Friday, January 27, 2023

136. සූකිරි දත්


ඩයිනොගෙ කිරි දත් වැටිලා අතු කඩන්න බෑ 
ඉතුරු දෙකත් හෙලවෙයි අද හෙටද දන්නෙ නෑ 
හයියට ඇති කිසිම දෙයක් දැන් හපන්න බෑ 
අලුත් දතක් කොයි දවසේ එයිද දන්නෙ නෑ 

සූකිරි දත් දොස්තර මේ සිද්ධිය දැක්කා 
ඩයිනොට දත් සායනේට එන්නට කිව්වා 
බබෙක් දීපු ලොකුම දතක් එළියට ගත්තා 
පරිස්සමින් එය ඩයිනොගෙ කටේ ඇලෙව්වා 

ලොකු දත් දෙක ලඟින් තියෙන බබාගෙ දත කිරී  
පුංචි උනත් ගොඩාරියක් ඊට කමක් නැතී  
පුංචි දතෙන් මොනවාහරි හපා කන්න හැකී 
සූකිරි දත් ප්ර‍තිකාරය අකුරට ඇත කෙරී. 

© සිත්තර පැංචි 
2023-01-28 

Tuesday, January 24, 2023

135. කුඹි ගෙදර

 



ගුරුතුමියට සනීප නෑ වැස්සට තෙමිලා 
ඒක නිසා වේලසනින් පාසල ඇරිලා 
කුඹි ළමයි ගෙදර එද්දි  පේලිය හැදිලා 
කුඹි අම්මා කොහෙද ගිහින් ගෙයි දොර වහලා 

මොකද ඉතින් දැන් කරන්නෙ හරි පුරස්නේකි 
දොර අරින්න විදියක් නෑ එතැන යුද්දෙකී
ඒ මදිවට බඩගිනි වී බඩෙත් ගින්නකී
උදව් කරන්නට ආවේ කුරුළු පැංචෙකී

ජෑම් ගහෙන් ඉදුණු ජෑම් ගෙඩියක් කඩලා 
කුරුළු පැංචා කුඹි ලගින් ගෙනැල්ල තිබ්බා 
චුට්ට චුට්ට කෑලි එයින් ගෙන රස කරලා 
කෑමෙන් පසු ගියා බඩේ ගින්දර නිවිලා 

අම්මා එනකන් දැන්නම් හැකිය සිටින්න 
බඩගිනි නිවුණා එනිසා හැකි ඉවසන්න 
හැකි සැමවිට කොයි කාටත් උදව් කරන්න 
කුරුළු පැංචාගෙන් ආදර්ශය අර ගන්න. 

© සිත්තර පැංචි
2021-01-25 


134. ලස්සන රට

 


ඉර පායාගෙන ඇවිදින් උදෙන්ම රුවට 
පාට පාට ලස්සන මල් පිපෙන්න හැඩට 
කුඩා සිනිදු පෙති සියල්ල තැලෙයිද පයට 
සුරන්ගනාවිට බහින්න බයයිලු බිමට 

දැවටි දැවටි සුළඟ ඇවිත් සිසිල බෙදන්නේ 
පුළුන් වගේ සුදු මීදුම් අවට ගලන්නේ 
මේ ලස්සන සුරංගනා ලොවෙත් නොවන්නේ 
නොයා මෙහේ නවතින්නටමයි සිත දෙන්නේ  

ලොකු හුස්මක් ඉතාම දිගු ඇය අරගත්තා 
මල් සුවඳින් මුළු නැහැයම පුරවා ගත්තා 
හෙට උදයෙත් ආයෙ එන්න සිහි කරගත්තා 
දුකින් වගේ මල් උයනෙන් ඇය සමු ගත්තා 

සුරංගනාවියන් හටත් ලෝබ හිතෙනවා  
අපිටත් හරි ලස්සන පොඩි රටක් තියෙනවා 
පොඩිහිටියන් සහයෝගෙන් එකමුතු වෙනවා  
මහන්සි වී සුවදායක හෙටක් හදනවා. 

© සිත්තර පැංචි
2023-01-24 


Monday, January 23, 2023

133. රෝස මලීගේ නුවණ

 

ඇපල් ගහේ මහ විසාල ඇපල් පිරී තිබේ
ගොළුබෙලි චුට්ටා එතැනින් දුර ගමනක යෙදේ
ඉදුණු ඇපල් වැටුණොත් මගෙ කටුව කැඩී බිඳේ
ගමන යන්නෙ කොහොමද දැන් එයාට බය හිතේ 

පොළොව යටින් කුඹි ගියපු ලොකු උමගක් ඇත 
මෙහෙන් ඇතුළු වී අරහෙන් පිටවෙන්නට හැක 
හනික යන්න එතුලට බිය වෙන්න දෙයක් නැත 
රෝස මලී ගෙන් අවවාදයක් ලැබී ඇත

ගොළුබෙලි චුට්ටා හෙමිහිට උමගට ගොඩ වුණා 
කටුව බිඳේ යයි සිතතුළ වූ බිය දුරු වුණා
හෙමින් හෙමින් ගහට යටින් ගොස් ඉන් පිටවුණා 
කටුව තාම යහතින් බව දැක සිත සැනසුණා 

හැමපැත්තම හොඳට හිතල බලල පුංචි මොළෙන්
සිහි කැදවා යොදා නුවණ තැනට සුදුසු ලෙසින්
තවත් කෙනෙකු හට පිහිටක් විය හැකිවුණ බැවින් 
රෝස මලී හරි සතුටින් සිටී සිනා සෙමින්.  

© සිත්තර පැංචි
2023-01-23




Sunday, January 15, 2023

132. හොඳ සිරිත්

 

පූසිට සෙල්ලම් කරන්න බෝනික්කා ඕනෙලූ
ලස්සන මල කඩා ගත්තෙ බෝනික්කට දෙන්නලූ 
නූල් බෝලෙ පටලැවිලා ලිහාගන්න බෑමලූ 
සෙල්ලම් මීයත් කැඩිලා යයි කියන්නෙ ඇත්තලූ 

සීරෙන්නේ නැති වෙන්නට නියපොතු ටික හංගලා 
මුහුණ සෝදලා උදේම ඇඟත් හොඳට නාවලා 
ආස හිතෙන්නට වලිගේ රිබන් එකක් පළදලා 
බෝනික්කා බාරගන්න ඉන්නෙ පූසි මග බලා 

පූසි ට දී බෝනික්කා හරියට පැය දෙකකට
සිංදු කියනවාලු පැංචි කුරුල්ලෝ හා තරගෙට
බෙදා හදා ගන්නා එක මිතුරු අගය සිහි කොට 
හොඳ සිරිතකි ඉතාම හොඳ පාර කියන සතුටට.

© සිත්තර පැංචි 




Saturday, January 14, 2023

131. මල් වත්ත


 

මම පැන්සල් උල් කළා 
කැපෙන වාටි රැස් කළා 
ඒවායින් මල් වත්තේ
ලස්සන මල් සුපිපුනා 

පොත් අස්සේ බල බලා 
වේලුනු කොළ ගෙන සොයා 
කොළ අලවා මල් වත්තට 
පඳුරු පඳුරු එක් කළා 

කුරුළු පැන්චො පියඹලා 
මල් පෙති උඩ නැවතිලා 
මම අලවපු පිහාටු හරි  
ලස්සන යැයි කියනවා.

© සිත්තර පැංචි.

Tuesday, January 10, 2023

130. අමුතු රේණුව




මොකක්ද මේ මල ඇතුලේ අමුතු රේණුව 
එහෙට මෙහෙට කැරකි කැරකි නටන සීරුව  
ගුමු ගුමු ගුමු මල ඇතුලෙන් වැයෙන සීනුව 
හරිම අමුත්තකි සෙලවෙන පොඩි පිහාටුව 

මී මැස්සා පැණි ගන්නට මලට රිංගලා 
වලිගෙ එලියෙ මුහුණ ඇතුලෙ කෙමියෙ හිරවෙලා 
සිහියක් නෑ මල් මී වල රසෙහි කිමිදිලා 
මල් පැණි හැර සියලුම දෙය මතක නැති වෙලා 

පැණි බිව්වා බඩ පිරුණා එළියට යනු කෙසේ 
තවත් මහත් වෙලා නොවෙද නිකමට මෙන් සිතේ 
සමනලයගෙ සරදම් සිනහව ළඟ ළඟ ඇසේ 
වෑයම් කර ලිස්සා යනු මල නොරිදෙන ලෙසේ 


© සිත්තර පැංචි 


129. හිත හොඳ අය

 

පයින් ඇවිදලා ගියෝතින් වෙලාව ගත වෙයි 
ඉස්කෝලේ යන්නට මට තව පරක්කු වෙයි 
එකම පාරෙ පාත්ත අයියත් ගමනක් යයි 
පිටට නැග්ගොතින් හනිකට යන්නට හැකි වෙයි 

පාත්ත අයියේ නැවතී මේක අහන්න 
හැකිද මාත් අයියගෙ පිට උඩ ගෙනයන්න 
දවල් වෙන්න කලියෙන් ඉස්කෝලෙට යන්න 
පුලුවන්නම් අයියේ මට උදව් කරන්න 

පාත්ත අයියා නැවතී පොඩ්ඩක් හිතුවා 
කොහොමත් යන ගමන නොවෙද වෙනසක් නැතුවා 
ගොළුබෙලි පැංචා ඉල්ලපු උදව්ව කෙරුවා 
පිට උඩ නග්ගන් ඉස්කෝලෙට ඇරලෙව්වා 

දෙන්නගේම වැඩ කෙරුණා වෙලාව ඉතුරුයි 
උදව් කරලා උදව් ලබලා හිතටත් සතුටුයි 
දැන හඳුනා ගත් දෙදෙනා දැන් ගජ මිතුරුයි 
හිත හොඳ අය ඉන්නා තැන සැමදා සොඳුරුයි

© සිත්තර පැංචි.


128. දොයිය දොයිය දොයි

 

ගෙනත් දෙන්නකෝ අම්මේ මටත් කොට්ටයක් 
හැදිලා තියෙන්නේ මට දැන් ලොකුම නිදිමතක් 
හිටගෙන නිදියද්දි මෙහෙම නැහැනෙ නිදහසක් 
පුළුන් කොට්ටෙකින් ඔළුවට එයි සනීපයක් 

අම්මා කොට්ටයක් ගෙනාවා ඒක උස මදී 
තවත් කොට්ටයක් ගෙනාව ඒත් උස මදී 
තුන්වෙනි කොට්ටෙත් ගෙනාවා තුනත් උස මදී 
බෙල්ල දිගයි නොවැ පුතාගෙ කොට්ට තව මදී 

අම්මා ගිහින් තවත් කොට්ට දෙකක් ගෙනාවයි 
ඔක්කොම දැන් කොට්ට ගණන පහට සමානයි 
ඔළුව තියාගත් විට එහි හරිම සනීපයි 
හිනා වෙවී පැංචා අපේ දොයිය දොයිය දොයි.

© සිත්තර පැංචි 


Monday, January 9, 2023

127. උසයි උසයි


උසයි උසයි හරිම උසයි 
දැන් නම් මම ගොඩක් උසයි 
තව පොඩ්ඩක් ඉස්සී මල - බලන්න ඕනෑ 

අනිත් කුරුල්ලෝ ඉගිලෙයි 
මට බෑ මම තවම පොඩියි 
උස වෙන්නට ඉනි මගකට - නගින්න ඕනෑ 

අම්ම තාත්තගෙ පිට උඩ 
මම අම්මාගේ පිට උඩ 
මෙහෙම හොඳද ඔයාලගෙන් - අහන්න ඕනෑ 

බර වැඩිවී තාත්තාට 
අපිව බිමට ඇද වැටේද 
වැඩිය වෙලා නොගෙන බිමට - බහින්න ඕනෑ 

ඉගිල්ලෙන්න හැකි වෙන්නට 
ලොකු වෙන්නට ඉක්මනින්ම 
ගුණදායක කෑම නිතර - ගිලින්න ඕනෑ  

කුරුළු පැටියා එහෙම කියයි 
අමමා තාත්තා හිනැහෙයි
පොඩ්ඩො ඉතින් හුරතලේට - සිටින්න ඕනෑ.

© සිත්තර පැංචි.


Sunday, January 8, 2023

126. අලි ආදරේ



චූටි මල්ලි හරිම බයයි ඉන්න කළුවරේ 
අයියෙ මාව අල්ලගන්න කියා කරදරේ 
කිව්ව ගමන් මල්ලි තුරුළු කරන් පපුතුරේ
මල්ලිලාට අයියලානෙ හුඟක් ආදරේ 

හඳමාමත් අද පුංචියි තරුත් දෙක තුනයි 
තව කළුවර වැඩි වෙනකොට අයියටත් බයයි 
තුරුළු වෙන්න මටත් කෙනෙක් හිටිය නම් හොඳයි 
චූටි මල්ලි තුරුළු කරන් අයිය දුර සිතයි 

ඒත් එක්කලම සුපුරුදු සුවඳ පැමිණුනා 
ලෝබ හිතෙන උණුසුම සියොලඟම පැතිරුණා 
අම්ම තුරුල්ලට දෙදෙනම හනික ගුළි වුණා 
ආදරේට අලි, කළුවර රැයම පැරදුණා.

© සිත්තර පැංචි.

125. පූස් නැට්ටෙ සංගීතේ

පූස් හාමිනේ ගහ උඩ අව්ව තපිනවා
කොඩිය වගේ නැට්ට උඩට හැරිලා තියෙනවා
පූස් නැට්ට ගහේ අත්ත යැයි රැවටෙනවා
කුරුළු බබා ඒ මත ඉඳ සින්දු කියනවා  
 
කන ලඟින්ම ඉමිහිරි තාලයකි ඇහෙන්නේ 
හරිම ලස්සනයි පූසිගෙ ඇස් පියවෙන්නේ
කුරුළු බබා රසට මිහිරි ගීත ගයන්නේ
පූස් නැට්ටෙ ඉඳගෙන බව පූසි නොදන්නේ  
 
අමුතු දෙයක් යම්කිසි වලිගයට දැනෙනවා
බාගෙට ඇස් ඇරපු පූසි හැරිල බලනවා
කුරුළු බබා වලිගය උඩ සිංදු කියනවා
දැකපු පූසිගේ මුහුණට සිනා නැගෙනවා
  
කවමදාකවත් මෙය නම් වුණේ නැති දෙයක්
නිකන් තියෙන වලිගෙට අද ලැබිල නොවැ වැඩක්
අනේ හොඳයි මටත් එයින් හම්බ වෙයි පිනක්
එහෙම හිතල සතුටු වුණා පූසි මහ ගොඩක් !

© සිත්තර පැංචි.

Saturday, January 7, 2023

124. මෙන්න මගේ පූසි






මෙන්න මගේ පූසී - හරිම රුවයි පූසී
පුළුන් ගොඩයි පූසී - පූසීගෙ නම රෝසී ...

රෝසි කන්නෙ දෝසී - දෝසි හැදුවෙ ඩේසී
හදන්න හරි ලේසී - රෝසිට අද වාසී ...

අපිට එපා දෝසී - ඕනෑ මාළු දීසී 
වටේ නටයි ඩේසී - පූසි පැටව් සීසී ...

මාළු ගන්න කාසී - ඩේසිට නෑ වාසී
රෝසි එක්ක දෝසී - කන්න එන්න සීසී ...

 

Friday, January 6, 2023

123. මූදු අශ්ව

හිතුවෙ හරිම ලොකුයි කියල අශ්වයටත් වඩා
මූදු අශ්වයෙක් වීලත් ඇයි ඔතරම් කුඩා
මාළු බබා හරි ප්‍රශ්නෙක ඉන්නේ හිරවෙලා
මූදු අශ්ව අයියේ විසඳල දෙනවද ඔයා
   
හුඟක් දෙනා එහෙම හිතන් ඉන්නා බැව් සැබැයි
ඒත් මගේ නම තරමට සැසදෙනවා නොවෙයි
අශ්ව කියල තිබුනට නම ඇත්තෙන් මං පොඩියි
තරම මගේ අරගත් විට හාල්මැස්සා වගෙයි   
 
මාළු බබා එය අසලා පුදුමෙට පත් වුණා
කාරණාව දත් අයියා ඔහුට හිනා වුණා
ඒත් මොකද නොදත් දෙයක් දැනගත හැකි වුණා
මූදු අශ්ව අයියා ඉතා හොඳ මිතුරෙකු වුණා.  
 
© සිත්තර පැංචි


122. ගිරා ළමයි

 



  




















       අම්මගෙ පෙත්තයි පැංචිගෙ පෙත්තයි 
උදෙන්ම ඇහැඇරිලා
මල් අත්තේ ඉඳ ගේ දෙස බල බල
බත් ඇට ඉල්ලනවා  
උදේට යුද්දේ හැමෝම වැඩ වැඩ 
හරියට බිසී වෙනවා
චූටි පුතාලට බත් අරගෙන අර 
පැංචි හනික එනවා

චූටි පුතේ බත් කෑවා කෑවා 
මුළු වැකියම කියවනවා
පැංචි එක්කලා ගිරා ළමයි හරි 
හරියට දොඩවනවා
සීනු ආවොතින් කුරුමානම ගෙන 
දඩයම හරියනවා
වැඩ වරදින්නට කලියෙන් හනි 
හනිකට අපි බත් කනවා

යාළුවො යාළුවො වටේම යාළුවො 
කුරුළු සද්ද පිරිලා
සතුට අරන් හැම උදේම එනවා 
මිතුරු අයව සොයලා
කරුණාබර පොඩි හිත උතුරාගෙන 
ආදරයක් දැනිලා
යන්නෙත් එන්නෙත් දැන් උඩ පැන පැන 
පැංචිගෙ හිත පිරිලා!

© සිත්තර පැංචි 

121. සුට්ටන් සූටික්කි

අගර දඟර එහෙට මෙහෙට කැරකිලා ඇතී
පුදුම හිතෙන දිගට වැවුන මල් වැලක් ඇතී
රෝස පාට මල් ඒ මත පිබිදිලා ඇතී
දැකුම වුවද නෙතට සිතට සුවය ගෙන දෙතී
 
රේණු සලා සුවඳ හලාසුලන්ගෙ නැළවෙන
සමනල පැණි කුරුල්ලන්ට රසඳුනක් වෙන
දිගැටී පුංචි හොට මානා මලට ලංවෙන
සුට්ටන් සූටික්කි බබෙකි රොනට සැරසෙන
 
පිහාටු ලස්සන අත්දෙක දේදුනු පාටයි
කැරලි කොන්ඩෙ හිස කැරකුණ සුරතල් පාටයි
මල් අතරේ මලක් වගේ හරි හැඩකාරයි
සුට්ටන් සූටිකි බබාට බඩගිනි පාටයි
 
ලස්සන ලස්සන සිත්තර දවසෙම අඳිනා
අම්මාටත් තිතට චිත්‍ර උපදෙස් ලැබෙනා
ගෙදර කලා සංගමයේ මුලසුන දරනා
අපේ පුංචි සිත්තර පැංචිය හරි හපනා.



 
© සිත්තර පැංචි.

Wednesday, January 4, 2023

120. ලස්සන වැස්ස


අද ඉර කොහෙද මන්දා හැංගිලා. මුළු අහසම කළුවරයි. ලොකු හුළඟකුත් හමනවා. ඒ හුළඟට අහුවෙන ගස්වල අතු එහෙට මෙහෙට පැද්දෙනවා.  කොළ කැරකි කැරකි බිමට වැටෙනවා.මිදුලේ තියෙන පුංචි මල් ගසුත් එහෙට මෙහාට වැනෙනවා. ලොකුම ලොකු වැස්සක් ළඟ එන්න වගේ. පැංචිට ලොකු සතුටක් හිතට දැනුණා. වහින දවස්වලට වැස්ස දිහා බලාගෙන ඉන්න පැංචි හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි. වැස්සෙ ටිකක් තෙමෙන්න ඇත්නම්...මඩ වතුර වලවල් වල පැන පැන නටන්න ඇත්නම්...මිදුලේ පිරෙන වතුර පාර දිගේ පුංචි පුංචි ඔරු හදලා පා කරන්න ඇත්නම්...ඊට වඩා සතුටක් පැංචිට වෙන නෑ.

ටික වෙලාවක් ගතවුණා. පැංචි හිතුවා හරියටම හරි. හෝ හෝ හෝ සද්දෙකුත් එක්ක  ලොකු වැස්සක් පටන් ගත්තා. පොළොව හරිම ආසාවෙන් බිමට වැහි වතුර බීගෙන බීගෙන ගියා. දැන් නම් පොළොවටත් වතුර ඇති වගේ. ඒත් තව වහිනවා. වැඩි වැහි වතුර එකතුවෙලා මුළු මිදුලම හරි ඉක්මනට පිරුණා. බලන බලන හැම තැනම වතුර. හරිම ඉක්මනට වේගෙන් වේගෙන් වැහැලා වහැලා හතර අතේ වතුර පුරවලා, ලොකු පුංචි දිය පහරවල් හැම තැනටම යවලා වැස්ස පෑව්වා. පැංචි ඉස්තෝප්පුවට වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. ගේ ඇතුලේ ඉඳන් කොච්චර බැලුවත් පැංචිගේ හිතට මදි. එලියට ගිහින් පොඩ්ඩක් වතුරේ නටන්නමයි පැංචිගේ ආසාව. ඊත් වතුරේ සෙල්ලම් කරලා ලෙඩ වුනොතින් එහෙම අම්මගෙන් බැනුම් අහන්න වෙනවා. අනික ඉස්කෝලේ යන්නත් බැරි වෙනවානෙ. පැංචි ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම හොඳ අදහසක් පැංචිගේ හිතට ආවා.

පැංචි ගේ ඇතුලට ගිහින් එයාගේ වැහි කබාය අන්ද ගත්තා. බොත්තම් ඔක්කොම පිළිවෙලට දා ගත්තා. දැන් හරි ඇඟ නම්  තෙමෙන එකක් නෑ. ඊට පස්සෙ බූට් සපත්තු දෙක හොයාගෙන කකුල් පරිස්සමට දා ගත්තා. දැන් කකුල් දෙකත් හොඳට වැහිලා. තෙමෙන්න විදියක් නෑ. ඊ ලඟට තාත්තාගෙ ලොකු කුඩේ අරන් ඔලුවට ඉහල ගත්තා. කුඩේ ගොඩක් ලොකු නිසා ඔළුව තෙමෙන්නෙත් නෑ. මේ විදියට ලස්සනට සැරසිලා පැංචි අම්මා ලඟට ගියා. මිදුලට ගිහින් පොඩ්ඩක් වටේ ඇවිදලා වැස්ස බැලුවට කමක් නැද්ද කියලා අම්මගෙන් ඇහුවා. අම්මට හරි හිනා. "තෙමෙන්නේ නැති වෙන්න ඔහොම පිළිවෙලට ලෑස්ති වෙලා  යනවා නම් මම මොකටද එපා කියන්නෙ. මගේ හොඳ පැංචි එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..." කියලා අම්මා අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි හාද්දකුත් දුන්නා. පැංචිට ලෝකයක් ලැබුණා වගේ. එයා හරිම සතුටින් ම්දුලට ගියා.

පැංචි එදා එළියේ ඇවිද ඇවිද හුඟාක් විනෝද වුනා. වතුර බීලා හොඳට නාලා අතු වලින් වතුර බේර බේර හිටිය ගස් පැංචිට පෙනුණේ හරියට දියබරියෝ වගේ. රෝස පඳුරේ මල් ටික නම් ඔක්කොම අතුත් එක්කම බිමට නැවිලා බිම ගෑවී ගෑවී තමයි තිබුණේ.  පෙති ගැලවිලා බිමට වැටිලා තිබුන විදිය දැක්කම පැංචි ට දුකත් හිතුණා. පැංචි පාරටත් ගිහින් ඇවිදලා බැලුවා. ඒ හරිය නම් කහ පාට මුහුදක් වගේ. පාරට උඩින් වතුර ගිහින් වෙල බාගයක්ම පිරිලා. ගොයමේ උඩ හරිය විතරයි පැංචිට පෙනුණේ. ඒ ගොල්ලෝ නාන බේසමක බැහැලා වගේ වතුරේ නැලවී නැලවී ඉන්නවා පැංචි හරිම ආසාවෙන් බලාගෙන හිටියා. වතුර බැහැලා ගිය සමහර තැන්වල සුදු වැලි ගොඩවල් මතුවෙලා තිබුණ නිසා පැංචි ගෙදර එනකොට ආවෙ ඒවා උඩින් අඩි තිය තියා. ගෙදර ඇවිත් පැංචි කඩදාසි ඔරු හදලා  අරගෙන ගිහින් ඇල දිගේ පා කළා. ඒවා තාරාවෝ වගේ වතුරේ පා වෙලා ඈතට ගියේ හරිම සැහැල්ලුවෙන්. ඊට පස්සෙ පැංචි පුංචි ගංගාවල් මැද්දෙ හැදිලා තිබුණු දූපත් වල කොඩි දැම්මා. ඇත්තෙන්ම කිව්වොත් පරිසරය පාඩමක්ම තනියෙන් ඉගන ගෙන ඉවර කළා වගේ තමයි අද පැංචිට හිතුණේ. වැස්සට පෙර පරිසරය කොයි වගේද, වහින අතරතුර පරිසරය කොයි වගේද, වැස්සට පසු පරිසරය කොයි වගේද මේ ඔක්කොම ටික පැංචි හොඳට තේරුම්ගත්තා. ඇත්තටම වැස්ස කියන්නෙ හරි අපූරු දෙයක් බව පැංචිට හරියටම තේරුම් ගියේ අද තමයි. ඉතින් ඔයාලත් මේ අපේ පැංචි වගේ අපට ගොඩාක් පාඩම් කියාදෙන, ලස්සන අත්දැකීම් ලබා දෙන වැහි දවස්වලට කැමතියි නේද යාලුවනේ?

© සිත්තර පැංචි.

Tuesday, January 3, 2023

119. හ්ම් හ්ම්





පාලු රැයේ ගහ මුදුනේ හ්ම් හ්ම් කියා 
බකමූණෝ ඇහැරිලාද අද කලින්ම ඔයා 
හවස දොයිය ගත්ත නිසා තදින්ම ඇස් පියා 
මාත් අවදියෙන් තාමත් බලමි රැයෙහි ශ්‍රියා 

ලොකු ඇස් දෙක ලොකු කරගෙන වැඩියෙන් තව ටිකක්  
වට පිට විපරම් කරමින් හොයනවාද මලක් 
පාට පාට මල් නැතුවට මොකටද සිත දුකක්  
මල් වෙනුවට අර තියෙන්නෙ පායා තරු ගොඩක්
  
දිලිසෙන තරු දිහා බලාගෙන හිටියට හැබැයි  
සමහර විට එකක් දෙකක් ගිනි ගෙන බිම වැටෙයි  
ඉවසිලීමත් වුන තරමට සිත සැනසුම දැනෙයි  
ප්‍රාර්ථනා කල හොඳහිත අපටම යලි ලැබෙයි  

කියන කියන හැම දේටම හ්ම් කියා ඉන්නේ  
මගෙ කියමං හරියි කියල කොහොමද දැන ගන්නේ  
කලබල නැති සන්සුන් රැය සිත් සේ විඳගන්නේ  
ඒකද අපි නිදියනකන් ඉඳ ඔබ ඇහැරෙන්නේ

© සිත්තර පැංචි

අලුත් සිතුවම්

136. සූකිරි දත්