Saturday, May 28, 2022

96. සමනල රහස

හිමිදිරිය හරිම ලස්සනයි. අක්කයි නංගියි උදේම අවදි වුණා. ලස්සනට සැරසුණා. වත්ත වටේ චාරිකාවක් යන්න එළියට ආවා. ලස්සනට පිපිණු මල්, ඒවායේ වහන සමනලු, සින්දු කියන කුරුල්ලෝ එහෙම බල බලා දෙන්නත් එක්ක එහෙ මෙහෙ ඇවිද්දා. 

ටිකකින් හරි අපූරු දෙයක් වෙනවා නංගි දැක්කා. මල් වල හිටිය සමනල්ලු අක්කගේ ඔලුව වටෙත් කැරකෙනවා. "තව ටිකකින් මගේ ඔලුව ලඟටත් ඒවි...අක්ක වගේම මාත් ලස්සන මල් කොන්ඩ කටු දෙකකුත් ගහ ගෙනනේ ආවේ ඔලුවේ." නංගි කල්පනා කළා. සමනල්ලු වැඩි වැඩියෙන් හිටිය තැන්වල නංගි වැඩි වැඩියෙන් ඇවිද්දා. 

කෝ ඒත්නංගි හිතපු විදියට එයා ගාවට සමනල්ලු ආවේ නෑ. නංගිට දුක හිතුනා. "අනේ සමනලයෝ මගේ ලඟටත් එන්නකෝ..." නංගි ළඟ හිටිය සමනල් බබාලාට කතා කළා. අක්කාට මේක ඇහුනා. "ඒක පුංචි රහසක්. එන්නකෝ මම කියා දෙන්න." අක්කා කිව්වා.

අක්කා නංගිත් එක්ක කහමල් ගහ ලඟට ගියා. ඒකෙ මල් පිරිලා. ඒකෙන් කහ මල් ඉත්තක් කඩලා අක්කා නංගිගේ කොන්ඩේ ගැහුවා. "මාත් ඔය විදියටම තමයි කළේ. මේ බලන්න මගේ කොන්ඩේ." අක්කා නංගිට පෙන්නුවා. 

වැඩි වෙලාවක් ගියේ නෑ. දෙන්නාම පුදුම කරමින් නංගිගේ ඔලුව වටෙත් සමනල්ලු කැරකුණා. නංගි සතුටින් හිනා වුණා. අක්ඩාකාට ගොඩාක් සතුටු හිතුනා "දැන් නම් ඔයා මලක් වගේමයි." අක්කා නංගිට කිව්වා.





Friday, May 27, 2022

95. අපූරු දඬුවම

මිදුලේ අඹ ගහේ ලොකු ලස්සන කුරුළු කූඩුවක් තිබුණා. ඒකෙ කුරුළු අම්මෙකුයි ලස්සන කුරුළු බබාලා දෙන්නෙකුයි හිටියා. කුරුළු අයියයි මල්ලියි. මේ දෙන්නා හරිම දඟකාරයි. 

දවසක් මේ දෙන්නා හොඳටම දවල් වෙනකන් නිදා ගත්තා. අවදි වෙලා බලනකොට අම්මා කූඩුවේ පේන්න හිටියේ නෑ. "අම්මා අපිට කෑම ගේන්න යන්න ඇති. අම්මා එනකන් අපි සෙල්ලම් කරමු." කුරුළු අයියා මල්ලිට කිව්වා. 

දෙන්නා සෙල්ලම් කරන්න පටන් ගත්තා. කුරුළු අම්මා ලස්සනට පිළිවෙලට අස් කරලා ගිය කුරුළු කූඩුව ටික ටික හැඩි වුණා. ඇතුලේ අතුරලා තිබුණු පුළුන් කෑලි තැන තැන විසිරුණා. වටේ හරිම පරෙස්සමට අලවලා තිබුණු කෙඳි ගැලවිලා බිමටත් වැටුණා. මේ අතරේ අම්මා කෑමත් අරගෙන කුරුළු කූඩුවට ආවා. 

"කෝ මට ඉස්සෙල්ලා කවන්න.. මට ඉස්සෙල්ලා කවන්න... " අම්මා එනවා දැක්ක ගමන් අයියයි මල්ලියි දොර ලඟට ඇවිත් කටවල් ඇරගෙන තරඟෙට කෑ ගැහුවා. ඒත් කූඩුව දිහා බලපු කුරුළු අම්මා දෙන්නගේ කෑ ගැහිල්ල ඇහුනේ නෑ වගේ ගෙනාපු කෑමත් අරන් ආපහු ඉගිළිලා ගියා. 

"අර මොකද අම්මා ආපහු ගියේ...අපි බඩගින්නෙ ඉන්න බව අමතක වුනාද....කමක් නෑ ආපහු ඒවිනෙ.." අයියයි මල්ලියි ආයෙ සෙල්ලම පටන් ගත්තා.අවුල් වෙලා තිබුණු කූඩුව තවත් හැඩි වුණා. ටිකකින් ආපහු අම්මා කෑම අරන්ආවා. ඒත්කූඩුව දිහා බලපු ගමන් එයා කලින්ආ විදියටම ආපහු ගියා. "අර මොකද අම්මා අද නපුරු වෙලා? " අයියයි මල්ලියි කල්පනා කරා. 

ටිකකින් වැඩේ තේරුණා. දෙන්නත් එක්ක එකතු වෙලා හැඩි කරපු කූඩුව ඉක්මනට අස්කරා. බඩු පිළිවෙලට තිව්වා. ගැලවුණු කෙදි ටික ආපහු ඇමිණුවා. පුළුන් ටික එකතු කරලා අරගෙන  ලස්සනට ඇඳ හැදුවා. ඊට පස්සේ දොර ළඟට වෙලා අම්මා  එනකන් බලාගෙන හිටියා. ටිකකින් ආපු කුරුළු අම්මාට හරි සතුටුයි. අයියටයි මල්ලිටයි දෙන්නටම ආදරෙන් කෑම කැව්වා.

"හොඳ ළමයි ඔන්න ඔහොම ලස්සනට පිළිවෙළට වැඩ කරන්න ඕන. එතකොට කවදාවත්  අම්මලා නපුරු වෙන්නෙ නෑ." කුරුළු අම්මා කිව්වා. අයියයි මල්ලියි ලස්සනට හිනා වුණා.





Thursday, May 26, 2022

94. මී මැසි මාමා

බබා උදෙන්ම අවදිවෙලා එයාගෙ බව්වත් එක්ක වත්ත වටේ රවුමක් යනකොට ලස්සනට පිපිණු ඩේසි මලක් දැක්කා. ගෙදර මල් පෝච්චියට දාන්න අම්මට දෙන්න හිතාගෙන එයා ඒක කඩා ගත්තා. 

එතකොටම කොහේදෝ ඉඳලා රුං රුං සද්දයක් ආවා. බබා වටපිට බැලුවා. මී මැසි මාමා කෙනෙක් සද්දේ දදා බබා වටේ කැරකෙනවා. "මොකටද මගේ ඩේසි මල කැඩුවේ? කෝ දෙන්න ඕක මෙහාට" මී මැසි මාමා සැර කළා.

"තරහා ගියොත් මී මැසි මාමා මට අනියිද දන්නේ නැහැ." බබා හොඳටම බය වෙලා මූණත් බෙරි වුණා. අඬන්න හැදුවා. ළඟ හිටිය සමනල පැන්චෙකුට මේක ඇහුණා. එයා ඉක්මනට පියඹලා බබා ළඟට ආවා.

"බය වෙන්න එපා බබෝ. මම මේ මී මැසි මාමාට වෙන ඩේසි මලක් තියෙන තැන පෙන්නනම්. මම එමින් ගමනේ මග දිගටම ඩේසි මල් දැක්කා ." සමනලයා බබාට කිව්වා. මී මැසි මාමාත් සැර සද්දේ නවත්තලා සමනලයා එක්ක යන්න කැමති වුණා. 

බබා ගෙදර ගිහින් ඩේසි මල අම්මට දුන්නා. අම්මා ඒක පෝච්චියට දැම්මා. 

"ඒ සමනලයා හරි හොඳයි නේද ?" සමනලයෝ මී මැස්සෝ හැමෝටම එක්ක අපි වත්තේ තව මල් පාත්තියක් හදමු. අම්මා කිව්වා. බබා සතුටින් හිනා වුණා. බව් බව් කියූ බව්වාත් උඩ පැන ඒක අනුමත කළා.




Tuesday, May 24, 2022

93. සිංදුවට නැටුමක්

කුරුළු පැටියා උදෙන්ම අවදි වුණා. වටපිට බැලුවා. අවට හරි ලස්සනයි. කුරුළු පැටියා සිංදුවක් කියන්න පටන් ගත්තා. ගහට උඩින් එබුණු ඉර මාමත් හිනා වෙවී මේ ලස්සන සිංදුව අහගෙන හිටියා. 

පාර දිගේ වැව දිහාට යන්න ආපු මොනර හාමිටත් මේ සිංදුව ඇහිලා ගහ යටින් පොඩ්ඩක් නතර වුණා. "ඔයත් එනවද සිංදු කියන්න ?" කුරුළු පැටියා ඇහුවා. "අනේ මට බැහැ. මගේ කටහඬ කැතයි. ඒක ඇහුවම හැමෝම බය වෙනවා." මොනර හාමි දුකෙන් කිව්වා. ආපහු යන්න හැරුණා. 

"නෑ.. නෑ.. අපි මෙහෙම කරමු. මම සිංදු කියන්නම්. ඔයා නටන්න." කුරුළු පැටියා කිව්වා. වැඩේට කැමති වුණු මොනර හාමි නැවතුනා. ලස්සන පිල් කළඹ විහිදෙව්වා. කුරුළු පැටියාගේ සිංදුවට වටේට කැරකි කැරකි ලස්සන නැටුමක් නැටුවා. 

මේ දිහා බලාගෙන හිටිය ඉරමමා ඇතුළු හැමෝම සතුටු වුණා. "මම හෙට උදේටත් එන්නම්..." යන්න කළින් මොනර හාමි පොරොන්දු උනා. දෙන්නටම හරිම සතුටුයි.









92. අහිංසක අම්මා

එදා සෙනසුරාදා. දවල් කෑමට කොළ මැල්ලුම් හදන දවස. මැල්ලුමට දාන්න වත්තෙන් කඩාගෙන ආපු කොළ තෝරන්න අම්මා මලී ටත් කතා කළා. 

කොළ තෝරන්න ආපු මලී හදිස්සියේම දැක්කා කොළ ගොඩ උඩ ඇවිදින සුදු පාට පොඩි ගුලියක්. මලී පුදුම වෙලා ඒ දිහා හොඳට බැලුවා. "අනේ පුංචි පිටි මකුණු අම්මා කෙනෙක් බිත්තර ගොඩාක් පිට උද තියාගෙන දුවනවා." 

මලී ට දුක හිතුණා. මලී ඉක්මනට ඒ කොළේ අරගෙන ගිහින් එළියේ ගහක් උඩින් තිව්වා. පිටි මකුණු අම්මා හැකි ඉක්මනට ගහේ කොළයක් යටට ගිහින් හැංගුණා. 

"උදේම පිං වැඩක් කර ගත්තා නේද? මගේ හොඳ දුව.." අම්මා කිව්වා. මලී ට ගොඩක් ගොඩක් සතුටු හිතුණා.







Wednesday, May 18, 2022

91. උස ගිය පැන්සල

දිනුති ඉගන ගන්නෙ දෙක වසරෙ. එයාට පන්තියේ යාළුවො ගොඩක් ඉන්නවා. දවසක් දිනුති පන්තියට ලස්සන උස පැන්සලක් ගෙනාවා. ඒක තමයි මුළු පන්තියටම තිබුණ ලස්සනම උසම පැන්සල. 

"කොහෙන්ද ඔයා මේ පැන්සල ගත්තෙ? කවුද ඔයාට අරගෙන දුන්නෙ..." යාලුවන්ට ප්‍රශ්න ගොඩයි. ඒත් දිනුති උත්තර දුන්නෙ නෑ. හිනා වුණා විතරයි. ඒත් ඒ ගැන යාළුවන්ට දැනගන්නම ඕන වුණා. බැරිම තැන දිනුති ඇත්ත කිව්වා.

එයා පැන්සල දෙකට ගැලෙව්වා. එතැන තිබුණේ ඉවර වුනු පැන්සල් කොටේකුයි, දිග උණ බටේකුයි. යාළුවන්ට හරි පුදුමයි. "ඊයේ මගේ පැන්සල ඉවර වුනාම බටයක් ගහලා මෙහෙම හදා ගත්තා." දිනුති කිව්වා.

යාළුවන්ට දුකයි. එක්කෙනෙක් එයාගෙ අලුත්ම පැන්සලක් දිනුතිට දුන්නා. "අපිත් ඉවර වෙන පැන්සල් කොට වලින් මේ වගේ දිග පැන්සල් හදා ගනිමු. අලුත් අදහසට ස්තුතියි දිනුති.. " යාළුවෝ කිව්වා.

දිනුති හිනා වුණා. හැමෝටම හරිම සතුටුයි.








90. ලස්සන නෙලුම් මල

එකමත් එක ගමක පුංචි විලක් තිබුණා. දවසක් ඒ විලේ ලස්සන නෙලුම් මලක් පිපුණා. ඉර මාමා නෙලුම් මල එක්ක හිනා වුනා. "ඔයා මගේ." ඉර මාමා නෙලුම් මලට කිව්වා. 

විලට මේ කතාව ඇහිලා තරහ ගියා. විල වේගෙන් දිය රැළි හෙලෙව්වා. "නෑ ඔයා මගේ." විල නෙලුම් මලට කිව්වා. එතකොටම විල දිහාවට සුළඟක් හමාගෙන ආවා. නෙලුම් මල ළඟින් නැවතුනා. "නෑ ඔයා මගේ." සුළඟ නෙලුම් මලට කිව්වා. 

විල බලන්න උදේම ආපු බබා නෙලුම් මල පිපිලා තියෙනවා දැක්කා. බබාට හරි ආස හිතුණා. "නෙලුම් මල මගේ." බබා කිව්වා. දැන් එතන පොඩි රණ්ඩුවක්. නෙලුම් මල ටිකක් කල්පනා කරලා හැමෝම දිහා බලලා මෙහෙම කිව්වා. 

"රණ්ඩුව නවත්තන්න !!! 

"විල මට හැදෙන්න ඉඩකඩ දුන්නා. ඉර මාමා මට පිපෙන්න එලිය දුන්නා. සුළඟ මගේ සුවඳ වටේටම බෙදලා දුන්නා. බබා හැමදාම ඇවිත් මම පිපෙනකන් බලාගෙන හිටියා. ඉතින් මම ඔයාලා ඔක්කොටොම අයිතියි නේද?" 

ඔව් ඔව් ..." හැමෝම සතුටින් කිව්වා. ඊට පස්සේ මල ගොඩාක් සතුටින් බබාත් එක්ක බුදු සාදු වඳින්න ගියා.








89. අපූරු වැස්ස

එකමත් එක රටක පුංචි බබෙක් හිටියා. එයාගෙ නම මලී. මලී හරි ආසයි මල් වලට. මලීගෙ ගෙදර ලස්සන මල් පාත්තියක් තිබුණා. 

පායන කාලයක් ආවා. මලීගෙ මල් පාත්තියේ මල් ගස් වලින් වතුර වාෂ්ප වුණා. මලී හැමදාම වතුර දැම්මා. ඒත් සැර ඉර එළිය ඒ වතුර ඔක්කොම වාෂ්ප කරලා උඩට ගත්තා. "අනේ ඉක්මනට වහින්නකො....මලී හැමදාම අහසට කිව්වා." 

දවසක් ඇවිදිමින් හිටි වලාකුලකට මේක ඇහුණා. එයාට දුක හිතිලා අනිත් වලාකුළු එක්කත් මේ ගැන කතා කළා. හැමෝම එකතු වෙලා හොඳ වැඩක් කරන්න තීරණය කළා.

වලාකුළු ඔක්කොම ඇත අල්ලගෙන අහසට ආවා. ලොකු වැස්සක් වැස්සුවා. මලීට හරිම සතුටුයි. මල් ගස් වලින් වාෂ්ප වෙලා ගිය වතුර ඔක්කොම ආපහු එයාලටම ලැබුණා.








අලුත් සිතුවම්

136. සූකිරි දත්