Friday, May 17, 2024

145. වෙසක් කූඩු


 තීරු තීරු ලස්සන රැළි කතුර අරන් කපනවා 
 තෝර තෝර පාට පාට සව් කොළ ගම් ගානවා 
 හරව හරව අලව අලව ඒවයෙ හැඩ බලනවා 
 බෝම උනන්දුවෙන් පැංචි වෙසක් කූඩු හදනවා. 

 පිට පොඩ්ඩක් කසාගන්න කිටියා පැංචි සොයනවා 
 කොළ ගොඩ මැද ඉන්න පැංචි දැක එදෙසට ඇදෙනවා 
 මාව ටිකක් අතගාන්න යැයි පැංචිට කියනවා 
 "වැඩක්නෙ මං පස්සෙ එන්න" ලෙස උත්තර ලැබෙනවා 

 ඉවසනු බෑ පිට කැසිල්ල වැඩි වැඩියෙන් දැනෙනවා 
 කපල තිබුණු රැළි රැළි ගොඩ උඩට කිටියා පනිනවා 
 පෙරලි පෙරලි හතර අතට කිටියා එතැන නටනවා 
 කුඩුවෙ අලවපු සව්කොළ සේරම ටික ඉරෙනවා 

 තරහ ගියපු පැංචි අතින් කිටියට ගුටි ලැබෙනවා 
 ගැහුව උනත් පැංචිට කිටියා ගැන දුක හිතෙනවා
 දීසි දෙකක් පිරෙන්න කිරි ඒ වෙනුවට ලැබෙනවා 
 කිරි බී බඩ පිරුණු කිටී සැප නින්දට වැටෙනවා 

 පැංචි ආයි කොනක ඉඳන් වැඩේ පටන් ගන්නවා 
 ගොඩාරියක් වෙසක් කූඩු අලවා නිම කරනවා 
 අටපට්ටම්, බිලිං කූඩු අතරේ තරු දිලෙනවා 
 නෙලුම් මලුත් නිමා කරද්දිම කළුවර වැටෙනවා 

 ගේ වටේම බල්බ් දමා එල්ලා  සවි කරනවා 
 පාට පාට වෙසක් කූඩු එලිය ලැබී දිලෙනවා 
 සතුට ගොඩයි පැංචිගේ ඇස් ඒ සතුටට නටනවා 
 බෙදාගන්න සතුට කිටියා කොහෙද කොහෙද සොයනවා  

 සැප නින්දේ කිටිය තවම ගොරව ගොරව නිදනවා 
 ඔය ඇති දැන් කියා පැංචි කිටියා අවදි කරනවා 
 වෙසක් සිරිය නරඹ නරඹ එකට ආයෙ ඇලෙනවා 
 දෙන්න එක්ක සන්තෝසෙන් ඔන්චිල්ලා පදිනවා. 


 © සිත්තර පැංචි 
 2024-05-18

144. මල් මිතුරෝ

ඉර මාමා උදෙන්ම අවදි උනා. ගස් අතරින් රන්වන් රැස් දහරාවක්ම  ලෝබ නතුව පොළොවට එව්වා. පැංචිගේ මල් පාත්තියේ මල් ඔක්කොම ඉක්මනට ඉක්මනට පෙති ඇරියා. එක එක පාටින් ලස්සනට හිනා වුනා. වටපිටාව දැන් හරිම සුන්දරයි. ඒ වගේම සුවඳයි. 

තැඹිලි පාට මල හිනා වෙමින්ම අවට බැලුවා. එයා අනිත් මල් වලට වඩා උසට හිටිය හින්දා හැමෝවම හොඳට පෙනුනා. තැඹිලි පාට මලට පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. "පේනවා නේද? උස වෙන එක තමයි හොඳම. ඔයාලා කොච්චර ඉස්සුනත් මට වගේ වටේම පේන්නේ නෑනේ.  අනික මේ...මට ඇති තරම් ඉර එළිය නා ගන්නත් පුළුවන්." තැඹිලි පාට මල එයා ළඟම හිටිය රෝසපාට මල දිහා බලලා ආඩම්බරෙන් කිව්වා.

"ඇත්ත තමයි. මටත් මේ වගේ උසට ඉන්න තිබුණ නම් කොච්චර හොඳද? දැන් ඉතින් ඉර එළිය ටිකක් නාන්නත් අස්සෙන් අස්සෙන් එබෙන්න එපැයි. මිටි උනාම කරදරයි." රෝසපාට මලට ටිකක් දුක හිතුණා. "මොනවා කරන්නද ඉතින්. මගෙ නටුවට පුළුවන් උපරිම උසට ගිහිල්ලනෙ ඉන්නෙ. මිටියට ඉන්න එකම මල මම නෙවෙයිනෙ. මටත් වඩා මිටි මල් මේ තව ඉන්නෙ" එහෙම හිතලා රෝස පාට මල දුක තුනී කර ගත්තා.

ඔන්න ටිකකින් ලොකු සුළඟක් හමන්න පටන් ගත්තා. ටික ටික සුළං වේගය වැඩි උනා. සුළං පහර තරහෙන් වගේ ඇවිත් තැඹිලි පාට මලේ වැදුණා. තැඹිලි පාට මලේ නටුව වේගෙන් දෙපැත්තට පැද්දුනා. " අනේ මේ සුළං පාරට මගේ නටුව කැඩිලා යයිද? "මලට බොහොම බය හිතුණා. මල වෙව්ලන්න පටන් ගත්තා. මිටි රෝස පාට මල මේක බලාගෙන හිටියා. තැඹිලි පාට මල දෙපැත්තට වැනෙනකොට එයාගෙ ඇගෙත් හැපුණා. රෝස පාට මලට දුක හිතුනා. එයා තැඹිලි පාට මලේ නටුවට එයාගේ ඇඟට හේත්තු වෙලා ඉන්න ඉඩ දුන්නා. තැඹිලි පාට මල රෝස පාට මලට හේත්තු වෙලා යන්තම් නොපැද්දී හිටියා. 

ටික වෙලාවකින් සුළඟ අඩු වෙලා මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මොර ගෙඩි වගේ වැහි බිංදු තැඹිලි පාට මලේ පෙති උඩට වැටුණා. වතුර බිංදුවල බරට තැඹිලි පාට මලේ පෙති ඔක්කොම තෙතබරියං උනා. එයාගෙ නටුවට කෙළින් ඉන්න බැරුව දෙකට මැදින් නැවිලා ගියා. රෝස පාට මලට නම් වැස්සෙනුත් ලොකු කරදරයක් උනේ නෑ. එයාගේ මල් පෙති හොඳට ඝනකම්ව හැදිලා තිබුණ නිසා ඉක්මනට තෙතබරිත උනේ නෑ. මිටි මහත නටුව කිසිම බයක් නැතුව චන්ඩියා වගේ වැස්සට මුහුණ දුන්නා. තැඹිලි පාට උස මල වැස්ස ඉවරවෙනකන් රෝස පාට මල උඩ මුහුණ හංගාගෙන බයේ වෙව්ල වෙව්ල හිටියා. රෝස පාට මල බොහොම ආදරෙන් එයාව වැටෙන්න නොදී අල්ලාගෙන වැස්සෙන් ආරක්ෂා කළා. 

වැස්ස පායලා ආපහු ඉර මාමා හිනා වුණා. තැඹිලි පාට මල නැගිටලා ඇස් ඇරියා. "ඔයා නැත්නම් මම බිම වැටිලා. මම හොඳටම බයවෙලා හිටියේ. ඔයා නිසා යන්තම් නොවැටී බේරුණා. මාව බේරා ගත්තාට ඔයාට බොහොම ස්තුතියි." තැඹිලි පාට උස මල රෝස පාට මිටි මලට කිව්වා. රෝස පාට මල ලස්සනට හිනා වුණා. "උස වෙන එකට වඩා ඔයා වගේ මිටි වෙන එක හොඳයි. එතකොට කරදර අඩුයි." තැඹිලි පාට උස මල ආපහු කිව්වා. රෝස පාට මල හිස වැනුවා.

"හිනා වෙලා සතුටින් ඉන්න වැදගත් වෙන්නෙ උස වෙන එකවත් මිටි වෙන එකවත් නෙවෙයි. යාලුකමයි සමගියයි. රෝස පාට මල තැඹිලි පාට මලට කිව්වා. "අද මම ඔයාට උදව් කළා. හෙට සමහර විට ඔයා මට උදව් කරයි. අපි හැමෝම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. හැම වෙලේම එකිනෙකාට උදවු කරගන්න ඕනේ."රෝස පාට මල් තැඹිලි පාට මලට ලොකු පාඩමක්ම කියා දුන්නා. "ඔයා කිව්වේ ඇත්ත තමයි. මමත් එක තේරුම් ගත්තා. අපි හැමදාම යාළුකමින් සමගියෙන් එකට ඉමු." තැඹිලි පාට මල එහෙම කියලා රෝස පාට මලේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ දෙන්නා එක්ක නැලවි නැලවි ලස්සන නැටුමක්  නැටුවා. ටික වෙලාවකින් මල් මිතුරෝ සියලු දෙනාම නැටුමට එකතු උනා.මල් මිතුරන්ගේ නැටුම් ප්‍රසංගය හුඟ වෙලාවක් යනකන් පැවතුණා. 

© සිත්තර පැංචි 
 2024-05-17

Monday, May 13, 2024

143. වෙසක්

 

සල්මල් දසඅත පිපුණා
සුවඳින් හැම තැන පිරුණා 
මංගල සිරියෙන් ලුම්බිණි 
උයන බැබළුණා....

සිනා මුදු තෙපුල් නැගුණා 
සොඳුරු ප්‍රිය දසුන් මැවුණා 
අමුතු අසිරියක් බැලු හැම 
අතම දිස්වුණා ...

සාදු නාදයක් ඇසුණා 
ආසිරි මල් වැසි වැටුණා 
පිනැති පුතෙක් මහමායා 
කුසින් බිහි වුණා ...

පියුම් සතක් පැන නැගුණා 
සිඟිති දෙපා පිළිගැනුණා 
ලොවක් නිවන උතුම් ගමන 
එයින් ඇරඹුනා ...

© සිත්තර පැංචි 
 2024-05-13

Sunday, May 12, 2024

142. කැරට්

හා පැටියා උදෙන්ම නැගිට්ටා. මුහුණ කට සේදුවා. හොඳටම බඩගිනි වගේ. මොනවාහරි කන්න හිතාගෙන කැරට් පාත්තිය පැත්තට ගියා. ආ මේ තියෙන්නෙ කැරට් හොඳට හැදිලා. සමහර ලස්සන ලස්සන කැරට් අල පොලොවෙනුත් උඩට මතු වෙලා. හා පැටියාගේ කටට කෙල ඉනුවා. 

හා පැටියා පොඩ්ඩක් පොළව හාරලා කරත අලයක් ගලවලා ගත්තා. "අපෝ මේ කැරට් අලේ බොහොම පුංචියි නේ. මගේ බඩගින්නේ හැටියට මේක මගේ බඩේ ගෑවෙන්නවත් මදි." හා පැටියා තනියම කියෙව්වා. පුංචි කැරට් අලේ කේන්තියෙන් පැත්තකට දාලා හා පැටියා ආපහු පොළොව හෑරුවා. තව අලයක් ගලවා ගත්තා. "අපෝ මේකත් පුංචි වැඩියිනෙ. මේක මගේ බඩේ බාගයක් පිරෙන්නත් මදි. මේ පාත්තියේ පුංචි කැරට් අල විතරමද තියෙන්නෙ. තව ටිකක් හාරලා ලොකු අලයක් කොහොමහරි ගලවා ගන්න ඕනෙ." හා පැටියා ආපහු පොළොව හාරන්න පටන් ගත්තා.

"මේ පාර නම් විසාල අලයක් ලබෙන්න වගේ. අදිනවා අදිනවා කෝ කැරට් අලේ එන්නේ නෑ." හා පැටියා හොද හුස්මක් අරන් පුළුවන් තරම් හයියෙන් කැරට් අලේ ඇද්දා. කිව්වත් වගේ ඒ පාර නම් හම්බ වුණේ මහා විසාල කැරට් අලයක්. "බුදු අම්මෝ මේකේ ලොකු. මේක මට තනියෙන් කාලා ඉවර කරන්න බෑ. මගේ බඩත් පැලෙයි මේක සේරම කන්න ගියොත්." හා පැටියා ආයෙමත් තනියෙන් කියෙව්වා. 

"අපරාදෙ මගෙ මහන්සිය. ඇයි අප්පා. මගේ බඩට හරියන කැරට් අලයක් හොයන්න මේ තරම්ම අමාරුද? අතාරින්න නරකයි. මේ ගැලෙව්වා වගේ තව එකක් ගලවගන්න ඕනෑ." හා පැටියා එයාටම කියා ගන්නා ගමන් ආපහු කැරට් පාත්තිය හාරන්න ලෑස්ති වුණා.

"හෝව්...හෝව්...හෝව්...." පොළොව හාරන්න හැදුවා විතරයි හා පැටියාට කවුදෝ කතා කරනවා ඇහුණා. කෝ කවුද? කොහෙන්ද කතා කරන්නෙ. හා පැටියා වට පිට හැමතැනම බැලුවා. කෝ කවුරුවත් නෑනෙ. "මෙහේ මෙහේ. මං මෙහේ. වටපිට බලලා හරියන්නේ නෑ. උඩ බලන්න." කතාකරන සද්දේ ආපහු ඇහුණා. හා පැටියා උඩ බැලුවා. ආ මේ ඉන්නේ ඉර මාමානෙ. හා පැටියා දිහා බලාගෙන හිනා වෙවී. 

"හා පැටියො...ඔය කරන වැඩේ නම් එච්චර හොඳ නෑ. මං බලාගෙන හිටියෙ. ඔහොම ගියොත් කැරට් පාත්තියම ගලවලා තමයි නතර වෙන්න වෙන්නෙ." ඉර මාමා කිව්වා. "ඉතින් ඉර මාමෙ. මගේ බඩට ගැලපෙන කැරට් අලයක් තාම හම්බ වුණේ නෑනෙ." හා පැටියාත් උත්තර දුන්නා. "එහෙම අපේ බඩේ ගානටම කැරට් අල හැදෙන්නෙ නෑ හා පැටියො. ඔයා ඔය හාරපු කැරට් වලින් එකක් අරන් කන්නකො. ඒක මදියි වගේ නම් තව එකක් කන්න පුළුවන්. ඒක වැඩියි වගේ හිතෙනවා නම් ඉතුරු ටික ගෙදර අරන් ගිහින් මල්ලිට දෙන්න පුළුවන් නේ. හරි සරලයි." ඉර මාමා පැහැදිලි කළා. "දැන් ඔය ගලවපු අල ටික ඔයාට විතරක් නෙවෙයි. ඔයාගෙ හා පවුලටම ඇති වෙයි. ඉතුරු ටික මතක ඇතුව යනකොට අරන් යන්න. හෙටත් කන්න අපි කැරට් අල ඉතුරු කරගන්න එපයි. නිකරුණේ කිසිම දෙයක් නාස්ති කරන්න හොඳ නෑ." ඉර මාමා තව දුරටත් කියාදීලා අයෙමත් අහසට ගියා. 

"කල්පනා කරලා බැලුවාම කාරණාව ඇත්ත තමයි. අපරාදෙ මම තව ගලවන්න ගියා නම් ඔක්කොම නාස්ති වෙනවා. හොඳ වෙලාවට ඉර මාමා මට කතා කළේ." හා පැටියාට හිතුණා. හා පැටියා කැරට් අලයක් කන්න පටන් ගත්තා. ම්ම්...රසම රසයි. තව එකක් කන්න නම් පුළුවන් වගේ. ඒක ගෙදර ගිහින්ම කනවා. එහෙම හිතපු හා පැටියා ඉතුරු කැරට් ටික එකතු කරලා මල්ලට දමා ගත්තා. ගෙදර යන්න පිටත් උනා. විටෙක නටමින් විටෙක පනිමින් කැරට් මල්ලත් අරන් ගෙදර යන හා පැටියා කිව්ව කවි මග දිගටම ඇහුණා. 

කැරට් කැරට් කැරට් 
තැඹිලි පාට කැරට් 
කන්න කන්න ආස හිතෙන 
හොඳම කෑම කැරට්...

රසම රසයි කැරට් 
ගුණම ගුණයි කැරට් 
හාවොන්ටම කන්න හැදෙන 
හොඳම අලේ කැරට්...

අමුවෙන් කන කැරට් 
සම සුරකින කැරට්  
ඇස් පෙනීම දියුණු කරන 
විටමින් පිරි කැරට්...

අදත් කන්නෙ කැරට් 
හෙටත් කන්නෙ කැරට් 
හාවො අපේ ජීවිතේම 
කැරට් කැරට් කැරට්....

© සිත්තර පැංචි 
2024-05-12

Saturday, May 11, 2024

141. කිමිදුම් සහ පියාසර

 

"ඔයාට කිමිදෙන්න පුලුවන්ද ?" කිමිදුම් පියාසර ගෙන් ඇහුවා. 
"මට කිමිදෙන්න නම් බෑ. හැබැයි පියාඹන්න පුළුවන්." 
 පියාසර කිමිදුම් ට පිළිතුරු දුන්නා.

"ඔයාට පියාඹන්න පුලුවන්ද? " පියාසර කිමිදුම් ගෙන් ඇහුවා. 
"මට පියාඹන්න නම් බෑ. හැබැයි කිමිදෙන්න පුළුවන්." 
 කිමිදුම් පිරාසර ට පිළිතුරු දුන්නා.

"නිවාඩු කාලේ අපි වැඩක් කරමුද? " කිමිදුම් පියාසර ගෙන් ඇහුවා. 
"කරමු කරමු. මොකක්ද වැඩේ?" පියාසර කිමිදුම් ගෙන් ඇහුවා. 

 "ඔයාට මට පියාඹන්න උගන්නන්න. 
  මං ඔයාට කිමිදෙන්න උගන්නන්නම්. 
  අපි පුළුවන් දේවල් හුවමාරු කර ගනිමු. 
  බැරි දේවල් පුරුදු වෙමු." 
  කිමිදුම් පිරාසරට කිව්වා.

 "අන්න හොඳයි. හොඳ අදහස. අදම පටන් ගමු." 
  පියාසර කැමැත්ත පල කළා. 

 යාළුවො දෙන්නා එදා ඉදලා හැමදාම මුණ ගැහුණා. 
 කිමිදුම් පියාසර ට කිමිදෙන්න ඉගැන්නුවා. 
 පියාසර කිමිදුම් ට පියාඹන්න පුරුදු කළා.

 නිවාඩු කාලේ ඉවර වෙද්දී කිමිදුම්ට හොඳට පියාඹන්න පුළුවන්. 
 පියාසරට හොඳට කිමිදෙන්න පුළුවන්. 

 නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්තා.
 ගුරුතුමී දෙන්නාටම බොහොම ප්‍රශංසා කළා. 
 "හැමෝම කිමිදුම්වයි පියාසරවයි ආදර්ශයට අර ගන්න ඕනේ."
 ගුරුතුමී අනිත් ඩොල්ෆින් ළමයින්ටත් උපදෙස් දුන්නා.

 කිමිදුම්ටත් පියාසරටත් බොහොම සතුටුයි. 
 දෙන්නා බොහොම ආදරෙන් එකිනෙකා වැළඳ ගත්තා. 

 පන්තියේ ළමයි නොනවත්වා අත්පුඩි ගැසුවා.
 හුඟ වෙලාවක් යනකන් ඒ සද්දේ අවට දෝංකාර දිදී ඇසුණා.


 © සිත්තර පැංචි 
 2024-05-11

Friday, May 10, 2024

140. කොළපට්ටා බූම්

පැංචිගේ හොඳම යාලුවා තමයි කුකූ. මේ නිවාඩු කාලේ කුකූගේ  ලොකුම රාජකාරිය තමයි පැංචි එක්ක සෙල්ලම් කරන එක. මේ සෙල්ලම් වලිනුත් මේ දෙන්නා වැඩියෙන්ම කරන්නේ කොළපට්ටා බූම් එකේ යන සෙල්ලම. ගහෙන් ගැලවිලා වැටුණු පුවක් අත්තක් අරන් ඒකෙ නාරටියේ කොළ ටික ගලවලා දාලා මේ කොළපට්ටා බූම් එක මේ දෙන්නාට හදලා දුන්නෙ ආච්චම්මා. 

කුකූ මුල් කාලේ කොළපට්ටා බූම් එකේ යන්න බය වුණා. උස්සගෙන ඇවිත් බලහත්කාරෙන් සීට් එකේ වාඩි කෙරෙව්වත් කුකූ නෙවෙයි ඒකෙ ඉන්නෙ. ඒ සැණින් පැනලා අහකට දුවනවා. ඒකටත් එක්ක දැන්. පැංචි කොලපට්ටා බූම් එක ගන්නකොටම කුකූ ඇවිත් සීට් එකේ වාඩි වෙනවා. කුකූ ඒ තරම් ආසයි මේ බූම් එකේ යන්න.



හැමදාම මේ බූම් එකේ රියදුරුතුමිය වෙන්නේ පැංචි. කුකූ බූම් එකට නැග්ග ගමන් පැංචි එයාගෙන් යන තැන අහලා ටිකට් එකක් දෙනවා. ඊට පස්සේ තමයි ගමාන්තයට පරිස්සමින් එක්කගෙන ගිහින් බස්සන්නේ. ඒත් එක දවසක් කුකූට මේ රියදුරු රස්සාවට ආස හිතුණා. එදා බූම් එක එලියට ගත්තාට කුකූ නෙවෙයි ඒකෙ වාඩි උනේ. කුකු කොළපට්ටා බූම් ඒකෙ නැට්ටෙන් අල්ලාගෙන පැංචිට ඒකෙ වාඩි වෙන්න කිව්වා. පැංචිට එක පාරටම ඒක තේරුණේ නෑ. ඒ පාර කුකූ ගිහින් පැංචිගේ ගවුමෙන් ඇදගෙන එක්ක ඇවිත් බූම් එකේ සීට් එකෙන් වාඩි කෙරෙව්වා. වාඩි කරවලා පාර දිගේ කඩුල්ල ලඟට ගිහින් ගේ වටේ රව්මෙන් ගිහින් කුස්සියේ දොරකඩ ලඟින්ම බහින්න ටිකට් එකකුත් දුන්නා. දැන් කුකූ ගේ ලෑස්තිය බූම් එක ඇදගෙන යන්න.

කුකූ බූම් එක කටින් අල්ලලා ඇද්දා. අපොයි බූම් එක හෙලවුනේවත් නැහැ. ඒ පාර කුකූ කකුල් දෙක පස්සට දාලා හොඳට වීරිය අරගෙන ආපහු පාරක් බූම් එක ඇද්දා. අනේ ඒත් වෙනසක් නෑ. කෝ මේ පැංචි පුංචියට හිටියට හරි බරයි වගේ. දැන් මොකද කරන්නෙ. කුකූ කල්පනා කළා. ආ හරි. කුස්සියෙ පිඟානේ මාළුයි බතුයි තව ටිකක් ඇති. කුකූට මතක් උනා. කුකූ දුවලා දුවලා ගිහින් බත් කාලා ආවා. දැන් නම් ශක්තිය ලැබිලා ඇති. හයියෙන් අදින්න ඕනෑ. කුකූ පුළුවන් තරම් හයියෙන් වෙර වීරිය අරගෙන බූම් එක ඇද්දා. යන්තම් හෙලවුනා විතරයි ඒත් පොඩි දුරක් වත් ගියේ නම් නෑ. 

හරි වැඩේ. දැන් මොකෝ කරන්නෙ. කුකූ කල්පනා කළා. ආච්චම්මා කුස්සියේ උයනවා. කුකූට අදහසක් ආවා. කුකූ කුස්සියට දුවලා ගියා. ආච්චම්මාගේ වටේ කැරකි කැරකි මොනවාදෝ කිව්වා. මිදුලට යන්න කතා කළා."යන්න යන්න එළියට කුකූ. මන් තාම උයලා ඉවර නෑ."ආච්චම්මා කිව්වා. ඒ පාර කුකූ ආච්චම්මාගේ දිග සායෙන් අල්ලලා ඇද්දා. "මොකද කුකූ කොහෙ යන්නද මේ කතා කරන්නෙ. කවුරුහරි අමුත්තෙක් වත් ගෙදරට ඇවිල්ලද ?" එහෙම අහගෙන ආච්චම්මා කුස්සියෙන් එලියට ආවා. කුකූ නැට්ට වනමින් ආච්චම්මාගේ සායෙන් ඇදගෙන මිදුලට එක්ක ගියා. කොලපට්ටා බූම් එක ලඟට ගිහින් බැව් බැව් කිව්වා. ආච්චම්මාට කාරණාව තේරුණා. 

"අනේ අනේ. දෙන්න එක්ක එකතු වෙලා මාව සෙල්ලමට ගන්න නේද? හොඳයි වැඩේ." ආච්චම්මා බොරු කේන්තියක් පෙන්නමින්ම කොළපට්ටා බූම් එක අදින්න ලෑස්ති උනා. කුකූ දුවලා ගිහින් කොණකින් අද්දා. කොළ පට්ටා බූම් එක හෙමින් හෙමින් පටන් ගෙන ටික ටික වේගේ වැඩි කරමින් යන්න පටන් ගත්තා. නමුත් හරි වැඩේ. ටික දුරක් යද්දිම කුකූට රියදුරු රස්සාව එපා උනා. මගියෙක් වෙන්න ඕනෑ උනා. කුකූ පැංචිගේ උකුල උඩට පැන්නා. හරි බරි ගැහිලා සීට් එකේ වාඩි උනා. රියදුරුතුමිය වංගු ගනිමින් බ්රේක් ගසමින් ඉතා දක්ෂ ලෙස කොළ පට්ටා බූම් එක පැදෙව්වා. බුම් එක ගේ වටේ වේගෙන් සැර දමමින් ගමන් කළා. ගමන කොච්චර විනොදජනකද කියනවා නම් දෙන්නාටම බහින තැනත්  අමතක උනා.

© සිත්තර පැංචි 
2024-05-10

Thursday, May 9, 2024

139. හැංගි මුත්තං

උදේ පාන්දර ඉර ලස්සනට පායලා. පළාතම හරි එළියයි. සමනලයා පාවි පාවි නැලවි නැලවි මල් ගොමුවට ආවා. පැණි ටිකක් බීලා බන්ඩි ගෙඩිය පුරවාගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. එහෙට පියාසැලුවා. මෙහෙට පියාසැලුවා. වට රවුම් ගියා. කරණම් ගැහුවා. මල් උඩින් ගියා. මල් යටින් ගියා. සමනලයගේ  සෙල්ලම බලන්න ලස්සනයි.

අහසෙ පාවෙමින් හිටිය වළාකුලක් මේක දැක්කා. එයාටත් පොඩ්ඩක් සමනලයා එක්ක සෙල්ලම් කරන්න ආසාවක් ආවා. වලාකුල හිමින් හිමින් පහලට පාවෙලා ඇවිත් සමනලයා ලඟට කිට්ටු කළා. "යාලුවේ මාත් එන්නද සෙල්ලම් කරන්න". වළාකුල සමනලයාගෙන් ඇහුවා. "හරි ශෝක්නෙ. එන්න එන්න. මාත් මේ යාළුවෙක් එනකං තමයි හිටියෙ." සමනලයා හිනා වෙලා කිව්වා. "මොකක්ද ඉතින් අපි කරන සෙල්ලම?" ඉක්මනින් සෙල්ලමක් පටන් ගන්න ආසාවෙන් සමනලයා වලාකුලෙන් ඇහුවා. "අපි හැංගි මුත්තං කරමු." වළාකුල කිව්වා. "අන්න වැඩේ. මං කැමතියි. හැංගි මුත්තං හැංගියෝ....නොපෙනෙන තැනක හැංගියෝ...." සමනලයා සිංදුවකුත් කියමින් සතුට ප්‍රකාශ කළා.

"මම ඇස් දෙක වහගෙන විස්සට ගණින්නම්. ඔයා ඉස්සෙල්ලා හැංගෙන්න." වළාකුල සමනලයාට කිව්වා. වළාකුල ඇස් වහ ගත්තා. "එක දෙක තුන හතර ...." වලාකුළ ගණන් කරන අතරේ සමනලයා ඉක්මනට ඒ ලඟම තිබුණු සුවඳ මලක පෙත්තකට මුවා වෙලා හැංගුනා. වළාකුල තාම ගණන් කරනවා.

මේ අතරේ පාඩම් මේසෙ උඩ තියෙන මල් පෝච්චියට දාන්න අලුත් මලක් කඩාගන්න හිතාගෙන පැංචි ගෙදරින් එළියට ආවා.. හැංගිමුත්තන් සෙල්ලම ගැන කිසිම දෙයක් නොදන්නා පැංචි සමනලයා හැංගිලා හිටිය මල නටුවෙන් කඩා ගත්තා. ගේ ඇතුලට අරන් ගිහින් පෝච්චියට දැම්මා..

වළාකුල ගණන් කරලා ඉවර වෙලා ඇස් ඇරියා. සමනලයාව හොයන්න පටන් ගත්තා. "මේ හොර ගෙඩියා කොහේ හැංගුනාද මන්දා." එහෙම හිතන ගමන් වළාකුල සමනලයාව හැම තැනම හෙව්වා. මල් ගොමුව පුරාම හෙව්වා. ඒත් සමනලයා හොයා ගන්න නම් බැරි උනා. දැන් මොකද කරන්නෙ. වළාකුල කල්පනා කළා.

ඔහොම කල්පනා කරද්දී පැංචි කඩාගෙන ගිය මලේ ඉතිරි වෙලා තිබුණු නටුව වළාකුල දැක්කා. "කෝ මෙතන තිබුණු මල? කවුරුහරි කඩාගෙන ගිහින් වගේ. ඒ මල හොයාගෙන ගිහින් බලන්න ඕනේ." වළාකුල හිතුවා. ඒත් කොහොමද මම ඒ මල හොයාගන්නෙ. කවුරු කොහෙට අරන් ගියාද දන්නෙ නැහැනේ. වළාකුල පොඩ්ඩක් කල්පනා කළා. හොඳ අදහසක් හිතට ආවා.

මල නැති උනාට ඒ අවට තවමත් මල් සුවඳ රැඳී තිබුණා. මල් සුවඳ දිගේ ඉව කරමින් වළාකුල පා වුනා. මල් ගොමුව ඇතුලේ පාවුණා. මල් ගොමුවෙන් එළියට පාවුණා. ඊට පස්සේ ගේ පැත්තට පාවුණා. අන්තිමට මල් සුවඳ දිගේ පාවෙලා පාවෙලා ගිහින් පැංචි ගේ පාඩම් මේසෙ ළඟටම ආවා. "ආ මේ පෝච්චියේ දාල තියෙන්නේ මං හොයපු මල තමයි." වළාකුල හෙමින් හෙමින් මලට කිට්ටු වෙලා විපරම් කළා. ඔන්න එතකොට මලේ පෙති අස්සෙන් සමනලයාගේ පිහාටුවක කෙළවරක් පෙනුණා. වළාකුල හරිම සීරුවට පරිස්සමින් මල් පෙත්ත උස්සලා බැලුවා. මේ ඉන්නෙ චණ්ඩියා. "දැක්කා දැක්කා...එළියට එන්නෝ...එළියට එන්නෝ...." වළාකුල අත්පුඩි තලලා සමනලයාට කතා කළා. සමනලයා හිනා වේවි එලියට ආවා.

"ඔයා දක්ෂයි. මං හිතුවේ මාව හොයාගන්න බැරි වෙයි කියලා.පැංචි අක්කා මාව අරන් යද්දිත් මම හෙලවෙන්නෙම නැතුව හිටියේ ඔයාට හොයාගන්න බැරි වෙන්න." මල් ගොමුවට යන ගමන් සමනලයා වලාකුලට කිව්වා. "මෙන්න මෙයා තමයි මට උදවු කලේ. ඔයාව හොයාගන්න. නැත්නම් මම තාමත් හොයනවා." හිනා වේවි එහෙම කියන ගමන් වළාකුල එයාගෙ ඔළුවට ඇඟිල්ල තියලා සමනලයාට පෙන්නුවා. ඒකට නම් සමනලයාටත් හිනා ගියා. "හෙට සෙල්ලම් කරද්දී පැංචි අක්කාටත් කතා කරමු නේද. නැත්නම් හෙටත් ඔයාව අරන් ගිහින් පෝච්චියේ දා ගනියි." වළාකුල කිව්වා.දෙන්නාම අයෙමත් මහ සද්දෙට හිනා වුණා. හෙට උදේ නැවත හමුවන පොරොන්දුව පිට අළුත් යාළුවො දෙන්නා සිනාසෙමින්ම විසිර ගියේ කියන්න බැරි තරම් සතුටින්.

© සිත්තර පැංචි 
2024-05-09


Wednesday, May 8, 2024

138. සුවඳ කුමාරි

වෙලාව හවස පහයි. උදේ ඉඳලම සුවඳ හදලා හදලා සුවඳ කුමාරිට හරි මහන්සියි. සුවඳ කුමාරි වැඩ නවත්තලා මාළිගාවෙන් එළියට ආවා. පොඩි විවේකයක් ගන්නත් එක්ක වළාකුලක් උඩ සනීපෙට වාඩි වෙලා පහල බලාගෙන හිටියා. ඉර බැහැගෙන යන්න කිට්ටු නිසා අහස රත්තරන් පාට වෙලා. මුළු පළාතම හරිම ලස්සනයි. 

ටිකකින් කවුදෝ ඈතින් එනවා වගේ පෙනුණා. සුවඳ කුමාරි ඒ දිහා බලන් හිටියා. ඈතින් ආපු කෙනා ටික ටික කිට්ටු උනා. "ආ... මේ පාට කුමාරිනෙ. කොහේ ගිහින්ද මේ හති දාගෙන එන්නෙ? සුවඳ කුමාරි පාට කුමාරිගෙන් ඇහුවා.  

"මම උදේම මල් පෙති පාට කරන්න ගියානෙ. දැන් තමයි මේ වැඩ ඉවර වුණේ." පාට කුමාරි දාඩිය පිස දමමින් සුවඳ කුමාරිට කිව්වා. "අන්න අර පේන හෙන්දිරික්කා මල් යාය තමයි මම අන්තිමට පාට කලේ. ඔයාට පේනවා නේද ඒවායේ පාටවල ලස්සන. මම ඒවා එක එක පාටවලින් පාට කළේ හරිම ආසාවෙන්." පාට කුමාරි සුවඳ කුමාරිට පහල හෙන්දිරිකා මල් යාය පෙන්නන ගමන් කිව්වා.


"ඇත්ත තමයි. පුදුම තරම් ලස්සනයි. ඔයා හරි දක්ෂයිනේ " සුවඳ කුමාරි පාට කුමාරිට කිව්වා. පාට කුමාරි ලස්සන හිනාවක් පෑවා. "මං එහෙනං ගිහින් එන්නම්. හෙට උදේම ආපහු වැඩ පටන් ගන්න තියෙනවනේ." පාට කුමාරි යන්න ලෑස්ති වෙලා වලාකුලට නැග්ගා. "හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න. ඔයා දැන් ගියාම රෑට පිපෙන මල් පාට කරන්නේ කවුද ?" සුවඳ කුමාරි පාට කුමාරිගෙන් ඇහුවා. "එයාලාට පාට ඕන නෑ අනේ. දැන් ඉර මාමා ගියාම පාට කලත් එයාලව කොහොමත් පේන්නෙ නෑනේ. ඇරත් මට හොඳටම මහන්සියි." සුවඳ කුමාරිට සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කළ පාට කුමාරි ඒ ටික කියාගෙනම යන්න ගියා.

සුවඳ කුමාරිට පොඩි දුකක් දැනුණා. ඉර මාමා ගියාට හඳ මාමා එනවානේ. රෑට පිපෙන මල් වලටත් පාට පොඩ්ඩක් දාලම ගියා නම් කොච්චර හොඳද? ඒත් ඉතින් පාට කුමාරි මහන්සි වෙලානෙ ගියෙ. සුවඳ කුමාරි කල්පනා කලා. රෑට පිපෙන මල් පව්. සුවඳ කුමාරිට හිතුණා. මට පුළුවන් නම් මං ගිහින් එයාලව පාට කරනවා. කෝ ඒත් මම පාට හදන්න දන්නෙ නෑනෙ. මම දන්නෙ සුවඳ හදන්න විතරනෙ. සුවඳ කුමාරි රෑ වෙනකන්ම කල්පනා කළා. 

රෑ වෙද්දී සුවඳ කුමාරිගෙ දුක වැඩි උනා. ඒ හින්දාම රෑට පිපුණු මල් බලන්න සුවඳ කුමාරි පහලට බැස්සා. මගෙ අම්මෝ. පිපිච්ච මල් ගොඩ. සේපාලිකා, සමන්පිච්ච, රෑ කුමාරි, කඩුපුල්, ඇට්ටේරියා ....නම් දන්න නොදන්න මල් ජාති මහා ගොඩක් පිපිලා හිනා වේවි ඉන්නවා. ඒ අතරට පොකුණේ කුමුදු මලුත් පිපිලා. හරිම ලස්සනයි. එයාලා සුදු පාට පෙති දිග ඇරගෙන සුවඳ කුමාරි දිහා බලන් හිටියේ හරියට පාට ටිකක් ඉල්ලගන්න වගේ. සුවඳ කුමාරිට හොඳ අදහසක් ආවා. පාට නැති උනාට මොකෝ. මට පුළුවන් නේ මෙයාලට මම හදපු සුවඳ ජාති බෙදලා දෙන්න. සුවඳ කුමාරි හිතුවා.


සුවඳ කුමාරි එක එක මල් ළඟට ගියා. ඒ හැමෝටම සුවඳ කුමාරි එයාම හදපු සුවඳ වලින් ටික ටික බෙදා දුන්නා. ඒත් එක්කම හැම මලකින්ම මිහිරි සුවඳක් හැමුවා. දැන් නම් මුළු පලාතම හරිම සුවඳයි. මල් වලින් පටන් ගත්ත මිහිරි සුවඳ වටේට වටේට ගිහින් ඈතට ඈතට ගිහින් උඩට උඩට ගිහින් හඳ මාමා ගාවට එනකල්ම හැමුවා. 

සුවඳ බෙදලා ඉවර වුණු සුවඳ කුමාරි යන්න ලැස්ති වෙලා මල් වලට අත වැනුවා. "බොහොම ස්තුතියි සුවඳ කුමාරි...පරිස්සමින් ගිහින් එන්න." මල් ඔක්කොම එක හඬින් සුවඳ කුමාරිට සමු දීලා සුවඳ කුමාරි ඈතට ඈතට ගිහින් අහසේ නොපෙනී යනකන්ම බලාගෙන හිටියා. අද තමයි මං වැඩියෙන්ම සතුටු උන දවස. ඈතට පාවෙලා යන ගමන් සුවඳ කුමාරි හිතුවා. 

© සිත්තර පැංචි 
2024-05-08 

137. පාට ගෑම



පැංචි පින්තූර පොත ගත්තා. පාට කරන්න ලෑස්ති වෙලා දවසට නියමිත පිටුව පෙරළුවා. දකුණු අත පැත්තේ පිටුවේ ලේනෙක් හිටියා. වම් අත පැත්තේ පිටුවේ හාවෙක් හිටියා. මේ දෙන්නාගෙන් කවුද ඉස්සෙල්ලම පාට කරන්නෙ. පැංචි කල්පනා කළා. 

පැංචි ලේනා දිහා බැලුවා. "අනේ මාව පාට කරන්නකො." ලේනා පැංචි ට කිව්වා. පැංචි හාවා දිහා බැලුවා. "අනේ මාව පාට කරන්නකො" හාවාත් කිව්වා. දැන් මොකද කරන්නෙ. මං කොහොමද මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්නේ. පැංචිට හරි ප්‍රශ්නයක්. 

පැංචි පාට පැන්සලෙන් ඔලුවට තට්ටු කළා. අනේ මගේ ටිකිරි මොළේ. මට අදහසක් දෙන්නකෝ. පැංචි කිව්වා. මෙන්න එතකොටම පැංචිට නුවණක් පහල උනා. "හරි මම දැන් ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් තෝරාගන්න යන්නේ පොඩි සෙල්ලමක් කරලා. එතකොට කාටවත් අසාධාරණයක් නෑ. ඔයාල දෙන්නම ඒකට කැමතිද? " පැංචි ලේනාගෙනුත් හාවාගෙනුත් ඇහුවා. දෙන්නාම ඒකට කැමැත්ත පල කළා. 

හරි එහෙම නම් ඔන්න පටන් ගමු. හාවාගේත් ලෙනාගේත් ඔලුවට ඇඟිලි තියමින් පැංචි තාලෙට මෙහෙම ගායනා කළා. 

"ටක් ටුක් ටික් මං යන්නේ 
 කොයි පාරෙන්දෝ ... 
 කොතැනින් ගියත් මං නවතින්නේ.... 
 මෙන්න... මෙතන... ලු..." 

කවිය ඉවර වෙද්දී ලේනා ගාව පැංචිගේ ඇඟිල්ල නැවතුණා. ඒ කියන්නේ පැංචිට ඉස්සෙල්ලාම පාට කරන්න වෙන්නේ ලේනා.. ලේනා ට ලොකු හිනාවක් ගියා. හාවා අත්පුඩි ගැසුවා. 

පැංචි ලේනාගේ පින්තූරය පාට කළා. ඒක ඉවර වෙලා හාවාගේ පින්තූරයත් පාට කළා. "ඔයා හරි ලස්සනයි". ලේනා හාවාට කිව්වා. "ඔයත් හරි ලස්සනයි". හාවා ලේනාට කිව්වා. "ඔයාලා දෙන්නාම හරි ලස්සනයි." පැංචි කිව්වා. තුන් දෙනාම බොහොම සතුටු වුණා.

© සිත්තර පැංචි 
2024-04-28 

අලුත් සිතුවම්

145. වෙසක් කූඩු