Tuesday, April 30, 2019

51. අහස සහ සරුංගලේ


දැක තියෙනවදෝ කියන්න මේ වගෙ ලස්සන අහසක්
නිවුන්නු වගෙ පායාලා තියෙන්නෙ දේදුනු ඩබලක්
පහතින් අපෙ මාළිගාව උඩින්ම දිලිසෙන වහළක්
තාත්තයි අම්මයි එක්කල හිඳින්නෙ එහි දඟ මල්ලක්

පෙනේද සමනල්ලු එනව දේදුන්නේ සිට පාවී
මල් වල පැණි අරන් ආයෙ ඉගිළී එහෙටම යාවී
දැක්කොතින් මම ඉන්නව මටත් එන්න අඬ ගාවී
නොපෙනෙන්නට ඉන්න ඕන නැත්නම් උස්සන් යාවී

© සිත්තර පැංචි 
2019-04-30 


සරුංගලේ බිම වැටෙද්දි අල්ලගන්න කියා
මලක් නැමෙන හැටි බලන්න පහලට හිස තියා
ඊට කලින් දුවල එයා අල්ලගනිමු කියා
අම්ම එක්ක මං දුවනව තරගෙට හා කියා

ලස්සන මල් වගෙ එල්ලෙන කරාබු වල හැබැයි
පැටලුනොතින් සරුංගලේ නූල සොරිම තමයි
බැන බැන හරි පහලට විත් අහසින් බැස ගෙනයි
බේර ගන්න ඉන්නෙ ඉතින් ඉර මාමේ ඔබයි

© සිත්තර පැංචි 
2019-04-30 

Friday, April 26, 2019

49. ගහල පෙති කෙසෙල් පිති




© සිත්තර පැංචි 

50. කියන්න කැඩපත


කැඩපත කැඩපත මා හට ඇත්ත කියනවද 
කවුරුද මේ තුන් ලෝකයෙ වැඩියෙම ලස්සන?
පිළිතුර දැන දැන ආයෙත් මොකට අහනවද
උත්තමාවියනි ඔබ නොවැ ඒ ලස්සන ළඳ 

රාජ උදහසට ලක් වෙන්නට බැරි හින්දා
අවුලෙන් එනමුත් කැඩපත උත්තර දුන්නා
එසැණින් කට කන් දෙකේම වැදුනද මන්දා
පුංචි උත්තමාවිය සතුටින් උඩ පැන්නා

© සිත්තර පැංචි 
2019-04-26 


48. සුරතලුන්




© සිත්තර පැංචි 


Wednesday, April 24, 2019

47. තාත්තයි මමයි



කොන්ඩෙ උස්සලා පතොක් කටු වගේ
ෂෝට් එකක් කොට ඇඳන් හිතුමතේ
විහිලු හිනාවක් මවන් මුහුණතේ
තාත්ත නිවාඩු ගෙදර අද ඇතේ

කොහෙ හිටියත් මම නම් හැඩකාරී
ඒ වගෙමයි ආඩම්බර කාරී
තාත්තට වැඩ පවරන බලධාරී
යනඑක බොරු අද මාගෙන් බේරී

දන්නා මායම් සියල්ල දක්වමි
ආදරෙ කරමින් බෙල්ලේ එල්ලෙමි
ගන්නෙමි අද වැඩ ගොඩක්ම ගන්නෙමි
පසුගිය ඇරියස් ඔක්කොම අල්ලමි

© සිත්තර පැංචි 



Wednesday, April 17, 2019

46. සුභ නව වසරක්


ඉර මාමා මීන රැසෙන් මේෂ රැසට වඩිනවාලු
තවත් අලුත් අවුරුද්දක් හෙට දිහාට ලබනවාලු
කැවුම් කොකිස් මුං අතිරස අන්න තෙලේ බැදෙනවාලු
ඒ සතුටට බබෙක් ඉතින් සුබ පැතුමක් හදනවාලු

© සිත්තර පැංචි 



44. කිටී සහ පැන්ඩා





© සිත්තර පැංචි 


45. මේ හොඳ ලස්සන බෝනික්කා



මේ හොඳ ලස්සන බෝනික්කා - නත්තල් සීයා මට දුන්නා
හමුබුන දවසේ ඉඳලම එයාට - මං හරියට ආසයි
ලස්සන කොන්ඩේ තඹ පාට - රෝස ත් මැද හරියට ආව
බැඳලා තියෙන්නෙ පැත්තට කරලා - මූණට නොවැටෙන්න

මූණට ගැලපෙන්නට මේකප් - දාන්න පුළුවනි මට කෝමත්
සුරංගනාවක් වාගේ එතකොට එයා පෙනෙනවානේ 
හයි නෙක් ගවුමක් අන්දවලා - සපත්තු මේසුත් දම්මවලා
ලෑස්ති කර ඉන්නේ අවුරුද්දට - එක්කන් යන ගමේ 

පරණවුරුද්දට නාගන්න - නොනගතයේ පන්සල් යන්න
සාදුට කියලා පිරිත් නුලකුත් හැකි බන්දව ගන්න  
නැකතට ලිපගිනි මොලවන්න - නැකතට කිරිබත් ගුලි කන්න
නැකතට පුළුවන් වැඩ අල්ලන්නත් එයාට දැකගන්න

බුලත් හුරුල්ලක් හෙම දීලා - ආච්චිට සීයට වන්දවලා
ගනුදෙනු කරලා මේ අවුරුද්දම - හැකි සරු කර ගන්න
අපේ යාළුකම වැඩි කරලා - හිතින් හිතට තදටම බැඳිලා
බෝනික්කත් එක්කල එකටම මට - හැකි වේවා ඉන්න

© සිත්තර පැංචි 

43. සුරංගනා ලෝකේ


සුරංගනාවියක් වෙලා ඉස්සර මං එහෙ හිටියේ
ඒ ඉඳලා අහම්බෙකින් වාගෙලු මං මෙහෙ ආවේ
දැක්කට පසු මාව හරිම සතුටකි අම්මට ආවේ
ඒ නිසාලු දෙව්ලින්දී කියල මෙමට නම තීවේ

හිටපු ගමන් තාමත් මට එහෙ විස්තර මතක් වෙනව
පියඹලා එහෙ ආපහු යන්නට මං ආස වෙනව
ඒ උනාට පවුනෙ අම්ම එවිටම මට මතක් වෙනව
මේ වගෙ චිත්‍රයක් ඇඳලා ඒකෙන් මං ශේප් වෙනව



© සිත්තර පැංචි 

41. පුංචි කුරුළු කූඩුවේ





කුරුළු පොඩිත්තෝ ආදර කුරුළු පොඩිත්තෝ
කැදැල්ලේම සැඟවී ඉන්න
අර ඈත පේන අහස තලේ - හරි බයානකයි
එපා පුතේ එහි පියඹන්න

නීල අහසෙ නිදහස් බව පෙනුනට
සුළං කපොලු එමට තියෙනවා
අත්තටු සවි නැති ඔබ ඒ සුළඟට
හසු වුනොතින් ගහ ගෙන යනවා

පුංචි පුංචි මල් පිපිච්ච උදයක
සීත සුළං වැලක දැවටිලා
ඈත ඈත පියඹන්නට දිනයක
ඔබටත් වරමක් හිමි වෙනවා

කුරුළු පොඩිත්තෝ ආදර කුරුළු පොඩිත්තෝ
කැදැල්ලේම සැඟවී ඉන්න
අර ඈත පේන අහස තලේ - හරි බයානකයි
එපා පුතේ එහි පියඹන්න

© සිත්තර පැංචි 

42. මල් පෝච්චිය


ආසයි මම පෝච්චිවල මල් හිටවන්න
ලේසියි නොවැ එතකොට මට වතුර දාන්න
හැදී පිපෙන විදිය ඇහැකි හොඳට බලන්න
ඕන  නැහැනෙ මල් කඩන්න වත්තට යන්න

මුළු මල් ගහටම තියෙන්නෙ එකමෙක කොලයයි
කොහොමද අනෙ ඒකවුනේ කවුරුත් විමසයි
අරුමයක්ද ඕක ඉතින් මට නම් සරලයි
නැට්ටෙත් අර තියෙන්නෙ එක මලක් විතරමයි.

© සිත්තර පැංචි 
2019-03-08 



© සිත්තර පැංචි 
2023-01-20  

40. දේදුන්න


දේදුන්නට බර නෑ වැඩි - නැග යමු අපි දේදුන්නේ
සමනළයෝ එන්න යන්න - රවුමක් අපි ආකාසේ

පුළුන් වගේ පැසෙන සුදු වලා කැරලි පහු කරලා
ගිහින් බලමු සුරන්ගනාවියො හමු වේවිද කියලා

රෑට ඇවිත් හිනැහෙන්නේ - දවල්ට යලි හැංගෙන්නේ
හැංගිමුත්ත තරු ඔක්කොම - අද අතටම අහු වෙන්නේ

© සිත්තර පැංචි 
 

39. පාට කරන්න බෑ


නාස්ති කරගෙන වෙලාව පාට කරන්නට
ඉස්සර වගෙ නෙවෙයි හරිම බිසිදැන් බෑ මට
කොලයක් අරගෙන ඇඳගෙන ඇඳගෙන යන්නට
ඇත්නම් ඒ හොඳටම ඇති මම වැනි බබෙකුට


මල් අඳින්න ආසාවක් පොඩි කාලේ ඉඳන්
තියෙනව මට පේනවානෙ මේ දැක්කම හිටන්
පාට නොකර උනත් හොඳට හැඩ වැඩ ටික අරන්
අඳිනව නම් මෙන්න චිත්‍ර බලන්න ඇස් වහන්

අම්මට මගෙ හිටපු ගමන් දුකක් හිතුන විට
ඉන්නෙ මෙන්න මේ වාගේ මයි බුම්මාගෙන
එවිට හනික ලඟට දුවන් ඇවිදින් මේ මම
උම්මා එකක් දුන්න සැනින් හරි යයි ඔක්කොම




පිහාටු දෙක සමනලයගෙ අද අමතක වෙලා
ඒ උනාට කොන්ඩ දෙකක් ඇත ඔලුවෙහි ලිහා
පැණි උරද්දී කොන්ඩ ගහක් පැටලුනොතින් වහා
කඩා දැමිය යුතු වේ එය පුරස්නෙකට මෙහා

පිපිච්ච මල ගෙන බාරෙට සමනලයින් පැණී
බොනවා නොව හිටු කියලා ඇතිවීමක් නැතී
කුරුල්ලන්ට බලන් ඉඳල දැන් හොඳටම ඇතී
බයකරලා එළවගන්න ලොකු සටනක් දෙතී

© සිත්තර පැංචි 

Thursday, April 11, 2019

38. සුරංගනාවියො ඇවිදින්







සුරංගනාවියො ඇවිදින්
කතා කරති තටු සලමින්
එන්න යන්න අපෙ ලෝකෙට
සුළගේ දැවටී නටන්න

ඒ වුනාට මා ඉපදුනු
මේ ලස්සන රට
දාල යන්න හිතට හරිම
දුකයි අනේ මට.

37. ඇගිලි සළකුණු





© සිත්තර පැංචි 
2021-06-06

36. සැර කුරුල්ලෝ




© සිත්තර පැංචි 

35. දිය සායම්




© සිත්තර පැංචි 

34. ගොවි රාළ


උදැල්ල ගෙන මම - කුඹුරට යනවා
කුඹුර කොටාලා - වී වපුරනවා
ගොවි රාලයි දැන් - මට කියනා නම
ගොවි රාලයි දැන් - මට කියනා නම

අමුඩය දාලා පැත්තක
කලිසන් කමිසය ඇඳ ඇත
මොඩ් ගොයියෙකි මේ ඉන්නේ
වත්මන් කාලෙට ගැළපෙන.




© සිත්තර පැංචි.

33. දෙහි සහ සරුංගලේ


දෙහි බෑයක් උඩින් ගහල හොඳ ගානට කූල් වෙච්ච
ලයිම් ජූස් එකක් බොන්න මට හරි ආසයි
ලස්සන උස වීදුරුවක එකක්ම පිරිලා වාගේ
තියෙද්දි ලස්සන දකින්න මට හරි ආසයි
බටෙන් ඇදල කටට ගද්දි දිවට දැනෙන ඒ ගතියෙන්
මූනම හිරිවට්ටගන්න මට හරි ආසයි
මගේ දිහා බලා ඉන්න අම්මට හරි හිනා එන්න
එක එක ඇක්ෂන් දාන්න මට හරි ආසයි.



සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

බට සොයලා පතුරු කපා එකට තියාලා
බැමි බැඳලා ලාටු උලා කොළ අලවාලා
රැලි කපලා එල්ලාලා හැඩ වැඩ දාලා
හැදුව ඔයා උඩට ගියා මා මෙහි දාලා

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

උඩින් ඉඳන් පාවි පාවි පහල බලන්න
හැකිය එවිට මට ඔයාට අතක් වනන්න
දුකයි තමයි ටිකක් එපා එගැන හිතන්න
ඔයා කැමති නම් විතරක් ආයෙත් එන්න

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

© සිත්තර පැංචි 
 


අලුත් සිතුවම්

136. සූකිරි දත්