Monday, March 25, 2019

31. නත්තල් ගස



නත්තල් කාලෙට එලියට ඇවිදින්
නත්තල් ගස් ඇත හිනා වෙවී
අතුවල නෙක නෙක තෑගි එල්ලිලා
ඇත ළමයින් ගැන කතා වෙවී
ලස්සන දිලිසෙන මැණික් අලවලා
වට පිට හැමතැන දිස්නෙ දිදී
හැදු සුබ පැතුමයි මේ ඔබ දකින්නෙ
පොඩි  යාළුවො ටික යාලු වෙවී



 
කාට නැති වුනත් මගෙ සුදු අම්මට
හදලා දෙමි මම සුභ පැතුමක්
මං වෙනුවෙන් හැමදාමත් වෙහෙසෙන
ඇය මට හරි වටිනා මැණිකක්
නත්තල් සීයට ලියුමක් ලියලා
තෑගි ගෙන්වගෙන ලොකු මල්ලක්
අම්මට දීලා නත්තල දවසේ
සදා දෙමී ලස්සන දවසක්

එලියට ගොස් හිම බබා හදන්නට
හිම කෝ මිදුලට නෑ වැටිලා 
එනිසා ඒ හිම බබා හදමි මම
පාට පාට පෑනෙන් ඇන්දලා
කිරි පාටින් ඇග කලු පාටින් ඇස්
දිලිසෙන කොල තොප්පිය දමලා 
නැති වුනාට හිම, බබාගෙ ලස්සන
මුහුණෙහි ඇත සිනහා පිරිලා

© සිත්තර පැංචි
2021-12-25

32. තාරා සහ කුකුල් පැටියා


මගෙ පොඩි තාරා - පී පී ගෑවා
හොට රතු පාටයි - ඇඟ කහ පාටයි
අර අර පේනා - සීතල වතුරේ
අත්තටු සලමින් - පීන පීන නෑවා


බබා වගේමයි - චුට්ටං පැංචා
අතට වඩාගෙන - බලන්න ආසා
හිස අතගාලා - හොට අතගාලා
ඇටේ ඇටේ බත් - කවන්න ආසා


හිමිදිරි උදයේ - පිනි විසිරෙනවා
තොප්පි නොදැම්මොත් - ඔලුව තෙමෙනවා
කෑම සොයාගෙන - හයියෙන් හයියෙන්
කුකුල් පැටියා - මේ කැලේට යනවා

කොහේ ගියත් හරි - හැඩට ඇඳන් මිස
පොඩි අය එළියට - යන්න එන්නෙ නෑ
අම්මලාට නම් - විටෙකදී ඇණයක්
ඒත් කරන්නට - දෙයක් ඇත්තෙ නෑ

© සිත්තර පැංචි 

30. මාළුවා සහ ජිරාෆ්


දැකල තියෙනවද ඔයාල - අතින් හදපු මාළු බබෙක්
දැක නැති අය බලාගන්න - මේ ඉන්නේ එහෙම කෙනෙක්

අතක් තිව්වා - වටේ ඇන්දා
පුංචි ඇසක් ගෙන ඇලෙව්වා
ඇඟිලිවලින් පාට තිව්වා
යටට කෝටුවක් ඇලෙව්වා

නිලුයි රතුයි පොඩි පැටියෙක් මාත් ඔන්න හැදුව ඉතින්
අතින් අරන් උඩින් යටින් පීනවන්න හැකිය හොඳින්.



© සිත්තර පැංචි 

29. මලක් තියෙනවා




මලක් තියෙනවා - මල්ලී එනවා
නටුවෙන් කඩලා - මල මට දෙනවා
ඒ මල මම මගෙ - කොන්ඩේ ගහනවා
මකුළු හාමි අර - මට හිනැහෙනවා

මයන්න හරියට - මලක් වගේමයි
ලියන්න ලේසියි  - හරි ආසයි මං
මයන්න ලියලා - මලකුත් ඇඳලා
ලොකුම ලොකු වැඩක් - ඉවරයි දැන් මං 

නැට්ටෙන් පහලට - එල්ලෙන පෙති ටික 
රෝස පාට දිග - සායක් ඇඳලා 
නුවරඑළියෙ යන - පාරේ දිගටම 
ඔය වැනි මල් මං - යායක් දැක්කා.

© සිත්තර පැංචි 



28. වැස්ස




වැස්ස වහිනවා - අහසින් වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට ආස හිතෙනවා

ඔලුව හෙමනවා - හෙම්බි එවිට හැදෙනවා
දරුණු උනොත් කොත්තමල්ලි බොන්න ලැබෙනවා

කුඩේ ගන්නවා - එක ඉහල ගන්නවා
ඔලුව බේරාගන්න කුඩේ බොහොම වටිනවා

මිදුලේ දුවනවා - යාලු බව්වත් එනවා
දෙන්න එක්ක වැස්සෙන් ෆන් එකක් ගන්නවා

© සිත්තර පැංචි 

26. හැඩ











තිකෝණ සහ සමචතුරශ්‍ර
වෘත්ත සමග සෘජුකෝණාශ්‍ර
ලොකු පොඩි හැඩයෙන් එකතු කළා මං
හදන්න මේ ගොල්ලෝ 

එක එක විදියට හැඩ කපලා
උඩ යට ගැලපෙන්නට තියලා
ලස්සන ලස්සන රූප හදා හැඩ
බලන්න හැකි නොවෙදෝ 

පලවෙනි රූපය මම හැදුවේ 
මොන්ටිසෝරි මං යන කාලේ 
අනික්වා හැදුවෙ මම එක වසරෙදි
ඉතා හැඩයි නොවෙදෝ.

© සිත්තර පැංචි 

25. අයිස් ක්‍රීම්, ජෙලි සහ චෙරි


අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් චොක්ලට් අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් රේන් බෝ අයිස් ක්‍රීම්
කන්නට මං ආසයි

අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් සීතල අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් ලස්සන අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් රසවත් අයිස් ක්‍රීම්
මගෙ ප්‍රියතම කෑමයි


ඇස පිනවන්නට - පාට බලන්නට
ජෙලි හොඳ කෑමක් වේ
දිව පිනවන්නට - රසය විඳින්නට
ජෙලි හොඳ කෑමක් වේ.


චෙරි ගෙඩියක් කඩන් කන්න මේ චෙරි පොකුරෙන්
එනවා මට ආසාවක් බඩේම පතුලෙන්
නම නොදන්න මේ වාගෙම ගෙඩි ඇති යහමින්
ගහක් තිබේ මගෙ ගෙදරත් ලොකුවට වැනෙමින්

චෙරි උයනක කතා පොතක ලස්සන මතක
කතාවකින් කියා දුන්නා අම්මා විටෙක
ලොකු උනාම කියවන්නට ඒවා පොතක
බලා ඉන්නවා එනතුරු දවසක් දිනෙක

© සිත්තර පැංචි
2018-04-02

24. මල් වත්ත





රන් වන පාටයි සමනළයා
රෝස මලේ පැණි බීල ගියා
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා

පුංචි මගේ මේ මල් වත්තේ
ලස්සන ලස්සන මල් ඇත්තේ
මල් පැණි බීලා ඉගිළී යනවද
ලස්සන සමනලයෝ

මී මැස්සා අවේ නැද්ද
මී මැස්සට මල් පැණි නැද්ද
ඕනෑ නම් හනිකට එනවාදෝ
මේ පැත්තට පියඹා

කුරුළු පොඩිත්තා අන්න ඇවිත්
අත්තටු සල සල ඉන්නෙ බලන්
මල් පැණි දෙන්නම් එන්න ඔයාටත්
මගෙ මේ මල් වත්තෙන්.

© සිත්තර පැංචි 

23. පළතුරු




පලතුරු කෑවම ලස්සන වෙනවා
හැමදාමත් මට අම්ම කියනවා
ලස්සන වෙන්නට හිතාන ලොකුවට
මමත් ඉතින් දෙන ඔක්කොම කනවා

අලිගැට පේරයි කොමඩුයි කෙසෙලුයි
දොඩම් රසයි ස්ට්‍රෝබෙරි ඇඹුලයි
තිත්තයි කියලා කිව්වට නරියා
රස මිදි කන්නට මම නම් ආසයි.

© සිත්තර පැංචි 

22. නැව සහ අත් වැඩ


ඈත පෙනේ වාගෙ තිතක්
අන්න යනවා මුහුදෙ නැවක්
කෑලි කපා කොළ අලවා
හැදුවේ මේක පුංචි අතක්






© සිත්තර පැංචි 


21. තාර පවුල




තාත්තටත් වැඩිය උසයි
එකට මගෙ හිත සතුටුයි
ආඩම්බර තාර පැටියා
හිස වන වන එහෙම කියයි

අම්ම ගෙදර කෑම හදයි
පුතයි තාත්තයි පීනයි
සෙල්ලමින්ම ඉන්නෙ නැතුව
අම්ම ගැනත් සිතනු හොඳයි

හදිස්සියෙන් වාගෙ දුවයි
එහෙන් මෙහෙන් පාට උලයි
චිත්‍රෙ නොඇන්දත් හරියට
පැංචි හරිම කලාබරයි

© සිත්තර පැංචි 

20. පාට ලස්සනයි





පාට ලස්සනයි පුංචි අයට ආදරෙයි 
එන්න එන්න පාට කරමු හරිම විනෝදයි 
සත්තු ලස්සනයි පුංචි අයට ආදරෙයි 
එන්න එන්න පාට කරමු සත්තු හරි හොඳයි.

© සිත්තර පැංචි 

Friday, March 22, 2019

19. පැපොල් සහ බැලුම් බෝල


වේලිල්ලක් ඇවිත් බඩේ පැපොල් කන්න කියා
ඩොක්ට නැන්දි කිව්වා මට පරණ පවක නියා
කන්න තියා දකින්නවත් ආසා නැති ඔයා
පාට කරන්නත් විය අද අපුල පසෙක තියා

ඊයා පැපොල් එපෝ ...



බැලුන් අස්සෙ මේ කුරුල්ලො මොනවද මේ කරන්නේ
හොටෙන් ඇනල හිල් කරන්න නොවේද මේ හදන්නේ
උරුක් කරල ඇඟිල්ල මම එදෙස බලා රවන්නේ
බයෙන් ඉගිල්ලී එතකොට ඈත පියා සලන්නේ

බැලුන් තියෙනකොට
කෑමත් කුමටද?
හිනා පිරිල කට
ඇරේවි ලොකුවට.

© සිත්තර පැංචි 

Thursday, March 21, 2019

17. හිකි බක බක



හිකි බක බක හිකි බක බක - කවුද බොලේ හිනාවෙන්නෙ
අපොයි මහත තඩි ගෙම්බෙක් - නොවේද මේ ඇවිත් ඉන්නෙ

කලකට පසු වැහැපු වැස්ස - පොඩි මඩ වලවල් පිරිලා
ඒ සතුටට ගෙම්බො සිටිති - සතුටින් උඩ පැන පැන නටලා

ගෙම්බා ලඟට පනින කොටම - බබා අම්ම ලඟට පනී
ආසාවයි බයයි දෙකම - කලවම් වී එකට හිටී

පනින අනිත් අය දැක්කම - මෙයත් යන්න යයි පැනලා
ගලක් බරට තියා තියමු - මෙයාව පොතකින් වහලා

© සිත්තර පැංචි  - 2018-03-31



16. ‍පාරේ එළි



දකුණ බලා වම බලන්න  -නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම් - ඉක්මනින්ම මාරු වෙන්න

ඒ ඉස්සර කරපු විදිය - අම්මලාගේ පොඩි කාලේ
දැන්නම් ඇත ට්‍රැෆික් ලයිට් - පාර කියන්නට පාරේ

රතු ආවම නවතිනවා - කහ ආවම සැරසෙනවා
කොළ ආවම පරිස්සමින් - නැවත ගමන් අරඹනවා

සමහරවිට හරි ලේසියි - වෙලාව එහි දිස් වෙනවා
පාරේ සිදුවන අනතුරු - එවිට ගොඩක් අඩුවෙනවා

තරහ ගිහින් එක පාරට - කළු ගෑවත් උඩ හරියේ
ට්‍රැෆික් ලයිට් වල තත්වය - සුරැකී ඇත මැද හරියේ


© සිත්තර පැංචි
2018-03-30

15. මල් සහ කාසි මල්



පිපෙන මල් වලින් අහන්න - ඇයිද කියා පිපෙන්නේ
හමන මදනලෙන් අහන්න - ඇයිද කියා හමන්නේ

පුංචි බබාලට බලන්න තමයිලු මල් පිපෙන්නේ
පුංචි අය ලඟින් එතෙන්න තමයි සුළං හමන්නේ

පෝච්චියට ලස්සන මල් නෙළා ගෙනැත් තියෙන්නේ
දවස තිස්සෙ ගේ පුරාම මිහිරි සුවඳ බෙදන්නේ

සැරින් සැරේ බබා අපේ ඒ පැත්තට දුවන්නේ
මල සුවඳට සමනළයෙක් ඇවිල්ලදැයි බලන්නේ

© සිත්තර පැංචි  - 2018-03-30





 


අලුත් සිතුවම්

136. සූකිරි දත්