමදාම මල් ගස යට හෙවනේ සෙල්ලම් කළා. සුළඟ වටේ කැරකි කැරකී සතුටින් ඒ දිහා බලාගෙන හිටියා.









87. සූකිරියාගේ පිට මැද ඉරි තුන

එකමත් එක වනයක රූස්ස ගහක් තිබුනා. ඒ ගහේ සූකිරියෙක් හිටියා. ඒ සූකිරියාගේ පිට මැද ඉරි තුන තිබුනෙ නෑ. ඒ නිසා සූකිරියා දුකෙන් ජීවත් වුනා. 

දවසක් ලේනෙක් සූකිරියාගෙන් ඇහුවා "ඇයි දුකෙන් යාළුවා ?" කියලා. එතකොට සූකිරියා කිව්වා මට පිට මැද ඉරි තුන නෑ කියලා. ලේනාට හොඳ නුවණක් ආවා. ලේනා කීවා "මම උදව් වෙන්නම්" කියලා. ලේනා සැර සේපාලිකා කොළ අරගෙන සූකිරියාගේ පිටේ ලෝම ඉරි තුනකට කැපුවා. ප්‍රාර්ථනාවක් කළා. 

සූකිරියාට හරි සතුටුයි. සූකිරියා ලේනාට ස්තුති කළා. ඊට පස්සෙ දෙන්නා හොඳ යාළුවො වුණා. අවුරුදු නිකන්ම ගියා. එතකොට සූකිරියාගේ පිට මැද ඉරි තුනේ සුදු පාට ලෝම වැවුණා.










86. කවුද මීනු ?

එකෝමත් එක රටක තිබුණා ගමක්. ඒ ගමේ සීයාට ලස්සන පූසියෙක් හිටියා. එයාගෙ නම රොකී. දවසක් රොකී පැටියෙක් දැම්මා. එයාගේ නම මීනු. ඒ දෙන්නම එක වගේ. ලොකු උනත් එක වගේ. කාටවත් හොයා ගන්න බෑ රොකී කවුද මීනු කවුද කියලා.

බෙහෙත් විදින දවස ආවා. සීයා මීනුට කතා කරා. පූසො දෙන්නම ළඟට දුවගෙන ආවා. මේ දෙන්නාගෙන් මීනු කවුද? සීයා බබාට කතා කළා. "අපි දැන් මොකද කරන්නෙ බබා? කොහොමද මීනු හොයාගන්නෙ ?" සීයා බබාගෙන් ඇහුවා. බබාට හොඳ උපායක් ආවා.

රොකී හරි ආසයි බනිස් කන්න. මීනු හරි ආසයි කිරි බොන්න. බබා කිරියි බනිසුයි ගෙනාවා. පූසො ළඟින් තිබ්බා. සීයා මීනු හොයා ගත්තා. බෙහෙත් විදින්න එක්කගෙන ගියා.







අලුත් සිතුවම්

136. සූකිරි දත්