Sunday, September 25, 2022

112. වැරදුණු ඉලක්කය

ගඟට උඩින් ලස්සනට ඉර පායාගෙන ආවා. නෙලුම් කොලේ උඩ සැප නින්දක් නිදාගෙන හිටි ගෙඹි පැංචා උදෙන්ම අවදි වුණා. වට පිට බැලුවා. වටේටම නෙලුම් මල් පිපිලා. හරිම ලස්සනයි. ගෙඹි පැංචා රෙබෙක් රෙබෙක් කියලා පටන් අරන් ලස්සන සිංදුවක් කියන්න පටන් ගත්තා.ගඟේ සෙල්ලම් කර කර හිටිය මාළු යාළුවොන්ට මේ සින්දුව ඇහුණා. කවුද මේ සංගීතකාරයා කියලා හොයාගන්න ඒ ගොල්ලෝ පොඩ්ඩක් වතුරෙන් උඩට ඔළුව දාලා බැලුවා. ගෙඹි පැංචා කට පළල් කරලා ලස්සනට හිනා වුණා. එන්න සෙල්ලම් කරන්න. ගෙඹි පැංචා මාළු යාලුවන්ට කතා කළා. ඉතින් ඔන්න කට්ටිය එක්ක එකතු වෙලා අලුත් සෙල්ලමක් පටන් ගත්තා.මොකක්ද දන්නවද සෙල්ලම. ඒ තමයි දුර පැනීම. ගෙඹි පැංචා නෙලුම් කොලෙන් කොලේට පනිනවා. මාළු යාළුවෝ එයා පැනපු දුර මැනලා ලකුණු දෙනවා. එක හරිම අපූරු සෙල්ලමක් නේද යාලුවනේ.

ඉතින් ඔන්න මේ විදියට කට්ටිය සෙල්ලම් කරන අතරතුරේ තව එක්කෙනෙක් මේ සෙල්ලම දිහා බලාගෙන හිටියා. හැබැයි ඒ සෙල්ලම් කරන්න ආසාවෙන් නම් නෙමෙයි. මේ  සෙල්ලමට සහභාගී වෙන්න එයාට කිසිම කැමැත්තක් තිබුණේ නෑ. එයා  හිටියෙ හොඳටම බඩගිනි වෙලා. ගඟට නැමුණු මාර ගහේ අත්තක් දිගේ බඩගාගෙන ගිහින් අත්ත කෙලවරේ තිබුණු කුරුළු කුඩුවෙන් කුරුළු බිත්තරයක් හොරකම් කරගන්න තමයි එයා යමින් හිටියේ. ඒ කවුද දන්නවද? ඒ තමයි ගැරඬි අයියා. යමින් ගමන් පහල බලද්දි මාලුවොත් එක්ක සෙල්ලම් කරන ගෙඹි පැංචා දැක්ක එයාගෙ බඩගින්න තව තව වැඩි වුනා. අත්ත දිගේ අමාරුවෙන් ඇඟ හම යනකන් බඩගාන්නේ මොකටද? රස කෑමක් ළඟම තියෙද්දි.  ගැරඬි අයියාට කල්පනා වුනා. ගෙඹි සුවඳ වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. ගැරඬි අයියා හරිම කෑදරෙන් එයා දිහා බලාගෙන එයාව ගිලලා දාන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්නවා කියලා ගෙඹි ගෙඹි පැංචා දන්නේ නැහැ. එයා මාලුවොත් එක්ක දිගටම සෙල්ලම් කරා. 

ටික වෙලාවක් යද්දි ගැරඬි අයියාට උපායක් ආවා. එයා නැට්ටෙන් උඩ මාර අත්තේ එල්ලිලා ඔලුව ටික ටික පල්ලෙහාට දාලා ඇඟ දිග ඇරියා. දැන් ගැරඬි අයියා වැලක් වගේ මාර ගහේ අත්තේ ඉඳන් ගඟ දිහාවට එල්ලෙනවා. ඉතින් ඔන්න ගැරඬි අයියා අමාරුවෙන් දෙපැත්තට පැද්දි පැද්දි  එල්ලිලා ඉඳගෙන ගෙඹි පැංචා හිටපු නෙලුම් කොලේට හරියටම මැනලා ඉලක්කේ අර ගත්තා. ඊට පස්සේ පුලුවන් තරම් නැට්ටෙන් දික් වෙලා කට ඇරගෙන දිව එලියට දාගෙන ගෙඹි පැංචා අල්ලගන්න පනිනකොටම මොකද වුනේ? ගෙඹි පැංචා ඊගාව නෙලුම් කොළේට පැන්නා. හරි වැඩේ. ගැරඬි අයියාගේ ඉලක්කේ වැරදුනා. යන්තම් අත්තෙන් බිමට නොවැටී බේරුණා. හැබැයි ඉතින් ගෙඹි පැංචා ගේ පැනපු පිම්ම නම් මල් හතයි. ඒක කොයි තරම් අපූරුද කියනවානම් මාළු යාළුවෝ හයියෙන් අත්පුඩි ගහලා ලකුණු දහයක්ම දුන්නා. ගැරඬි අයියාට හරිම තරහයි. කේන්තියි. මේ විදියට කීප පාරක්ම උත්සාහ කලත් ඉලක්කේ වැරදුණා. ගැරඬි අයියාට ගෙඹි පැංචා අල්ලගන්න බැරි වුනා. 


දැන් නම් ගොඩක් වෙලාවක් ගහේ එල්ලිලා ඉඳලා ගැරඬි  අයියාගේ නැට්ටත් රිදෙනවා. ඇඟත් කැක්කුමයි. මේක හරියන්නේ නෑ. වතුර යටින් ගිහින් නෙලුම් කොලයක් යට හැංගිලා ඉඳලා ගෙඹි පැංචා අල්ලගන්න ඕනෙ. ගැරඬි අයියාට අලුත් කල්පනාවක් පහල වුනා. ඉතින් පුළුවන් ඉක්මනට ගහෙන් පහලට බැහැගත්ත ගැරඬි අයියා හෙමින් සැරේ වතුරට බැස්සා. කාටවත් නොපෙනෙන්න වතුර යටින් පීනලා ගිහින් නෙලුම් කොලයක් යට හැංගිලා ගෙඹි පැංචා ඒ කොලේට පනිනකන් බලාගෙන හිටියා. ඔන්න දැන් හරි. ගෙඹි පැංචා රටාවේ පිළිවෙලට නෙලුම් කොළ පේලියක් පැනගෙන පැනගෙන ඇවිත් ඊ ලඟට පනින්න තියෙන්නේ ගැරඬි අයියා හැංගිලා ඉන්න කොලේ උඩට. නෙලුම් කොලේට පැනපු ගමන් ගෙඹි පැංචා මගේ බඩේ ඉඳීවි. ගැරඬි අයියාට තව මොහොතකින් සිද්ද වෙන දේ කල්පනා වෙලා ලොකු හිනාවකුත් ගියා. ඔන්න ඉතින් ගැරඬි අයියා සතුටින් හිනා වේවි තමන්ගේ රසම රස ගෙඹි කෑම එක නෙලුම් කොළ පිඟානට වැටෙනකන් කෙළ හල හලා බලාගෙන හිටියා.   

ඒත් හරි පුදුම වැඩක් තමයි ඊළඟට වුණේ. එක පාරටම ගැරඬි අයියා හිටිය නෙලුම් කොලේ ගාවින් බුබුළු දමන්න පටන් ගත්තා. හයියෙන් වතුර කැලතෙන සද්දයක් ඇහුණා. කැළඹීම එන්න එන්න වැඩි වුනා. මොකක් වෙනවද කියලා ගැරඬි අයියාට තේරුමක් නෑ. සූ ගාලා කවුරුහරි වතුර උඩට අදින සද්දයක් වගෙත්  ඇහුණා  ගැරඬි අයියාට මොකද වෙන්නේ කියල හිතාගන්නවත් බැරි වුනා. එක පාරටම එයා වතුර පාරකුත් එක්ක නෙලුම් කොලෙන් ඈතට ඇදිලා ගියා. ගැරඬි අයියාගේ හුස්මත් හිර වුනා වගේ. හොඳටම බයවුණු ගැරඬි අයියා තමුන් ළඟ තිබුණු වෙර වීරිය ඔක්කොම දාලා වතුර යට මඩෙන් උඩට මතු වෙලා  තිබුණු නෙලුම් අලයක් අල්ලලා බදාගත්තා. නෙලුම් අලේ බදාගෙන ඇස් පියා ගත්තා. ටික වෙලාවක් ගත වුනා. සද්දේ අඩු ටික ටික  වුණා.  ඒ වෙනකන් නෙලුම් අලේ එල්ලිලා හිටිය ගැරඬි අයියා හොඳ හුස්මක් අරන් මොකද වුනේ කියලා වතුරෙන් උඩට ඇවිත් බැලුවා. ඔන්න එතකොට තමයි දැක්කේ සද්ද්දන්ත අලි මාමා කෙනෙක් ගඟෙන් වතුර බීලා ලැසි ගමනින් ආපහු යන්න යනවා. තව පොඩ්ඩක් පහු වුනානම් ගෙඹි කෑම කොහොම වෙතත් ගැරඬි අයියා සද්දන්ත අලි මාමාගේ බඩේ.

ඉතින් මෙච්චර වෙලා ගෙඹි කෑම ගැනම කල්පනා කර කර හිටිය ගැරඬි අයියාට මතක් වුනා කෑමට වඩා තමන්ගේ ජිවිතේ වටිනාකම වැඩි බව. අනික පාඩුවේ සෙල්ලම් කර කර හිටිය අහිංසක ගෙඹි පැංචාව අල්ලාගෙන ගිලින්න හිතපු එකත් වැරදි වැඩක් තමයි. කම්මැලි නැතුව තව පොඩ්ඩක් කැලේ ඇතුලට ඇවිද්දා නම් ඕනෑවටත් වඩා කෑම හොයාගන්න තිබුනා නේද කියලා ගැරඬි අයියාට මතක් වුනා. ඉතින් ගෙඹි පැංචාට හිතේ හැටියට සෙල්ලම කරගෙන යන්න ඉඩ දීලා වෙන කෑමක් හොයාගන්න එක ඇඟට ගුණයි කියලා ගැරඬි අයියා අන්තිමට තීරණය කළා. එහෙම හිතපු ගැරඬි අයියා ආපහු පාරක් ගෙඹි පැංචා දිහා බලලා සුසුමක් හෙළලා හිත හදාගෙන නෙලුම් අලේ අත ඇරලා ආපහු ඉවුරට පීනන්න පටන් ගත්තා. පීනලා ඉවුරට ඇවිත් හෙමින් සැරේ කැලේ පැත්තට ඇදිලා යන්න පටන් ගත්තා. ඉලක්කේ වැරදිලා ගෙඹි කෑම අහිමි උනත් තමන්ගේ පණ බේරා ගන්න පුළුවන් වුන එක ගැන ගැරඬි අයියා ඇත්තටම හිටියේ සතුටින්. 


Tuesday, September 20, 2022

111. පැණි කොමඩු ගෙඩිය


ගමරාළ මාමාගේ කොරටුව තිබුණේ කන්ද උඩ. හා පැංචාගේ ගෙදර තිබුණේ කන්ද පහළ. එතැන පුංචි කැලයක්. කැලය කෙලවර ගඟ. හා පැංචා හැමදාම ගමරාලගේ කොරටුවට ගිහින් ඇති වෙන්න දළු කොළ කනවා. ඒ ගමරාල මාමත් හරි හොඳයි. "අපි වවන්නේ සතුන්ට කන්නත් එක්කම තමයි" කියා කියා හා පැංචාලාට කැමති විදියට ඇවිත් තමන්ගෙ කොරටුවෙන් කාලා බීලා යන්න ගමරාළ මාමා කිසිම බාධාවක් කලේ නැහැ. ඒක නිසා හා පැංචා මේ ගමරාළ මාමාගේ කොරටුවේ නිතර යන එන නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වුනා.

එක දවසක් ගමරාළ මාමගේ කොටුවේ ඇවිදින හා පැංචා විසාල පැණි කොමඩු ගෙඩියක් ඉදිලා තියෙනවා දැක්කා. පැණි කොමඩු ගෙඩිය දැක්කා විතරයි හා පැංචාගේ කටට කෙලත් ඉනුවා."ම්ම්ම් ...මේක ගොඩාක් රස ඇති." හා පැංචා තනියෙන් කල්පනා කළා. "ඒත් මට මේක තනියම මෙතන ඉඳන් කාලා ඉවර කරන්න බැහැනෙ. මේක අරන් යන්න ඕන ගෙදර." හා පැංචා කොමඩු ගෙඩිය ලඟට ගිහින් ඒක උස්සන්න හැදුවා. ඒත් ඒ විසාල පැණි කොමඩු ගෙඩිය හෙලවුනේවත් නැහැ. හා පැංචා තව ටිකක් හොඳට හුස්මක් අරන් පැණි කොමඩු ගෙඩිය බදාගෙන උස්සන්න හැදුවා. අනේ ඒත් පැණි කොමඩු ගෙඩිය නෙවෙයි ඉස්සුනේ. ටිකක් වෙලා කල්පනා කල හා පැංචාට ඔන්න උපායක් පහල වුණා. "හරි මම මේක කන්දෙන් පහලට පෙරළලා දාන්න ඕන. මේක එතකොට පෙරලි පෙරලි යයි. යන ගමන් ගෙදර ළඟින් නවතින්න කිව්වාම හරිනෙ." තමන්ට පහල වුණු ඉස්තරම් අදහස ගැන ආඩම්බර වුන හා පැංචා ඉක්මනට ගිහින් හොඳ හයිය ලීයක් හොයාගෙන ආවා. කොමඩු ගෙඩියනැට්ටෙන්  කඩලා ලීය කොමඩු ගෙඩියට යටින් තියලා ඉස්සුවා. ඊට පස්සෙ කන්දෙන් පහලට තල්ලු කළා. "අපේ ගෙදර ගාවින් නවතින්න හොඳේ. " කන්දෙන් පහලට පෙරලි පෙරලි යන පැණි කොමඩු ගෙඩියට හා පැංචා මහා හයියෙන් කෑ ගහලා කිව්වා.

කොමඩු ගෙඩිය හරි ලස්සනට පහලට පෙරළුණා. ඒත් ඒක හා පැංචාගේ ගෙදර ළඟ නැවතුණේ නැහැ. හා පැංචාගේ ගෙදරත් පහු කරන් දිගටම පෙරලි පෙරලි ගිය කොමඩු ගෙඩිය ජබුස් ගාලා ගඟට වැටුණා.වැටිලා ගඟේ පාවෙන්න පටන් ගත්තා.දැන් හරි වැඩේ. හැකි ඉක්මනට පිමි පැන පැන ගෙදරට දුවලා ආව හා පැංචා කොමඩු ගෙඩිය ගෙදර ඇවිල්ලද බැලුවා. ඒ උනාට කොමඩු ගෙඩිය ගෙදර කොහෙවත් තිබුණේ නැහැ. ගෙදර හැමෝම හා පැංචා එක්ක එකතු වෙලා කොමඩු ගෙඩිය හැම තැනම හෙව්වා. ඒත් හම්බ වුනේ නැහැ. බැරිම තැන හොයාගෙන හොයාගෙන කන්ද පහල ගඟ ළඟටම ආවා. ඔන්න එතකොට තමයි දැක්කෙ කොමඩු ගෙඩිය ගඟේ පාවෙනවා.

දැන් මොකද කරන්නෙ? හා පැංචා ආයෙම කල්පනාවට වැටුණා. ටිකකින් ඔන්න තව අදහසක් හා පැංචාගෙ ඔලුවට ආවා. ගඟේ ඉන්නවා හා පැංචාගේ යාළුවා ඉබි අයියා. ඉබි අයියේ ඉබි අයියේ කියා හා පැංචා මහා සද්දෙන් කතා කලාම ඔන්න ඉබි අයියා හානි හනික පීනාගෙන ඇවිත් ගං ඉවුරෙන් මතු වුණා. හා පැංචා ඉබි අයියාට විස්තරේ කිව්වා. "ආ මම ඕක විනාඩියෙන් තල්ලු කරගෙන ඉවුරටම ගේන්නම්කො." ගොඩබිම හෙමින් ගියාට මොකද ගඟේ පීනන්න නම් ඉබි අයියා හරි හපනා. කිව්වත් වගේ හරි ඉක්මනටම ඉබි අයියා කොමඩු ගෙඩිය තල්ලු කරගෙන පීනාගෙන ඇවිත් ඒක හා පැංචාට බාර දුන්නා.දැන් නම් හා පැංචාගේ පවුලේ හැමෝටම හරි සතුටුයි.

"දැන් එහෙනම් අපි ඔක්කොම එක්ක මේක පරිස්සමින් ගෙදර අරගෙන යමු. ස්තුතියි ඉබි අයියේ." හා පැංචා එහෙම කියලා ගෙදර ඔක්කොම එක්ක ආපහු කොමඩු ගෙඩිය කන්ද උඩට තල්ලු කරන්න හැදුවා. ඒත් ඉතින් වැඩේ අමාරුයි. හා පවුලේ කට්ටියම පුළුවන් තරම් වෙර වීරිය දාලා කොමඩු ගෙඩිය තල්ලු කරනවා.ඉබි අයියාත් බලාගෙන ඉන්නවා. මීට වඩා ලේසි ක්‍රමයක් ඇත්තෙම නැද්ද මේක ගෙනියන්න. ඉබි අයියාත් පොඩ්ඩක් කල්පනා කළා. හරිනෙ. ඉබි අයියාට යමක් මතක් වුණා. වහාම හා පැංචාට කතා කළා. "ඇයි දැන් ඔයාලා ඕක ගෙදර ගෙනියන්න මහන්සි වෙන්නෙ. ගෙදර හැමෝම ඉන්නෙ මෙතැනනේ. ඕක මෙතන ඉඳන්ම කෑවොත් නරකද?" ඉබි අයියා ඇහුවා. ඔන්න එතොට තමයි හා පවුලට තේරුණේ ඉබි අයියාගේ කතාව හරියටම හරි බව.

ඉතින් ඊට පස්සෙ කොමඩු ගෙඩිය ගෙදර අරන් යන අදහස අත ඇරලා දාපු හා පවුල ගං ඉවුරේම කොමඩු ගෙඩිය වටේට වාඩි වෙලා කොමඩු ගෙඩිය රස කර කර කෑවා. උත්සාහයෙන් යමක් ලබා ගත්තාම කොහොමත් එකේ රස ගුණ වැඩියි. කොමඩු නොකන ඉබි අයියාටත් හා පැංචා බලෙන්ම කොමඩු කටක් කැව්වා. ඇයි ඉතින් ඉබි අයියා නොහිටින්න අද හා පවුලට කොමඩු කන්න වෙන්නෙ නැහැනෙ. ඉතින් රසම රස පැණි කොමඩු කාලා බඩයි හිතයි දෙකම හරි හරියට පුරවගත්ත හා පවුල ඉබි අයියාට නැවත වතාවක් ස්තුති කරලා සන්තෝසෙන් ගෙදර ගියා.


Tuesday, September 13, 2022

110. මැජික් මාළුවෝ


බබී සීයාත් එක්ක වෙලේ යන්න හරි ආසයි. දවසක් බබී සීයාත් එක්ක වෙලේ යමින් ගමන් ඇළ ගාව පොඩ්ඩක් නතර වුණා. ඒ හරියේ කොරවක්කෝ ගොඩාක් ඉන්නවා. කොරවක්කා නාද කරන්නේ කුරුටු පුවාක් පුවාක් කියලනේ. මේ දෙන්නා ටිකක් නතර වෙලා මේ කොරවක් සින්දුව අහගෙන හිටියා. ඒ අතරේ බබී දැක්කා ඇළ පාරේ පැහැදිළි වතුරේ කළු පාට පුංචි මාළු පැටව් වගයක් පීන පීන ඉන්නවා. ඒක දැක්කම බබීට අදහසක් ආවා. මම මේගොල්ලෝ හතර පස් දෙනෙක් අල්ලාගෙන ගියා නම් මටත් මාළු ටැංකියක් හදන්න තිබුණා නේද කියලා බබීට කල්පනා වුනා. 

ඊළඟ දවසේ වේලට යනකොට බබී ගියේ ජෑම් බෝතලේකුත් අරගෙන. සීයා වෙලේ ඇවිදලා එනකන් බබී ඇළට බැහැලා මාළු ඇල්ලුවා. වැඩේ හිතුව තරම් අමාරු වුණේ නැහැ. පුංචි කළුපාට මාළු පැටව් හය දෙනෙක්ම අල්ලගන්න බබී ට පුළුවන් වුණා. බබී එයාගෙ මාළු ටික සීයාට පෙන්නුවා. "හරි අපූරුයි නේ. පේනවා නේද? එයාලා පීනුවාට එයාලාට වරල් නෑ. ලොකු ඔළුවයි දිග වලිගෙයි තමා තියෙන්නේ. ඒත් බලන්න පීනන අපූරුව. ඔය ඉන්නෙ මැජික් මාළුවෝ. සති දෙක තුනකින් ඔයාට  මැජික් එකක් බලන්න පුළුවන් ." කියලා සීයා කිව්වා. ඒක අහලා බබීට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම සීයා කිව්ව මැජික් එක බලාගන්නත් එයාට ලොකු ආසාවක් ඇති වුණා. ඒ හින්දා බබී මැජික් මාළු දාපු ජෑම් බෝතලේ අරගෙන ගෙදර ගියේ හරිම ආඩම්බරෙන්.

ගෙදර ගිය ගමන් සීයා බබී ට මාළු දාන්න ටැංකියක් හදලා දුන්නා. දැන් ඔන්න බබී ගේ දවසින් වැඩි හරියක් ගෙවෙන්නේ මේ මැජික්කි මාළු ටැංකිය දිහා බලාගෙන තමයි. අම්මා නම් සීයාගෙයි බබීගෙයි මේ වැඩේට එතරම් කැමැත්තක් තිබුණේ නෑ. මුල්ම දවසේ මැජික් මාළු ටික දැක්කා විතරයි අම්මාට ඊයා කියවුනා. ඊට පස්සේ ලොකු හිනාවක් ගියා. ඒ මොකද කියලා  බබී කීප පාරක් ඇහුවත් අම්මා නෙවෙයි කට හෙලෙව්වේ. "තව ටික දවසකින් ඔයාම බලාගන්නකෝ" කියලා අම්මා පැත්තකට වුනා. 

ඉතින් ඔහොම දවස් දෙක තුනක් ගත වුණා. එක දවසක් උදේ පාන්දර බබී මාළු ටැංකිය බලද්දී අර සීයා කිව්ව මැජික් එක සිද්ද වෙන්න පටන් අරන් බව එයාට තේරුණා. මොකද දන්නවද? එයාගේ මැජික් මාළුවන්ගේ වලිගෙ ලඟින්ම දෙපැත්තෙන් චූටි කකුල් දෙකක් ඇවිත්. බබී ඉක්මනට සීයාට කතා කළා. මැජික් එක පෙන්නුවා. "මං කිව්වා හරිනෙ. හොඳ හොඳ මැජික් තව ඉස්සහරට තමයි තියෙන්නෙ. " සීයා කිව්වා. බබීට ඉවසිල්ලක් නෑ. ඇයි ඉතින් මේ මැජික් මාළුවෝ ඊගාවට මොනවා කරයිද දන්නෙ නැහැනෙ. ඔහොම තව ටික දවසක් ගතවුණා. මැජික් මාළු ටික ටික ලොකු වුනා. දැන්නම් ඇඟ එක්ක බැලුවම ඔලුව ගොඩක් ලොකු වැඩියි වගේ. පෙනුමත් ගොඩක් වෙනස් වෙලා වගේ. මැජික් මාළුවෝ  වුනාම එහෙම වෙන්න ඇති කියලා බබී කල්පනා කළා.

ඔන්න ඉතින් තව සතියක් විතර යනකොට බබී ඊළඟ මැජික් එකත් දැක්කා. පුදුමෙක මහත. මැජික් මාළුවන්ට අත් දෙකකුත් ඇවිල්ලා. බබිට පුදුමයි. මේක නම් පුදුම වැඩක් තමයි. ලොකු  ඔළුවක්, කකුල් දෙකක්. අත් දෙකක්. වලිගයක් එක්ක පීනන මැජික් මාළුවෝ. මෙයාලා නම් ඇත්තටම මැජික් තමයි. මෙහෙම මැජික් එකක් නම් එයා කවදාවත් දැකලා නෑ. බබී ඉක්මනටම ගිහින් සීයාව අඬගහගෙන ඇවිල්ලා මැජික් එක පෙන්නුවා. සීයාට හිනාවක් ගියා. "දැන් ඉතින් තව එක දෙයි වෙන්න තියෙන්නේ. වලිගෙට මොකද වෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න." සීයා කිව්වා. එතකොට තමයි බබී හරියටම දැක්කේ. සීයා කිව්වත් වගේ මැජික් මාළුවන්ගේ වලිග දැන් ඉස්සර තරම් දිග නෑ. ටික ටික කොට වෙලා. ඉතින් සීයා කිව්ව විදියට තව දවස් හතර පහක් යනකන් බබී මේ මැජික් මාළුවෝ එයාලාගේ වලිග කොට කරගන්න විදිය බබී බලන් හිටියා.

ඔහොම ගිහින් එක දවසක් උදා වුනා. එදා තමයි දවස. බබිගේ ජිවිතේ කවදාවත් අමතක නොවන දවස. පුරුදු විදියටම එදාත් ඔන්න උදේ පාන්දර බබී මැජික් මාළුවෝ බලන්න මාළු ටැංකිය ලඟට ගියා. ගිය ගමන්ම මොකක්ද දන්නවද එයා දැක්කේ ? මෙන්න බොලේ කොහේදෝ ඉඳලා ආපු කැත ගෙම්බෙක් එයත් එක්ක හිනා වෙවී මාළු ටැංකිය උඩ වාඩි වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා. මේ මොන පුදුමයක් ද? කොහොමද මෙයා මගේ මාළු ටැංකිය උඩට ආවේ. බබී හිනාවෙන කැත ගෙම්බා දිහා සැරෙන් බැලුවා. බබී ගේ සැර මූණට බය වුනු ගෙම්බා හනික මේසේ යටට පැනලා හැංගුනා. බබී ඊළඟට තමයි ඔන්න දෙවෙනි පුදුමය දැක්කේ. බබිගේ මැජික් මාළු ටැංකියේ එක මාලුවෙක් අඩුයි. කලින් හයක් හිටියානෙ. දැන් ඉන්නේ පහයි. කෝ අනිත් එක්කෙනා.ලොකුම මැජික් මාළුවා නැති වෙලා. එයා ටැංකියේ කොහෙවත් නෑ. බබී ඉක්මනට සීයාට කතා කරගෙන ආවා. සීයා ට හරි හිනා. "ආ... ඔය පෙන්නලා තියෙන්නේ මැජික්. අඩු වෙච්ච එක්කෙනා තමයි කළින් මාළු  ටැංකිය උඩ ඉඳලා දැන් ඔය මේසේ යට හැංගිලා ඉන්නෙ." සීයා හිනා වෙවී කිව්වා. බබීගේ ඇස් උඩ ගියා. සීයා මොනවාද මේ කියන්නෙ කියලා හිතා ගන්න බැරි වුණා. 

ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඔන්න එයාගේ මැජික් මාළුවන්ගේ තරම බබීට  තේරුණේ. මාළු කියලා රැවටිලා එයා ඇලේ ඉඳලා අල්ලාගෙන ඇවිත් තියෙන්නෙ ඉස්ගෙඩි. මැජික් මාළුවෝ කියලා සීයා නම් දාපු ඉස්ගෙඩි අන්තිමේදී ගෙම්බෙක් වුන විදිය ඇත්තටම පුදුමයි. හරිම පුදුමයි. තවමත් බබීට ඒක ගැන පුදුමයි. අම්මට නම් හරිම හිනා. උදේ දැකපු මාළු මැජික් එකෙන් පස්සේ උදේ කෑමත් අමතක වෙලා සීයාත් එක්ක ගෙඹි ප්‍රාතිහාර්ය ගැනම කියව කියවා ඉන්න බබීට කතා කරපු අම්මා  "දැන් ඉතින් සීයත් එක්ක එකතු වෙලා ඔය කැත ගෙම්බෝ ටික ආපහු ඇළට ගිහින් දාන්න. දැනටමත් අන්න ඔයාගෙ පලවෙනි ගෙම්බා සාලේ මැද පැන පැන ඉන්නවා." කියලා කිව්වා. ඊට ටික වෙලාවකට පස්සේ  පොල්කටුවකින් වහගත්ත පුංචි කැත ගෙම්බා අතේ තියාගත්ත බබියි  බබීගේ ගෙඹි ටැංකිය උස්සා ගත්ත සීයයි ඇළ දිහාවට ඉක්මනින් ඉක්මනින් යනවා අම්මා හිනා වෙවී බලාගෙන හිටියා.   

Saturday, September 10, 2022

109. අඹ ගහ තරහ වෙලා


බබීගේ ගෙදර මිදුලේ පැත්තකට වෙන්න ලොකු අඹ ගහක් තිබුනා. ඒකෙ අතු හැම පැත්තටම විහිදිලා ගහ යට ගොඩක් හෙවනයි. ගහ යට වාඩි වෙලා විවේකයෙන් ඉන්න අඹ  ගහ යට බංකුවකුත් හදලා තිබුණා. හැමදාම මේ බැංකුව උඩ වාඩි වෙලා  අඹ ගහ එක්ක කතා කර කර ඉන්න එක බබීගේ පුරුද්දක්. අඹ ගහ එයාගෙ සුවඳ කොළ නලව නලවා බබීගෙ කතා අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අඹ මල් රේණු ගොඩාක් බබීගෙ ඔලුවට දාලා හිනා වෙනවා. අඹ ගහ බබීත් එක්ක ගොඩාරියක් යාලුයි. මේ යාළුකම හින්දාම  අඹ වාරෙට අහල පහල හැමෝටම බෙදන්නත් එක්ක මහා ගොඩාක් අඹගෙඩි බබීලාට හදලා දෙන්න තරම් මේ අඹගහ ගොඩාක් කරුණාවන්ත වුණා.  

ඔහොම ඉන්නකොට දවසක් ඔන්න සීයාබබීට අපූරු යෝජනාවක් ගෙනාවා. "අපි අඹ ගහ යට තක්කාලි පාත්තියක් දමමු." බබී සීයාගේ යෝජනාවට උඩින්ම කැමති වුණා. ඉතින්  ඔන්න සීයා බබත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම අඹගහ යට තක්කාලි පාත්තිය දාලා තක්කාලි පැල හිටෙව්වා. "ඔන්න ඔයාට දැන් අලුත් යාළුවො ඉන්නවා."  බබී අඹගහට කියද්දි අඹ ගහ හිනා වෙවී අහගෙන හිටියා. දැන් බබී අඹගහ යට බංකුවට ආවාම අඹගහ එක්ක වගේම තත්කාලි පැල එක්කත් කතා කරනවා. හිනා වෙනවා. ඉක්මනටම ගෙඩි දෙන්නකො කියලා කියනවා. අඹ ගහේ නම් දැනටමත් අඹ ගැට තියෙනවා. ඉතින් අඹ ගහටයි තක්කාලි පත්තියටයි දෙකටම වතුර දාලා පෝර දාලා වල් ගලවලා සාත්තු සප්පායම් කරන්න තියෙන නිසා බබීට දැන් වැඩ වැඩියි.  

ඔහොම ඉතින් සති දෙක තුනක් ගත වුනා. තක්කාලි පැල ඉක්මනින් ලොකු වුණා. මලුත් පිපුණා. ඉතින් ඔන්න දන්නෙම නැතුව ටිකින් ටික බබීගෙ හිත තක්කාලි පත්තියටම ඇදිලා ගියා. ලස්සනට සරුවැව වැවෙන තක්කාලි පාත්තියට බබීගේ ආදරේ වැඩි වුණා. අඹ ගහ එක්ක කතා කරන එක අඩු වුනා. එයා නිතරම තක්කාලි පාත්තිය එක්කම කාලේ ගත කරද්දී අඹගහ දුකෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඔහොම ඉද්දි අඹ ගහේ ගෙඩි පැහිලා ඉදෙන්නත් ලං වුනා. තක්කාලි පාත්තියත් ඉක්මනට ඉක්මනට කොලපාට ගෙඩි රතු පාටින් ඉදවන්න පටන් ගත්තා. බලන්න ලස්සනයි. ඒ ලස්සන හින්දමද කොහේදෝ  බබීත්  හැමවෙලේම දුවගෙන් ඇවිල්ලා තක්කාලි පාත්තියේ දුක සැප බැලුවා. අඹගහ අමතක වෙලාම ගියා. අඹගහට දැන් ගොඩක් දුකයි. බබීට ආපහු කොහොමද පරණ යාළුකම්  මතක් කරලා දෙන්නේ කියලා අඹගහ හුඟාක් කල්පනා කළා. අන්තිමේදී එයාට හොඳ උපායක් ආවා.

එදා ඔන්න එළිවෙන අතරේ අඹගහ එයාගේ උපාය ක්‍රියාත්මක කළා. එයාගේ ඉදුණු ලොකුම ලොකු ගෙඩි තුන හතරක් නැට්ගේටෙන් ගලවලා බබීගෙ තක්කාලි පාත්තියේ රතු පාට ගෙඩි උඩට අත ඇරලා දැම්මා. ලොකු අඹ ගෙඩි වල බරට රතු පාට තක්කාලි ගෙඩි කැඩිලා බිම වැටිලා තැලීලා චොප්ප වුණා."උදේට දැන් බබී ආවම එයාට නිකන්ම උඩ බැලෙයි. මාව මතක් වෙයි." අඹගහ තනියෙන් කල්පනා කරමින් බබී එනකන් බලාගෙන හිටියා. එලිවුනා විතරයි ඔන්න බබී දුවගෙන ආවා. තක්කාලි පාත්තියේ බිම වැටිලා තැලිලා චොප්ප වුනු ගෙඩි දැකලා එයාට දුක හිතුනා. කොහොමද මෙහෙම වුනේ. එයාට ඉබේටම උඩ බැලුනා. බබීගේ ඇස් දෙකයි අඹ ගහේ ඇස් දෙකයි කාලෙකට පස්සෙ එකට මුණ ගැහුණා. බොහොම දුකින් එයා දිහාම බලාගෙන ඉන්න අඹගහ එතකොට එයාට පෙනුණා. බබීට පරණ කාලේ මතක් වුණා. තක්කාලි පාත්තිය දාන්න කළින් ඒගොල්ලො හොඳම යාළුවො වෙලා හිටිය විදිය කල්පනාවට ආවා. හිතා මතා නොවුනත් එයාගෙ අතින් වෙලා තියෙන්නේ ලොකු වැරද්දක් බව බබීට තේරුණා.

බබී අඹගහ ලඟට ගිහින් අඹගහ ආදරෙන් බදා ගත්තා. සමාවෙන්න යාළුවේ මට ඔයාව  අමතක වුනාට. ආපහු එහෙම කරන්නේ නෑ. බබී අඹගහ ට පොරොන්දු වුනා. අඹ ගහ ඇස් ලොකු කරගෙන බබී දිහාම බලන්අ කියල දේවල්හ අහගෙන හිටියා.අන්තිමේ බබීගේ පොරොන්දුව ඇත්ත එකක් බව තේරිලා අඹගහට හිනාවක් ගියා. අඹ ගහේ ගෙඩි වැටිලා  එයාගේ ඉදුණු ගෙඩි තැලිලා චොප්ප වෙනවාට බයේ බිරාන්ත වෙලා හිටපු තක්කාලි පාත්තියටත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වුනේ ඔන්තන එතකොට තමයි. ඇති යන්තම් හැමදේම හොඳින් විසඳුනා. තුන් දෙනාටම ඉබේටම කියවුනා. 

එදා ඉඳලා බබී පුරුදු විදියටම අඹ ගහ එක්ක කතා කළා. දුක සැප හොයා බැලුවා. පොරොන්දුව රැක්කා. ඒ වෙලාවට තක්කාලි පාත්තිය අඹගහ දිහා බලාගෙන හිනා වුනා. රෑට රෑට ඉදුණු ගෙඩි බිම දාලා තක්කාලි ගෙඩි චප්ප කරලා දාන්න එදා ඉඳලා අඹ ගහට ඕන වුනේ නැහැ. දවල්ට බබී ආවාම ඉදුණු ගෙඩි ඔක්කොම  බබීට කඩා ගන්න කියලා අඹගහ බබීට මතක් කළා. බබී හැමදාම වගේ ඉදුණු අඹ කූඩෙකුයි ඉදුණු තක්කාලි කූඩෙකුයි ගෙදර අරගෙන ගියා. සියල්ල හොඳ විදියට විසඳුන නිසා හැමෝටම හරි සතුටුයි. ඉතින් බබී එයාගේ යාලු අඹගහයි තක්කාලි පාත්තියයි එක්ක හැමදාම සතුටින් හිටියා. 


Friday, September 9, 2022

108. බලු නගුටේ මල් පිපිලා


එදා නිවාඩු දවසක්. ලස්සන හීනෙකුත් දැක දැක ටිකක් දවල් වෙනකන් නිදාගන්න කියලා බබී ලෑස්ති වුනා විතරයි සීයා ඇඳ ලඟට ආවා. ''අන්න බලු නගුටේ මල් පිපිලා. යමු බලන්න." සීයා බබීට කතා කළා. බබීට පුදුමයි. සීයා විහිළුවක් කරනවා වෙන්න ඇති කියලා හිතුණා. ඒත් කෝකටත් ටිකක් කල්පනා කළා. නගුට කියන්නේ වලිගෙ. බබීට මතක් උනා. එහෙනම් සීයා මේ කියන්නේ ටොමියාගේ වලිගෙ මල් පිපිලා කියලා වෙන්න ඇති. ඒත් කොහොමද ටොමියාගෙ වලිගෙ මල් පිපෙන්නේ ? හිත හිතා ඉන්නවාට වඩා හොඳයි ටොමියා ගාවට ගිහින්ම බලන එක කියලා හිතලා බබී ඉක්මනට ඇඳෙන් නැගිටලා ටොමියා හොයාගෙන ගියා. 

බබී ගේ පුරාමත් වත්ත පුරාමත් ටොමියා හෙව්වා. ඒත් ටොමියා පේන්න හිටියේ නෑ. උදේම ඇවිදින්න ගිහින් වෙන්න ඇති. "මොකටද පුතේ ටොමියාව හොයන්නෙ උදේ පාන්දර? " බබී ටොමියාට කතා කරන සද්දේ ඇහිලා තාත්තා ඇහුවා. "ඇයි සීයා කිව්වනෙ ටොමියාගේ වලිගෙ මල් පිපිලා කියලා. ඒක බලන්න තමයි මං ටොමියව හොයන්නෙ." බබී උත්තර දුන්නා. තාත්තට හිනාවක් ගියා. "එහෙමද? ටොමියා ආවම බලමුකො එහෙනම් කොයි වගේ මලක්ද පිපිලා තියෙන්නේ කියලා." තාත්තා හිනා වෙවී කිව්වා. "ටොමියගේ වලිගේ පිපිලා නම් ඒක ටොමියා වගේම සුවද මලක් වෙන්න ඇති." පැත්තක හිටිය අම්මාත් කතාවට එකතු වුනා.

ටිකකින් ඔන්න සීයාත් එක්ක කුඹුර පැත්තේ ගිහින් හිටිය ටොමියා කඩුල්ලෙන් පැනලා ගෙදර දිහාට දුවගෙන ආවා. "ටොමි පැටියෝ කෝ මෙහාට එන්න බලන්න ඔයාගේ වලිගෙ මල? " බබී ඉක්මනට ටොමියා ලඟට කතා කර ගත්තා. වලිගෙ මල පිපිලාද බැලුවා. ඒත් එහෙම මලක් නම් පේන්න තිබුණේ නැහැ. "කෝ මලක් නැහැනෙ? කුඹුරට යන ටිකට මල නැට්ටෙන් බිමට වැටුණද ටොමියෝ? " බබී ආපහු ටොමියාගෙන් අහන ගමන් මල වැටිලාද කියලා අහල පහලත් පාර දිගේත් විපරම් කරමින් බැලුවා. ඒත් මලක් නම් හම්බ වුනේ නැහැ. මේ අපබ්‍රන්සේ තේරුම්ගන්න බැරුව ටොමියායි බබීයි  උඩ බිම බල බල ඉද්දි ඔන්න සීයාත් කඩුල්ලෙන් මතු වුණා. 

"කෝ සීයේ ටොමියාගේ වලිගෙ මලක් පිපිලා නැහැනෙ. බොරු නේද කිව්වෙ? " බබීසීයා දැක්ක ගමන් ඇහුවා. සීයාට ලොකු හිනාවක් ගියා. "කවුද කිව්වෙ ටොමියාගේ වලිගෙ මල් පිපිලා කියලා? මම කිව්වේ බලු නගුටේ මල් පිපිලා කියලනෙ." සීයා කිව්වා. "ඉතින් අපේ බව්වා ටොමියානේ. නගුට කියන්නේ වලිගෙට කියලා සීයාමනෙ දවසක් කිව්වෙ. එතකොට බලු නගුට කියන්නෙ ටොමියාගේ වලිගෙ නෙමෙයිද ?" බබී ආයෙම ඇහුවා. "නෑ එහෙම දෙයක් නෙමෙයි. යමුකෝ පෙන්නන්න." එහෙම කියලා සීයා බබීව එක්කන් කොරටුව දිහාවට ගියා. ගිය සතියේ එළවළු ඉන්දන්න සුද්ද කරන වෙලාවේ මම ඉතුරු කරපු මේ ගහ මතකයි නේද? ඔයාට පෙන්මෙනන්න්නනම තමයි මම මේක ඉතුරු කළේ. මේවට තමයි බලු නගුට කියන්නෙ. ඔය තියෙන්නේ මල් පිපිච්ච නගුටු ගොඩාක්. ලස්සනයි නේ? සීයා ඇහුවා.

බබීගේ ඇස් උඩ ගියා. එහෙම අමුතු නම් තියෙන ගසුත් තියෙනවද? බබී පුදුමයෙන් වගේ බලු නගුටේ පිපුණු මල් වල ලස්සන බැලුවා. ඇත්තටම හරි ලස්සනයි තමයි. නැට්ට පටන් ගන්න තැන ඉඳලා උඩට මල් පිපීගෙන ඇවිල්ලා. ලස්සන දම් පාට පුංචි මලක්. චුට්ටන් සුවඳකුත් එනවා."බබී දන්නවද ඔය මල් වල කෙමියේ පැණි පිරිලා. ඒවා බොන්න සමනල්ලු වර්ග ගොඩාක් එනවා. අපිට ඔය ගමන සමනල්ලු බලන්නත් පුළුවන් වෙයි." සීයා කිව්වා. බබීට සතුටු හිතුණා. "ඔන්න ටොමියෝ සමනල්ලු එන වෙලාවට එහෙම මේ පැත්තෙ එන්න එපා හොඳේ. නැත්නම් සමනල්ලු බය වෙයි. " ළඟට වෙලා නගුට කරකවමින් හිටිය ටොමියාට බබී කිව්වා. ටොමියා හිනා වෙලා ඒ උපදෙස පිළිගත්තා. ඉතින් ඊට පස්සේ මල් පිපුණ බලු නගුට කොරටුවේ තියලා ඇවිදින බලු නගුට සීයායි බබීයි එක්ක උඩ පැන පැන ගෙදර ගියා.

Thursday, September 1, 2022

107. ගෝනි එළුවා











සීයාගේ කුඹුරෙ ගොයම් කපලා පාගලා වැඩි දවසක් නෑ. ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන වැදගත්ම රාජකාරිය තමයි වී ටික හොඳට වේලාගන්න එක. වැඩි කාලයක් තෙත පිටින් වී තිබුණොත් ඉක්මනට නරක් වෙනවා. හැබැයි හොඳට වේලලා ගෝනිවල පරිස්සමට පුරවලා තියාගත්තම නම් අවුරුදු ගණනාවක් යනකන් ඒ වී නරක වෙන්නෙ නෑ. සීයා කියන්නේ එහෙමයි. අද ඔන්න හොඳට අව්ව වැටෙන දවසක් නිසා වී ටික වේලන්න සියා උදේ ඉඳලාම ලෑස්ති වෙනවා. බබීටත් ඉතින් අද හොඳ දවස. එයා තමයි සීයාගෙ අත්උදව් කාරි. එහෙට මෙහෙට පැනලා සියට උදව් කරන්නෙ හරිම උනන්දුවෙන්.

ඔන්න වී ටික වේලන්න එලියට ගෙනැත් තියලා මිදුල පුරාම ලොකු ගෝනි පඩංගු පැදුරු එහෙම එළන ගමන් සීයා බබීගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "බබී දැකලා තියෙනවද ගෝනි එළුවා?" බබී එහෙම එළුවෙක් ගැන අහලම නැහැ. "ගෝනි එළුවා? ඒ කවුද සීයෙ. මම දැකලා නෑනෙ." හතර අතේ කල්පනා කරන ගමන් බබී උත්තර දුන්නා. "එහෙනං ගිහින් අම්මගෙන් අහන්නකො අම්ම දැකලා තියෙනවද කියලා ගෝනි එළුවා." සීයා බබීට කිව්වා. බබී දුවලා දුවලා කුස්සියට ගියා. "අම්මෙ අම්මෙ; අම්මා දැකලා තියෙනවද ගෝනි එළුවා? සීයා දැකලා තියෙනවලු එහෙම එළුවෙක්". බබී අම්මගෙන් ඇහුවා. "අනේ නෑනෙ පැටියො. මම නම් දැකලා නෑ එහෙම එළුවෙක්." අම්මා උත්තර දුන්නා.

බබී උඩහා ගෙදරට දිව්වා."දෝණි අක්කේ දෝණි අක්කේ " කියා කතා කළා. "ඔයා දැකලා තියෙනවද ගෝනි එළුවා. අපේ සීයා තමයි ඇහැව්වෙ." බබී උඩහා ගෙදර දෝණි අක්කාට කිව්වා. ඒගොල්ලෝ කිසි කෙනෙක් මේ කියන ගෝනි එළුවා දැකලා තිබුණේ නෑ. හැමෝම කල්පනා කරන්න පටන් ගත්තා. අහල පහල ගෙවල්වල ළමයිනුත් එක්කෙනා දෙන්නා ආවා. නමුත් කිසිම කෙනෙක් මේ කියන ගෝනි  එළුවා දැකලා තිබුනේ නැහැ. අපි කට්ටියම ගෝනි එළුවා බලන්න සීයාගෙ මිදුලට යමු. හැමෝම කතා වුණා. ටිකකින් ළමයි කට්ටියම මේ අරුම පුදුම එළුවා බලන්න සීයාගේ මිදුලට රැස් වුණා. කුස්සියේ වැඩ කර කර හිටිය අම්මලාත් ඔක්කොම වැඩ නවත්තලා කවදාවත් දැකපු නැති ගෝනි එළුවා බලන්න ආවා.

සීයට හරිම හිනහයි. ඇයි ඉතින් ගෝනි එළුවා බලන්න මහා සෙනගක් ඇවිල්ලනේ. 'හරි එහෙනම් ඔන්න කට්ටියම බලාගන්නකො. මම දැන් ගෝනි එළුවා පෙන්නනවා." සීයා කිව්වා.කට්ටියම ඉතින් ඇස් ලොකුවට ඇරගෙන බලාගෙන හිටියා. සීයා කිසි කතාවක් නැතුව ගිහින් පැත්තක තිබුණු ගෝනි ටික අරන් ආවා.ඊට පස්සෙ මිදුලේ වී වේලන්න එලලා තිබුණු පැදුරු ටික අයිනෙන් අර ගෙනාපු ගෝනි ටික එළාගෙන එළාගෙන ගියා. "අන්න දැක්කා නේද ගෝනි එළුවා.?" සීයා ඇහැව්වා. කට්ටියම වචනයක් වත් නොකිය බලාගෙන ඉන්නවා.. "ඇයි දැක්කේ නැද්ද? ඔය මං පෙන්නුවේ ගෝනි එළුවා තමයි." සීයා ආයෙම කිව්වා. බලාගෙන හිටිය කට්ටියට වැඩේ තේරුණා. හැමෝටම හරිම හිනා. ඇවිත් හිටිය මහා සෙනගම සීයාගෙ ගෝනි එළුවා දැකලා බඩවල් අල්ලාගෙන හිනා වුනා. "ඒක නම් දැකගන්නම වටින ගෝනි එළුවා තමයි." අම්මලා හිනා වෙවී කිව්වා.

ගෝනි එළුවා පෙන්නපු සීයාටත් එදා හරි සතුටුයි. මොකද දන්නවද? එළුවා දැකබලා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් කට්ටියම එක්ක වී ටික අව්වේ වේලා ගන්න සීයාට උදව් කළා. "ගෝනි එළුවා මට ලොකු උදව්වක් කළේ. නැද්ද මං අහන්නෙ." සීයා හිනා වෙවී කිව්වා.

අලුත් සිතුවම්

136. සූකිරි දත්