Wednesday, July 31, 2019

68. ආඩම්බර සරුංගලේ




සරුංගල් කාලේ අයෙමත් ඇවිල්ල. හැමතැනම හොඳ සනීප හුළඟ. හදපු සරුංගල් විකුනන්න දාලා හැමතැනම. අපි පුංචි කාලේ නම් අපිම සරුංගල් හදාගෙන තමයි උඩ යැව්වෙ. තාත්ත කියනවා නිතරම. ඉතින් තාත්තවත් උදව් කරගෙන ගෙදරම සරුංගලයක් හදලා උඩ යවන්න පුංචි බබාටත් ලොකු ආසාවක් ආවා. “තාත්තේ අපි දෙන්නත් එක්ක ලස්සන සරුංගලයක් හදමු හාද? බබා ඇහුව විතරයි තාත්තත් වැඩේට කැමති වුනා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා බට පතුරක් කපාගෙන ඇවිල්ලා, පතුරු කපලා, බැමි බැඳලා, පාප්ප ගාලා, කොළ අලවලා, තව හැඩ වැඩ ටිකකුත් දාලා ඔන්න අන්තිමේ සරුංගලයක් හදලා ඉවර කරා.

ෂා... මං හරි ලස්සනයිනෙ. හදලා ඉවර වුනාම සරුංගලේට හිතුනා. කහ පාට පසුබිමේ කළු පාට වයිරන් වැටිච්ච මං වෙන්න ඇති මේ පළාතටම ඉන්න ලස්සන එක්කෙනා. සරුංගලේ ආඩම්බරෙන් හිතුවා. දැන් ඉතින් උඩට යනකන් එයාට ඉවසිල්ලක් නෑ. අනේ බබෝ මාව ඉක්මනට උඩට යවන්නකෝ. සරුංගලේ බබාට කිව්වා. ඉතින් බබත් ඔන්න හරිම ආසාවෙන් සරුංගලේ අරන් වෙල පැත්තට දිව්වා.

බබා නූල හිමිට දිග ඇරලා සරුංගලේ උඩ යවන්න පටන් ගත්තා. එදා හුළඟත් ගානට, සැර වැඩිමත් නෑ සැර අඩුමත් නෑ. ඉතින් වැඩි වෙලාවක් නොගෙනම සරුංගලේ උඩට නගින්න පටන් ගත්තා. බලන්න එපැයි උඩ යන්න යන්න සරුංගලේ හිනාව. කට කනෙත් ගෑ වෙනවද කොහේද. එයා හිනා වෙවීම උඩට යනවා. දැන් නම් නූලත් ඉවර වේගෙන එන්නේ. ඒත් තව උඩට නගින්නම තමයි සරුංගලේ හිත. ඒත් බබා නූල අල්ලාගෙන ඉන්න නිසා එයාට යන්න විදියක් නෑ. මේ බබෝ මාව අතාරින්නකෝ. මට අහසේ උඩටම ගිහින් වලාකුළු අස්සේ පා වෙවී ඉන්න ආසයි. සරුංගලේ එයාව අතාරින්න කියලා බබාට බල කරා. බබාට හරිම දුකයි. එයා වරුවක් තිස්සේ මහන්සි වෙලා හදපු සරුංගලේ නේ. ඒත් බේරෙන්න බැරිම තැන එයා සරුංගලේට උඩට යන්න නූල අත ඇරියා.

සරුංගලේ සතුටින් හිනා වෙවී ටික ටික උඩටම උඩටම ගියා. උස ගස් පහු කරා. උස ගොඩනැගිලි පහු කරා. කන්දක් පහු කරා. අන්තිමට වලාකුළුත් පහු කරා. සීතල වලාකුළු ඇඟේ ගෑවෙනකොට හරිම සනීපයි. එයා සනීපෙට උඩ ගියා. එයාට හරිම විනෝදයි මේ යන ගමන. මට හඳ මාමත් හම්බ වෙන්න පුළුවන් වෙයි. එයාට හිතුන. එයා ඔලුව දෙපැත්තට වන වනා සින්දු කිව්වා. සමහර වෙලාවට වටේට කැරකි කැරකි කරනම් ගැහුවා. පහල ඉඳන් බබා එයාට අත වනනවා එයාට පෙනුණා. ඒත් ටිකින් ටික එයා පොළොවෙන් ඈත් වෙනවත් එක්කම බබාගේ රූපෙත් තිතක් වගේ වෙලා නොපෙනී ගියා. සරුංගලේ සතුටින් උඩ යන විදිය ගොඩාක් වෙලා දුකින් බලන් හිටිය බබා අන්තිමේ හෙමින් හෙමින් ගෙදර ගියා.

ඒත් මේ සතුට සරුංගලේ ළඟ තිබුනේ ටික වෙලාවයි. හිතන්නවත් බැරි හදිස්සියකින් වගේ එක පාරටම ආපු ලොකු හුලඟකට අහු වුනු සරුංගලේ වේගෙන් උඩ පහල ගියා. එයාගේ රැළි ගැලවුණා. ඇඟ වටේට ඇඹරුනා. කොළ ඉරුණා. මේ මොකද මේ මට වෙන්නේ. සරුංගලේ හොඳටම බයෙන් ඇස් පියා ගත්තා. මේ විදියට ටික වෙලාවක් හුළඟත් එක්ක අහසේ ඔට්ටු වුන සරුංගලේ හරිම වේගෙන් පහලට ඇදිලා ආවා. ඒ ලඟම සෙල්ලම් පිට්ටනියේ තිබුණු ගහක අත්තක පැටලිලා පොළොවට කඩා නොවැටී යාන්තම් පණ බේරගෙන නැවතුනා.

වෙච්ච දේ ගැන සරුංගලේට දැන් හරිම දුකයි. ඒත් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපරාදේ මම බබාට කිව්වේ මගෙ නූල අත අරින්න කියලා. නැත්නම් මට එයත් එක්ක දිගටම ඉන්න තිබුනා. සරුංගලේ හිතුවා. මම දැන් කොහොමද බබාව හොයා ගන්නෙ. එයා හෙට සෙල්ලම් කරන්න මෙහෙට ඒවිද? බබා එන්න කලින් වෙන කෙනෙක් මාව දකීවිද? ඒ ඔක්කොටමත් කලින් වැස්සක් වැහැලා මාව දිය වෙලා යයිද ? සරුංගලේ මෙහෙම හිත හිතා බොහොම දුකෙන් ඒ වගේම බොහොම බයෙන් රෑ ගත කරා.එදා රෑ බබාට නින්ද ගියෙත් නෑ. එයාට හීනෙනුත් සරුංගලේ පෙනුණා. ඒත් ඉතින් දැන් එයා මගේ ළඟ නැහැනේ. කමක් නෑ මං වෙන එකක් හදනවා. බබා හිත හදා ගන්න හැදුවා. ළමයි සරුංගල් අරින පැත්තට යන්න හොඳ නෑ. එතකොට ආපහු මට මගේ සරුංගලේ මතක් වෙයි. අද පිට්ටනියට යන්න ඕන බෝල ගහන්න. එහෙම හිතල බබා ඊළඟ දවසේ උදේ සෙල්ලම් පිට්ටනියට ගියා.

ටික වෙලාවක් සෙල්ලම් කරපු බබාට මහන්සි වෙලා ගහ යටට ආවා. ඇවිත් ගැහෙ හෙවන යට වාඩි වුනා. චුට්ට වෙලාවකින් එයා දැක්කේ කවුද? අනේ මෙන්න එයාගේ සරුංගලේ ගහේ එල්ලිලා එයා දිහා බලන් ඉන්නවා. පව් එයාට හොඳටම තුවාල වෙලා වගේ. මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. බබා ඉක්මනට උස අයියා කෙනෙක්ට කතා කරලා එයාව ගහට නග්ගලා එයාගෙ සරුංගල් යාළුවව බිමට ගත්තා.

අනේ මට සමාවෙන්න බබෝ. මම ආයෙ කවදාවත් ඔයාව දාල යන්න හිතන්නේ නෑ. මං දැන් දන්නවා මට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නේ බබා ළඟ ඉන්නකොට. මාත් එක්ක තරහ නෑ නේද. සරුංගලේ බබාගෙන් ඇහුවා. නෑ යාළුවේ මන් තරහා නෑ. ඉන්නකෝ මං ඔයාව තිබුනටත් වඩා ලස්සන කරලා ගන්නම්කො. බබා හිනාවෙලා කිව්වා. ඉතින් සරුංගලේට හරිම සතුටුයි. මං තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න සරුංගලේ. බබාගෙ කරේ නැගල ගෙදර යන ගමන් සරුංගලේ හිතුවා.
(පින්තූරය අන්තර්ජාලයෙනි)
 
© සිත්තර පැංචි 


Tuesday, July 30, 2019

67. සුදු පූසි










සුදු පූසිට පූස් පැටව් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලීනු, අනිත් එක්කෙනා වීනු. මේ දෙන්නා හරිම පුංචියි තාම. පුංචි උනාට නෑ දෙන්නටම හරිම දාංගලේ. වෙන වැඩකුත් නැහැනේ ඉතින්. අම්මගෙන් කිරි බොනවා. දෙන්නත් එක්ක දඟලනවා. ආපහු කිරි බොනවා. ආපහු දඟලනවා. ඔන්න ඔහොම තමයි ඉතින් දවස ගෙවෙන්නේ. උඩ පනිනවා. ඇඟවල් හපාගන්නවා. කුරුමානම් අල්ලනවා. දුවල ගිහින් අම්මගේ බෙල්ලේ එල්ලෙනවා. පනිනවා. විකාර ලෝකයයි එතන. එයාගෙ පැටව් දෙන්නා ගැන සුදු පූසි හිටියේ හරිම ආඩම්බරෙන්. බලන්න එපාය ලඟට අරගෙන කිරි පොවන ගමන් ඇඟ ලෙව කකා හුරතල් කරන විදිය. හරිම ආදරණීයයි.


ඉතින් ඔන්න එක දවසක් උදේ පාන්දර මේ තුන්දෙනා හොඳට ගුලි වෙලා නිදි. එක පාරටම ඈතින් ඇහෙන්න පටන් ගත්තා පුංචිම පුංචි මියැව් මියැව් සද්දයක්. ඉතින් ටිකින් ටික මේ මියැව් මියැව් සද්දෙ එයාලගේ ලඟට කිට්ටු උනා. මෙන්න පුංචිම පුංචි අළු පාට පූස් පැටියෙක් ඈත ඉඳන් ඇවිදගෙන එනවා සුදු පූසි දැක්කා. කවුදෝ තාප්පෙට උඩින් වත්තට විසි කරලා. තාම හරියට ඇවිදගන්නවත් බැරි කිරි සප්පයෙක්. කෑ ගහල වැඩිකමටදෝ කොහේදෝ හඬ පිටවෙන්නෙත් යන්තමින්. මේ තුන් දෙනා ඉන්න බව ඉව වැටිලද කොහේදෝ එයා ඉක්මනට ඉක්මනට කකුල් පැටලී පැටලී එන්න හදනවා. අනේ පව්.

අලුත් පූස් පැටියා දිගටම ආවේ සුදු පූසි ගාවට. එයාගේ අම්මා කියලා එයා සුදු පූසිට රැවටිලා. ලඟට ඇවිල්ල කිරි ඉල්ලනවා. හුරතල් වෙන්න හදනවා. ඒත් සුදු පූසි නෙමෙයි ගණන් ගන්නෙ. එයාට තරහ ගියා.“ මේ මොන කරදරයක්ද මේ. මොකද මේ මගේ ලඟට එන්නෙ. ඔයා මගේ පැටියෙක් නෙමෙයි. යනවා යන්න අහකට. මම කිරි දෙන්නෙ මගේ පැටව් දෙන්නට විතරයි.” සුදු පූසි මූණ පුම්බලා ගොරවමින් කිව්වා. ඒත් පූස් පැටියා නැවැත්තුවේ නෑ. එයා තාම පුංචිම එක්කෙනෙක් නිසා එයාට තේරෙන්නෙ නැහැනේ. එයා හිතන්නේ මේ එයාගේ අම්ම කියලා. එලවන්න එලවන්න එයා ආපහු ලඟට ඇවිල්ල සුදු පූසිගේ ඇඟේ එතෙනවා. දැන් නම් සුදු පූසි හොඳටම කේන්තියි. “යන්න නේද කිව්වේ අහකට. සුදු පූසි ආපහු ගොරවලා ගස්සාගෙන යන්න ගියා.


අනේ පුංචි පූස් පැටියට හරිම දුකයි. එයාට හොඳටම ඇඬුනා. වුනේ මොකක්ද කියල ලීනුටයි වීනුටයි නම් එච්චරම තේරුමක් නෑ. කිරි බීල බීල කොට්ට වගේ බඩවල් පිම්බිච්ච නිසා දෙන්නම තාම ඉන්නේ නිදි මතේ වගේ. අලුතින් ආපු පුංචි පූස් පැටියත් අඬ අඬාම ලීනුගෙයි වීනුගෙයි ඇඟට හේත්තු වෙලා බඩගින්නෙම නිදා ගත්තා.

ඉතින් ඔහොම ටිකක් නිදිය ගත්තට පස්සේ ලීනුටයි වීනුටයි ඇහැ ඇරුනා. මෙන්න බොලේ කවුදෝ මල්ලි කෙනෙක් අපිත් එක්කම නිදි. මේ කවුද මේ...මෙයා හොඳයි අපේ සෙල්ලම් වලට.. ඇදලා බලන්න ඕන නැට්ටෙන්. ඉතින් මේ ලීනු අක්කයි වීනු අයියයි දෙන්න ඔන්න අලුත් පූස් පැටියාගේ නැට්ටෙන් අදිනවා. කන හපනවා. ඇඟට පනිනවා. බෙල්ල බදා ගන්නවා. එක සෙල්ලමයි. පුංචි පූස් පැටියටත් ඉතින් කොච්චර දුකින් බඩගින්නේ ඉන්න වෙලාවක වුනත් ඒ ඔක්කොටම වඩා සෙල්ලම ලොකු වුනා. එයත් හිමින් හිමින් අයියයි අක්කයි එක්ක සෙල්ලමට එකතු වෙලා හරි හරියට සෙල්ලම් කරා. එයාට දැන් අම්මා ගැන වගේ වගක් නෑ.

ටික වෙලාවකින් සුදු පූසි ආවා. එයාට පුදුමයි එයාගේ පැටව් දෙන්නා අලුත් පූස් පටියත් එක්ක සෙල්ලම් කරනවා දැක්කම. එයා ඒ දිහා බලන් හිටියා. අලුත් පූස් පැටියා පුංචි කමට දඟලන දැඟලිල්ල දැක්කම එයාගෙ හිත පොඩ්ඩක් වෙනස් වීගෙන ආව. අනේ කොච්චර හුරතල්ද? කොච්චර අහිංසකද? මගේ පැටව් දෙන්න වගේමයි. ඇයි මම ඉස්සෙල්ල්ල සැර දැම්මෙ මේ පැටියට? එයා කල්පනා කළා.


මේ ඇත්තටම මගේ පැටියෙක් නෙමෙයි නේ. ඉතින් මොකටද මට අම්ම කියන්නෙ. ඒකනෙ මම සැර වුනේ. එයාට මතක් වුනා. කාගේ උනත් ඉතින් මේ පැටියා අම්මා නැති අනාථයෙක් නේ දැන්. අනික එයා හිතන්නේ මම එයාගෙ අම්ම කියලා. ඒකට මක් වෙනවද ඉතින්. මට බැරිද මෙයත් මගේ පැටියෙක් වගේ හිතන්න. මෙයාටත් මගෙ පැටව් දෙන්නට වගේ සලකන්න. සුදු පූසි ආයෙම හිතුවා. මොකද බැරි මට පුළුවන්. පූසි එයාටම කියා ගනිමින් සෙල්ලම් කරන පැටව් තුන් දෙනා දිහා ආදරෙන් බලන් හිටියා. අපරාදෙ මේ පැටියට මම උදේ සැර වුනේ. ආපහු මම එහෙම කරන්න හොඳ නෑ. පූසි තදින්ම හිතට ගත්තා. එහෙම හිතාගෙන එයා ආදරෙන් පැටවුන්ට කතා කරා.

මේ මොකවත්ම ගානක් නැතුව සෙල්ලමේම ඇලිලා හිටිය පූස් පැටව් තුන් දෙනා අම්මගෙ කටහඬ ඇහුනා විතරයි විදුලියක් වගේ ලඟට දුවලා ආව. ඇවිල්ල දැන් කිරි බොන්නයි ලෑස්තිය. අලුත් පූස් පටියත් ඉතින් හොඳට හරි බරි ගැහිලා කිරි බොන්න ලේස්ති වුණා. සුදු පූසි තුන් දෙනාටම එක වගේ සතුටින් කිරි දුන්නා. ඇඟ ලෙව කෑවා. මැක්කන්ව හපලා දැම්මා. මූණ ඉම්බා. ආදරේ කරා.


මේ ඔයාලගේ අලුත් මල්ලි. මෙයා අපි ගාවට ආපු වෙලේ කෑ ගහපු විදිය මතකයි නේ? අපි මෙයාට සීනු කියල නම දාමු ඒක මතක් වෙන්නත් එක්ක. සුදු පූසි කිව්වා. මේක අහපු ලීනුයි වීනුයි සීනුයි තුන් දෙනා පොඩ්ඩකට කිරි බීම නවත්තලා මූණෙන් මූණ බලාගත්තා. එතකොටම ලොකු හිනාවක් පිපිරෙනවා ඇහුණා.
(පින්තූර සියල්ලමඅන්තර්ජාලයෙනි)
 
© සිත්තර පැංචි 

Monday, July 29, 2019

66. බබාගේ චිත්‍රය


එදා වැහි දවසක්. වැස්ස කිව්වට එහෙම එක දිගට වහින ලොකු වැස්සක්ම නෙමෙයි. කඩින් කඩ වැටෙන පොද වැස්සක්. ඒත් වටපිටාව හරියට හැන්දෑවක් වගේ කළුවර වෙලා. ඒ නිසා එලියට යන්න කම්මැලියි. අද මම මොකද කරන්නේ කියල බබා කල්පනා කළා. ඔන්න එක පාරටම පුංචි මොලේට අපූරු අදහසක් ආවා.

ගිය සතියේ බබාට තෑග්ගක් හම්බ වුනා. අම්මගේ යාලු නැන්දි කෙනෙක්ගෙන්. මොකක්ද දන්නවද ඒක. ලස්සනම ලස්සන දිය සායම් පෙට්ටියක්. ඒකෙ පාට ගොඩාක් තියෙනවා. බබා හරිම ආසයි මේ තෑග්ගට. මම මේකෙන් අද ලස්සන චිත්‍රයක් අඳින්න ඕන. බබා හිතුව. ඊට පස්සේ ඔක්කොම ඕන කරන දේවල් අරන් පාඩම් මේසෙට ගිහින් බබා චිත්‍රය අඳින්න පටන් ගත්ත.

මුලින්ම අහස. ඊට පස්සේ ලොකු වලාකුළු දෙකක්. ඊට පස්සේ ලොකුවට අඩ රවුම් හතක්... දේදුන්න තියෙන්නේ ලස්සන කන්දකට උඩින්. දේදුන්න අල්ලාගෙන ඉන්නවා වගේ ලොකු ගස් දෙකක් දෙපැත්තෙන්. ගස් දෙක මැද්දෙ පුංචි ගෙදරක්. මේ තියෙන්නේ ලස්සනට. හරියට නිකන් දේදුන්න ගෙට එබිකම් කරනවා වගෙයි කවුද මේකේ ඇතුලේ ඉන්නේ කියලා. බබාට ආස හිතුනා. හිතුවටත් වඩා ඉක්මනට ඇඳලා ඉවර වුනා. දැන් තියෙන්නේ පාට කරන්න. ම්ම්...මොනවද දේදුන්නට එන පාටවල්.. බබා කල්පනා කරනවා. ආ.. හරි හරි මතක් වුනා. අම්ම කියල දුන්නනෙ ලේසි විදියක් මේ පාටවල් මතක තියා ගන්න. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී. ඒ විදියට පාට හතක් දේදුන්නට දාලා..වලාකුළු වලට ලා නිල් පාට දාලා..පිට්ටනියට කොළ පාට දාලා..ඔහොම ඔහොම බබා ඉස්සෙල්ල හිතින් එයා ඇඳපු චිත්‍රෙ පාට කළා.

බබා අම්මට කියලා ගානට වතුර දාල පාටවල් දිය කරලා හදාගෙන ඔන්න ඇත්තටම පින්සලෙන් පාට කරන්න පටන් ගත්ත. හරිම ලස්සනයි පැටියෝ ඔයාගෙ චිත්‍රෙ. ලස්සනට පාට කරන්න ඕන හොඳේ...අම්මා යන ගමන් කියාගෙන ගියා. බබාට හරි සතුටුයි. එයා ටිකින් ටික ටිකින් ටික දැන් ඔන්න චිත්‍රෙ පාට කරමින් යනවා.

මෙහෙම පාට කර කර ඉද්දි ඔන්න එක පාරටම බබාට දැනුනා සිනිඳුවට මොකක් හරි දෙයක් මෙසේ යටින් එයාගෙ කකුලේ ගෑ වෙනවා. මේසේ යටට එබිලා බැලුවා. අනේ මෙන්න සුදු පුසී ඇවිල්ලා. බබා හිතුව සුදු පුසිවත් ඔඩොක්කුවට ගන්න ඕන කියලා. එහෙම හිතලා සුදු පුසිව ගන්න බිමට නැමුණා විතරයි අතේ හැපිලා පින්සල හෝදන්න ගෙනල්ල තිබුන පොඩි වතුර කෝප්පෙ පෙරලුනා. අනේ..මෙච්චර වෙලා මහන්සියෙන් අන්දපු චිත්‍රෙ පුරා..ම වතුර ඉහිරුනා. දැන් ඉතින් මොකද කරන්නේ. දනි පනි ගාලා කොලේ අරන් ඉහිරුණු වතුර ගසලා දැම්මත් වැඩක් වුනේ නෑ. චිත්‍රෙ හොඳටම බොඳ වෙලා. වතුරට පෙඟිලා සමහර තැන් වලින් කොලේ ඉරෙන්නත් වගේ. බබාට හොඳටම දුකයි. ලොකු කඳුළු බින්දු දෙකක් ඇස් වලින් බිමට බේරුනා. බබාට හොඳටම ඇඬුනා. අනේ සමාවෙන්න මට.. කියන්න වගේ සුදු පුසිත් දුකෙන් බලන් ඉන්නවා. එයා ලඟට ඇවිල්ල කකුලේ ඇතිල්ලුන නිසානෙ මේ ඔක්කොම.

කෝප්පෙ වැටෙන සද්දෙටයි.. බබා අඬන සද්දෙටයි කලබල වුනු අම්මා ඉක්මනට පාඩම් මේසෙ ලඟට දුවගෙන ආවා. අනේ වෙලා තියෙන දේට එයාටත් දුකයි. දුක් වෙන්න එපා පුතේ. අපි වෙන එකක් අඳිමු. ඔහොම තමයි ඉතින් සමහර වෙලාවට අපි නොහිතන දේවල් වෙනවනෙ. අම්ම බබාව තුරුළු කරගෙන හිත සැනසුවා. කෝ අපි යමු පොඩ්ඩක් එළියට. එළියේ ඉඳන් උණු කොපි එකක් බොමු ඕක අමතක වෙන්නත් එක්ක. අර දැන් අව් රැල්ලකුත් වැටීගෙන එන්නේ. හා නේද...අම්ම බබාවත් වඩාගෙන එලියට ගියා. සුදු පුසිත් දෙන්නගේ පස්සෙන් ගියා. ඊට පස්සේ බබාව අඹ ගහ යට බංකුව උඩින් වාඩි කරවලා අම්ම ගියා කෝපි හදන්න.

දැන් සුදු පුසියි බබයි දෙන්න බංකුව උඩ ඉඳගෙන ඉන්නවා අම්මා කොපි ගේනකන්. වෙච්ච දේට දෙන්නට තාම දුකයි. සුදු පුසිව අතගාන ගමන් බබා නිකමට වගේ අහස දිහා බැලුවා. හෑ........මේ මොන පුදුමයක් ද. එයාට ඇස් අදහාගන්නත් බැරි වුනා. එයා දැක්කේ එයා දිහා බලාගෙන හිනාවෙන ලස්සන දේදුන්නක්. බබාට හයියෙන් කෑ ගැහුනා බංකුවෙනුත් නැගිට්ටුනා. මේ ඇත්තමද කියලා හිතා ගන්න බැරුව බබා ඇස් දෙක පිහිදාළ ආයෙම අහස දිහා බැලුවා. ඒත් තාමත් දේදුන්න හිනාවී ගත්ත ගමන්මයි. හරියට එයා කොලේ ඇඳපු දේදුන්න අහසට ඇවිල්ල වගේ. බබාට පුදුම සතුටක්. එයා විදුලි වේගෙන් ගෙට දුවලා අම්මවත් ඇදගෙන ආව දේදුන්න පෙන්නන්න.

ෂා.. කොච්චර ලස්සනද. අපිටම තමයි මේක නම් අද පායලා තියෙන්නේ. හැමෝටම හරිම සතුටුයි. බබා සුදු පුසිව වඩාගෙන උඩ පැන්නා. අම්ම හිනාවෙවී බලාගෙන හිටියා. අපි මේකේ ලස්සන ෆොටෝ එකක් ගනිමු. එහෙම කියපු අම්මා ගෙට ගිහින් එයාගේ කැමරාව අරන් ඇවිල්ල අහසයි, දේදුන්නයි , බබයි සුදු පුසියි ඔක්කොමලා එක්ක ලස්සන පින්තුර ටිකක් ගත්තා. එයාලගෙ හිනා පිරිච්ච මූණු පින්තූර වල හරිම ලස්සනට සටහන් වෙලා තිබුනා.මගේ වතුර හැලිලා බොඳ වෙච්ච චිත්‍රෙ වෙනුවට මට ඊටත් වඩා ලස්සන චිත්‍රයක් හම්බුනා.....නේද සුදු පූසි? ..කියල බබා සතුටින් කිව්වා. සුදු පුසිත් බෝල ඇස් කරකවලා ඔව් ඔව් කියන්න වගේ මියැව් මියැව් කිව්වා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)
 
© සිත්තර පැංචි 


Thursday, July 25, 2019

65. සමනල ගස



එක උයනක ගහක් තිබුනා. මේ ගහ අනිත් ගස් වලට වඩා ටිකක් වෙනස්. මෙයා ටිකක් උසට මහතාට වැඩිලා හිටියට මොකද මෙයාගෙ තාම මල් පිපුනේ නෑ. මල් පිපෙන්නේ නැතුව ඉතින් ගෙඩි හැදෙන්නෙත් නැහැනෙ. හැබැයි එයාගේ අතු ලස්සන තද කොළ පාට කොළ වලින් පිරිලා තිබුනා. ඒත් ඉතින් උයනට එන පුංචි ළමයි එහෙම මේ ගහ දිහා බැලුවේ වත් නෑ. එයාල ගියේ ලස්සන මල් පොකුරු පොකුරු පිපිලා තියෙන ලස්සන මල් ගස් ගාවට. ගිහින් මල් අල්ලාගෙන, අතු අල්ලාගෙන, ගස් බදාගෙන එක එක විදියට සෙල්ලම් කළා. ළමයින්ගෙ අම්මලා තාත්තලා තමුන්ගේ ළමයි උයනේ සෙල්ලම් කරන විදිය බලල හරියට සන්තෝස වුණා. සමහර අය පින්තූරත් ගත්ත. ඒත් මේ කියන මල් නැති ගහත් එක්ක එකම එක පින්තූරයක් වත් ගන්න කවුරුත් අවේ නෑ. මේ නිසා මේ ගහ පාලුවෙන් තනියෙන් පැත්තට වෙලා හිටියා.

ඉතින් එක දවසක් උයනට ආපු එක පුංචි සමනලයෙක් මේ දුකින් වගේ ඉන්න ගහ දැක්ක. සමනලයා ටිකක් උනන්දුවෙන් බලාගෙන හිටියා. ටිකක් වෙලා බලන් ඉන්නකොට එයාට තේරුනා මේ ගහට කිසිම යාලුවෙක් නැති බව. ඇයි? එයත් එක්ක සෙල්ලම් කරන්න කවුරුත් එන්නේ නැහැ නේ. එයාගේ යාලු අනිත් සමනල්ලුත් හැමතිස්සෙම යන්නේ ලස්සන මල් තියෙන ගස් ගාවට. සමනලයට මේ ගහ පව් කියල හිතුන. එයා ඉගිලිලා ගිහින් ගහේ අත්තක් උඩ වැහුවා. ඊට පස්සේ ආදරෙන් ගහ දිහා බැලුවා. මං ඔයගේ යාලුවෙක් කරගන්න කියල කියනවා වගේ. ගහත් පුදුම වෙලා වගේ බැලුව මොකද මේ කවදාවත් නැතුව සමනලයෙක් එයාගේ අත්තක් උඩ වාඩිවෙලා එයාගේ දිහා බලන් ඉන්නේ කියල. එක්කෙනෙක්වත් කතා කරේ නැතුවට මොකද ටික වෙලාවක් යනකොට දෙන්නගේ හිත් දෙන්නට තේරුනා. දෙන්න දෙන්නත් එක්ක හිනා වුනා. විස්තර කතා කරා.

ඉතින් මේ ගහ එයාගේ දුක් කතාව සමනලයට කිව්වා. “හරි හරි යාලුවේ. මා ගාව හොඳ අදහසක් තියෙනවා. ඔයා හෙට වෙනකන් ඉවසන්නකෝ. මම මේ උයනට එන හැම කෙනෙක්ම ඔයාගෙ යාලුවෙක් කරලා දෙන විදියක් දන්නවා.” සමනලයා එයාගේ යාලු ගහේ හිත සැනසුවා. යාළුවො වුනාම එහෙම තමයි නේද වෙන්න ඕන. යාලුවෙක් ට දුකක් කරදරයක් වුනාම අපි එයාට පිහිට වෙන්න එපැයි. ඔක්කොමල එක්ක සතුටින් හිනා වෙලා ඉන්නකොටනේ මේ ලෝකේ ලස්සන. “එහෙනම් යාලුවේ මම ගිහින් එන්නම්...ඔයා පරිස්සමින් ඉන්න ඕන හොඳේ”. මෙහෙම කියල සමනලයා යන්න ලැස්ති වුනා. ගහට හරිම සතුටුයි. ඒ වගේම හෙට දවස වෙනකන් ඉවසිල්ලක් නෑ. එයා හරිම ආදරෙන් එයාගේ යාලුවට සමු දුන්නා.

ඉතින් ඔන්න දිගම දිග රැයකට පස්සේ මේ යාළුවො දෙන්නාම ආසාවෙන් බලාගෙන හිටිය දවස උදා වුනා. හප්පේ එදා උදේ ගහේ තිබුණු සිරියාව. පිණි වැස්සේ හිතේ හැටියට නෑවිලා කොළ වෙනදාටත් වඩා කොළ පාටට දිලිසුනා. ලස්සන සිංදුවකට නටන්න වගේ අතු ඉති එහාට මෙහාට නැලවුනා. මේ සතුට දෙගුණ තෙගුණ කරමින් එයා ඈතින් එනවා දැක්කේ කවුද දන්නවද? එයාගේ යාලු සමනලයා. සමනලයත් එක්ක ලොකු හිනාවත් දාන්න ඒ පැත්ත බැලුව විතරි ගහට ඇස් අදහාගන්නත් බැරි වුනා. සමනලයාගේ පිටිපස්සෙන් සමනල්ලු සේනාවක්ම එනවා පෙරහැර වගේ. ඒ ගොල්ලෝ හිනා වීගෙනම ඇවිල්ල ගහේ අතු වල වැහුව. දැන් ගහේ සමනල්ලු පිරිලා. කොළ පේන්නෙත් නෑ සමනල්ලුගෙන් වැහිලා එක සමනල ගහක් වෙලා. කොච්චර ලස්සන දෙයක්ද ?

මේ පුදුමය දැක්ක උයනට ඇවිල්ල හිටිය පුංචි ළමයි, එයාලගේ අම්මල තාත්තල, කුරුල්ලෝ මේ කවුරුත් ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව ගහ දිහාම බලාගෙන ඉන්නවා. අනේ කොච්චර ලස්සනද අර සමනල් ගහ? එයාල ඔක්කොම කතා වෙනවා. ඉන් පස්සේ කට්ටියම ඇවිල්ලා මේ සමනල් ගහ වට කරගත්තා. ගහට ආදරේ කරන්න පටන් ගත්තා. ගහ වටේ අත් අල්ලන් සින්දු කිය කියා නට නටා යන්න පටන් ගත්ත. එදා තමයි ගහ එයාගේ ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටිය දවස. පින්තුර ගැනිලි, බදා ගැනිලි, පුරසාරම්, වර්ණනා කෙළවරක් නෑ. යාළුවො එනවා එනවා එනවා කෙලවරකුත් නෑ. “අනේ සමනල් යාලුවේ ඔයාට බොහොම ස්තුතියි පාලුවෙන් හිටිය මා ගාවට මේ යාලුවන්ව ගෙන්නලා දුන්නට. ගොඩාක් පින් ඔයාට.” ගහ එයාගේ යාලු සනමලයාගේ කනට කොඳුරලා කිව්වා.

එදා ඉඳල හැමදාමත් උයනේ මල් ලඟට යන ගමන්ම සමනල්ලු මේ ගහටත් ආව. ඇවිල්ල අතු වල වාඩි වෙලා ටික වෙලාවක් ගහත් එක්ක කතා කර කර හිටිය. ඉතින් උයනට එන අනිත් හැමෝමත් මේ ලස්සන සමනල් ගහ ලඟට එන්න, එකේ ඉන්න සමනල්ලුන්ගේ ලස්සන බලන්න, කොළ ඉති අතගාලා ආදරේ කරන්න, පින්තූර ගන්න අමතක කරේ නෑ. ඉතින් ගහ එයාගේ මුල්ම යාළුවා වෙච්ච පුංචි සමනලයයි, අලුත් යාලුවොයි එක්ක හරිම සතුටින් උයනේ ගොඩ කාලයක් ජීවත් වුනා. (පින්තූර අන්තර්ජාලයෙනි)

© සිත්තර පැංචි 


Wednesday, July 24, 2019

63. ඉබි හාමිගෙ ගෙදර












ඉබි හාමිගෙ ගෙදර තියෙන්නෙ පිට උඩනෙ. ඉතින් ඉබි හාමි යන යන තැනට ගේත් අරගෙන තමයි යන්න වෙන්නෙ. ගෙයක් පිටේ අරන් යන නිසා ඉබි හාමිට ඉක්මනට ගමන් බිමන් යන්න බෑ. ඇයි ඉතින් ගෙදර හරිම බරයිනෙ. මේක ඉබි හාමිට හරිම හිතට කරදරයක්. යාලුවොත් වෙලාවකට ඉබි හාමිට හිනා වෙනවා. ඇයි වදේ. මෙච්චර මේ ලෝකේ සත්තු ඉන්න රටේ ඉබි හාමි විතරක් ගෙයක් පිටේ තියන්. මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ.ම්ම්ම්...ඉබි හාමි කල්පනා කළා.

ඔන්න ටික වෙලාවකින් ඉබි හාමිට අපූරු අදහසක් කල්පනාවට ආවා. මම මේ ගෙදර කැලෑ ගමේ කඩේට විකුන්නන්න ඕන. ඉබි හාමි හිතුවා. ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ. ඉබි හාමි ඉක්මනට ඉක්මනට කැලෑ ගමේ කඩේට ගියා එයාගේ ගෙදර විකුනන්න. ගිහින් ආපු කාරණේ වලස් මුදලාලිට කිව්වා.

ආ..හරි හරි ඉබි හාමි. ඉබි හාමි කියනවනම් මම ඉබි හාමිගේ ගෙදර අරගෙන ඉබි හාමිට හොඳ ගානක් දෙන්නම්. මේක අහපු ඉබි හාමිට හරිම සතුටුයි . ඉබි හාමි එක පයින් කැමති උනා ගේ විකුනන්න. ඉතින් වලස් මුදලාලි ඉබි හාමිගේ ගේ අරගෙන ඉබි හාමිට කාසි ගොඩාක් දුන්න.

දැන් ඉබි හාමිගේ හිත හරිම නිදහස්. ඉබි හාමි දැන් වෙඩිල්ල වගේ. ඉක්මනට ගමන් බිමන් යනවා. ඉක්මනට දුවලා පැනලා වැඩ කරනවා. අනිත් යාලුවොත් එක්ක හරි හරියට සෙල්ලම. පිට උඩ ගේ නැති නිසා යාළුවො විහිලු කරන්නෙත් නෑ. ඉතින් ඉබි හාමි හැරිම සතුටින් දවස් ගෙව්වා.

මෙහෙන ඉන්නගමන් ඉබි හාමි දවසක් ගමනක් ගියා. කැලේ මැදින් මහා දුර ගමනක් තමයි යන්න තිබුනේ. අපොයි එක පාරටම කැලේ මැදදී ලොකු වැස්සක් කඩාගෙන වැටුනා. හදිස්සියේ වැස්ස නිසා දුවගෙන ගිහින් බේරෙන්න තැනකුත් නෑ. ඉබි හාමි ලොකු ගහකට මුවා වුනා. ඒත් ඉබි හාමි හොඳටම තෙමුනා. අනේ මගේ ගෙදර තිබුන නම් මට මෙහෙම වෙන්නේ නැහැනේ. ඉබි හාමිට ගෙදර මතක් වුනා. දුක හිතුනා.

ඔහොම ටික කලක් යනකොට කැලේට ලොකු නියඟයක් ආව. හරිම තද පෑවිල්ලක්. ඉර එලිය හරිම රස්නෙයි. එලියට බැහැල ඇවිදින්න හරිම අමාරුයි. පිට පිච්චෙනවා. ඉබි හාමිට කෑමක් වත් හොයාගණන් යන්න විදියක් නෑ රස්නේ නිසා. අව්ව වැටිලා හැම පිච්චිලා ගිහින් ඉබි හාමිගෙ පිට රිදෙන්නත් පටන් අරන්ගෙන දැන්. අනේ ඉබි හාමිට ආපහු ගෙදර මතක් වුනා. මගේ අපූරු ගේ පොඩ්ඩ. ඒක තිබ්බනම් මට මෙහෙම දුක් විඳින්න්න වෙන්නෙ නැහැනේ. ඉබි හාමි දුකින් කල්පනා කළා. තමුන් හදිස්සි වෙලා ගේ විකුණුවේ අපරාදේ කියල හිතුන.

දවසක් බඩගින්නේ ඉන්න බැරිම තැන ඉබි හාමි එලියට බැස්සේ කෑමට මොනවහරි හොයාගන්න හිතාගෙන. ටික දුරක් ඉක්මනට ඉක්මනට ඇවිදගෙන යනකොට කවුද දන්නවද ඉස්සරහ එනවා පෙනුනේ. කපටි නරි රාළ. අපොයි මම දැන් කොහොමද මේ නරියගෙන් බේරෙන්නේ. ගේ තිබුනානම් එක ඇතුලට රිංගල බේරෙන්න තිබුන. නරි රාල වැඩිම උනොත් මාව එහෙට මෙහෙට පෙරලලා බලල යන්න යාවි. එත් දැන් ගෙයක් නැහැනෙ. කොහොමද බේරෙන්නෙ. හිත හිතා ඉන්න වෙලාවක් නෑ නරි රාල ටිකින් ටික කිට්ටුවටම එනවා. ඉබි හාමි පණ එපා කියල දුවන්න පටන් ගත්ත. එදා යාන්තම් පණ බේර ගත්තේ දුවල ගිහින් ගඟට පැනගන්න පුළුවන් වුනු නිසා. නැත්නම් මෙලහකටත් ඉබි හාමි නරි රාලගේ කටේ.

මේ සිද්දියෙන් පස්සේ ඉබි හාමිට නිතර නිතර එයාගේ ලස්සන ගේ පොඩ්ඩ මතක් වෙන්න පටන් ගත්ත. වැඩි වැඩියෙන් ගෙදර අගේ තේරෙන්න පටන් ගත්ත. අනේ මගේ ගෙදර. ඉබි හාමි දුකින් කල්පනා කළා. මට මෙච්චර කල් නොතේරුනාට මොකද ගේ පිට උඩ තියෙන එක මට මොනතරක් වාසියක්ද. අපරද්දේ මම යාලුවන්ගේ විහිළුවලට රැවටිලා මගේ ගෙදර නැති කරගත්ත. මම හරිම මෝඩයෙක්. මම ඉක්මනටම ආපහු ගිහින් මගේ ගෙදර අරන් එන්න ඕන. ඉබි හාමි අන්තිමට එයා විකුනපු ගේ ආපහු වලස් මුදලාලිගෙන් කාසි ගොඩක් දීල අරගත්තා.

දැන් ඉබි හාමි කාටවත්ම බය නෑ. ඉබි හාමි දැන් එයාගේ ගේ පොඩ්ඩ හරිම ආදරෙන් බලාගන්නවා. එක එක විදියෙ හද වැඩ දාල ගෙදර ලස්සන කරනවා. ගෙදරත් පිට උඩ තියාගෙන ඉබි හාමි ගමන් බිමන් යන්නෙ හරිම ආඩම්බරෙන්. එයා දන්නවා එයාගෙ පුංචි ගෙදර එයාට කොච්චර වටිනවද කියලා. වෙන කාටවත්ම නැති එයාට විතරක්ම තියෙන මේ අපූරු ගේ පොඩ්ඩ ඉබි හාමිට උපතින්ම ලැබුණු තෑග්ගක්. අපි ඒ වගේ දේවල් නැති කරගන්න හොඳ නෑ. ආදරෙන් බලාගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන. සොබාදහම තරම් අපිට ආදරේ කරන වෙන කවුරුවත් නෑ. ඉබි හාමිට දැන් හොඳට තේරෙනවා. ඒ හින්ද ඉබි හාමි හරිම සතුටින්, හරිම විනෝදෙන්, එයාගෙ ගේ පොඩ්ඩත් එක්ක ගොඩාක් කල් ඒ කැලේ ජීවත් වුනා.

© සිත්තර පැංචි 

Monday, July 15, 2019

62. පොකුණෙ නාපු හඳමාමා




















එදා ඔන්න පෝය දවසක්. හඳමාමා ලස්සනට කහපාට බෝලයක් වගේ අහසේ බැබලෙමින් හිටියා. තරු පොකුරු හඳමාමගේ වටේට ඉඳන් හිනාවෙවී පහත බලන් හිටියා. හඳ එලිය වැටිලා පොලොව හරිම ලස්සනයි. රැයක් උනාට කිසිම කළුවර ගතියක් අහලක වත් නෑ. ගස් වැල්, මල්, කණාමැදිරි, බකමුනු මේ ඔක්කොමල ඉන්නෙ හරිම සතුටින්. හඳ එළියේ ලස්සනට වශී වෙලා වගේ එයාලා ඔක්කොම අහස දිහා බලාගෙන.

මෙහෙම ඉන්නකොට හඳමාමා දැක්කා ලස්සන පොකුණක්. එකේ වතුර හඳ එළියට ලස්සනට දිලිසෙනවා.ඒ වතුර අස්සෙන් හඳමාමා ට පේන්න ගත්තා එයාගේ ලස්සන රූපෙ. හප්පේ කාටද ඉතින් ඒ වගේ ලස්සන රුපයක් තියෙනකොට ආඩම්බර. හඳමාම ආඩම්බරෙන් හිනාවෙලා තව තවත් එයාගෙ හැඩ බැලුව වතුරෙ.පුදුම ලස්සනක්. මෙහෙම බල බල ඉන්නකොට හඳමාමාට අපූරු අදහසක් ආව.

"මේ පොකුණේ වතුර හරිම සීතලට සනීපෙට ඇති. අනේ මට මේ වතුරෙන් නාගන්න ඇත්නම්" කියල එයාට හිතුන. මම අහසට වෙලා ඉන්නවා මිසක් කවදාවත් නාන්නෙ නැහැනෙ. නෑවොත් මාව තවත් හැඩට පෙනෙයි. එයාට හිතුන. හඳමාමා එයාගේ මේ අදහස තරුවලට කිව්වා.

"අපොයි හඳමාමෙ, මේ රෑ පොකුණේ බැහැල නෑවොත් හෙම්බිරිස්සාව හැදෙයි. අමාරු උනොත් එහෙම උණ ගන්නත් බැරි නෑ. අනික හඳමාමාට නාල පුරුදුත් නැහැනෙ" තරු හනික හඳමාමාට තේරුම් කරලා දුන්න නෑවොත් වෙන දේ.

අනේ ඒත් හඳමාමාගේ හිත වෙනස් වුනේ නෑ. එයාට ඕන උනේ පොකුණෙන් නාගන්නමයි. තරු මොනවා කිව්වත් නාන්න තියෙන එයාගෙ ආසාව පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ. අන්තිමේ තරු ටික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉඳල පහලට බැහැ ගත්ත හඳමාමා පොකුණට පැන්න. පොකුනෙ සීතල වතුර හොඳට නා ගත්ත. හම්මේ දැනෙන සනීපෙ. හන්දමාමට හිතුන. කවුරුත් දකින්න කලින් ඉක්මනට අහසට නගින්න ඕන. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නෙ. මෙහෙම හිතපු හඳමාමා ඔලුව අතින් පිහ පිහ ඉක්මනට අහසට නැගගත්තා. නැගල ආපහු පුරුදු විදියට හිනා

එහෙම ටිකක් වෙලා යනකොට හඳමාමාට වෙනසක් තේරුනා . මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වේගෙන එනවා වගේ. ඔලුවත් බරයි. " හචීන්, හචීන් " මහා සද්දෙට හචිනුත් යනවා. මොකද්ද මේ වේගෙන එන්නෙ මට. හඳමාමට බය හිතුන. ටිකින් ටික ඇඟේ අමාරු ගතිය වැඩි වුනා. එළි වේල්ල ලං වෙද්දී හඳමාමට හොඳටම අමාරුයි. පහල බලන් ඉන්නත් බැරි තරමට. බැරිම තැන හඳමාම තරු වලට විස්තරේ කිව්වා. එයා හොරෙන් පහලට බැහැල පොකුණෙන් නාපු විදිය.

"අනේ අම්මෝ හඳමාමේ මොනවද මේ කරගත්තේ. දැන් ඉතින් වෙද ගෙදර යන්න වෙයි. නැතුව මේක සනීප වෙන්නේ නෑ." තරු පොකුරු බය වෙලා හඳමාමව උස්සගෙන හනික හනික වෙද ගෙදරට දිව්වා. වෙද ගෙදර තියෙන්නේ අහසේ ගොඩාක් උඩ, ලොකුම ලොකු සුදු වලාකුලක් ඇතුලෙ. හරිම අමාරුවෙන් එහෙට අරන් ගිහින් ලෙඩේ කියල හඳමාමට බොන්න තිත්ත බෙහෙත් අරන් දීල තමයි තරු ටික සැනසුම් සුසුමක් හෙළුවේ. වලාකුළු වෙද ගෙදර වෙද සීයා හඳමාමට මාසෙකට බෙහෙත් නියම කළා.

"හරියට වෙලාව නොවරදවා බෙහෙත් බොන්න ඕන. මුලදී මුලදී තිත්ත බෙහෙත් බොන කොට ලෙඩේ ටිකක් වැඩි වෙනවා වගේ පෙනෙයි. ඇඟේ තියෙන ලස්සන අඩු වෙනවා වගේ පෙනෙයි. ඒක හිතට ගන්නේ නැතුව එක දිගට බෙහෙත් බොන්න ඕන. හරිද හඳමාමෙ. එතකොට තමයි ඔය ලෙඩේ හරියටම සනීප වෙන්නෙ" වෙද සීය උපදෙස් පත්තරයක්ම දුන්න. ඇති යාන්තන්. ඔක්කොටම හා කියල ඔලුව වනපු හඳමාම, තරුත් එක්ක අමාරුවෙන් ගෙදර ආව.

ඒ කිව්වා වගේම තමයි බෙහෙත් බොද්දි හඳමාමට හරියට අමාරු උනා. ඇඟේ තියෙන ලස්සන අඩු වුනා. පෙනුමත් වෙනස් උනා. ලස්සනට රවුමට හිටිය හඳමාමා පොඩි වකයක් වගේ වෙලා අන්තිමට පේන්නෙත් නැතුව යන තරමට පුංචි වුනා. ඒ දවස්වල හඳමාමා ඇඳේමයි හිටියේ. පොළොවට පෙන්න අහසට ආවෙත් නෑ. හිනාවත් ටිකින් ටික අඩු වෙලා ගියා.

දවස් පහළොවක් විතර යනකොට ඔන්න හඳමාමට සනීපයක් එන්න පටන් ගත්ත.ටිකින් ටික මූණට එලිය වැටුන. වකයක් වෙලා තිබුන ඇඟ ආපහු ටික ටික රවුම් වෙන්න පටන් ගත්ත. පොඩ්ඩ පොඩ්ඩ සනීප වේගෙන එනවා වගේ. හඳමාමට හරියට සතුටු හිතුන. තව තව උනන්දුවෙන් බෙහෙත් බිව්වා. තවත් දවස් පහළොවක් විතර ගෙවිලා යනකොට මෙන්න හොඳටම සනීපයි. ඊළඟ පෝය දවස වෙනකොට හඳමාමට හොඳටම හොඳයි. හප්පේ මුණේ ලස්සන. වෙනදටත් වඩා එලිය වැටිලා වගේ හිනාව. හඳමාම ආපහු තරු වට කරන් අහසට ඇවිල්ල බොහොම ලස්සනට හිනා වුනා. හිනා වීගෙනම පොළොවට එලිය බෙදල දෙන්න පටන් ගත්ත. කාටත් හරිම සතුටුයි, ඇයි? හඳමාම ආපහු අහසට ඇවිල්ලනේ. හඳමාමා නැතුව පාලුවෙන් සාංකාවෙන් හිටිය හැමෝටම හරීම සතුටුයි. විනෝදයි.

ඒත් දන්නවද? පොඩි රහසක් තියෙනවා. පෝයදාට හඳ එලියට දිලිසෙන ලස්සන පොකුණක් දැක්ක ගමන් එදා වගේම හඳමාමට ගිලිලා නාන්න හිතෙනවා. හිතුනට පස්සේ ඉතින් ආපහු නොකර කොහොමද. ඉතින් එදා වගේම හැමෝටම හොරෙන් හඳමාමා නානවා. නාල අහසට නගිනවා. නෑවට පස්සේ ලෙඩ වෙන්නේ නැද්ද ඉතින්. මොකෝ නැත්තේ. ලෙඩ වෙලා මාසයක්ම බෙහෙත් බොනවා. ආපහු පෝයට තමයි සනීප වෙන්නෙ.

ඔන්න ඔහොම තමයි අපි පෝයදාට ලොකුවට දකින හඳමාම ඊට පස්සේ ටික ටික පුංචි වකයක් වෙලා නොපෙනී යන්නෙයි, ආයෙම ටික ටික ලොකු වෙලා ලස්සන වෙලා පේන්න ගන්නෙයි. දැක්ක නේද රහස. හඳමාමගෙ මේ රහස මෙච්චර කල් දැනගෙන හිටියේ පහල පොළොවේ තිබුණු ලස්සන පොකුණ විතරයි. දැන් ඔන්න ඔයාලත් දන්නවා. මීට පස්සේ අහස බලනකොට පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්නකො. පොකුණේ නාපු හඳමාමගෙ වෙනස් වීම ඔයාලටත් පෙනේවි.

© සිත්තර පැංචි 


අලුත් සිතුවම්

136. සූකිරි දත්