Friday, July 22, 2022

100. අඹ යාළුවෝ

ඔන්න එකමත් එක වනාන්තරයක ජිරාෆ් පැංචලා දෙන්නෙක් හිටියා. මේ දෙන්නා හරිම යාළුයි. කොච්චරවත් එකටමයි ඉන්නේ. එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනාට ඉන්නමබෑ. උදේ පාන්දරින්ම හම්බවෙන මේ දෙන්නා ආපහු නිදාගන්න යනකන්ම ඉන්නේ අඹ යාළුවෝ වගේ. මේ දෙන්නා තමයි මුළු වනාන්තරේටම හිටිය හොඳම යාළුවො දෙන්නා. 

එක දවසක් උදේ පාන්දරින්ම සෙල්ලමට වැටුණු මේ දෙන්නා හරි හරියට සෙල්ලම් කළා. ඔක්කොම දන්න දන්න සෙල්ලම් ටික කරලා කරලා ඉවර වෙලා අන්තිමේදී මේ දෙන්නා බෙල්ලෙන් බෙල්ල පටලවාගෙන හවසට කරන්නේ මොනවද කියලා කතා කර කර ඉන්නකොට සමනල බබෙක් එතනට ආවා. 

එයා හරිම කලාකාරයා. යන යන තැන පාට කරන්න තමයි කැමති. මේ ලස්සන ජිරාෆ්ලාගේ ඇඟේ තිබුණු මෝස්‌තර රටාව දැක්ක සමනල බබාට ඒකෙ තව පාට ටිකක් ගාන්න ලොකු ආසාවක් ආවා. ඉතින් එක ජිරාෆ් කෙනෙකුගේ ලඟට හිමිහිට කිට්ටු කරපු සමනල බබා මෙහෙම ඇහුවා. " මම ඔයාගෙ ඇඟේ රෝස පාට ටිකක් ගාන්නද? තව ටිකක් ලස්සන වෙන්න." ජිරාෆ් පැංචා උඩින්ම ඒ යෝජනාවට කැමති වුණා. 

සමනල බබා පරිස්සමින් ජිරාෆ් පැංචා ගේ බෙල්ලේ පාට ගෑවා. ඊට පස්සේ පිටේ පාට ගෑවා. කෝ බලමු දැන් ලස්සනද කියලා. පොඩ්ඩක් ඔය යාලුවාගෙ බෙල්ල අත ඇරලා මෙහෙට එන්නකො බලන්න. සමනල බබා කතා කරා. ජිරාෆ් පැංචලා දෙන්නා දෙපැත්තට වුණා. ඒත් එක්කම තුන් දෙනාටම පුදුමෙනුත් පුදුමයි. 

හරිම පුදුම වැඩක් තමයි වෙලා තිබුනෙ. එක්කෙනෙකුගේ බෙල්ල පාට වෙලා. අනිතේ එක්කෙනාගේ පිට පාට වෙලා. අර කොහොමද එහෙම වුනේ. එක්කෙනෙකුගේ විතරයි නේ පාට ගෑවේ. සමනල බබා ඔළුව කසමින් කල්පනා කළා. ජිරාෆ් පැංචලා දෙන්නා උඩ පැන පැන හිනා වුණා. 

බෙල්ල පටලවා ගෙන හිටිය නිසා සමනල බබාට දෙන්නාගෙ පිටවල් දෙක මාරු වෙලා. අපිට මෙහෙම හොඳයි. එක්කෙනෙකුගේ විතරක් පාට ගෑවා නම් අනිත් එකෙනා පවුනෙ. දැන් දෙන්නටම පාට තියෙනවා. කෝ දැන් ආපහු ඇවිත් මේ ඉතුරු ටික පාට කරන්න. එහෙම කියපු ජිරාෆ් පැංචලා දෙන්නා කලින් හිටිය විදියටම ආපහු බෙල්ල පටලවා ගත්තා.

ඊට පස්සේ ආපහු පළාතටම ඇහෙන්න ලොකු හිනාවක් පිපිරෙනවා ඇහුවා.සමනල බබා හොඳම කලාකාරයෙක් බව හැමෝටම ඔප්පු වුණා.



අලුත් සිතුවම්

136. සූකිරි දත්