Sunday, August 28, 2022

106. ලස්සන වැස්ස












එකමත් එක රටක ලොකු ගංගාවක් තිබුණා. ගඟ ළඟ අවට පරිසරය හරි ලස්සනයි. ගඟේ ඉවුර දෙපැත්තේම එක එක ජාතියේ ගස් වැවිලා ලස්සනට මල් පිපිලා තිබුණා. මේ අතරින් ගංගාව ළඟම තිබුන එක පුංචි මල් ගහක් ගංගාව එක්ක ගොඩක් යාළුයි. එයා විටින් විට ගංගාව එක්ක කතා කරනවා. දුක සැප අහනවා. විස්තර බෙදා හදා ගන්නවා. දෙන්නා හොඳ යාලුවෝ. 

ගංගාව එහා පැත්තේ වනන්තරේ පදිංචි වෙලා හිටිය අලි පැංචා හැමදාම ගංගාවට වතුර බොන්න එනවා. අලි පැංචා වතුර බොන්න ආවාම ඉතින් වතුර ටිකක් විතරක් බීලා නිකන්ම යන්නෙ නැහැනෙ. එයා වතුරේ සෙල්ලං කරනවා. හොඩේට වතුර අරගෙන ඔලුවට උඩින් වටේටම වතුර ඉහිනවා. ඊට පස්සේ ගොඩක් වෙලා නා ගන්නවා. ඉතින් අලි පැංචාත් එක්කම වටේ පිටේ තියෙන ගස් කොළන් ඔක්කොමත් නානවා. එහෙම හිතේ හැටියට ජල ක්‍රීඩා කරලා ඉවර වෙලා තමයි අලි පැංචා ආපහු යන්නෙ.

දවසක් ඔන්න ගංගාව එයාගෙ යාලු මල් ගහ එක්ක කතා කර කර හිටියා. "මේ පායන කාලෙ හරිම රස්නෙයි නේද? මගේ ළඟ වතුරත් දැන් අඩු වේගෙන යන්නෙ. ගොඩක් කාලෙකින් වැස්සෙ නැහැනෙ. අද හෙට ලොකු වැස්සක් වැස්සොත් හොඳයි. මම නම් වැස්සක් වැටෙනකන් මග බලාගෙන ඉන්නෙ. " ගංගාව මල් ගහට කිව්වා. මල් ගහට පුදුමයි. "ඔයා මොනවද මේ කියන්නෙ. මේ වහින්නෙ හැමදාම. මම හොඳටම තෙමෙනවනේ. ඊයෙත් වැස්සා ලොකු වැස්සක් වැස්සා මතක නැද්ද? " මල් ගහ ගංගාවට පිළිතුරු දුන්නා.

මේ මොනවද මෙයා මේ කියන්නේ. ගංගාව පොඩ්ඩක් වෙලා කල්පනා කළා. කාරණාව තේරුණා. ගංගාව හයියෙන් බඩ හොලව හොලවා හිනා වුණා. "ඔය වැස්ස වහින්නේ ඔයාට විතරයි. අපිට නෑ. අද වහින වෙලාවට එහෙනම් ඔයා හොඳට ඇස් ඇරලා බලන් ඉන්නකො. වැස්ස වහින්නේ කොහොමද කියලා එතකොට  ඔයාටත් තේරෙයි " හිනාවෙලා ඉවර වෙලා ගංගාව මල් ගහට කිව්වා. ඒ මොකටද කියලා ඇත්තටම තේරුණේ නැති වුණත් මල් ගහ හා කියලා ඔළුව වැනුවා.

ඔන්න වෙනදා වෙලාවටම අලි පැංචා වතුර බොන්න ආවා. ටික වෙලාවක් ගත වුණා. ඒත් එක්කම පුදුමෙකට වගේ මල් ගහට වහිනවා. තෙමි තෙමීම මල් ගහ අමාරුවෙන් ඇස් ඇරලා හොඳට අවට බැලුවා. ගංගාව කියපු දේ ඇත්ත තමයි. මේ වැස්ස වහින්නේ මගේ වටේට විතරයි නේ. තව ටිකක් හොඳට ඇස් ඇරපු මල් ගහ උඩ බැලුවා. මුලින් එයා දැක්කේ විසාල කළු පාට ගලක්. ඊට පස්සේ ලොකු කළු ගල ලොකු අතක් උඩට උස්සලා එයාගේ වටේට වතුර ඉහිනවා මල් ගහ දැක්කා. ඒ වතුරෙන් තමයි මල් ගහට වහැලා මල් ගහ තෙමෙන්නෙ. මල් ගහ තව ටිකක් කල්පනා කළා. "ආ මේ අලි පැංචා නේ මට වැස්ස අරන් ඇවිල්ලා තියෙන්නෙ." මල් ගහ ගංගාවට ඇහෙන්නම හයියෙන් හිනා වෙලා කිව්වා. "දැන් තේරුණා නේද? ඔයාට විතරක් වහින්නේ කොහොමද කියලා." ගංගාවත් හයියෙන් හිනා වෙලා කිව්වා. 

අලි පැංචාට ගොඩක් සතුටුයි. අහසට වගේ ලෝකෙටම වැස්ස දෙන්න බැරි වුනාට මේ මල් ගහ වගේ කීප  දෙනෙකුට හරි වැස්සක් වස්සන්න එයාට පුළුවන් වුනානෙ. ගංගාවටත් සතුටුයි. වහින වැස්ස එකතු කරගෙන ඉඳලා අලි පැංචාටයි අනිත් සත්තු ඔක්කොටෝමයි  වතුර දෙන්නෙ එයානෙ. මල් ගහටත් සතුටුයි. ඇයි එයා දැනගත්තානෙ එයාට හැමදාම මෙහෙම වැස්සක් වහින්නෙ කොහොමද කියලා. ඉතින් අපිටත් සතුටුයි. ලස්සන කතන්දරයක් ඇහුවානෙ. එහෙම නේද යාළුවනේ? 


Friday, August 26, 2022

105. අපූරු ගණුදෙනු










වත්ත පහල කජු ගහ එයාගෙ අතුවල ඉදුණු පුහුලන් පුරවගෙන හිනාවෙනවා. බලන්න ලස්සනයි. කහ පාට, රෝස පාට, රතු පාට, තැඹිලි පාට ලස්සන ලස්සන පාටවල් වලින් බල්බ් එල්ලලා වගේ. කජු ගහ ළඟින් අපූරු මිහිරි සුවඳකුත් එනවා. පුහුලමක් නොකා එතැනින් යන්න හිතෙන්නෙත් නෑ. කජු ගහ දැක්කත් ඇති හැමෝගෙම හිත පිරෙනවා. සුවඳ පුරවාගෙන, පාට පුරවාගෙන, රස පුරවාගෙන කජු ගහ මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්. 

හැබැයි මේ දවස්වල කජු ගහ වගේම සතුටින් ඉන්න තව කෙනෙක් ඉන්නවා. එයා එන්නෙ රෑට. දවල්ට එයා ගහක අත්තක එල්ලිලා හොඳටම නිදි. අවදි වෙන්නෙ රෑට. එහෙම අවදි වෙලා කජු පුහුළන් සුවඳ ඉව කර කර හනි හනික පියාඹලා කජු ගහට එනවා.දන්නවද  ඒ කවුද කියලා. ඒ තමයි වවුල් බබා.

වවුල් බබා හැමදාම රෑට කජු ගහට එනවා. ඉදුණු රසම රස කජු පුහුළන් කනවා. බඩ පිරුණාම ක්රීස් ක්රීස් කියලා සිංදුවකුත් කියනවා. කජු ගහ එයා එනකන් හැමදාම ඉන්නෙ  අවදියෙන්. කජු ගහ වවුල් බබාට රසම රස කජු පුහුලන් දීලා, රස කර කර එයා ඒවා හපා කාලා කජු ඇටත් එක්ක හපේ බිමට දාන හැටි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වවුල් බබාගෙ සිංදුත් ඉවර වුණාම තමයි කජු ගහ නිදාගන්නෙ. 

දවසක් ඔන්න ඔහොම කජු පුහුළන් කාලා ආපහු යන වවුල් බබාට කජු ගහ ගැන ලොකු දුකක් ඇති වුණා. "මට හැමදාම කජු පුහුලන් මහ ගොඩක් දීලා මගේ බඩ පුරවන කජු ගහ හරි හොඳයි. එයා මට පුහුලන් දුන්නට මම එයාට මොකුත් දෙන්නෙ නැහැනෙ. එයා පවු. හෙට ගියාම කජු ගහෙන් අහන්න ඕන එයාට මගෙනුත් මොනවා හරි ඕනද කියලා. මගෙනුත් මොකක් හරි තෑග්ගක්, එහෙමත් නැත්නම් මොකක්හරි උදව්වක් එයාට ඕනද දන්නෙ නෑ. අපි කාගෙන් හරි උපකාරයක් ගන්නවා නම් එකට හරි යන්න අපිත් ප්‍රති උපකාරයක් කරන්න එපැයි. එහෙමනෙ අම්මත් කියල දීල තියෙන්නෙ " යන ගමන් වවුල් බබා තනියෙන් කල්පනා කර කර ගියා. 

ඊළඟ දවසේ රෑ ඔන්න ආපහු වවුල් බබා ආවා. කජු ගහ එයාව ආදරෙන් පිලි අරගෙන කජු පුහුලන් ගොඩාරියක් දුන්නා. වවුල් බබා ඒවා කන ගමන් එයා හිතපු අර කාරණාව ගැන කජු ගහ එක්ක කතා කරා. කජු ගහට හරි සතුටුයි. ඇයි ඉතින් කවුරුහරි අපි ගැන හොයල බලනකොට, ආදරේ කරනකොට අපිට සතුටුයි නෙ. ටිකක් වෙලා කල්පනා කරපු කජු ගහ වවුල් බබාට මෙහෙම කිව්වා.

"මම ඔයාට උදව් කරනවා වගේ ඔයාටත් පුළුවන් තමයි මටත් උදව්වක් ලේසියෙන්ම කරන්න. ඔයාට තියෙන්නේ ඔයා හප කරලා බිමට දාන කජු පුහුලන් හපවලින් ටිකක්  යනගමන් මග දිගේ හලාගෙන යන්න. මොකද කියන්නෙ? පුලුවන්ද වවුල් බබෝ? " කජු ගහ ඇහුවා. වවුල් බබාට සතුටුයි. හැබැයි ටිකක් පුදුමයිත් වගේ. "අපෝ මොකද මට බැරි. ඕක මට සුළු දෙයක්නෙ. ඒත් කොහොමද ඒකෙන් ඔයාට උදව්වක් වෙන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ.? " වවුල් බබා ආ පිට කජු ගහට උත්තර දුන්නා. 

"මෙහෙමනෙ වවුල් බබෝ. ඔයා ඒවා මග දිගේ හලාගෙන ගියාම ටික කාලෙකින් ඒවායේ තියෙන කජු ඇට ඉබේටම පොළොවේ පැලවෙනවා. එතකොට මං වගේ තව පොඩි පොඩි කජු ගස් ගොඩක් ඒවායින් හැදේවි. ඒවා හැදිලා ලොකු වෙලා ඒවයෙත් මේ වගේ පුහුලන් ඒවි. දැන් ඔයා ඔක්කොම හප ටික ගහ මුලම දානවනෙ. එතකොට උදේට මේ ගෙදර පුංචි නංගි ඇවිත් ඒවා ඔක්කොම එකතු කරගන්නවා. එතකොට අලුත්ඒ පැල හැදෙන්නෙ නැහැනෙ. ඒ නැතත් මගේ මේ හෙවන ගහ යට තව කජු ගස් වලට හැදෙන්න ඉඩ මදිනෙ. ඒක හින්දා ඔයා යන ගමන් ඈතට ඈතට මග දිගට ඒවා හලාගෙන යන එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. දන්නවද ඒක මට විතරක් නෙමෙයි. අපි හැමෝටම කරන ලොකු උදව්වක්." කජු ගහ වවුල් බබාට කියා දුන්නා. 

වවුල් බබාට කාරණාව තේරුණා. එයා කන කජු පුහුලන් වලට හරියන්න කජු ගහටත් උදව්වක් කරන්න ලැබෙන හන්දා වවුල් බබාට ගොඩක් සතුටු හිතුණා. ඒක හරි අපූරු ගණුදෙනුවක් බව එයාට වැටහුණා. එයා ඒ ගැන එයාගෙ යාළුවන්ටත් කිව්වා. දැන් හරි අපුරුවට වවුල් බබාලා හැමෝම කජු ගස් එක්ක ගණුදෙනු කරනවා. කජු ගහෙන් පටන් ගත්ත මේ ගණුදෙනුව ටික ටික අනිත් පලතුරු ගස් එක්කත් කරන්න වවුල් බබාලාට වැඩි කාලයක් ගත වුණේ නැහැ. අඹ ගස්, රඹුටන් ගස්, පේර ගස්,  කාමරංකා ගස්, වැල වරකා ගස්, මේ හැමෝම එක්ක ගණුදෙනු කරන්න එයාලා දැන් දන්නවා.

දැක්කා නේද පුංචි යාළුවනේ. මේ වගේ හරි ලස්සන අපූරු ගනුදෙණු එකිනෙකා අතරේ තියෙනකොට අපි හැමෝම දිනුම් නේද?


Thursday, August 25, 2022

104. කළු කපුටියි සුදු කිකිළියි

සුදු කිකිළි හිටියෙ අඹගහ යට. කළු කපුටි හිටියෙ අඹගහ උඩ. කළු කපුටි කපුටු කාක් කාක් කියනකොට සුදු කිකිළි කෙකර පේක් පේක් කියනවා. හැබැයි ඉතින් ඒ තරහට එහෙම නෙවෙයි. එහෙම කියන්නෙ යාලු කමට.එකම අඹගහ බෙදාගෙන අඹ ගහේ උඩයි යටයි කූඩු හදාගෙන ජීවත් වුන මේ දෙන්නා හොඳ යාළුවො. ටික දවසක් යද්දි මේ දෙන්නා බිත්තර දෙකක් දැම්මා. බිත්තර දෙකම එක වගේ. සුදු පාටයි. වටකුරුයි. ලස්සනයි. දෙන්නම පණ වගේ ආදරෙන් බිත්තර දෙක රැක්කා.

"මේ බලන්නකෝ මගේ බිත්තරේ දැන් ලොකුයි. මට පුළුන් බෝලයක් වගේ සුදුම සුදු  පැටියෙක් ළඟදීම හම්බ වෙන්න යන්නෙ." දවසක් සුදු කිකිළි කළු කපුටිට කිව්වා. "ඔයා දන්නවද වැඩක්. මගේ බිත්තරෙත් දැන් ලොකුයි. ඒකත් ඔයාගෙ බිත්තරේ වගේම සුදුම සුදුයි. මටත් ලඟදිම පැටියෙක් ඒවි. " කළු කපුටිත් සුදු කිකිළි එක්ක කතා වුනා. "බිත්තරේ සුදු නිසා ඔයාටත් මට වගේ සුදුම සුදු පැටියෙක් හම්බ වෙයිද දන්නෙ නෑ." සුදු කිකිළි කළු කපුටිට විහිලු කළා. ඇත්තටම මේ කට්ට කළු මට සුදු කපුටු පැටියෙක් හම්බ වෙයිද ? එහෙම වුනොත් කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ? කළු කපුටිට පොඩි බයකුත් ආවා. 

අඹ ගහ ළඟ ගෙදර හිටියේ දඟ මල්ලි කෙනෙක්. කළු කපුටිත් සුදු කිකිලිත් බිත්තර දාපු බව දැනගත්ත දඟ මල්ලිට පුංචි අදහසක් හිතට ආවා. ඒක ටිකක් දඟ වැඩක් තමයි බලාගෙන ගියාම. ඒත් ඉතින් දඟ මල්ලියෙක් උනාම දඟ වැඩ කරන්නත් හිතෙනවනෙ. සුදු කිකිළිත් කළු කපුටිත් කෑම හොයාගෙන යන වෙලාවක් බලලා දඟ මල්ලි කූඩු දෙකේ තිබුණු බිත්තට දෙක මාරු කරා. කළු කපුටිගේ බිත්තරේ සුදු කිකිලිගෙ කූඩුවට දැම්මා. සුදු කිකිළිගේ බිත්තරේ කළු කපුටිගේ කූඩුවට දැම්මා. දැන් බලමු මොකද වෙන්නෙ කියලා. දඟ මල්ලිට හිනාවක් ගියා. මේ මොකවත් නොදන්නා සුදු කිකිළිත් කළු කපුටිත් වෙනදා වගේම ආදරෙන් බිත්තර දෙක රැක්කා.

ඔහොම ටික දවසක් ගතවෙලා බිත්තර බිඳෙන දවස ආවා. කූඩු දෙකේම බිත්තර බිඳුණා. කළු කපුටිටයි සුදු කිකිළිටයි පුදුමෙනුත් පුදුමයි. සුදු කිකිලි රැක්ක බිත්තරෙන් එලියට ආවේ කළුම කළු කපුටු පැටියෙක්. කළු කපුටි රැක්ක බිත්තරෙන් එලියට ආවෙ සුදුම සුදු කිකිළි පැටියෙක්. අඹ ගහ යට කිකිලි කුඩුවේ කපුටු කාක් කාක් කියා කියා කපුටු පැටියෙක් අඬනවා. අඹගහ උඩ කපුටු කූඩුවේ කෙකර පේක් පේක් කිය කියා කිකිළි පැටියෙක් අඬනවා. කොහොමද මෙහෙම වුනේ. හරි වැඩක් තමයි. කළු කපුටියි සුදු කිකිළියි හිනා වෙවී මූණෙන් මූණ බල ගත්තා. 

පොඩි වෙලාවක් ගත වෙනකොට දෙන්නටම වැඩේ තේරුණා. කවුරු හරි අපි නැති අතරෙදි අපේ බිත්තර මාරු කරන්න ඇති. කළු කපුටි සුදු කිකිළිට කිව්වා. ඒක තමයි අපි ඉක්මනට මාරු ඇරගනිමු. සුදු කිකිළි කළු කපුටිට කිව්වා. කළු කපුටි සුදු කිකිළි පැටියා යට කූඩුවේ සුදු කිකිලිට දීලා කළු කපුටු පැටියා එක්කගෙන උඩ කූඩුවට ගියා. දැන් හරි. කපුටු කූඩුවේ කපුටු පැටියා. කිකිළි කූඩුවේ කිකිළි පැටියා. කපුටු කූඩුවේ කපුටු කාක් කාක් සද්දෙ. කිකිළි කූඩුවේ කෙකර පේක් පේක් සද්දෙ. අවුල ලිහුණා. දැන් නම් පැටියත් හරි. පාටත් හරි. සද්දෙත් හරි. ඔක්කොම හරි.

අම්මලා දෙන්නටම හරිම සතුටුයි. බිත්තර දැම්මා. බිත්තර රැක්කා. පැටවු හම්වුබ වුණා. පැටවු මාරු වුණා. පැටවු හුවමාරු වුණා. හරියට චිත්‍රපටියක් වගේ. බිත්තර මාරු කලාට මොකද? අපේ පැටවු නම් කාටවත් මාරු කරන්න බෑ. "ඔයාගේ පැටියා ඔයා වගේ කළු පාට. මගේ පැටියා මං වගේ සුදු පාට." සුදු කිකිළි කළු කපුටිට කිව්වා. "ඒක හරි. ඔයාගෙ කෙකර පේක් බබෙක්. මගේ කපුටු කාක් බබෙක්. කළු කපුටි සුදු කිකිලිට කිව්වා. දෙන්නටම හිනා ගියා. 

කෙකර පේක් පේක් පේක් ........කපුටු කාක් කාක් කාක්...

කෙකර පේක් පේක් පේක් ........කපුටු කාක් කාක් කාක්...

මහා සද්න්දෙන් ඇහුන අම්මලා දෙන්නගෙ ගීතවත් හිනාව ගොඩ වෙලාවක් යනකන් අඹගහ වටේ දෝංකාර දුන්නා.




103. ඉගිලෙන ලාම්පු

අද හඳමාමා නිවාඩු අරන්. තරු ටිකත් වළාකුළු අස්සෙ හැංගිලා. අහස කළුවරම කළුවරයි. කුරුළු පැංචා කළුවරට බයයි. කුරුළු අම්මා නැලවෙන්න කවියක් කියලා පැංචාව දොයි කරවන්න හදන්නේ ගොඩ වෙලාවක ඉඳන්. ඒත් කුරුළු පැංචාට නින්ද යන්නෙම නෑ. "අනේ මට ඇස් පියාගන්න බයයි, මම කළුවරට ආස නෑ. මට කොහෙන් හරි එළියක් ගෙනත් දෙන්නකෝ" කිය කියා කුරුළු පැංචා අඬනවා. කුරුළු අම්මාට හරිම දුකයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. එයා දන්න තරම් කතන්දර කවි සිංදු ඔක්කොම කියා කියා කුරුළු පැංචා නලවන්න හදනවා.

ඔහොම ටික වෙලාවක් ගත්ත වෙද්දී කණාමැදිරි අයියා කෙනෙක් එතනින් යන්න ආවා. කුරුළු පැංචා අඬන සද්දේ කණාමැදිරි අයියාට ඇහුණා. එයා කුරුළු කූඩුව ලඟට ඇවිල්ලා විපරම් කළා. එයාට කුරුළු අම්මා ගැනත් කුරුළු පැංචා ගැනත් ලොකු දුකක් ඇති වුණා. කොහොමද මෙයාලාට උදව්වක් කරන්නේ කියලා හිතමින් ඉන්නකොට එයාට හොඳ උපායක් පහල වුණා. 

කණාමැදිරි අයියා හනි හනිකට එයාගේ යාළුවො ටික ඉන්න දිහාවට පියඹලා ගියා. අඹ ගහ යට මල් පාත්තියේ කැරකි කැරකි හිටිය යාළුවො ඔක්කොටම වැදගත්ට පණිවිඩයක් කියන්න ලඟට කතා කලා. කළුවරට බයේ නිදාගන්නේ නැතුව ඇහැරගෙන ඉන්න කුරුළු පැංචාගේ විස්තරේ ඇහුවාම කණාමැදිරි යාලුවන්ට ගොඩක් දුක හිතුණා. ඒ නිසාම ඒගොල්ලෝ ඔක්කොම කණාමැදිරි අයියා ගෙනාව යෝජනාවට එක පයින් කැමති වුණා. 

දැන් ඔන්න කණාමැදිරි යාලුවෝ ඔක්කොම එකට එකතු වෙලා කුරුළු පැංචාගේ කූඩුව තියෙන පැත්තට යනවා. හප්පේ බලන්න එපාය පෙහහරක් වගේ ඒගොල්ලෝ යන ලස්සන. එහෙම ගිහින් කට්ටියම එක්ක කුරුළු කූඩුවට ඉහළින් නතර වුණා. ඊට පස්සේ හැමෝම එක එක්කෙනාගේ ඇඟවල් බදාගෙන ලොකු ගුලියක් වගේ හැදුණා. වටේට වටේට තව තව කට්ටිය එකතු වුනා. එතකොට කුරුළු කුඩුවට ඉහලින් පෙනුණේ මොකක්ද? හරිම ලස්සන එළිය විහිදෙන ලාම්පුවක්. ඒ ලාම්පුව කුරුළු පැංචාගේ කුඩුවට ඉහළින් ලස්සනට දිලිසුණා. කුරුළු කූඩුවට හොඳටම එලිය වැටුණා. කුරුළු පැංචාගේ බය කොහෙන් ගියාද දන්නෙ නෑ. මේ ලස්සනට දිලිසෙන අමුතු ලාම්පුව දිහා එයා ආසාවෙන් බලාගෙන හිටියා. ලාම්පුවේ තිබුණු නිවෙන පත්තුවෙන පොඩි බල්බ් එක්කම එයාත් කොහේදෝ කොහේදෝ දුර ඈතකට පාවෙලා යනවා වගේ කුරුළු පැංචාට තේරුණා. ටිකකින් කුරුළු පැංචා හීනෙන් හිනා වෙවී හොඳටම දොයි.

කුරුළු අම්මාට හුඟක් සතුටුයි. එයා කණාමැදිරි අයියා ඇතුළු කණාමැදිරි කණ්ඩායමට හුඟාක් ස්තුති කළා. "ඕක සුළු දෙයක් කුරුළු අම්මේ. හඳමාමා වගේ ලොකුවට ලෝකෙටම එලිය දෙන්න අපිට බැරි වුණාට පුළුවන් තරමින් එක්කෙනෙකුට හරි එළියක් වෙන්න ලැබීම අපිටත් ලොකු සතුටක්." කණාමැදිරි අයියා කුරුළු අම්මාට පැහැදිලි කළා. ඉන් පස්සේ ඒගොල්ලෝ ලොකු ලාම්පුව නිවාදමලා ආපහු යන්න පිටත් වුණා පුංචි පුංචි ලස්සන ලාම්පු  ටික කළුම කළු කළුවරේ තිත් වගේ නොපෙනී යනකන්ම කුරුළු පැංචා තුරුළු කරගත් කුරුළු අම්මා ඒ දිහා බලාගෙන හිටියා.

ඔයාලත් ඒ වගේ ඉගිලෙන පුංචි ලාම්පු දැකලා තියෙනවා නේද යාලුවනේ? 




Saturday, August 20, 2022

102. ඇවිදින ඉටි පන්දම

කළුවර වැටෙන වේලාවට පරිසරය හරිම ලස්සනයි. ඇඟටත් හරිම සනීපයි. ඒ වෙලාවට වට පිට කණා මැදිරි එළි බල බලා එළියේ අයියත් එක්ක කතා කර කර ඉන්න දෝණි ගොඩක් ආසයි. එක දවසක් ඔන්න කළුවර වැටෙන වෙලාවේ දෝණි එළියේ මල් පාත්තිය අයිනේ බංකුවේ වාඩි වෙලා අයියත් එක්ක රස කතාවක් කියා කියා හිටියා. "කළුවරේ එළියේ ඉන්න එපා ළමයිනේ." අම්මා ගේ ඇතුලේ ඉඳන් කිව්වා. ඒත් දෝණිටයි අයියටයි ගෙට යන්න හිතෙන්නේ නෑ. "අපි ඉටිපන්දමක් පත්තු කර ගමුද ? දෝණි අයියට කිව්වා. 

දෝණි ගෙට ගිහින් ඉටි පන්දම් දෙකකුයි ගිනි පෙට්ටියයි ගෙනාවා. අයියා ඉටි පන්දම් පත්තු  කරලා අලවන්න තැනක් හෙව්වා. "මම ගෙට ගිහින් ටින් එකක් ගේන්නද?" දෝණි ඇහුවා. "එපා ඕන නෑ. මේ තියෙන්නෙ හොඳ ගල් දෙකක්. අපි ඉටි පන්දම් මේ ගල් උඩින් හයි කරමු." ළඟ තිබුණු රවුම්  ගල් දෙක පෙන්නලා අයියා කිව්වා. දෙන්නම එකතු වෙලා ඉටි පන්දම් පත්තු කරලා ගල් උඩින් හයි කරා. දැන් නම් හොදට එළියයි. දෙන්නත් එක්ක ආපහු කතාව පටන් ගත්තා.

මෙහෙම කතාව යන අතරේදී දෝණි එක පාරටම දැක්කා ඉටි පන්දම හයි කරපු එක ගලක් හෙලවෙනවා. දෝණි කතාව නවත්තලා තව හොඳට බලාගෙන හිටියා. දෝණි හිතුවේ හුළඟට ගල හෙලවෙනවා කියලා. නෑ එහෙම දෙයක් නෙවෙයි.  ඉටිපන්දම හයි කරපු ගල ඇවිදිනවා. ඔව් ඇත්තටම ඇත්තටම ඇවිදිනවා. හරි වැඩේ. ඒත් එක්කම දෝණි කතා කරන්නේ නැත්තේ මොකද කියල බලන්න ඒ පැත්තට හැරුන අයියා මේ අරුම පුදුම වැඩේ දැක්කා. තව පොඩ්ඩ වෙලාවක් යනකොට මෙන්න අනිත් ගලත් ඇවිදිනවා. හෙමින් හෙමින් ගල් දෙකම මල් පත්තියෙන් එලියට යනවා. මේ මොන පුදුමයක්ද. දෝණි ඉක්මනට ගෙට ගිහින් අම්ම එක්කගෙන ඇවිත් මේ ඇවිදින ඉටිපන්දම් දෙක පෙන්නුවා. අම්මා ටිකක් කිට්ටු වෙලා බැලුවා. අම්මට හරිම හිනා.

"මේ ගල් දෙකක් නෙවෙයි පුතේ...මේ ඉන්නේ ඉබි හාමිලා දෙන්නෙක්. කාට හරි බය වෙලා දවල් කාලේ ඔය කටුව අස්සට වෙලා හැංගිලා ඉඳලා දැන් කළුවර වැටුනාට පස්සේ යන්න හදන්නේ... මේ බලන්නකෝ ඇවිල්ලා එයාලා ඇවිදින ලස්සන..." අම්මා කිව්වා. අයියයි නංගියි සද්ද නොකර ඇවිත් තව ටිකක් හොඳට කිට්ටු වෙලා බැලුවා. "අනේ හරිම හුරතල් ඉබි හාමිලා දෙන්නෙක් නේද අයියේ...මේ ඉටිපන්දම් වලින් එයාලට කරදරද දන්නෙ නෑ? අපි මේ දෙක ගලවමුද..." " දෝණි අයියාගෙන් ඇහුවා."එපා පුතේ ඔහොම යන්න දෙන්න. අපි අල්ලන්න ගියොත් එයාලා කලබල වෙයි. එයාලට පාර බලාගන්නත් එක්ක ඔහොම හොඳයි ..." අම්මා හිනා වෙවී කිව්වා. දෝණි අයියත් එක්ක හරිම ආසාවෙන් ඉබි හාමිලා යන දිහාව බලාගෙන හිටියා. "පරිස්සමින් යන්න පැටවුනේ ...." කියලා කිව්වා.ඉබි හාමිලා දෙන්නට තනියටද කොහෙදෝ කණා මැදිරි දෙන්නෙකුත් එයාලාට උඩින් ඉගිලෙමින් පාර කිව්වා.

එදා රෑ දෝණිටයි අයියටයි හරිම සතුටුයි. දෝණි නින්දෙන් ඇවිදින ඉටිපන්දම් ගොඩක් ඇවිත් එයාව වටකරගෙන ඉන්නවා හීනෙනුත් දැක්කා. අවට පරිසරය ගැන විමසිල්ලෙන් උනන්දුවෙන් ඉන්නවා නම් අපිට මොනතරම් ලස්සන දේවල් අහන්න දකින්න පුලුවන්ද? පරිසරය කියන්නේ වෙන මොකවත් නෙමේ. අපේම කොටසක්. පන්තියේදී ගුරුතුමී කියා දීපු පාඩම් දෝණිට මතක් වුණා. ඒ කතාව නම් හරිටම හරි. නේද යාළුවනේ? 




Friday, August 19, 2022

101. කෝන්තරේ

වැල්දොඩම් වැලේ මල් පිපිලා. බලන්න  ලස්සනයි. ඒත් පොඩි පරහකට තියෙන්නේ මල් ඔක්කොම තියෙන්නේ උඩ. බිම ඉඳන් බැලුවට පේන්නෙත් නෑ. මල් ඔක්කොම පෙති උඩට හරවාගෙන අහසේ ඉර දිහා බලාගෙන ඉන්නවා. ආසාවකට අතට අරන් ලස්සන බලන්න එක මලක් වත් පහලට හැරෙන්නෙ නැහැ.. ඔක්කොමලා ඉන්නෙ උඩ බලාගෙන ඉර එළිය නාන ගමන්.

දෝණි වැල්දොඩම් වැල ලඟට ගියා. උඩින් බැලුවා. පැත්තෙන් බැලුවා. කෙලින් බැලුවා. ඇදේට බැලුවා. කකුල්වලින් ඉස්සිලා බැලුවා. බැරිම තැන පුටුවක් ගෙනත් තියලා ඒක උඩට නැගලත් බැලුවා. ම්හු. කොයි විදියකින් බැලුවත් වැල්දොඩම් මලක් හරියට බලාගන්න බැරි උනා. දෝණිට ඕන වුණේ වැල්දොඩම් මලක් බලාගෙන ගිහින් චිත්‍රයක් අඳින්න. ඒක බැරි වුන නිසා  දෝණිගේ හිතට හරි නෑ. හරි ආඩම්බර වැල්දොඩම් වැලක් මේක. "මට ඕනේ නෑ ඔයාගෙ ආඩම්බර බලන්න. ඔයාගෙ මල් නැති උනාට මට වත්තෙ ඕනෑතරම් මල් තියෙනවා බලන්න." තරහෙන් වගේ එහෙම  කියපු දෝණි වත්ත පහලට ගියා.

ටික දවසක් යනකන් වැල්දොඩම් වැලේ දිගටම මල් පිපුණා. ඒත් දෝණි නම් ඒ පැත්ත බැලුවේ වත් නැහැ. වැල්දොඩම් වැලටත්ට වඩා ආඩම්බර මේ දෝණි ගේ වැඩ දැකලා අම්මටයි තාත්තටයි නම් හරිම හිනයි. ඔහොම ටික දවසක් යද්දි සමහර වැල්දොඩම් මල් පරවෙලා ඒවායේ මැදින් කොළ පාට චූටිම චූටි ගෙඩි මතු වෙන්න පටන් ගත්තා. ඒවා දවසින් දවස ලොකු වුනා. තමා දිහා නොබලා ආඩම්බරෙන් එහෙට මෙහෙට යන දෝණි දිහා බල බල කොළ පාට පොඩි ගෙඩි ලස්සන ලොකු කොළ අස්සෙන් එබී එබී හිනා වුනා. ඒ වුනාට දෝණි නෙමේ නිකමටවත් හැරිලා බැලුවෙ. එක නිසා වැල්එදොඩම්යා වැලට සිදුවෙමින්ට තිබෙන මේ විපරියාසය දෝණිට පෙනුනෙ නැහැ. 

ඔහොම තව ටික දවසක් ගත්ත වෙද්දි වැල්දොඩම් ගෙඩි ඉදුණා. ඉදුණු ගෙඩි ලස්සන කහ පාටකින් එයාලාගෙ ඇඟවල් පාටකරගෙන බල්බ් වගේ එල්ලී එල්ලී පහල බලාගෙන හිටියෙ දෝණිට පෙන්නමයි. සුළඟ හමාගෙන යනකොට ඒවා ලස්සනට නැලවුනා. තාලෙට සින්දු කිව්වා. ඔන්න ඊළඟ දවසේ උදේ වරුවෙ උදේට කෑම එහෙම කාලා මල්පාත්තියෙම පදිංචි වෙන්න යමින් සිටි දෝණිට අම්මා කතා කරා. "අද අපි රස බීම ජාතියක් බොමුද ?" අම්මා දෝණිගෙන් ඇහුවා. "හා බොමු බොමු. මාත් ආසයි බීම හදන්න. මොනවයින්ද අපි බීම හදන්නේ ?" දෝණි උඩ පැනලා වැඩේට කැමති වෙන ගමන් අම්මගෙන් ඇහුවා. "එන්නකො පෙන්නන්න." අම්මා දෝණිගේ ඇස් දෙක වහගෙන වැල්දොඩම් වැල ලඟට එක්කගෙන ගියා. දෝණි ඇස් ඇරියා. කහපාට බල්බ් පත්තු කරගෙන එයා දිහා බලාගෙන හිනා වෙවී හිටිය වැල්දොඩම් වැල දැක්කාම දෝණිට පුදුමෙනුත් පුදුමයි. අර ආඩම්බර මල් වලින් ද මෙච්චර ගෙඩි හැදුනේ? දෝණි සතුටිනුත් පුදුමෙනුත් කල්පනා කළා.

ඊට පස්සේ දෝණි අම්මත් එක්ක එකතු වෙලා "මේ වැලේ බොහෝ ...වැල්දොඩම් තිබේ ..." කියා කියා ඉදුණු වැල්දොඩම් කැඩුවා. වට්ටියක් පිරෙන්නම කැඩුවා. පස්සෙ ඒවා ගෙදර ගෙනල්ලා ගානට වතුර ලුණු සීනි දාලා බීම හැදුවා. "ආඩම්බර වැල්දොඩම් වැල එයාගෙ ගෙඩිවලින් ආඩම්බර දෝණිට රසම රස බීම වීදුරු ගණනාවක්ම දුන්නා "ඇති යන්තම් . දැන්නම් දෙන්නගෙ කෝන්තරේ ඉවරෙටම ඉවරයි වගේ ..." පළවෙනි වීදුරුව එක හුස්මට බීලා ඉවරකරපු දෝණි තව බීම වීදුරුවක් පුරවා ගන්නවා දැකපු අම්මයි තාත්තයි බඩ අල්ලාගෙන හිනා වුණා . 




අලුත් සිතුවම්

111. පැණි කොමඩු ගෙඩිය