Tuesday, August 20, 2019

72. බලාගෙන ඇඳීම.


ගස් අතරින් ලස්සනට ඉර පායාගෙන ආවා. ඒ දිහා බල බලා උදේම පෙති විහිදලා පිපුණු මල් හිනා වුනා. ගස් වල කොළ නලවගෙන හිමින් හමාගෙන ආපු හුළඟ වටේටම මල් සුවඳ බෙදලා දුන්නා. එදා හරිම ලස්සන දවසක්.

ඉත්තෑ පුංචා කූරු පුම්බගෙන මේ ලස්සන බලන් හිටියා. ඉත්තෑ පුංචාගේ හොඳම යාළුවා හා පැංචා. අද දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න පිට්ටනියට යන දවස. කෝ තාම නෑනේ මේ හා පැංචා. ම්ම්ම්..මොකද කරන්නේ මම හා පැංචා එනකන්. තව වෙලා යයි වගේ එන්න. නරකද මේ ලස්සනට ඉර පායාගෙන එන දර්ශනේ චිත්‍රයක් ඇන්දොත්. ඉත්තෑ පුංචා හිතුවා. එහෙම හිතලා ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන එයා චිත්‍රෙ අඳින්න එලියට ගියා. වටේ පිටේ ලස්සන හොඳට පේන තැනකට ගිහින් එයා අඳින්න පටන් ගත්තා.

ඔන්න චිත්‍රෙ ඇඳලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට තමයි හා පැංචා එතනට ආවෙ. “ආව්..ආව්.. මේකෙ ලස්සන... මම දැනගෙන හිටියේ නෑනේ මගේ යාළුවා මේච්චර හොඳ චිත්‍ර ශිල්පියෙක් කියලා.” හා පැංචා ඉත්තෑ පුංචා ඇඳපු චිත්‍රෙ ලස්සන බලන ගමන් කිව්වා. “මේ ඉත්තෑ පුංචො...අනේ මගෙ රූපෙත් ඇඳලා දෙන්නකො...මං දන්නවා ඔයාට පුළුවන් මම මේ ඉන්නවටත් වඩා ලස්සනට අඳින්න..ඕකට මහා වෙලාවක් යන්නෙත් නෑනෙ. අනේ හා නේද..” ඉත්තෑ පුංචාගෙ චිත්‍රෙ දැක්ක හා පැංචාට එයාගේ රූපෙ අන්දවගන්න ලොකු ආසාවක් ඇවිත් ඉත්තෑ පුංචාට කන්නලව් කළා. බැරිම තැන ඔන්න ඉත්තෑ පුංචා වැඩේට කැමති උනා. හොඳම යාලුවනේ ඉතින්. හරි නෑනෙ බෑ කියල හිත රිද්දන්න. “හරි එහෙනම් අර ගල උඩට ඉහින් හිටගන්නකො. හැබැයි මම ඇඳලා ඉවර වෙනකන් එක විදියකට ඉන්න ඕන. දඟලන්න බෑ හොඳේ.” ඉත්තෑ පුංචා එහෙම කියලා ඔන්න අඳින්න ලේස්ති උනා.

ඔන්න දැන් ඉත්තෑ පුංචා ටික ටික හා පැංචව ඇඳගෙන යනවා. “කෝ දැන් ඉවරද... තාම මගෙ මූණද අඳින්නේ...මම පොඩ්ඩක් බලන්න එන්නද?” හා පැංචට ප්‍රශ්න ගොඩයි. ඉවසිල්ලක් නෑ ඇඳලා ඉවරවෙනකන්. සැරින් සැරේ කරදර කරනකොට ඉත්තෑ පුංචාට තරහා ආවා. “පොඩ්ඩක් ඉන්නකො වදේ. ඇඳලා ඉවර වෙනකන් බලන්න දෙන්න බෑ.” ඉත්තෑ පුංචා සැර දැම්මා. ඒත් ඉතින් හා පැංචාට මේක බලන්නමයි හිත. ටිකක් වෙලා හොරා වගේ ඉඳලා ඉත්තෑ පුංචා සද්දයක් නැතුව අනිත් පැත්ත හැරිලා හැඩ වැඩ දාන වෙලාවක් බලලා හා පැංචා චිත්‍රෙ බලන්න හිමින් එතනට කිට්ටු කරා.

අනේ ඒත් නොහිතපු දෙයක් සිද්ද වුනා. උඩින් උඩින් අඩි තිය තිය හොරා වගේ ආපු හා පැංචා දන්නෙම නැතුව ඉත්තෑ පුංචාගෙ තීන්ත බාල්දියක හැපුණා. දඩස් ගාල ඒක බිමට පෙරලුණා. හදිස්සියෙන් ආපූ සද්දෙට ගැස්සිච්ච ඉත්තෑ පුංචා මොකක්ද සද්දේ කියල බලන්න එක පාරටම අනිත් පැත්ත හැරුනා විතරයි එයාගෙ කකුලෙ හැපිලා තව තීන්ත බාල්දියක් පෙරළුණා. ඒත් එක්කම එක ලඟින් තියල තිබුණු තීන්ත බාල්දි ටික ඔක්කොම පේලියට පෙරලිලා ගියා. වෙනමම තැනක තිබුණු තද නිල් පාට එක විතරයි අන්තිමට ඉතුරු වුනේ.

“කෝ ඉතින් කියන එකක් ඇහුවේ නෑනෙ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අපරාදේ මගේ මහන්සිය.” හා පැංචාගේ හදිස්සිය නිසා වුනු දේට ඉත්තෑ පුංචාට හරිම කේන්තියි. හා පැංචටත් වුන වැඩේ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද. මෙහෙම ඇබැද්දියක් වෙයි කියල හිතුවේ නැහැනෙ එයා.

ඒ වෙද්දී ඉත්තෑ පුංචා හා පැංචාගෙ රූපෙ ඔක්කොම වගේ ඇඳලා ඉවර වෙලා තිබුනෙ. කන් දෙක විතරයි ඇඳලා තිබුනෙ නැත්තේ. ඒත් දැන් කොහොමද චිත්‍රෙ ඉතුරු ටික අඳින්නෙ. සායම් ටිකත් පෙරළුණා. “මට බෑ...මං අඳින්නෙ නෑ ඉතුරු ටික ...හොඳ වැඩේ...මේ විදිය තමයි හරියන්නේ ඔය වගේ හදිස්සි කාරයින්ට...කන් දෙක නැතුව තමයි හොඳ...ඇයි ඉතින් කන් දෙක තිබුනට කියන දෙයක් කනකට ගන්නේ නැහැ නේ..” ඉත්තෑ පුංචාට තරහා ගිහින් හා පැංචාට හොඳටම දොස් කිව්වා. “අනේ ඉත්තෑ පුංචො මට මේ අදට විතරක් .. ඔව් අදට විතරක් අදට සමාවෙලා කන් දෙක ඇඳලා මේක ඉවරයක් කරලා දෙන්නකො” හා පැංචා ආපහු කන්නලව් කරා.

“බෑ මම කිව්වනෙ...පේනවනෙ ඉතුරු වෙලා තියෙන්නෙ නිල් පාට විතරනේ...ඔයාගෙ කන් දෙක නිල් පාට නෙමෙයි නෙ කොහොමත්. ඉතින් නිල් පාටින් ඇන්දොත් වැරදියි. ඒ නිසා මට බෑ ආපහු අඳින්න.” ඉත්තෑ පුංචා සැරෙන් කිව්වා.හා පැංචා මොකුත් කිව්වේ නෑ. දිග කන් දෙක නමාගෙන ටිකක් වෙලා දුකින් කල්පනා කළා. පස්සේ මොකක් හරි මතක් වුනා වගේ එක පාරටම සතුටින් උඩ පැනලා නිල් සායම් බාල්දිය ගාවට ගියපු එයා එයාගේ දිග කන් දෙක ඒකෙ ඔබා ගත්තා. කරපු වැඩක්! දැන් එයාගෙ කන් දෙකම නිල් පාටයි. එහෙම කරගෙන එයා ගල උඩට ගිහින් කලින් විදියටම හිට ගෙන ඉත්තෑ පුංචා දිහා බැලුවා. “දැන් හරි නෙ.”

ඉත්තෑ පුංචාගේ තරහ කොහෙන් ගියාද දන්නේ නෑ. බකස් ගාල හිනාවක් එලියට පැන්නා. අතින් කට වහගෙන ටිකක් වෙලා වෙලා හිනා වෙවී හිටිය ඉත්තෑ පුංචා තමුන්ගෙ හොඳම යාලුවගෙ කන් දෙක අඳින්න ආපහු පටන් ගත්තේ හරිම ආදරණීය හිතින්.

© සිත්තර පැංචි.


73. උදව්ව


ඉත්තෑ පුංචා එදා උදේම සිදාදියට ගියා. සිදාදියේ හරි සෙනග. ගියපු කාරණාව ඉෂ්ට කරගෙන ආපහු එන්න පිටත් වෙන්න හුඟක් වෙලා ගත වුනා. යන්තං හැන්දෑ වෙනකොට කැලෑ ගමට කිට්ටු වුන ඉත්තෑ පුංචා ඉක්මනට ඉක්මනට ගෙදරට යන්න පිටත් වුනා. ඒත් අතරමගදී අහස එක පාරටම කළු කරගෙන වහින්න ගත්තේ මහා වරුසාවක්. ඉත්තෑ පුංචා වැස්ස මැද්දේ කරකියාගන්න දෙයක් නැතුව අසරණ වුණා. මුවා වෙන්න ලොකු ගහක් වත් තිබුනේ නෑ අහල පහල. ලොකු කැන්ද කොලයක් කඩාගෙන යන්තන් ඔළුවට උඩින් ඉහල ගත්තට මොකද ඉත්තෑ පුංචා හොඳටම තෙමුනා.

“දැන් නම් හොඳටම කළුවර වැටීගෙනත් එනවා. අද මට ගෙදර යන්න බැරි වෙයි වගේ” ඉත්තෑ පුංචාට බයකුත් දැනුනා. “ගෙදර යන්න බැරි උනොත් මම කොහෙද රෑට නවතින්නෙ.” ඉත්තෑ පුංචා තෙමි තෙමීම කල්පනාවෙන් කැලේ මැදින් යන්න වුනා. තාම වැස්ස තියෙනවා. පායන පාටකුත් නෑ. හරිම වැඩේ තමයි දැන් මට වෙන්නෙ. ඔහොම කල්පනා කර කර යනකොට ඉත්තෑ පුංචාට හම්බ වුනා හා පැංචාගේ ගෙදර. මේක නම් මගේ වාසනාව. හා පැංචාව කැමති වුනොත් මට අද රෑට එයාගේ ගෙදර නවතින්න පුළුවන්. අහල බලන්න ඕන. ඉත්තෑ පුංචා හිමින් හිමින් හා පැංචාගේ ගෙදරට කිට්ටු වෙලා දොරට තට්ටුවක් දැම්මා.

“කවුද මේ රෑ මගෙ ගෙදර දොරට තට්ටු කරන්නේ.” කැරට් සුප් එකක් බිබී හොඳට ගිනි මැලේ ළඟ උණුසුම් වෙවී හිටිය හා පැංචා හිතුවා. දොර ඇරලා බැලුවම හා පැංචා දැක්කා හොඳටම වැස්සේ තෙමිලා වෙව්ල වෙව්ල දොර ගාව හිටගෙන ඉන්න ඉත්තෑ පුංචාව. “අනේ හා පැංචෝ...මට අද රෑට මෙහෙ නවතින්න පුළුවන් වෙයිද...” එහෙම අහන ගමන් ඉත්තෑ පුංචා එයාගේ විස්තරේ හා පැංචාට කිව්වා. ඒත් හා පැංචාට එක පාරටම ඉත්තෑ පුංචාව නවත්තගන්න බය හිතුනා. මොකද එයාගෙ සීයාගෙ කාලේ මේ වගේ ඉත්තෑවෙක් ගෙදර නවත්තගෙන වෙච්ච ඇබැද්දිය සීයා එයාට කියල තියෙනවා පුංචි කාලේ.

“අනේ තරහ වෙන්න එපා. මෙහෙ නවතින්න නම් දෙන්න බෑ. මම කොහොමද එක පාරටම ඔයාව විශ්වාස කරන්නේ. ඉස්සර ඔයාලගේ සීයා කෙනෙක් නවත්තගෙන අන්තිමට අපිටත් ගෙදරින් යන්න වුනාලු. ඔයාත් ඒ වගේ කූරු පුම්බන්න ගත්තොත් එහෙම මටත් යන්න වෙයි. අනික මගේ පුංචි ගෙදර දෙන්නෙකුට හොඳටම ඉඩ මදි.” හා පැංචා කිව්වා. “අනේ හා පැංචෝ.. ඒ ගොඩක් ඉස්සරනේ. අපි දැන් එහෙම නෑ. මේ ඇත්තමයි. මට පුංචි ඉඩක් දෙන්න. මම ඔයාට කරදරයක් නොවෙන්න ඉන්නම්. අනේ හාද?” මෙහෙම ටික වෙලාවක් බැගෑපත් වෙද්දී හා පැංචාට ඉත්තෑ පුංචා ගැන දුක හිතුනා. “හා එහෙනම් කමක් නෑ. හැබැයි මතකයිනෙ කොන්දේසිය. කුරූ පුම්බලා මාව අමාරුවේ දාන්න එපා.” හා පැංචා අන්තිමට කොන්දේසි පිට ඉත්තෑ පුංචාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.

ඉත්තෑ පුංචා කිව්වා වගේම හා පැංචාට කිසිම කරදරයක් කරේ නෑ. අහිංසක විදියට පැත්තකට වෙලා හිටියා මිසක්. අන්තිමේ දෙන්නත් එක්ක තිබුණු කෑම බෙදාගෙන කාලා ගිනි මැලේ ළඟ උණුසුම් වෙලා හොඳට නිදා ගත්තා. ඉත්තෑ පුංචා උදේ යන්න පිටත් වුනේ හරිම සතුටින්. එයා හා පැංචාට ගොඩක් ස්තුති කරා. “මට මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ. ඔයාට බොහම ස්තුතියි හා පැංචෝ.” ඉත්තෑ පුංචා හා පැංචාට ආදරෙන් සමු දීලා ගෙදර ගියා.

ඔහොම දවස් ගතවුනා. හා පැංචාට දැන් කැරට්ම කාල එපා වෙලා. ම්ම්ම්...මොකද කරන්නේ...පොළට ගියා නම් අලුත් එළවලු පලතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි මට. වෙනසකටත් එක්ක යන්න ඕන අද කැලෑ ගමේ පොළ දිහාවට. එහෙම හිතපු හා පැංචා හොඳට ඇඳ පැළඳගෙන පොලට ගියා. “හප්පේ... මෙතනනේ කෑම ජාති තියෙන්නේ. අද ගන්න පුළුවන් ඇති තරම් බඩු.”

හා පැංචා එක එක ජාතියෙන් කාම ජාති ගොඩක් තෝර ගත්තා. බීට් අල, රාබු අල, බතල, පේර, දොඩම්, අනෝදා...මෙකී නොකී හැම දේම. අපොයි ඒත් කලින් මතක් වුනේ නැහැනෙ මල්ලක් ගේන්න. දැන් කොහොමද මං මේ ගතිපු බඩු කන්දරාව ගෙදර අරන් යන්නෙ. මල්ලක් ඉල්ලගන්නවත් කෙනෙක් නැහැනෙ. හා පැංචා කල්පනා කළා. එතකොටම කවුදෝ පිටිපස්සෙන් ඇවිල්ලා හා පැංචාගේ ඇස් දෙක වහගත්තා.“ආ හා පැංචෝ.. පොළේ ආවද...කොහොමද ඉතින් සැප සනීප...එදායින් පස්සේ අපිට හම්බවෙන්නත් බැරි වුනානෙ...” ඇස් වහගත්ත එක්කෙනා පුරුදු කටහඬකින් කියාගෙන ගියා. හා පැංචාට මොනවත් එකපාරටම හිතාගන්න බැරි වුනා.“ කෝ තාම අඳුරගන්න බැරිද මාව...” අමුත්තා ආපහු ඇහුවා. හා පැංචා කල්පනා කළා.

ඔන්න ටික වෙලාවකට පස්සේ හා පැංචාට මතක් වුණා. “හරී හරී..මතකයි... මේ ඉත්තෑ පුංචා නේද...” හා පැංචා හිනා වෙවී කෑ ගහල ඇහුවා. එතකොටම ඇස් දෙක වහන් හිටිය අත් දෙක අයින් වුනා. හරි නේන්නම්..මේ ඉන්නෙ හිනා කටක් පුරෝගෙන ඉත්තෑ පුංචා.

ටික වෙලාවක් ආගිය විස්තර කතා කර කර හිටිය යාළුවො දෙන්නා ගොඩ කාලෙකින් හමු වීම ගැන බොහොම සතුටු වුනා. “ඇයි ඉතින් මේ ගෙදර නොයා ඉන්නේ.. කවුරු හරි එනකන් ද ..” ඔක්කොම විස්තර කතා කරලා ඉවර වෙලා ඉත්තෑ පුංචා අන්තිමට ඇහුවා. ඔන්න එතකොට තමයි හා පැංචාගේ මූණ නරක වුනේ. හා පැංචා ඉතින් එයාගෙ බඩු ටික ගෙදරට ගෙනියන්න විදියක් නැතුව ඉන්න බව ඉත්තෑ පුංචාට කිව්වා හරිම දුකින්.

ඉත්තෑ පුංචාට කට කොනකට හිනාවක් ගියා. “අයියෝ ඕක මොකක්ද.. සුළු දෙයක් නේ...මට පුළුවන් උදව් කරන්න...කෝ ගන්න ඔය බඩු ටික මෙහාට..” ඉත්තෑ පුංචා ඉක්මනට හා පැංචාගේ බඩු ටික අරන් එයාගේ පුම්බගත්ත කුරූ වල එකින් එක එකින් එක අමුනගත්තා. මේ තියෙන්නේ හරිම ලේසි විදියක්. යමු මම ගෙදරටම ඇරලවන්නම්. ඉත්තෑ පුංචා ඉස්සර වුනා.

ගමන් මලු නෑ...වියදමක් නෑ...
කූරු වල නැග - ගෙදර යන හැටි
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...

හරිම ලේසියි ...හරිම පහසුයි...
කූරු ඇත්නම් - ප්‍රවාහනයට
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...

ඉත්තෑ පුංචා සිංදුවකුත් කියා කියා නට නට යනවා. හා පැංචාගේ සතුට කෙළවරක් නෑ. ඉත්තෑ පුංචාටත් හරි සතුටුයි එයාගේ යාලුවට උදව්වක් කරන්න පුළුවන් වුන එක ගැන. මේ වගේ යාලු මිත්‍රකම් තියෙනකන් ඉතින් මේ ලෝකේ කොච්චර ලස්සනද...දෙන්නාම ගෙදර යනකන් කල්පනා කරා. ඔන්න ඔහොම තමයි ඉතින් ඉත්තෑ පුංචයි හා පැංචයි අඹ යාළුවෝ වුනේ.

© සිත්තර පැංචි  

Thursday, August 15, 2019

72. කොහොල්ල බබා


එදා නරි රාළට හරිම බඩගිනි දවසක්. උදේ ඉඳලම කැලේ හැමතැනම ඇවිද ඇවිද හෙව්වත් කන්න පුළුවන් දෙයක් හම්බ වුනේ නෑ. දැන් නම් හරිම මහන්සිත් එක්ක. යන්න ඕනේ ගම්මානෙ දිහාවටවත්. එහෙම හිතපු නරි රාල ගම දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ටික දුරක් ඇවිදගෙන යනකොට නරි රාල දැක්කා ගහක අලෝලා තියෙන ලොකු බෝලයක් වගේ එකක්. තව ටිකක් හොඳට ලඟට කිට්ටු වෙලා බැලුවම ඒක ලොකු කොහොල්ල ගුලියක් බව නරි රාලට පෙනුනා. ඒත් එක්කම එයාට අපුරු අදහසක් ආවා.

නරි රාල හොඳ පරිස්සමින් කොහොල්ල ගුලිය අරගෙන ඒක එහෙට මෙහාට අඹරවල එකෙන් හැදුවා ලස්සන පුංචි බබෙක්. බබාගේ ඇස් දෙකට දිලිසෙන සියඹලා ඇට දෙකක් ඇලෙව්වා. නහයට සියඹලා පොත්තක් තිව්වා. කටට රෝස පාට ලොකු මල් පෙත්තක් ඇලෙව්වා. ෂා.. මේ තියෙන්නේ ලස්සනට. දැන් නම් ඇත්ත බබෙක් වගේමයි.

ඊට පස්සේ නරි රාල බබාව පරිස්සමින් අරගෙන ගිහින් ගහකට හේත්තු කරා. “දැන් කවුරු හරි මේ ගහ යට ඉන්න කොහොල්ල බබාව ඇල්ලුවොත් එයාව බබාට ඇලෙනවා. ඊට පස්සේ මට පුළුවන් පැනපු ගමන් එයාව අල්ල ගන්න.” මෙහෙම කල්පනා කරපු නරි රාල ටිකක් ඈතට ගිහින් හැංගිලා බලන් හිටියා.

ඔහොම ටික වෙලාවක් ගතවෙනකොට හා පැංචෙක් එතනින් යන්න ආවා. හරිම විනෝදෙන් සිංදුවකුත් කියා කියා ආපු හා පැංචා දැක්කා ගහ යට බබෙක් ඉන්නවා. පොඩ්ඩක් කතා බහ කරලා බලන්න ඕන කියල හිතපු හා පැංචා බබා ගාවට ආවා. “හලෝ බබෝ... මොකෝ මේ තනියම ගහ යට..” හා පැංචා ඇහුවා. ම්හු. කතා කරන්නේ නෑ. හිනා වෙනවා විතරයි. “ඇයි අනේ ඔයා කතා කරන්නේ නැත්තේ. ලැජ්ජයිද ඔයාට.” හා පැංචා ආයෙම ඇහුවා. ම්හු. ඒත් කතා කරන පාටක් නෑ. “ හරි නරකයි ඔයා... තරහයි ඔන්න මං...” බොරු තරහක් ගත්ත හා පැංචා බබාට හිමින් පාරක් ගැහුවා. හරි පුදුමයි නෙ. කතා නොකලට මොකද මෙන්න එතකොටම බබා හා පැංචාගෙ අත තද කරලා අල්ලගත්තා. කෝච්චර තදින් අල්ලගත්තද කියනවනම් හා පැංචා අත අදිනවා අදිනවා බබා අත අරින්නෙම නෑ. හොඳටම ඇලවිලා. දැන් නම් ඔන්න ඇත්තටම හා පැංචාට තරහක් එනවා. “අත අරින්න නේද කිව්වේ මගේ අත.” එහෙම කියලා හා පැංචා අනිත් අතින් කොහොල්ල බබාට පාරක් ගැහුවා. ඒත් එක්කම ඒ අතත් බබාගේ ඇඟේ තදින් ඇලවුනා.

දැන් ඉතින් හා පැංචාට හරි වැඩේ. ඇත දෙක හොලවගන්නවත් බෑ. බබාගෙ ඇඟට ඇලවිලා. ටිකින් ටික හා පැංචාට දාඩියත් දමන්න පටන් ගත්තා. “ඉන්නවකෝ මං ඔයැයිට කරන්න හොඳ වැඩක්.” එහෙම කියපු හා පැංචා කකුලෙන් බබාට රිදෙන්න පාරක් ගැහුවා. හරි වැඩේ. ඒ පාර කකුලත් ඇලුනා. හා පැංචාට දැන් නම් හොඳටම කේන්තියි. “මාව සෙල්ලමකට ගන්න එපා හරිද. අතාරින්න නේද කිව්වෙ. එනවා මෙතන මාව අල්ලන්න.” හා පැංචා ඒ පාර නම් කකුල පද්දලා හොඳ පාරක් හයියෙන් ගැහුවා මේ මුරණ්ඩු බබාට පාඩමක් උගන්නත් එක්ක. අනේ ඒත් මොකක්ද වුනේ. ඒ කකුලත් බබාගෙ ඇඟේ ඇලුනා. දැන් හා පැංචාට හෙලවෙන්නවත් බෑ. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම බබාට ඇලවිලා.

වෙච්ච වැඩේට හා පැංචාට හොඳටම කේන්තියි. දැන් ඔලුව විතරයි ඉතුරු. “යාලු කමට පොඩ්ඩක් කතා කරන්න ආවම මෙහෙම කරන එක හරිද... ඔලුව හොලවමින් හා පැංචා තරහෙන් ගිගිරුවා. අද මම ඔයැයිව මට්ටු කරලම තමයි පස්ස බලන්නේ.” හා පැංචා එයාගේ ඔලුවෙන් පුළුවන් තරම් හයියෙන් බබාට ගැහැව්වා. අපොයි. එතකොටම හා පැංචාගේ ඔළුවත් බබාගෙ ඇඟේ ඇලුනා. බබාට පාඩම් උගන්නන්න ගිහින් මදැයි හා පැංචා කරගත්ත හරිය. දැන් ඉතින් මොකෝ කරන්නේ. හා පැංචා ට හෙලවෙන්නවත් බෑ.

පැත්තක ඉඳන් මේ සෙල්ලම බලාගෙන හිටිය නරිරාලගේ සතුට දැන් ඉහ වහා ගිහින්. එයා එක පිම්මට එතනට දුවගෙන ආව එයාගෙ ගොදුර අල්ලගන්න.

“අහු වුනා අහු වුනා මගෙ උගුලට අහු වුනා .

රැවටුනා රැවටුනා බොරු බබාට රැවටුනා ...”

හහ් හහ් හා...හහ් හහ් හා...

“දැන් ඉතින් හා පැංචෝ..කරපු හොඳ නරක මතක් කර ගන්න එකයි ඇත්තෙ...තව ටිකකින් ඔයා මගේ බඩේ.” හා පැංචා කොහොල්ල බබාගෙන් පරිස්සමට ගලව ගන්න ගමන් නරි රාල කිව්වා.

අනේ ඒත් බෝනික්කෙක් වගේ ලස්සන සුදු හා පැංචාගේ කඳුළු පිරුණු ලොකු ඇස් දෙක දැක්කම නරි රාලගේ හිත ටිකක් උණු වුනා. හා පැංචාව කන්න ලෝබ හිතුනා. කොහොමත් මේ පුංචි එකෙක් කාල මක් කරන්නද. මගේ එක කටටත් මදි මේකව. නරි රාල හිතුවා. කොහොල්ල බබාගෙන් ගැලවිලා නරි රාලගේ අතට ආපු හා පැංචා ඒ වෙනකොටත් හිටියෙ හොඳටම බයේ වෙව්ල වෙව්ල.

“හරි එහෙනම් අපි මෙහෙම කරමු. අදට මම ඔයාව කන්නේ නැතුව යන්න දෙන්නම්කො.හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕන. මෙන්න මේ විදියට දහ පාරක් කියන්න ඕන එක හුස්මට නවත්නන්නේ නැතුව. අපේ නරි රජතුමා...මගේ පණ බේරුවා..අපේ නරි රජතුමා...මගේ පණ බේරුවා.... මොකද කියන්නේ .. හාද? එහෙම වුනොත් තමයි යන්න දෙන්නෙ.” නරි රාල හා පැංචාගෙන් ඇහැව්වා.

කන් දෙක ලොකු කරන් බයේ වෙව්ලමින් මේ කතාව අහන් හිටිය හා පැංචා නරි රාලගේ යෝජනාවට එක පයින් කැමති උනා. එක පාරටම ලොකු හුස්මක් ඇද්ද හා පැංචා " අපේ නරි රජතුමා...මගේ පණ බේරුවා...අපේ නරි රජතුමා...මගේ පණ බේරුවා...".කියලා දහ පාරක් කියලා දාලා පිම්මේ දිව්වේ පස්ස නොබලා.

“මේ... මග ඉන්න බබාලා එක්ක එහෙම කතා කරන්න නවතින්න එපා හොඳේ ...” පිම්මේ දුවන හා පැංචා දිහා හිනා වෙවී බලන් හිටිය නරි රාල හා පැංචාට ඇහෙන්න හයියෙන් කෑ ගහලා කිව්වා.

© සිත්තර පැංචි  

Monday, August 12, 2019

71. කම්මැලි තාර පැටියා

තාරා පවුලෙ තාර පැටව් පස් දෙනෙක් හිටියා. අයියල දෙන්නයි, අක්කල දෙන්නයි, පවුලෙ බාලයා වෙච්ච පුංචි තාර පැටියයි. එයාට සුරතලේට කිව්ව් නම තමයි පැටී. හැබැයි මේ පුංචි පැටී එයාගේ අයියල අක්කල වගේ නෙමෙයි හරිම කම්මැලියා. දවල් වෙනකන්ම උදේට නිදා ගන්නවා. උදේට පැටීව අවදි කරන්න හරිම අමාරුයි. “ඔහොම දවල් වෙනකන් නිදා ගන්න එපා පුතේ. එතකොට දවසම කම්මැලියි. උදෙන් අවදි වෙලා මේ අයියල අක්කල වගේ කඩිසරකමට ඉන්නකො.” තාරා අම්ම හැමදාම ආදරෙන් පැටීට කියලා දෙනවා. ඒත් පැටී නෙමේ ඒ කිසිම දෙයක් කනකට ගනනේ. “අනේ මට බෑ. මට තව නිදාගන්න ඕන. මේ බලන්නකො මගේ ඇස් එහෙම ඉක්මනට ඇරෙන්නේ නෑ අයියලට වගේ. ඒකට වෙලාව යනවා.” එහෙම කියල පැටී තව නිදා ගත්තා.

ඉතින් එක දවසක් උදේ, හැමෝම අවදි වෙලා කෑම හොයාගෙන යන්න ලෑස්ති වෙලා පැටීව අවදි කරන්න හැදුවා. ඒත් කතා කළා කතා කළා පැටී අවදි වුනේ නෑ. බැරිම තැන කම්මැලියා අද ඕන දෙයක් කරගත්තාවේ කියලා , තාරා අම්මා අනිත් පැටව් ටිකත් එක්ක යන්න පිටත් උනා.

ඔන්න හැමෝම ගෙදරින් ගිහිල්ල ගොඩ වෙලාවකට පස්සේ පැටී අවදි වුනා. අපොයි හරිම බඩගිනියි. කන්න මොකුත් තියේද කියලා බලන්න ගේ හැමතැනම හෙව්වත් කිසිම දෙයක් හම්බ වුනේ නෑ. එලියට වත් ගිහින් මොනවහරි හොගායෙන කාල බඩගිනි නිවාගන්න ඕන. මෙහෙම හිතපු පැටී අකමැත්තෙන් උනත් එලියට බැහැල හිමින් හිමින් පොකුණ දිහාට යන්න පටන් ගත්තා.


ඉතින් ඔහොම යනකොට හොඳට බඩ පුරවාගෙන ගහක් උඩට වෙලා සිංදු කියා කියා හිටපු පැණි කුරුල්ලෙක් කම්මැලි ගමනින් ඇවිදගෙන එන පැටීව දැක්කා. “කොහෙද තාර පැටියො මේ තනියම යන්නෙ.” පැණි කුරුල්ලා පැටීගෙන් ඇහුවා. “නෑ මම මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ.” එහෙම කියපු පැටී ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” පැණි කුරුල්ලා ආයෙම කියල ඔලොක්කුවට හිනා වුණා. පැටීට ලජ්ජා හිතුනා.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා
පැණි කුරුල්ලා සමච්චලේට කියපු සිංදුව ඇහුනේ නෑ වගේ පැටී හනි හනික යන්න ගියා.


ඊළඟට පැටීට හම්බ වුනේ හා පැංචි. සුදු බොලේ වගේ පෙරලි පෙරලි උඳුපියලිය ගොඩේ පිනුම් ගහනවා. උදේට හොඳ කෑමක් කන්න ඇති හා පැංචිව දැක්ක ගමන් පැටී හිතුවා. “ආයුබෝවන් තාර පැටියො.. කොහෙද මේ තනියෙන් යන්නෙ.” පැටීව දැකපු හා පැංචි ඇහුවා. “නෑ මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ. ” පැටී පුරුදු උත්තරේම දීලා ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” හා පැංචිත් පැටීට සමච්චලේට හිනා වුනා. දෙවෙනි වතාවටත් අර ආස නැති සිංදුව.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා


පැටී හිමින් හිමින් පොකුණ ලඟට කිට්ටු කරා. කකුලක් හිමීට වතුරේ ගාවල බැලුවා. “බුදු අම්මෝ. මේ වතුරෙ සීතල. අපොයි මට නම් බෑ බහින්න මේකට. මාව සීතලට ගල් වෙයි. පැටී පොකුණේ ඉවුර උඩ වාඩිවෙලා වතුර දිහා බයෙන් වගේ බැලුවා.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
සීතල වතුරට බහින්න - බයේ ඉවුරෙ වෙව්ලනවා.

“ඈ කවුද මේ ආපහු මට හිනාවෙන්නේ. අද නම් හරිම නරක දවසක්.” පැටී වට පිට බලල බල හිතුවා. “ජබු..ස්” කියල එක පාරටම ආපු සද්දෙකුත් එක්ක පොකුණට පැන්නේ කවුද දන්නවද? ඉබි පැංචා. ඉබි පැංචා වතුරට පැනපු පාරට පැටීව ඔලුවේ ඉඳන් සීතල වතුරෙන් නෑවිලා ගියා. හූ....කම්මැලියා නෑවා.....කියමින් ඉබි පැංචා ඈතට පීනලා යනවා පැටී බලන් හිටියේ හරිම කේන්තියෙන්. නිකන්ම නෙමෙයි ඉබි පැංචා ගියේ. අර ආස නැති සිංදුවත් කියාගෙනමයි.

මේක හරියන්නේ නෑ. මං මොකටද කාටවත් විහිලු සපයන්නෙ. හෙට ඉඳල උදේම අවදි වෙන්න ඕන. මම කම්මැලියෙක් නෙමෙයි කියලා හැමෝටම පෙන්නන්න ඕන. එතකොට බලමු ඔය සිංදුව කියන්නේ කොහොමද කියලා. පැටී ඔලුවේ වතුර පිහිදාන ගමන් තරහෙන්ම කල්පනා කළා. කොහොමත් තෙමිච්ච එකේ මම දැන් නාගෙනම ගෙදර යන්න ඕන කියලා පොකුණට බැහැලා හොඳට නාගෙන ඕලු ඇට ටිකකුත් හප හපා ගෙදර කල්පනාවෙන්ම ගියා.

ඔන්න ඊළඟ දවසේ උදේම පැටී නැගිට්ටා. කාටත් කලින්ම. මූණ කට හෝදගෙන තටු පීරාගෙන එලියට බැහැලා පොකුණ දිහාට යන්න පිටත් වුනේ හරිම උනන්දුවෙන්. පැටීගෙ මේ වෙනස දැක්ක අයියල අක්කල පුදුමෙන් වගේ එක එක්කෙනාගෙ මූණ බලාගත්තා. “අර මොකද අර අරයා කවදාවත් නැතුව...අද නම් වහියි වගේ...” පැටී එලියට යනවා දැක්ක පොඩි අයියා විහිලුවකුත් කරා.

පැටී පොකුණ ලඟට එනකොටම දැක්කා පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනාම පොකුණ ළඟ ඉන්නවා. “ලොකු කතාවක් වගේ මම ටිකක් පේන්න ඉන්නෝන.” පැටීත් ඒ දිහාවට කිට්ටු කරා. “හානේ මෙන්න තාර පැටියා අද උදෙන්ම අවදි වෙලා... මොකෝ මේ..කොහෙද යන්නේ...” පැටීව දැකපු ගමන් යාළුවො තුන් දෙනා පුදුමෙන් ඇහුවා. “මම මේ පොකුණට ආවා. කෑම ටිකක් හොයා ගන්න.” එහෙම කියපු පැටී “ජබු..ස්” ගාල වතුරට පැනලා පීනන්න පටන් ගත්තා. “හෑ...මෙන්න මෙයා පීනනවා...ඊයේ වතුර සීතලයි කියලා බහින්නේ නැතුව ඉවුරට වෙලා හිටියේ...අද නම් මොකක් හරි වෙලා තමයි.” ඉබි පැන්චාට පැටීගෙ වෙනස හිතා ගන්නවත් බැරි වුනා. මේගොල්ලෝ ටිකක් වෙලා පැටී දිහා බලන් හිටියා. තාර පැටියා දැන් වෙනස් වෙලාවගේ. වෙනදා ඉන්න තාර පැටියා නෙමේ දැන් ඉන්නේ. කම්මැලි නැති හොඳ තාර පැටියෙක්. අපි මෙයාවත් අපේ යාලුවෙක් කර ගනිමු. පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනා කතා වුනා.ඊට පස්සේ ඇහුනෙ කෑ ගහලා හයියෙන් කියන සිංදුවක්.

හරිම කඩිසරයි පැටී - උදෙන් අවදි වෙයි පැටී.
කම්මැලිකම් මග ඇරී - පුදුමයි හොඳ වුන හැටී

පොඩ්ඩක් එනවද පැටී - මේක අහනවද පැටී
අපි කැමතියි යාලු වෙන්න - හාද කියන්නකො පැටී...

පොකුනෙ ඈතට ඈතට පීනලා ගිහින් ඕලු මල් ගාලක් අස්සෙ ඕලු කකා හිටිය පැටීට මේ සින්දුව ඇහුණා. එයාට හිතා ගන්නත් බැරි වුනා. එයාට හරිම සතුටුයි. දැන් ඉතින් මම ඉස්සර හිටිය කම්මැලි පැටී නෙමෙයි. හැමෝම ආදරේ කරන කඩිසර පැටී. යාළුවො තුන් දෙනා අහපු ප්‍රශ්නෙට සින්දුවෙන්ම හා කියන විදියක් කල්පනා කර කර පැටී ඉක්මනට යාළුවො හිටි දිහාවට පීනුවා.

© සිත්තර පැංචි 


Sunday, August 11, 2019

70. මාල ගිරවා


එක කැලේක ගිරා පවුලක් හිටියා. අම්මයි තාත්තයි පුංචි ගිරා පැටියයි. මේ අම්මටයි තාත්තටයි හරිම වයසයි. දෙන්නටම ඇස් පෙනීම අඩුයි. ඉතින් පොඩි කාලේ ඉඳලම ගිරා පැටියා අම්මටයි තාත්තටයි කරදරයක් වෙන විදියට හැසිරුනේ නෑ. තමුන්ගේ වැඩ පුළුවන් විදියට කර ගන්න ගමන් අම්මටයි තාත්තටයිත් උදව් උනා. මේ වගේ පුතෙක් අපිට හම්බ වුනේ අපේ පෙර පිනකට වෙන්නැති. කියල ගිරා අම්මයි තාත්තයි නිතර කතා වුනා. එයාල දෙන්නම ගිරා පැටියා ගැන හිතුවේ හරිම ආදරෙන්. ඒ වගේම හරිම ආඩම්බරෙන්.

ඔහොම දවස් ගෙවෙනකොට ලොකු නියං කාලයක් ආවා. ඉතින් ඒක හින්දා කැලේ කෑමට ගන්න තිබුණු දේවල් ටික ටික අඩු වුනා. ගස්වල අලුතින් මල් පළතුරු හැදුනේ නෑ. ඇට ජාති කොළ ජාති එහෙමත් හොයාගන්න නැති වුනා. පෑවිල්ලට මුළු කැලේම ගස්වැල් මැලවිලා ගියා. දුකින් තමයි හැමෝම කල් ගත කරේ. ඉතින් කැලේ සත්තු ඔක්කොටම කෑම හොයාගන්න එක හරිම අමාරු වැඩක් වුනා. සමහර වෙලාවට කෑම හොයාගෙන අහල පහල ගම්වලටත් යන්න වුනා.

ඉතින් ගිරා පවුලත් මේ පායන කාලේ හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. “ පුතේ අපි ගැන ඕනවට වඩා වද වෙන්න එපා. අපි ඔය තියෙන දෙයක් කාල බීල ඉන්නම්. පුතා පරිස්සමින් ගිහින් එන්න.” ගිරා පැටියා හැමදාම උදේ කෑම හොයන්න යන්න ලේස්ති වෙනකොට අම්මයි තාත්තයි කියනවා. ඒත් ගිරා පැටියා අම්මට තාත්තට නොදී කිසිම දෙයක් කෑවේ නෑ. කොයි තරම් දුර යන්න උනත්, කොයි තරම් අමාරුවෙන් උනත් එයා අම්මටයි තාත්තටයි කෑම ගෙනාව. තුන් දෙනාම එකට ඉඳන් තමයි හැමදාම කෑම කෑවේ.

ඉතින් එක දවසක් උදේම ගිරා පැටියා කෑම හොයන්න ගියා. ඒත් එදා එයාට මොකවත්ම හම්බ වුනේ නෑ. එහෙ මෙහෙ ගොඩාක් දුර පියඹලා කෑම හොයල හොයලා එයාට හරිම මහන්සියි. එයා ගහක අත්තක් උඩ වාඩි වෙලා මහන්සි අරින්න පටන් ගත්තා. ටික වෙලාවකින් එයාට පෙනුනා ඈතින් තියෙන වෙල් යායක්. පේන විදියටනම් කරල් කිරි වැදීගෙන එන ගොයමක් වගේ. එයා ඉක්මනට මහන්සිය අමතක කරලා ඒ දිහාවට පියඹලා ගියා. එයා හිතුවා හරි. කිරි වැදීගෙන එන කරල් පිරිච්ච ගොයමක් තමයි. එයා ඉක්මනට එයාගේ චූටි හොටෙන් අල්ලලා අරගෙන යන්න පුළුවන් තරමට වී කරල් කපා ගත්තා. පරිස්සමට වී කරල් අල්ලාගෙන ඉක්මනට ගෙදරට පියඹුවා.

එදා අම්මටයි තාත්තටයි හරිම සතුටුයි. ගොඩ කාලෙකින් තමයි එයාලට ඒ වගේ රස කෑමක් කන්න හම්බ උනේ. ඉතින් ඔන්න එදා ඉඳලා ගිරා පැටියා හැමදාම අර කුඹුරට පියඹලා ගිහින් වී කරල් කපාගෙන ගෙදර ගෙනාව. අම්මට තාත්තට රසම රස වී ඇට කන්න දුන්නා. ඒත් එහෙම කරගෙන යන්න පුළුවන් උනේ බොහොම ටික දවසයි. තමුන්ගෙ කුඹුරෙ වී කරල් නැති වෙන එක ගැන විමසිල්ලෙන් හිටිය ගොවි මාමා එක දවසක් ගිරා පැටියා වී කරල් කපාගෙන අරන් යන හැටි දැක්කා. හොරාව ඇස් දෙකටම දැක්කා උනාට ගොවි මාමට එක පුදුමයක් තිබුනා. වෙන ගිරව් නම් කුම්බුරේදීම වී කරල් කනවා. ඒත් මේ ගිරවා වී කරල් අරගෙන යනවා. මේකේ රහස දැනගන්න ඕන. ගොවි මාම ගෙදර ගිහින් ගොවි නැන්දටත් විස්තරේ කිව්වා. දෙන්නටම හරිම පුදුමයි. ඊළඟ දවසේ උදේම ගිරා පැටියා කුඹුරට එන වෙලාවට හැංගිලා ඉදලා ගිරා පැටියව අල්ලගමු කියලා ගොවි නැන්දයි මාමයි කතා වුනා.

මේ කිසිම දෙයක් නොදන්නා ගිරා පැටියා වෙනදා වගේම එදා උදෙත් කුඹුරට ආවා වුනත් එදා නම් එයාව ගොවි මාමටයි නැන්දටයි අතටම අහු වුනා. ගිරා පැටියා අල්ලගත්ත ගමන්ම ඒ දෙන්නාට දැනගන්න ඕන වුනේ අර රහස. හොරෙන් වී කරල් කපාගන අරගෙන යන්නේ මොකටද කාටද කොහෙටද කියලා.

අනේ ඉතින් අහිංසක ගිරා පැටියා එයාගේ මුළු කතාවම ගොවි මාමටයි නැන්දටයි කිව්වා. කතාව අපහු ගොවි මාමයි නැන්දයි පුදුම උනා ගිරා පැටියාගේ කරුණාවන්ත හිත ගැන. එයාල දෙන්නටම ගිරා පැටියා ගැන ගොඩක් ආදරේ හිතුනා. මේ කරුණාවත කමට අපි ගරු කරන්න ඕන. ගොවි මාම කිව්වා. ගිරා පැටියෝ... අද ඉඳන් ඔයාට මගේ කුඹුරට එන්න කිසිම තහනමක් නෑ. ඔයාට ඕන වෙලාවක ඇවිල්ල ඔයාට ඇති තරමක් වී කරල් කපාගෙන යන්න. අම්මයි තාත්තයි ජීවත්වෙලා ඉන්නකන් ඒ දෙන්නට හොඳට සලකන්න...එයා ගිරා පැටියා අතට අරගෙන ආදරෙන් කිව්වා. ගොවි මාමා එහෙම කියල ඉවර වෙනවත් එක්කම ගොවි නැන්දා මෙච්චර වෙලා එයාගේ කරේ බැඳගෙන හිටිය ලස්සන මාලේ ගලවලා අරන් ගිරා පැටියාගේ කරේ බැන්දා. මේ තෑග්ග මගෙන් ඔයාට. ඔයාගේ කරුනාවතකමට. ගොවි නැන්දා කිව්වා.

ගිරා පැටියාට හරිම සතුටුයි. අම්මට තාත්තට උදව් කරන කරුණාවත දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. මගේ අම්මයි තාත්තයි කියපු කතාව ඇත්ත. ගොවි නැන්දා කරේ බැඳපු මාලේ අතගාන ගමන් එයා කල්පනා කළා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ගිරා පැටියා මාල ගිරවෙක් වුනේ.

© සිත්තර පැංචි  

Friday, August 9, 2019

69. ඇඹුල් පේර ගස



සුද්දි කියන්නෙ පුංචි ගෑණු ළමයෙක්. එයා හරි සුදුයි. ඉතින් එයාගෙ අම්මයි තාත්තයි එයා පුංචිම කාලෙ එයාට ආදරේට කිව්වේ සුදු දෝණි කියලා. ටිකක් කල් ඔහොම කියනකොට මේ දිග නම කොට වෙලා සුදු දෝණි කියන එක සුදුනි වුණා. පස්සේ පස්සේ එකත් වෙනස් වෙලා තමයි සුදුනි කියන එක සුද්දි උනේ. දැන් නම් හරිම ලේසියි. ගෙදර අය විතරක් නෙමේ යාලුවො, අහල පහල අය වගේම දන්නා කියන ඔක්කොමලම සුද්දි කියල තමයි එයාට කතා කරන්නෙ.

සුද්දිගෙ ගෙදර මිදුලෙ ටිකක් ඈතට වෙන්න ඇඹුල් පේර ගහක් තිබුණා. ඒ ගහ හරි ලොකුයි. පහල ඉඳලම අතු බෙදිලා තිබුණු නිසා ලෙසිලෙන්ම නගින්න පුළුවන්. සුද්දි මේ ගහට නගින්න පටන් ගත්තේ එයාට ඇවිදින්න පුළුවන් උන දවස්වලමයි. පොඩි කාලෙ මිදුලට බැස්ස ගමන් විසි වෙවී ගහ ගාවට යන සුද්දි කොහොමහරි අතු වල එල්ලිලා බඩගාගෙන මේ ගහට නැග ගන්නවා. හරියට වඳුරු පැටියෙක් වගේ. ඊට පස්සේ ඉතින් ගහෙන් බිම බස්සවනවා හෙම බොරු. සමහර වෙලාවට උදේ වරුවම ගහේ. අනේ බහින්නකො පැටියො...බැස්සොත් මං ඔයාට තාත්තට කියල ලස්සන වළලු කැරැල්ලක් ගෙනත් දෙනවා...නැත්නම් ලස්සන බෝනික්කෙක්, රෝස පාට තොප්පියක්, ඉන ගාවට දිග මුතු ඇට මාලයක්, ලොලිපොප්, චොක්ලට්, මල් බිස්කට්, මේ වගේ සුද්දී ආස නොයෙක් ජාතියේ දේවල් ගැන කියා කියා කොයිතරම් කන්නලව් කරත් සුද්දී නෙමේ ගහෙන් බිමට බහින්නෙ. අන්තිමේදි අම්මට කවන්න වෙන්නෙත් සුද්දි ගහේ නැගලා ඉන්නකොට.

ඉතින් සමහර වෙලාවට සුද්දිගේ තාත්තට මේ ගැන හරියට තරහා යනවා. තවත් ඕකට නැග්ගොත් එහෙම මං ඔය ගහ මුලින්ම කපලා දානවා. ඔන්න ආපහු මං කියන්නේ නෑ. සමහර වෙලාවට සුද්දිගේ තාත්තා හොඳටම සැර කරනවා. වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ළමයා ගහෙන් වැටිලා අනතුරක් කරගනී කියන බයට. ඒත් බනින වෙලාවට පූස් පැටියෙක් වගේ අම්මගේ ඇඟ අස්සේ ගුලිවෙන සුද්දිට ඊළඟ දවසේ බැනිල්ල අමතකයි. උදේ පාන්දර ගහේ. ගහත් ඉතින් සුද්දි එනකන් බලන් හිටිය වගේ නැලවේවී ඉන්නෙ හරිම සතුටින්.

ඔන්න එක දවසක් නම් තාත්තට වෙනදට වඩා ගොඩාක් තරහ ගියා. එදා උදේම සුද්දි ගහේ නැගල තියෙන්නෙ හරියට ඇඳුමක් වත් අඳින්නේ නැතුව. අවදි වුන ගමන් ජංගි කොටේ පිටින්. එදා තාත්තගෙ ඉස්කෝලේ කාලේ යාලුවෙකුත් ඇවිල්ල. ගහෙන් බහින්න කියල කොච්චර කතා කරත් සුද්දි බැස්සේ නෑ. තාත්තට හරිම ලැජ්ජයි. දුකයි. තරහයි. යාළුවා ගියා විතරයි සුද්දිව අල්ලගත්ත තාත්තා කතා කරේ හරිම කේන්තියෙන්. “මෙච්චර දවසක් මම කිව්වා විතරයි. ඒත් අද මම කරලම පෙන්නනවා. අද මේ ගහේ අන්තිම දවස. මේක මම අදම කපල ලිපේ දානවා. නැතුව මේ ළමයා හදන්න බෑ. අද දැනගන්න පුළුවන් මේ තාත්තගෙ තරම.” එදා නම් කරපු වැඩේ වැරදි නිසා සුද්දි වෙනුවෙන් කතා කරලා සුද්දිව බේර ගන්න අම්මවත් ආවේ නෑ.

තාත්තගෙ නපුරු මූණ දැක්ක සුද්දී එදා නම් ඇත්තටම බය වුණා. එයා ඇඳට පැනලා කොට්ටෙකින් මුණ වහගෙන හැංගුනා. තාත්ත ඇත්තටම මගේ පේර ගහ කපල දාවිද දන්නේ නෑ. අනේ එහෙම උනොත් මගේ ගහ අඬයි. මං කොහොමද එයාව බේර ගන්නෙ. අනේ මගේ හොඳම යාළුවා. මට ඒ ගහ නැතුව ඉන්න බෑ. කෝට්ටේ අස්සේ මූණ ඔබාගෙන සුද්දී දුකෙන් කල්පනා කළා. අන්තිමේ දන්නෙම නැතුව ඇස් වලින් කඳුළු පේලියක් ආව. එයාට ඇඬුනා. අඬ අඬාම නින්දකට වැටුණා.

සුද්දි අවදි වෙද්දී හොඳටම හවස් වෙලා. ඒ වෙද්දී අම්මවත් තාත්තවත් පේන්න හිටියේ නෑ. සුද්දී හිමීට ඇඳෙන් බිමට බැස්සා. අවදි වුනාට මොකද මිදුල දිහා බලන්නවත් මිදුලට යන්නවත් සුද්දිට බයයි. කොටින්ම එයාට මිදුල දිහා බලන් ඇස් අරින්නත් බයයි. ඒත් අන්තිමේ එයා හිත තද කරගෙන හිමින් හිමින් මිදුල දිහාවට ඇවිදන් ගියා ඇස් බාගෙට පියාගෙනම. පේර ගහ තිබ්බ ඉසව්වට කිට්ටු කරා. අනේ මට ඇස් අරින්න බයයි. මගේ පේර ගහ කපල තිබුනොත් එහෙම. අනේ එහෙම වෙන්න එපා. මම ඇස් අරිද්දි මගෙ පේර ගහ මෙතන තියෙන්න ඕන. අනේ මීට පස්සේ මම අම්මයි තාත්තයි කියන දේ අහනවා. හොඳ ළමයෙක් වෙනවා. මේ ඇත්තමයි. සුද්දි ඇස් පියාගෙන එයාටම කියා ගත්තා. ඊට පස්සේ හිතට හයිය අරගෙන ලොකුවට හුස්මක් අරගෙන...බයෙන් බයෙන් ඇස් ඇරියා.

ඇස් ඇරපු ගමන් දැක්ක දෙයින් එයා අහසට නැගලා සුරංගනා ලෝකෙටම පාවෙලා ගියා. අනේ මේක හීනයක් ද? තටු ඇවිල්ල ඉගිල්ලෙන්න ඉන්න කිරිල්ලියෙක් වගේ එයා උඩ පැන්නේ. සතුට ඉහ වහා ගිහින්. එයා පේර ගහ බදාගෙන ගොඩක් වෙලා හිටියා. හාදු ගොඩකුත් දුන්නා. සුද්දි නිදි අතරේ තාත්ත පේර ගහේ බැඳලා තිබුනේ මොකක්ද?

ඔන්චිලාවක්.

ඔව් ඔන්චිල්ලාවක්.

ඉතින් සුද්දිගේ සතුට අප්‍රමාණයි. තාත්තා ගැන හිතට ආපු ආදරේ ඊටත් වඩා වැඩියි. එයාට හිතා ගන්නත් බැරි වුනා. ගේ ඇතුලේ ඉඳන් මේ ඔක්කොම බලාගෙන හිටිය තාත්තා සුද්දී ලඟට ඇවිල්ල සුද්දිව වඩා ගත්තේ හරිම ආදරෙන්. “මගේ දඟ කෙල්ල. අද ඉඳලා වැදගත් විදියට ඔන්චිල්ලා පදිනවා මිසක් ජංගි කොටේ පිටින් ගස් බඩ ගාන්න ඔට්ටු නෑ ඔන්න හොඳේ.” තාත්තා සුද්දිගෙ ඔළුව අත ගාන ගමන් ආදරෙන් කිව්වා.
(පින්තූරය අන්තර්ජාලයෙනි)
 
© සිත්තර පැංචි 

අලුත් සිතුවම්

136. සූකිරි දත්