Friday, May 17, 2019

56. වෙසක් කූඩු සහ වැඩිහිටියෝ


පාට පාට කොළ කපලා කතුරෙන් පරිස්සමින් අලවා
වෙසක් කූඩු මේ තුනක්ම අම්මත් එක්කල මං හැදුවා
බල්බ් දමාලා තාත්තත් එක්කල තව ලස්සන කරවා
පත්තු කරන්නට පෝයදාට මට ආසාවේ බැරුවා

පිපිච්ච වතුසුදු  කඩලා මගෙ පොඩි වට්ටිය පුරවන්නම්
ඒ මල් අරගෙන වෙසක් පොහෝ දින පන්සල වෙත යන්නම්    
ගාථ කියා බුදු සාදුට වැඳලා සිත තුටු කර ගන්නම්
හොඳ ළමයෙක් වෙන්නට බුදු සාදුට පොරොන්දුවක් දෙන්නම්.

© සිත්තර පැංචි 
2021-05-10


අම්මට වැඩ කර දෙනවා මං 
තාත්තට වැඩ කර දෙනවා මං 
මගේ වැඩත් කර ගන්නවා මං 
ඒ හින්දා හොඳ දරුවෙක් මං 


ආච්චිට සීයට වයසයි දැන් 
වැඩ කරගන්නට බැහැ තනියෙන් 
ඒ හින්දා මං උදව් කරන්නේ 
ආදරබර මිනිබිරියයි මං 

© සිත්තර පැංචි 
2021-05-10

55. ඕලු සහ මුව පැටියා


ඕලු පිපීලා විල ලෙලදෙනවා - රතට රතේ නංගෝ
ඕලු නෙළාලා මාලා ගොතාලා - ගනිමුද අපි නංගෝ
ඔන්න වැස්සකුත් එනවා
ගමු ගමු කුඩයක් හා හා
 ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා

© සිත්තර පැංචි 
2019-08-01


මානෙල් විල ළඟ මුවෙක් සිටිනවා දුකින් වගේ බලනා 
උස ලස්සන අන් තට්ටුව අත්තේ පැටලේවිද නොදැනා 
සමනලයයි ලේනයි එහි ආවට උදව් කරන සිතිනා 
අත්ත බරයි බෑ උඩට අදින්නට තවත් බිමට නැමෙනා 

මෙහෙම ඉන්නකොට වලාකුලක් එහි ආවා නොවැ දුවලා 
මහ හුළඟක් ඒ පස්සෙන් ආවා හනික හනික හමලා 
කොළ බිම හලලා ඇත්ත කෙලින් වී උඩට උඩට හැරිලා 
අයින් වුණා මුව පැටියගෙ අන් තට්ටුව බේරලා තියලා 


© සිත්තර පැංචි 
2021-05-30 

54. මුහුදු වෙරළ සහ දියඇලි


මුහුද බලන්නට පැංචිට ලොකුවට ආසාවක් ආවයි.
ලස්සන ඇඳුමක් ඇඳලා හනිකට ඇය වෙරළට ආවයි
සුළඟට හසුවී ඇගෙ දිග කොන්ඩේ එහෙ මෙහෙ පා වූවයි
දේදුණු බබෙකුත් මේ මහ කලබල බලන්න දිව ආවයි

වෙරළේ නටලා වැලි ගාගන්නට අනෙ මට නම් බැරියෝ
මාව ගලවලා තියලා යනවද මගෙ සුදු කිරි පැටියෝ
බයෙන් හරිම එක සපත්තුවක් හයියෙන් බෙරිහන් දෙනවෝ
අනිත් සපත්තුව ආසයි වතුරට එනිසා හිනැහෙනාවෝ

මොකක්ද දැන් මං කරන්නෙ කියලා පැංචි ටිකක් සිතනා
ටිකිරි මොළෙන් මෙහි වාසි අවාසිය හිමිහිට මැන බලනා
මුහුද සිනාසී හරි ලොකු රැල්ලක් වෙරල වෙතට එවනා
ඔක්කොම ඉවරයි, පුළුවන් හය්යෙන් පැංචි උඩට පනිනා.

© සිත්තර පැංචි 
2019.04 03  


දුන්හිඳ හැලෙනා සින්දුව තාලෙට කියන්න මං ආසයි 
කියන ගමන් හරි ලස්සන දියඇලි අඳින්නටත් ආසයි 
උස කඳු නගින්න පල්ලම් බහින්න ඇවිදින්නට ආසයි 
නිවාඩුවට දිය ඇල්ලක් බලන්න යන්නට මං ආසයි 

උස් කඳු මුදුනේ සිට දිය දහරක් පහලට ඇද වැටෙනා
සුදු සේලය වගෙ පහළට වැටෙද්දි මනරම් ලෙස පෙනෙනා 
සීත මීදුමේ පාවී පාවී සොඳුරු දසුන් මැවෙනා 
ගල් පර්වතවල හැපෙද්දි රිදෙයිද මසිතට බිය දැනෙනා. 


© සිත්තර පැංචි 
2022.10.08 


Monday, May 13, 2019

53. හොඳම අම්මා




දිවා සුරැකුමේ ඉඳගෙන - අම්මා ගැන මතක් කරන්
කාඩ් එකක් හදනෙමි ලොව - හොඳම අම්මට

රස්සාවට ගියේ නැතොත් - අපිට සල්ලි නැති වෙනවා
දිවා සුරැකුමේ තියන්නෙ - බැරිම හින්දම

ආස නැතත් ආසා වගෙ - පෙන්නාගෙන මං ඉන්නව
කරදරයක් නොවෙන්න තව - මගේ අම්මට

වෙලාව ඉක්මනට ගිහින් - ඔරලෝසුවේ පහ වදින්න
අම්මා ඒවි වැඩ ඇරිලා - මං බලන්නට

පහේ ඉඳන් මං අම්මට - අම්ම මටම අයිති වෙනව
කාටවත්ම බෑ දෙන්නව - වෙන් කරන්නට.

© සිත්තර පැංචි 
2019-05-14



Wednesday, May 8, 2019

52. දේදුනු මාළිගා


වැස්ස පොඩ්ඩයි අව්ව පොඩ්ඩයි එකට අහසට පැමිණුනා
වළාකුල් දෙක අතර දේදුනු බබෙක් එවිටම ඉපදුණා
සිනාසී පෙති විදා හනිකට පේළියක් මල් සුපිපුනා
බලා ඉඳ ඒ දෙසම පොකුණේ පිරුණු නිල් දිය හිනැහුනා

උදේ එනවිට සෑමදාමත් අහස විනිවිද බලනවා
අදත් දේදුනු ඇවිත් නෑ නේ කියා මැසිවිලි නගනවා
දහස් ගානක් පාට දේදුනු රෑට හීනෙන් පෙනෙනවා
මතක හිත තුල තියන් තිස්සෙම බබා දේදුණු අඳිනවා

© සිත්තර පැංචි 
2019-07-28 


කන්ද උඩ ඇති මාළිගාවේ දිස්නෙ පහළට පෙනෙනවා 
පිපුණු වනමල් සුවඳ සැමවිට මැදුර අවටින් හමනවා 
කුරුළු මී මැසි සෙනග පිරිවර බොහොම සහයට සිටිනවා 
ටිකිරි සමනල් රජතුමෙක් ඒ මාලිගාවේ වෙසෙනවා  

© සිත්තර පැංචි 
2022-08-20  

අලුත් සිතුවම්

136. සූකිරි දත්