Sunday, June 19, 2022

99. ලස්සන අක්කා

එකමත් එක රටක ගොවි මාමා කෙනෙක් හිටියා. එයාගේ ගොවිපළේ අක්කා කෙනෙකුත් හිටියා. ඒ අක්කා හරිම ලස්සනයි. සිරියාවන්තයි. ගොවි මාමා මේ අක්කාට හරිම ආදරෙයි. හැමදාම හොඳට සැප සාත්තු කරලා ආදරෙන් බලාගන්නවා. අක්කා ටික ටික ලොකු වෙලා ලස්සනට ඉන්නවා දකිනකොට ගොවි මාමාට හරිම සතුටුයි. 

දවසක් ගොවි නැන්දා ගොවිපලට ආවා. ලස්සන අක්කාව දැක්කා. එයාව ගෙදර එක්කගෙන යන්න ගොවි නැන්දාට ඕන වුණා. "මාත් එක්ක යමුද ?" ගොවි නැන්දා අක්කාගෙන් ඇහුවා. අක්කා ගොවි මාමා දිහා බැලුවා. "නෑ නෑ දැන්මම යන්න ඕන නෑ. තාම ඔයා පුංචියි. තව ටිකක් ලොකු වෙනකන් ගොවිපළේ ඉඳලා යන්න. " ගොවි මාමා කිව්වා. ලස්සන අක්කා ගොවි මාමාට කීකරුයි. ගොවි නැන්දා එක්ක යන්න ආසාව හිතේ තිබුනත් ගොවි මාමා කියපු කාරනාව අහලා තව ටික දවසක් ගොවිපළේ ඉන්න කැමති වුණා.

ටික දවසකින් ගොවි නැන්දා ආපහු ගොවිපළට ආවා. හැබැයි තනියම නෙමෙයි. අමුත්තෙකුත් එක්කගෙන තමයි ගොවි නැන්දා මේ පාර ආවේ. ඒ තමයි එයාගේ පුතා ගොවි මල්ලි. ලස්සන අක්කා දැක්ක ගොවි මල්ලිට ආස හිතුණා. "අද අපිත් එක්ක යමුද ?" ලස්සන අක්කා ලඟට දුවගෙන ගිය ගොවි මල්ලි ඇහුවා. ලස්සන අක්කා ගොවි මාමා දිහා බැලුවා. " නෑ නෑ තාම යන්න බෑ ඔයාට. තව පොඩි දවසක් ඉන්න වෙනවා ගොවිපළේ. ඒ ටික දවසත් ඉඳලාම යමු." ගොවි මාමා කිව්වා. ලස්සන අක්කා ගොවි මාමා කියන දේ අහලා මේ පාරත් ගොවිපළේ නවතින්න කැමැති වුණා. 

තව ටික දවසක් ගත වුණා. අක්කා හෙමින් හෙමින් ලොකු වුනා. වෙනදාට වඩා ලස්සන වෙමින් ගොවි මාමාගේ හිත සනසමින් හිටියා. මේ අතරේ ගොවි මල්ලිත් එක්ක ගොවි නැන්දා ආපහු ගොවිපලට ආවා. මේ පාර තව අමුත්තෙක් එක්කගෙන ආවා. ඒ තමයි එයාලගෙ ගෙදර චූටි දුව ගොවි නංගි. ගොවි නංගි ලස්සන අක්කා දැක්කා විතරයි සතුටින් උඩ පැන්නා. එයා අක්කාට ගොඩාක් ආස වුනා. අක්කාව කොහොමහරි ගෙදර එක්කගෙන යන්න එයාට ඕන වුණා. "එන්නකෝ අපිත් එක්ක යන්න?" නංගි ලස්සන අක්කාට කතා කරා. ලස්සන අක්කා ගොවි මාමා දිහා බැලුවා. ගොවි මාමා හිනා වුණා. නංගිගේ යෝජනාවට ගොවි මාමාගේ අකමැත්තක් නැති බව තේරුම ගත් ලස්සන අක්කා හරිම සතුටින් කට්ටිය එක්ක ගෙදර යන්න ලේස්ති වුණා. 

යන ගමනෙදි නංගියි මල්ලියි මාරුවෙන් මාරුවට ලස්සන අක්කා වඩාගෙන ගෙදර ගියා. මම ඔයාලාට මගේ ළඟ තියෙන විටමින් ඛණිජලවන ඔක්කොම දෙනවා. ලස්සන අක්කා දෙන්නටම පොරොන්දු වුණා. "ඔය ඉන්න අක්කා ඔයාල දෙන්නගෙ විතරක් නෙවෙයි. එයා අපි කාගේත් අක්කා. බලන්න එයා කොච්චර හොඳද කියලා." ගොවි නැන්දා කිව්වා. හැමෝටම හරිම සතුටුයි. 

කවුද ඉතින් මේ හැමෝගෙම අක්කා?

ඒ තමයි වට්ටක්කා.



Tuesday, June 7, 2022

98. වැස්සයි නින්දයි

රෑ පුරාම මහ වැස්ස. උදේ හතයි වෙලාව. ඒ වුනාට අවට හරි කළුවරයි. එළියට එන්න ඉඩක් හොයා හොයා කළු පාට වැහි වලාකුළු වලට යටින් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය ඉර මාමාට අමුතු සංගීතයක්ඇහුණා. මොකක්ද මේ වෙනදට ඇහෙන්නෙ නැති අමුතු සංගීතෙ.. ඉර මාමා කල්පනා කළා. 

එයා අමාරුවෙන් ලොකු වැහි වලාකුලක් එහෙට මෙහෙට තල්ලු කරලා එබිලා බැලුවා. අනේ ලස්සන බකමූණු පැංචෙක් ඔලුවත් දෙපැත්තට පද්ද පද්දා හ්ම් හ්ම් කියනවා. ඉර මාමාට ආස හිතුණා. "හරි ලස්සනයි." ඉර මාමා පැංචාට ඇහෙන්න කිව්වා. මේක ඇහුණු බකමූණු පැංචා කවුද කතා කලේ කියලා බලන්න වටපිට බැලුවා. වලාකුලක් අස්සෙන් යන්තම් ඔලුව එලියට දාගෙන ඉන්න ඉර මාමාව දැක්කා. 

බකමූණු පැංචාගේ ඇස් උඩ ගියා. ඉර මාමා වෙනදට එන්නෙ උදේටනේ. මේ මොකද රෑත් ඇවිල්ලා. එයා කල්පනා කළා. "ඔයා දැන් රෑටත් එනවද ඉර මාමේ? " බකමූණු පැංචා පුදුමයෙන් ඇහුවා. "නෑ පැංචෝ දැන් උදේ හතයි වෙලාව. මේ වැහි වලාකුළු මට එලියට එන්න දුන්නෙම නැහැනෙ..."ඉර මාමා හිනා වෙලා කිව්වා. ඔන්න එතකොට තමයි බකමූණු පැංචා දැනගත්තේ එළිවෙලා කියලා. 

එහෙනම් මට දොයියාගන්න යන්න  වෙලාව හරි. මං යන්නද? බකමූණු පැංචා ඉර මාමාගෙන් ඇහුවා. හා යමු යමු මාත් එන්නම් ටිකක් නිදියන්න යන්න. අද දවසම මේ වැහි වලාකුළු වලට බාරදීල තියෙන්නෙ. එයාලා අපිට අහගෙන ඉන්න ලස්සන සංගීතයක් එක්ක වැස්සක් වස්සයි. වැස්සේ සද්දේ අහගෙන අපි සනීපෙට දොයියමු." ඉර මාමා කිව්වා. "ඒත් අකුණු ගහයිද දන්නෑනෙ. මම අකුණු වලට බයයිනෙ." බකමූණු පැංචා කිව්වා. "නෑ නෑ ඒක ලොකු බෙර සද්දයක් කියලා හිතා ගත්තම හරි..."ඉර මාමා උපදෙස් දුන්නා. බකමූණු පැංචා හ්ම්ම් හ්ම්ම් කියලා ඔළුව වැනුවා.

වැහි වලාකුළු හෙමින් හෙමින් ලස්සංසන ගීතයක් පටන් ගත්තා. ඉඳහිට අකුණු පුපුරලා සද්දෙට බෙර ගැහුවා. ඒත් ඉරමාමයි බකමූණු පැංචායි අවදි කරන්න නම් ඒ සංගීත කණ්ඩායමට බැරි වුනා. 





Saturday, June 4, 2022

97. නරි තාලේ

කුරුළු බබා උදෙන්ම අවදි වුනා. පලතුරු කෑවා. දැන් කුරුළු බබාගේ බඩ පිරිලා. බඩ පිරුණාම හිත සතුටුයි. කුරුළු බබා සින්දුවක් කියන්න පටන් ගත්තා.

ලන්දේ පඳුරක් අස්සට වෙලා විවේක සුවයෙන් හිටිය නරි පැංචාට මේක ඇහුණා. "කවුද මේ උදේ පාන්දර සිංදු කියන්නෙ. මොනවා උනත් හොඳ ලස්සන සිංදුව. මාත් පොඩ්ඩක් තාලේ අල්ලලා උදව්වක් දෙන්න ඕන. එහෙම හිතපු නරි පැංචා හයියෙන් හූවක් කියලා තාලේ අල්ලන්න පටන් ගත්තා. කුරුළු බබා සිංදුව නැවැත්තුවා. 

"අයියෝ මගේ සිංදුව කැතයි වෙන්න ඇති. අර කවුදෝ මට හූ කියනවා. මේ තාලෙ හරි නෑ. වෙන විදියකට කියලා බලන්න ඕන.." ටිකක් දුකෙන් එහෙම හිතපු කුරුළු බබා තාලේ වෙනස් කරලා ආපහු වෙන සින්දුවක් කිව්වා. "ආ අර සිංදු කාරයා තාලේ වෙනස් කරලා වගේ. මට ඕව බා කියලා හිතුවද දන්නෙ නෑ. අපි නොදන්න සිංදු.." පොඩ්ඩක් වෙලා නැවතිල්ලේ අලුත් තාලෙට කන් දීගෙන හිටිය නරි පැංචා මේ පාර හූ දෙකක්ම කියලා අලුත් තාලේ අල්ලන්න පටන් ගත්තා. කුරුළු බබා ආපහු සිංදුව නැවැත්තුවා. 

"අනේ ඒකත් කැතයිද.. හූ දෙකක්ම ඇහුනෙ.." මේ පාර නම් කොහොමහරි ලස්සනට කියනවා කියලා හිතපු කුරුළු බබා හොඳට හුස්මක් අරගෙන එයා දන්න ලස්සනම සිංදුව හයියෙන් කියන්න පටන් ගත්තා. නරි පැංචාත් වැඩේ අතෑරියේ නෑ. ඒ පාරත් හොඳ සද්දෙට හූ කියලා තාලේ ඇල්ලුවා. කුරුළු බබාට දුකයි. එයා තුන් වෙනි පාරටත් සින්දුව නවත්තලා දැන් මොකද කරන්නේ කියලා කල්පනා කළා. 

මට හූ කියන එක්කෙනා කවුරු උනත් මට වඩා සංගීතේ දන්නා කෙනෙක් වෙන්න ඇති. එයාව හොයාගෙන ගිහින් මගේ අඩු පාඩු අහගන්න ඕන. එහෙම හිතපු කුරුළු බබා සද්දේ ආපු දිහාට පියඹලා ගිහින් අවට විපරම් කරලා බැලුවා. එතකොටම ලන්දේ තණකොළ බිස්සේ වාඩි වෙලා ඉන්න නරි පැංචා දැක්කා. කුරුළු බබා නරි පැංචා කිට්ටුවටම ගිහින් අත්තක් උඩ නැවතුණා. 

"නරි පැංචෝ ඇයි ඔයා මගේ සිංදුවට හූ කියන්නෙ. ඒක එච්චරම කැතයිද? " කුරුළු බබා දුකෙන් ඇහුවා. නරි පැංචාට හරි හිනයි. එයා පෙරලි පෙරලි හිනා වුනා. ආපහු හරිබරි ගැහිලා වාඩි වෙලා මෙහෙම කිව්වා. "ඒ හූ කිව්වා නෙවෙයි බබෝ.. ඔයාගේ සිංදු වලට තාලේ ඇල්ලුවා. ඇයි දන්නේ නැද්ද? ඒ මගේ විදිය නේ." නරි පැංචා කිව්වා. අනේ ඇත්තද? ඒ පාර නම් කුරුළු බබාගේ දුක කොහේ ගියාද නෑ. එයාගෙ මූණටත් හිනාවක් ආවා. 

පටලැවිල්ල විසඳුනු විදිය ගැන දෙන්දෙනටම හරිම සතුටුයි. ඒ සතුටටත් එක්ක නරි පැංචා ආපහු හයියෙන් හූ වක් කිව්වා. කුරුළු බබා මහා හයියෙන් හිනා වුණා.



අලුත් සිතුවම්

136. සූකිරි දත්