Tuesday, August 20, 2019

72. බලාගෙන ඇඳීම.

ගස් අතරින් ලස්සනට ඉර පායාගෙන ආවා. ඒ දිහා බල බලා උදේම පෙති විහිදලා පිපුණු මල් හිනා වුනා. ගස් වල කොළ නලවගෙන හිමින් හමාගෙන ආපු හුළඟ වටේටම මල් සුවඳ බෙදලා දුන්නා. එදා හරිම ලස්සන දවසක්.

ඉත්තෑ පුංචා කූරු පුම්බගෙන මේ ලස්සන බලන් හිටියා. ඉත්තෑ පුංචාගේ හොඳම යාළුවා හා පැංචා. අද දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න පිට්ටනියට යන දවස. කෝ තාම නෑනේ මේ හා පැංචා. ම්ම්ම්..මොකද කරන්නේ මම හා පැංචා එනකන්. තව වෙලා යයි වගේ එන්න. නරකද මේ ලස්සනට ඉර පායාගෙන එන දර්ශනේ චිත්‍රයක් ඇන්දොත්. ඉත්තෑ පුංචා හිතුවා. එහෙම හිතලා ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන එයා චිත්‍රෙ අඳින්න එලියට ගියා. වටේ පිටේ ලස්සන හොඳට පේන තැනකට ගිහින් එයා අඳින්න පටන් ගත්තා.

ඔන්න චිත්‍රෙ ඇඳලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට තමයි හා පැංචා එතනට ආවෙ. “ආව්..ආව්.. මේකෙ ලස්සන... මම දැනගෙන හිටියේ නෑනේ මගේ යාළුවා මේච්චර හොඳ චිත්‍ර ශිල්පියෙක් කියලා.” හා පැංචා ඉත්තෑ පුංචා ඇඳපු චිත්‍රෙ ලස්සන බලන ගමන් කිව්වා. “මේ ඉත්තෑ පුංචො...අනේ මගෙ රූපෙත් ඇඳලා දෙන්නකො...මං දන්නවා ඔයාට පුළුවන් මම මේ ඉන්නවටත් වඩා ලස්සනට අඳින්න..ඕකට මහා වෙලාවක් යන්නෙත් නෑනෙ. අනේ හා නේද..” ඉත්තෑ පුංචාගෙ චිත්‍රෙ දැක්ක හා පැංචාට එයාගේ රූපෙ අන්දවගන්න ලොකු ආසාවක් ඇවිත් ඉත්තෑ පුංචාට කන්නලව් කළා. බැරිම තැන ඔන්න ඉත්තෑ පුංචා වැඩේට කැමති උනා. හොඳම යාලුවනේ ඉතින්. හරි නෑනෙ බෑ කියල හිත රිද්දන්න. “හරි එහෙනම් අර ගල උඩට ඉහින් හිටගන්නකො. හැබැයි මම ඇඳලා ඉවර වෙනකන් එක විදියකට ඉන්න ඕන. දඟලන්න බෑ හොඳේ.” ඉත්තෑ පුංචා එහෙම කියලා ඔන්න අඳින්න ලේස්ති උනා.

ඔන්න දැන් ඉත්තෑ පුංචා ටික ටික හා පැංචව ඇඳගෙන යනවා. “කෝ දැන් ඉවරද... තාම මගෙ මූණද අඳින්නේ...මම පොඩ්ඩක් බලන්න එන්නද?” හා පැංචට ප්‍රශ්න ගොඩයි. ඉවසිල්ලක් නෑ ඇඳලා ඉවරවෙනකන්. සැරින් සැරේ කරදර කරනකොට ඉත්තෑ පුංචාට තරහා ආවා. “පොඩ්ඩක් ඉන්නකො වදේ. ඇඳලා ඉවර වෙනකන් බලන්න දෙන්න බෑ.” ඉත්තෑ පුංචා සැර දැම්මා. ඒත් ඉතින් හා පැංචාට මේක බලන්නමයි හිත. ටිකක් වෙලා හොරා වගේ ඉඳලා ඉත්තෑ පුංචා සද්දයක් නැතුව අනිත් පැත්ත හැරිලා හැඩ වැඩ දාන වෙලාවක් බලලා හා පැංචා චිත්‍රෙ බලන්න හිමින් එතනට කිට්ටු කරා.

අනේ ඒත් නොහිතපු දෙයක් සිද්ද වුනා. උඩින් උඩින් අඩි තිය තිය හොරා වගේ ආපු හා පැංචා දන්නෙම නැතුව ඉත්තෑ පුංචාගෙ තීන්ත බාල්දියක හැපුණා. දඩස් ගාල ඒක බිමට පෙරලුණා. හදිස්සියෙන් ආපූ සද්දෙට ගැස්සිච්ච ඉත්තෑ පුංචා මොකක්ද සද්දේ කියල බලන්න එක පාරටම අනිත් පැත්ත හැරුනා විතරයි එයාගෙ කකුලෙ හැපිලා තව තීන්ත බාල්දියක් පෙරළුණා. ඒත් එක්කම එක ලඟින් තියල තිබුණු තීන්ත බාල්දි ටික ඔක්කොම පේලියට පෙරලිලා ගියා. වෙනමම තැනක තිබුණු තද නිල් පාට එක විතරයි අන්තිමට ඉතුරු වුනේ.

“කෝ ඉතින් කියන එකක් ඇහුවේ නෑනෙ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අපරාදේ මගේ මහන්සිය.” හා පැංචාගේ හදිස්සිය නිසා වුනු දේට ඉත්තෑ පුංචාට හරිම කේන්තියි. හා පැංචටත් වුන වැඩේ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද. මෙහෙම ඇබැද්දියක් වෙයි කියල හිතුවේ නැහැනෙ එයා.

ඒ වෙද්දී ඉත්තෑ පුංචා හා පැංචාගෙ රූපෙ ඔක්කොම වගේ ඇඳලා ඉවර වෙලා තිබුනෙ. කන් දෙක විතරයි ඇඳලා තිබුනෙ නැත්තේ. ඒත් දැන් කොහොමද චිත්‍රෙ ඉතුරු ටික අඳින්නෙ. සායම් ටිකත් පෙරළුණා. “මට බෑ...මං අඳින්නෙ නෑ ඉතුරු ටික ...හොඳ වැඩේ...මේ විදිය තමයි හරියන්නේ ඔය වගේ හදිස්සි කාරයින්ට...කන් දෙක නැතුව තමයි හොඳ...ඇයි ඉතින් කන් දෙක තිබුනට කියන දෙයක් කනකට ගන්නේ නැහැ නේ..” ඉත්තෑ පුංචාට තරහා ගිහින් හා පැංචාට හොඳටම දොස් කිව්වා. “අනේ ඉත්තෑ පුංචො මට මේ අදට විතරක් .. ඔව් අදට විතරක් අදට සමාවෙලා කන් දෙක ඇඳලා මේක ඉවරයක් කරලා දෙන්නකො” හා පැංචා ආපහු කන්නලව් කරා.

“බෑ මම කිව්වනෙ...පේනවනෙ ඉතුරු වෙලා තියෙන්නෙ නිල් පාට විතරනේ...ඔයාගෙ කන් දෙක නිල් පාට නෙමෙයි නෙ කොහොමත්. ඉතින් නිල් පාටින් ඇන්දොත් වැරදියි. ඒ නිසා මට බෑ ආපහු අඳින්න.” ඉත්තෑ පුංචා සැරෙන් කිව්වා.

හා පැංචා මොකුත් කිව්වේ නෑ. දිග කන් දෙක නමාගෙන ටිකක් වෙලා දුකින් කල්පනා කළා. පස්සේ මොකක් හරි මතක් වුනා වගේ එක පාරටම සතුටින් උඩ පැනලා නිල් සායම් බාල්දිය ගාවට ගියපු එයා එයාගේ දිග කන් දෙක ඒකෙ ඔබා ගත්තා. කරපු වැඩක්! දැන් එයාගෙ කන් දෙකම නිල් පාටයි. එහෙම කරගෙන එයා ගල උඩට ගිහින් කලින් විදියටම හිට ගෙන ඉත්තෑ පුංචා දිහා බැලුවා. “දැන් හරි නෙ.”

ඉත්තෑ පුංචාගේ තරහ කොහෙන් ගියාද දන්නේ නෑ. බකස් ගාල හිනාවක් එලියට පැන්නා. අතින් කට වහගෙන ටිකක් වෙලා වෙලා හිනා වෙවී හිටිය ඉත්තෑ පුංචා තමුන්ගෙ හොඳම යාලුවගෙ කන් දෙක අඳින්න ආපහු පටන් ගත්තේ හරිම ආදරණීය හිතින්.

73. උදව්ව

ඉත්තෑ පුංචා එදා උදේම සිදාදියට ගියා. සිදාදියේ හරි සෙනග. ගියපු කාරණාව ඉෂ්ට කරගෙන ආපහු එන්න පිටත් වෙන්න හුඟක් වෙලා ගත වුනා. යන්තං හැන්දෑ වෙනකොට කැලෑ ගමට කිට්ටු වුන ඉත්තෑ පුංචා ඉක්මනට ඉක්මනට ගෙදරට යන්න පිටත් වුනා. ඒත් අතරමගදී අහස එක පාරටම කළු කරගෙන වහින්න ගත්තේ මහා වරුසාවක්. ඉත්තෑ පුංචා වැස්ස මැද්දේ කරකියාගන්න දෙයක් නැතුව අසරණ වුණා. මුවා වෙන්න ලොකු ගහක් වත් තිබුනේ නෑ අහල පහල. ලොකු කැන්ද කොලයක් කඩාගෙන යන්තන් ඔළුවට උඩින් ඉහල ගත්තට මොකද ඉත්තෑ පුංචා හොඳටම තෙමුනා.

“දැන් නම් හොඳටම කළුවර වැටීගෙනත් එනවා. අද මට ගෙදර යන්න බැරි වෙයි වගේ” ඉත්තෑ පුංචාට බයකුත් දැනුනා. “ගෙදර යන්න බැරි උනොත් මම කොහෙද රෑට නවතින්නෙ.” ඉත්තෑ පුංචා තෙමි තෙමීම කල්පනාවෙන් කැලේ මැදින් යන්න වුනා. තාම වැස්ස තියෙනවා. පායන පාටකුත් නෑ. හරිම වැඩේ තමයි දැන් මට වෙන්නෙ. ඔහොම කල්පනා කර කර යනකොට ඉත්තෑ පුංචාට හම්බ වුනා හා පැංචාගේ ගෙදර. මේක නම් මගේ වාසනාව. හා පැංචාව කැමති වුනොත් මට අද රෑට එයාගේ ගෙදර නවතින්න පුළුවන්. අහල බලන්න ඕන. ඉත්තෑ පුංචා හිමින් හිමින් හා පැංචාගේ ගෙදරට කිට්ටු වෙලා දොරට තට්ටුවක් දැම්මා.

“කවුද මේ රෑ මගෙ ගෙදර දොරට තට්ටු කරන්නේ.” කැරට් සුප් එකක් බිබී හොඳට ගිනි මැලේ ළඟ උණුසුම් වෙවී හිටිය හා පැංචා හිතුවා. දොර ඇරලා බැලුවම හා පැංචා දැක්කා හොඳටම වැස්සේ තෙමිලා වෙව්ල වෙව්ල දොර ගාව හිටගෙන ඉන්න ඉත්තෑ පුංචාව. “අනේ හා පැංචෝ...මට අද රෑට මෙහෙ නවතින්න පුළුවන් වෙයිද...” එහෙම අහන ගමන් ඉත්තෑ පුංචා එයාගේ විස්තරේ හා පැංචාට කිව්වා. ඒත් හා පැංචාට එක පාරටම ඉත්තෑ පුංචාව නවත්තගන්න බය හිතුනා. මොකද එයාගෙ සීයාගෙ කාලේ මේ වගේ ඉත්තෑවෙක් ගෙදර නවත්තගෙන වෙච්ච ඇබැද්දිය සීයා එයාට කියල තියෙනවා පුංචි කාලේ.

“අනේ තරහ වෙන්න එපා. මෙහෙ නවතින්න නම් දෙන්න බෑ. මම කොහොමද එක පාරටම ඔයාව විශ්වාස කරන්නේ. ඉස්සර ඔයාලගේ සීයා කෙනෙක් නවත්තගෙන අන්තිමට අපිටත් ගෙදරින් යන්න වුනාලු. ඔයාත් ඒ වගේ කූරු පුම්බන්න ගත්තොත් එහෙම මටත් යන්න වෙයි. අනික මගේ පුංචි ගෙදර දෙන්නෙකුට හොඳටම ඉඩ මදි.” හා පැංචා කිව්වා. “අනේ හා පැංචෝ.. ඒ ගොඩක් ඉස්සරනේ. අපි දැන් එහෙම නෑ. මේ ඇත්තමයි. මට පුංචි ඉඩක් දෙන්න. මම ඔයාට කරදරයක් නොවෙන්න ඉන්නම්. අනේ හාද?” මෙහෙම ටික වෙලාවක් බැගෑපත් වෙද්දී හා පැංචාට ඉත්තෑ පුංචා ගැන දුක හිතුනා. “හා එහෙනම් කමක් නෑ. හැබැයි මතකයිනෙ කොන්දේසිය. කුරූ පුම්බලා මාව අමාරුවේ දාන්න එපා.” හා පැංචා අන්තිමට කොන්දේසි පිට ඉත්තෑ පුංචාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.

ඉත්තෑ පුංචා කිව්වා වගේම හා පැංචාට කිසිම කරදරයක් කරේ නෑ. අහිංසක විදියට පැත්තකට වෙලා හිටියා මිසක්. අන්තිමේ දෙන්නත් එක්ක තිබුණු කෑම බෙදාගෙන කාලා ගිනි මැලේ ළඟ උණුසුම් වෙලා හොඳට නිදා ගත්තා. ඉත්තෑ පුංචා උදේ යන්න පිටත් වුනේ හරිම සතුටින්. එයා හා පැංචාට ගොඩක් ස්තුති කරා. “මට මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ. ඔයාට බොහම ස්තුතියි හා පැංචෝ.” ඉත්තෑ පුංචා හා පැංචාට ආදරෙන් සමු දීලා ගෙදර ගියා.

ඔහොම දවස් ගතවුනා. හා පැංචාට දැන් කැරට්ම කාල එපා වෙලා. ම්ම්ම්...මොකද කරන්නේ...පොළට ගියා නම් අලුත් එළවලු පලතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි මට. වෙනසකටත් එක්ක යන්න ඕන අද කැලෑ ගමේ පොළ දිහාවට. එහෙම හිතපු හා පැංචා හොඳට ඇඳ පැළඳගෙන පොලට ගියා. “හප්පේ... මෙතනනේ කෑම ජාති තියෙන්නේ. අද ගන්න පුළුවන් ඇති තරම් බඩු.”

හා පැංචා එක එක ජාතියෙන් කාම ජාති ගොඩක් තෝර ගත්තා. බීට් අල, රාබු අල, බතල, පේර, දොඩම්, අනෝදා...මෙකී නොකී හැම දේම. අපොයි ඒත් කලින් මතක් වුනේ නැහැනෙ මල්ලක් ගේන්න. දැන් කොහොමද මං මේ ගතිපු බඩු කන්දරාව ගෙදර අරන් යන්නෙ. මල්ලක් ඉල්ලගන්නවත් කෙනෙක් නැහැනෙ. හා පැංචා කල්පනා කළා. එතකොටම කවුදෝ පිටිපස්සෙන් ඇවිල්ලා හා පැංචාගේ ඇස් දෙක වහගත්තා.“ආ හා පැංචෝ.. පොළේ ආවද...කොහොමද ඉතින් සැප සනීප...එදායින් පස්සේ අපිට හම්බවෙන්නත් බැරි වුනානෙ...” ඇස් වහගත්ත එක්කෙනා පුරුදු කටහඬකින් කියාගෙන ගියා. හා පැංචාට මොනවත් එකපාරටම හිතාගන්න බැරි වුනා.“ කෝ තාම අඳුරගන්න බැරිද මාව...” අමුත්තා ආපහු ඇහුවා. හා පැංචා කල්පනා කළා.

ඔන්න ටික වෙලාවකට පස්සේ හා පැංචාට මතක් වුණා. “හරී හරී..මතකයි... මේ ඉත්තෑ පුංචා නේද...” හා පැංචා හිනා වෙවී කෑ ගහල ඇහුවා. එතකොටම ඇස් දෙක වහන් හිටිය අත් දෙක අයින් වුනා. හරි නේන්නම්..මේ ඉන්නෙ හිනා කටක් පුරෝගෙන ඉත්තෑ පුංචා.

ටික වෙලාවක් ආගිය විස්තර කතා කර කර හිටිය යාළුවො දෙන්නා ගොඩ කාලෙකින් හමු වීම ගැන බොහොම සතුටු වුනා. “ඇයි ඉතින් මේ ගෙදර නොයා ඉන්නේ.. කවුරු හරි එනකන් ද ..” ඔක්කොම විස්තර කතා කරලා ඉවර වෙලා ඉත්තෑ පුංචා අන්තිමට ඇහුවා. ඔන්න එතකොට තමයි හා පැංචාගේ මූණ නරක වුනේ. හා පැංචා ඉතින් එයාගෙ බඩු ටික ගෙදරට ගෙනියන්න විදියක් නැතුව ඉන්න බව ඉත්තෑ පුංචාට කිව්වා හරිම දුකින්.

ඉත්තෑ පුංචාට කට කොනකට හිනාවක් ගියා. “අයියෝ ඕක මොකක්ද.. සුළු දෙයක් නේ...මට පුළුවන් උදව් කරන්න...කෝ ගන්න ඔය බඩු ටික මෙහාට..” ඉත්තෑ පුංචා ඉක්මනට හා පැංචාගේ බඩු ටික අරන් එයාගේ පුම්බගත්ත කුරූ වල එකින් එක එකින් එක අමුනගත්තා. මේ තියෙන්නේ හරිම ලේසි විදියක්. යමු මම ගෙදරටම ඇරලවන්නම්. ඉත්තෑ පුංචා ඉස්සර වුනා.


ගමන් මලු නෑ...වියදමක් නෑ...
කූරු වල නැග - ගෙදර යන හැටි
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...

හරිම ලේසියි ...හරිම පහසුයි...
කූරු ඇත්නම් - ප්‍රවාහනයට
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...

ඉත්තෑ පුංචා සිංදුවකුත් කියා කියා නට නට යනවා. හා පැංචාගේ සතුට කෙළවරක් නෑ. ඉත්තෑ පුංචාටත් හරි සතුටුයි එයාගේ යාලුවට උදව්වක් කරන්න පුළුවන් වුන එක ගැන. මේ වගේ යාලු මිත්‍රකම් තියෙනකන් ඉතින් මේ ලෝකේ කොච්චර ලස්සනද...දෙන්නාම ගෙදර යනකන් කල්පනා කරා. ඔන්න ඔහොම තමයි ඉතින් ඉත්තෑ පුංචයි හා පැංචයි අඹ යාළුවෝ වුනේ.

Thursday, August 15, 2019

72. කොහොල්ල බබා

එදා නරි රාළට හරිම බඩගිනි දවසක්. උදේ ඉඳලම කැලේ හැමතැනම ඇවිද ඇවිද හෙව්වත් කන්න පුළුවන් දෙයක් හම්බ වුනේ නෑ. දැන් නම් හරිම මහන්සිත් එක්ක. යන්න ඕනේ ගම්මානෙ දිහාවටවත්. එහෙම හිතපු නරි රාල ගම දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ටික දුරක් ඇවිදගෙන යනකොට නරි රාල දැක්කා ගහක අලෝලා තියෙන ලොකු බෝලයක් වගේ එකක්. තව ටිකක් හොඳට ලඟට කිට්ටු වෙලා බැලුවම ඒක ලොකු කොහොල්ල ගුලියක් බව නරි රාලට පෙනුනා. ඒත් එක්කම එයාට අපුරු අදහසක් ආවා.

නරි රාල හොඳ පරිස්සමින් කොහොල්ල ගුලිය අරගෙන ඒක එහෙට මෙහාට අඹරවල එකෙන් හැදුවා ලස්සන පුංචි බබෙක්. බබාගේ ඇස් දෙකට දිලිසෙන සියඹලා ඇට දෙකක් ඇලෙව්වා. නහයට සියඹලා පොත්තක් තිව්වා. කටට රෝස පාට ලොකු මල් පෙත්තක් ඇලෙව්වා. ෂා.. මේ තියෙන්නේ ලස්සනට. දැන් නම් ඇත්ත බබෙක් වගේමයි.


ඊට පස්සේ නරි රාල බබාව පරිස්සමින් අරගෙන ගිහින් ගහකට හේත්තු කරා. “දැන් කවුරු හරි මේ ගහ යට ඉන්න කොහොල්ල බබාව ඇල්ලුවොත් එයාව බබාට ඇලෙනවා. ඊට පස්සේ මට පුළුවන් පැනපු ගමන් එයාව අල්ල ගන්න.” මෙහෙම කල්පනා කරපු නරි රාල ටිකක් ඈතට ගිහින් හැංගිලා බලන් හිටියා.

ඔහොම ටික වෙලාවක් ගතවෙනකොට හා පැංචෙක් එතනින් යන්න ආවා. හරිම විනෝදෙන් සිංදුවකුත් කියා කියා ආපු හා පැංචා දැක්කා ගහ යට බබෙක් ඉන්නවා. පොඩ්ඩක් කතා බහ කරලා බලන්න ඕන කියල හිතපු හා පැංචා බබා ගාවට ආවා. “හලෝ බබෝ... මොකෝ මේ තනියම ගහ යට..” හා පැංචා ඇහුවා. ම්හු. කතා කරන්නේ නෑ. හිනා වෙනවා විතරයි. “ඇයි අනේ ඔයා කතා කරන්නේ නැත්තේ. ලැජ්ජයිද ඔයාට.” හා පැංචා ආයෙම ඇහුවා. ම්හු. ඒත් කතා කරන පාටක් නෑ. “ හරි නරකයි ඔයා... තරහයි ඔන්න මං...” බොරු තරහක් ගත්ත හා පැංචා බබාට හිමින් පාරක් ගැහුවා. හරි පුදුමයි නෙ. කතා නොකලට මොකද මෙන්න එතකොටම බබා හා පැංචාගෙ අත තද කරලා අල්ලගත්තා. කෝච්චර තදින් අල්ලගත්තද කියනවනම් හා පැංචා අත අදිනවා අදිනවා බබා අත අරින්නෙම නෑ. හොඳටම ඇලවිලා. දැන් නම් ඔන්න ඇත්තටම හා පැංචාට තරහක් එනවා. “අත අරින්න නේද කිව්වේ මගේ අත.” එහෙම කියලා හා පැංචා අනිත් අතින් කොහොල්ල බබාට පාරක් ගැහුවා. ඒත් එක්කම ඒ අතත් බබාගේ ඇඟේ තදින් ඇලවුනා.

දැන් ඉතින් හා පැංචාට හරි වැඩේ. ඇත දෙක හොලවගන්නවත් බෑ. බබාගෙ ඇඟට ඇලවිලා. ටිකින් ටික හා පැංචාට දාඩියත් දමන්න පටන් ගත්තා. “ඉන්නවකෝ මං ඔයැයිට කරන්න හොඳ වැඩක්.” එහෙම කියපු හා පැංචා කකුලෙන් බබාට රිදෙන්න පාරක් ගැහුවා. හරි වැඩේ. ඒ පාර කකුලත් ඇලුනා. හා පැංචාට දැන් නම් හොඳටම කේන්තියි. “මාව සෙල්ලමකට ගන්න එපා හරිද. අතාරින්න නේද කිව්වෙ. එනවා මෙතන මාව අල්ලන්න.” හා පැංචා ඒ පාර නම් කකුල පද්දලා හොඳ පාරක් හයියෙන් ගැහුවා මේ මුරණ්ඩු බබාට පාඩමක් උගන්නත් එක්ක. අනේ ඒත් මොකක්ද වුනේ. ඒ කකුලත් බබාගෙ ඇඟේ ඇලුනා. දැන් හා පැංචාට හෙලවෙන්නවත් බෑ. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම බබාට ඇලවිලා.

වෙච්ච වැඩේට හා පැංචාට හොඳටම කේන්තියි. දැන් ඔලුව විතරයි ඉතුරු. “යාලු කමට පොඩ්ඩක් කතා කරන්න ආවම මෙහෙම කරන එක හරිද... ඔලුව හොලවමින් හා පැංචා තරහෙන් ගිගිරුවා. අද මම ඔයැයිව මට්ටු කරලම තමයි පස්ස බලන්නේ.” හා පැංචා එයාගේ ඔලුවෙන් පුළුවන් තරම් හයියෙන් බබාට ගැහැව්වා. අපොයි. එතකොටම හා පැංචාගේ ඔළුවත් බබාගෙ ඇඟේ ඇලුනා. බබාට පාඩම් උගන්නන්න ගිහින් මදැයි හා පැංචා කරගත්ත හරිය. දැන් ඉතින් මොකෝ කරන්නේ. හා පැංචා ට හෙලවෙන්නවත් බෑ.

පැත්තක ඉඳන් මේ සෙල්ලම බලාගෙන හිටිය නරිරාලගේ සතුට දැන් ඉහ වහා ගිහින්. එයා එක පිම්මට එතනට දුවගෙන ආව එයාගෙ ගොදුර අල්ලගන්න.

“අහු වුනා අහු වුනා මගෙ උගුලට අහු වුනා .

රැවටුනා රැවටුනා බොරු බබාට රැවටුනා ...”

හහ් හහ් හා...හහ් හහ් හා...

“දැන් ඉතින් හා පැංචෝ..කරපු හොඳ නරක මතක් කර ගන්න එකයි ඇත්තෙ...තව ටිකකින් ඔයා මගේ බඩේ.” හා පැංචා කොහොල්ල බබාගෙන් පරිස්සමට ගලව ගන්න ගමන් නරි රාල කිව්වා.

අනේ ඒත් බෝනික්කෙක් වගේ ලස්සන සුදු හා පැංචාගේ කඳුළු පිරුණු ලොකු ඇස් දෙක දැක්කම නරි රාලගේ හිත ටිකක් උණු වුනා. හා පැංචාව කන්න ලෝබ හිතුනා. කොහොමත් මේ පුංචි එකෙක් කාල මක් කරන්නද. මගේ එක කටටත් මදි මේකව. නරි රාල හිතුවා. කොහොල්ල බබාගෙන් ගැලවිලා නරි රාලගේ අතට ආපු හා පැංචා ඒ වෙනකොටත් හිටියෙ හොඳටම බයේ වෙව්ල වෙව්ල.

“හරි එහෙනම් අපි මෙහෙම කරමු. අදට මම ඔයාව කන්නේ නැතුව යන්න දෙන්නම්කො. මෙන්න මේ විදියට දහ පාරක් කියන්න ඕන එක හුස්මට නවත්නන්නේ නැතුව. හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕන. නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි, නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි..... මොකද කියන්නේ .. හාද? එහෙම වුනොත් තමයි යන්න දෙන්නෙ.” නරි රාල හා පැංචාගෙන් ඇහැව්වා.

කන් දෙක ලොකු කරන් බයේ වෙව්ලමින් මේ කතාව අහන් හිටිය හා පැංචා නරි රාලගේ යෝජනාවට එක පයින් කැමති උනා. එක පාරටම ලොකු හුස්මක් ඇද්ද හා පැංචා නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි, නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි….කියලා දහ පාරක් කියලා දාලා පිම්මේ දිව්වේ පස්ස නොබලා.

“මේ... මග ඉන්න බබාලා එක්ක එහෙම කතා කරන්න නවතින්න එපා හොඳේ ...” පිම්මේ දුවන හා පැංචා දිහා හිනා වෙවී බලන් හිටිය නරි රාල හා පැංචාට ඇහෙන්න හයියෙන් කෑ ගහලා කිව්වා.

Monday, August 12, 2019

71. කම්මැලි තාර පැටියා

තාරා පවුලෙ තාර පැටව් පස් දෙනෙක් හිටියා. අයියල දෙන්නයි, අක්කල දෙන්නයි, පවුලෙ බාලයා වෙච්ච පුංචි තාර පැටියයි. එයාට සුරතලේට කිව්ව් නම තමයි පැටී. හැබැයි මේ පුංචි පැටී එයාගේ අයියල අක්කල වගේ නෙමෙයි හරිම කම්මැලියා. දවල් වෙනකන්ම උදේට නිදා ගන්නවා. උදේට පැටීව අවදි කරන්න හරිම අමාරුයි. “ඔහොම දවල් වෙනකන් නිදා ගන්න එපා පුතේ. එතකොට දවසම කම්මැලියි. උදෙන් අවදි වෙලා මේ අයියල අක්කල වගේ කඩිසරකමට ඉන්නකො.” තාරා අම්ම හැමදාම ආදරෙන් පැටීට කියලා දෙනවා. ඒත් පැටී නෙමේ ඒ කිසිම දෙයක් කනකට ගනනේ. “අනේ මට බෑ. මට තව නිදාගන්න ඕන. මේ බලන්නකො මගේ ඇස් එහෙම ඉක්මනට ඇරෙන්නේ නෑ අයියලට වගේ. ඒකට වෙලාව යනවා.” එහෙම කියල පැටී තව නිදා ගත්තා.

ඉතින් එක දවසක් උදේ, හැමෝම අවදි වෙලා කෑම හොයාගෙන යන්න ලෑස්ති වෙලා පැටීව අවදි කරන්න හැදුවා. ඒත් කතා කළා කතා කළා පැටී අවදි වුනේ නෑ. බැරිම තැන කම්මැලියා අද ඕන දෙයක් කරගත්තාවේ කියලා , තාරා අම්මා අනිත් පැටව් ටිකත් එක්ක යන්න පිටත් උනා.

ඔන්න හැමෝම ගෙදරින් ගිහිල්ල ගොඩ වෙලාවකට පස්සේ පැටී අවදි වුනා. අපොයි හරිම බඩගිනියි. කන්න මොකුත් තියේද කියලා බලන්න ගේ හැමතැනම හෙව්වත් කිසිම දෙයක් හම්බ වුනේ නෑ. එලියට වත් ගිහින් මොනවහරි හොගායෙන කාල බඩගිනි නිවාගන්න ඕන. මෙහෙම හිතපු පැටී අකමැත්තෙන් උනත් එලියට බැහැල හිමින් හිමින් පොකුණ දිහාට යන්න පටන් ගත්තා.

ඉතින් ඔහොම යනකොට හොඳට බඩ පුරවාගෙන ගහක් උඩට වෙලා සිංදු කියා කියා හිටපු පැණි කුරුල්ලෙක් කම්මැලි ගමනින් ඇවිදගෙන එන පැටීව දැක්කා. “කොහෙද තාර පැටියො මේ තනියම යන්නෙ.” පැණි කුරුල්ලා පැටීගෙන් ඇහුවා. “නෑ මම මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ.” එහෙම කියපු පැටී ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” පැණි කුරුල්ලා ආයෙම කියල ඔලොක්කුවට හිනා වුණා. පැටීට ලජ්ජා හිතුනා.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා
පැණි කුරුල්ලා සමච්චලේට කියපු සිංදුව ඇහුනේ නෑ වගේ පැටී හනි හනික යන්න ගියා.


ඊළඟට පැටීට හම්බ වුනේ හා පැංචි. සුදු බොලේ වගේ පෙරලි පෙරලි උඳුපියලිය ගොඩේ පිනුම් ගහනවා. උදේට හොඳ කෑමක් කන්න ඇති හා පැංචිව දැක්ක ගමන් පැටී හිතුවා. “ආයුබෝවන් තාර පැටියො.. කොහෙද මේ තනියෙන් යන්නෙ.” පැටීව දැකපු හා පැංචි ඇහුවා. “නෑ මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ. ” පැටී පුරුදු උත්තරේම දීලා ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” හා පැංචිත් පැටීට සමච්චලේට හිනා වුනා. දෙවෙනි වතාවටත් අර ආස නැති සිංදුව.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා


පැටී හිමින් හිමින් පොකුණ ලඟට කිට්ටු කරා. කකුලක් හිමීට වතුරේ ගාවල බැලුවා. “බුදු අම්මෝ. මේ වතුරෙ සීතල. අපොයි මට නම් බෑ බහින්න මේකට. මාව සීතලට ගල් වෙයි. පැටී පොකුණේ ඉවුර උඩ වාඩිවෙලා වතුර දිහා බයෙන් වගේ බැලුවා.

පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
සීතල වතුරට බහින්න - බයේ ඉවුරෙ වෙව්ලනවා.

“ඈ කවුද මේ ආපහු මට හිනාවෙන්නේ. අද නම් හරිම නරක දවසක්.” පැටී වට පිට බලල බල හිතුවා. “ජබු..ස්” කියල එක පාරටම ආපු සද්දෙකුත් එක්ක පොකුණට පැන්නේ කවුද දන්නවද? ඉබි පැංචා. ඉබි පැංචා වතුරට පැනපු පාරට පැටීව ඔලුවේ ඉඳන් සීතල වතුරෙන් නෑවිලා ගියා. හූ....කම්මැලියා නෑවා.....කියමින් ඉබි පැංචා ඈතට පීනලා යනවා පැටී බලන් හිටියේ හරිම කේන්තියෙන්. නිකන්ම නෙමෙයි ඉබි පැංචා ගියේ. අර ආස නැති සිංදුවත් කියාගෙනමයි.

මේක හරියන්නේ නෑ. මං මොකටද කාටවත් විහිලු සපයන්නෙ. හෙට ඉඳල උදේම අවදි වෙන්න ඕන. මම කම්මැලියෙක් නෙමෙයි කියලා හැමෝටම පෙන්නන්න ඕන. එතකොට බලමු ඔය සිංදුව කියන්නේ කොහොමද කියලා. පැටී ඔලුවේ වතුර පිහිදාන ගමන් තරහෙන්ම කල්පනා කළා. කොහොමත් තෙමිච්ච එකේ මම දැන් නාගෙනම ගෙදර යන්න ඕන කියලා පොකුණට බැහැලා හොඳට නාගෙන ඕලු ඇට ටිකකුත් හප හපා ගෙදර කල්පනාවෙන්ම ගියා.


ඔන්න ඊළඟ දවසේ උදේම පැටී නැගිට්ටා. කාටත් කලින්ම. මූණ කට හෝදගෙන තටු පීරාගෙන එලියට බැහැලා පොකුණ දිහාට යන්න පිටත් වුනේ හරිම උනන්දුවෙන්. පැටීගෙ මේ වෙනස දැක්ක අයියල අක්කල පුදුමෙන් වගේ එක එක්කෙනාගෙ මූණ බලාගත්තා. “අර මොකද අර අරයා කවදාවත් නැතුව...අද නම් වහියි වගේ...” පැටී එලියට යනවා දැක්ක පොඩි අයියා විහිලුවකුත් කරා.

පැටී පොකුණ ලඟට එනකොටම දැක්කා පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනාම පොකුණ ළඟ ඉන්නවා. “ලොකු කතාවක් වගේ මම ටිකක් පේන්න ඉන්නෝන.” පැටීත් ඒ දිහාවට කිට්ටු කරා. “හානේ මෙන්න තාර පැටියා අද උදෙන්ම අවදි වෙලා... මොකෝ මේ..කොහෙද යන්නේ...” පැටීව දැකපු ගමන් යාළුවො තුන් දෙනා පුදුමෙන් ඇහුවා. “මම මේ පොකුණට ආවා. කෑම ටිකක් හොයා ගන්න.” එහෙම කියපු පැටී “ජබු..ස්” ගාල වතුරට පැනලා පීනන්න පටන් ගත්තා. “හෑ...මෙන්න මෙයා පීනනවා...ඊයේ වතුර සීතලයි කියලා බහින්නේ නැතුව ඉවුරට වෙලා හිටියේ...අද නම් මොකක් හරි වෙලා තමයි.” ඉබි පැන්චාට පැටීගෙ වෙනස හිතා ගන්නවත් බැරි වුනා. මේගොල්ලෝ ටිකක් වෙලා පැටී දිහා බලන් හිටියා. තාර පැටියා දැන් වෙනස් වෙලාවගේ. වෙනදා ඉන්න තාර පැටියා නෙමේ දැන් ඉන්නේ. කම්මැලි නැති හොඳ තාර පැටියෙක්. අපි මෙයාවත් අපේ යාලුවෙක් කර ගනිමු. පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනා කතා වුනා.ඊට පස්සේ ඇහුනෙ කෑ ගහලා හයියෙන් කියන සිංදුවක්.


හරිම කඩිසරයි පැටී - උදෙන් අවදි වෙයි පැටී.
කම්මැලිකම් මග ඇරී - පුදුමයි හොඳ වුන හැටී

පොඩ්ඩක් එනවද පැටී - මේක අහනවද පැටී
අපි කැමතියි යාලු වෙන්න - හාද කියන්නකො පැටී...

පොකුනෙ ඈතට ඈතට පීනලා ගිහින් ඕලු මල් ගාලක් අස්සෙ ඕලු කකා හිටිය පැටීට මේ සින්දුව ඇහුණා. එයාට හිතා ගන්නත් බැරි වුනා. එයාට හරිම සතුටුයි. දැන් ඉතින් මම ඉස්සර හිටිය කම්මැලි පැටී නෙමෙයි. හැමෝම ආදරේ කරන කඩිසර පැටී. යාළුවො තුන් දෙනා අහපු ප්‍රශ්නෙට සින්දුවෙන්ම හා කියන විදියක් කල්පනා කර කර පැටී ඉක්මනට යාළුවො හිටි දිහාවට පීනුවා.
(තාරා පින්තූර අන්තර්ජාලයෙනි)

Sunday, August 11, 2019

70. මාල ගිරවා

එක කැලේක ගිරා පවුලක් හිටියා. අම්මයි තාත්තයි පුංචි ගිරා පැටියයි. මේ අම්මටයි තාත්තටයි හරිම වයසයි. දෙන්නටම ඇස් පෙනීම අඩුයි. ඉතින් පොඩි කාලේ ඉඳලම ගිරා පැටියා අම්මටයි තාත්තටයි කරදරයක් වෙන විදියට හැසිරුනේ නෑ. තමුන්ගේ වැඩ පුළුවන් විදියට කර ගන්න ගමන් අම්මටයි තාත්තටයිත් උදව් උනා. මේ වගේ පුතෙක් අපිට හම්බ වුනේ අපේ පෙර පිනකට වෙන්නැති. කියල ගිරා අම්මයි තාත්තයි නිතර කතා වුනා. එයාල දෙන්නම ගිරා පැටියා ගැන හිතුවේ හරිම ආදරෙන්. ඒ වගේම හරිම ආඩම්බරෙන්.

ඔහොම දවස් ගෙවෙනකොට ලොකු නියං කාලයක් ආවා. ඉතින් ඒක හින්දා කැලේ කෑමට ගන්න තිබුණු දේවල් ටික ටික අඩු වුනා. ගස්වල අලුතින් මල් පළතුරු හැදුනේ නෑ. ඇට ජාති කොළ ජාති එහෙමත් හොයාගන්න නැති වුනා. පෑවිල්ලට මුළු කැලේම ගස්වැල් මැලවිලා ගියා. දුකින් තමයි හැමෝම කල් ගත කරේ. ඉතින් කැලේ සත්තු ඔක්කොටම කෑම හොයාගන්න එක හරිම අමාරු වැඩක් වුනා. සමහර වෙලාවට කෑම හොයාගෙන අහල පහල ගම්වලටත් යන්න වුනා.

ඉතින් ගිරා පවුලත් මේ පායන කාලේ හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. “ පුතේ අපි ගැන ඕනවට වඩා වද වෙන්න එපා. අපි ඔය තියෙන දෙයක් කාල බීල ඉන්නම්. පුතා පරිස්සමින් ගිහින් එන්න.” ගිරා පැටියා හැමදාම උදේ කෑම හොයන්න යන්න ලේස්ති වෙනකොට අම්මයි තාත්තයි කියනවා. ඒත් ගිරා පැටියා අම්මට තාත්තට නොදී කිසිම දෙයක් කෑවේ නෑ. කොයි තරම් දුර යන්න උනත්, කොයි තරම් අමාරුවෙන් උනත් එයා අම්මටයි තාත්තටයි කෑම ගෙනාව. තුන් දෙනාම එකට ඉඳන් තමයි හැමදාම කෑම කෑවේ.

ඉතින් එක දවසක් උදේම ගිරා පැටියා කෑම හොයන්න ගියා. ඒත් එදා එයාට මොකවත්ම හම්බ වුනේ නෑ. එහෙ මෙහෙ ගොඩාක් දුර පියඹලා කෑම හොයල හොයලා එයාට හරිම මහන්සියි. එයා ගහක අත්තක් උඩ වාඩි වෙලා මහන්සි අරින්න පටන් ගත්තා. ටික වෙලාවකින් එයාට පෙනුනා ඈතින් තියෙන වෙල් යායක්. පේන විදියටනම් කරල් කිරි වැදීගෙන එන ගොයමක් වගේ. එයා ඉක්මනට මහන්සිය අමතක කරලා ඒ දිහාවට පියඹලා ගියා. එයා හිතුවා හරි. කිරි වැදීගෙන එන කරල් පිරිච්ච ගොයමක් තමයි. එයා ඉක්මනට එයාගේ චූටි හොටෙන් අල්ලලා අරගෙන යන්න පුළුවන් තරමට වී කරල් කපා ගත්තා. පරිස්සමට වී කරල් අල්ලාගෙන ඉක්මනට ගෙදරට පියඹුවා.


එදා අම්මටයි තාත්තටයි හරිම සතුටුයි. ගොඩ කාලෙකින් තමයි එයාලට ඒ වගේ රස කෑමක් කන්න හම්බ උනේ. ඉතින් ඔන්න එදා ඉඳලා ගිරා පැටියා හැමදාම අර කුඹුරට පියඹලා ගිහින් වී කරල් කපාගෙන ගෙදර ගෙනාව. අම්මට තාත්තට රසම රස වී ඇට කන්න දුන්නා. ඒත් එහෙම කරගෙන යන්න පුළුවන් උනේ බොහොම ටික දවසයි. තමුන්ගෙ කුඹුරෙ වී කරල් නැති වෙන එක ගැන විමසිල්ලෙන් හිටිය ගොවි මාමා එක දවසක් ගිරා පැටියා වී කරල් කපාගෙන අරන් යන හැටි දැක්කා. හොරාව ඇස් දෙකටම දැක්කා උනාට ගොවි මාමට එක පුදුමයක් තිබුනා. වෙන ගිරව් නම් කුම්බුරේදීම වී කරල් කනවා. ඒත් මේ ගිරවා වී කරල් අරගෙන යනවා. මේකේ රහස දැනගන්න ඕන. ගොවි මාම ගෙදර ගිහින් ගොවි නැන්දටත් විස්තරේ කිව්වා. දෙන්නටම හරිම පුදුමයි. ඊළඟ දවසේ උදේම ගිරා පැටියා කුඹුරට එන වෙලාවට හැංගිලා ඉදලා ගිරා පැටියව අල්ලගමු කියලා ගොවි නැන්දයි මාමයි කතා වුනා.


මේ කිසිම දෙයක් නොදන්නා ගිරා පැටියා වෙනදා වගේම එදා උදෙත් කුඹුරට ආවා වුනත් එදා නම් එයාව ගොවි මාමටයි නැන්දටයි අතටම අහු වුනා. ගිරා පැටියා අල්ලගත්ත ගමන්ම ඒ දෙන්නාට දැනගන්න ඕන වුනේ අර රහස. හොරෙන් වී කරල් කපාගන අරගෙන යන්නේ මොකටද කාටද කොහෙටද කියලා.

අනේ ඉතින් අහිංසක ගිරා පැටියා එයාගේ මුළු කතාවම ගොවි මාමටයි නැන්දටයි කිව්වා. කතාව අපහු ගොවි මාමයි නැන්දයි පුදුම උනා ගිරා පැටියාගේ කරුණාවන්ත හිත ගැන. එයාල දෙන්නටම ගිරා පැටියා ගැන ගොඩක් ආදරේ හිතුනා. මේ කරුණාවත කමට අපි ගරු කරන්න ඕන. ගොවි මාම කිව්වා. ගිරා පැටියෝ... අද ඉඳන් ඔයාට මගේ කුඹුරට එන්න කිසිම තහනමක් නෑ. ඔයාට ඕන වෙලාවක ඇවිල්ල ඔයාට ඇති තරමක් වී කරල් කපාගෙන යන්න. අම්මයි තාත්තයි ජීවත්වෙලා ඉන්නකන් ඒ දෙන්නට හොඳට සලකන්න...එයා ගිරා පැටියා අතට අරගෙන ආදරෙන් කිව්වා. ගොවි මාමා එහෙම කියල ඉවර වෙනවත් එක්කම ගොවි නැන්දා මෙච්චර වෙලා එයාගේ කරේ බැඳගෙන හිටිය ලස්සන මාලේ ගලවලා අරන් ගිරා පැටියාගේ කරේ බැන්දා. මේ තෑග්ග මගෙන් ඔයාට. ඔයාගේ කරුනාවතකමට. ගොවි නැන්දා කිව්වා.


ගිරා පැටියාට හරිම සතුටුයි. අම්මට තාත්තට උදව් කරන කරුණාවත දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. මගේ අම්මයි තාත්තයි කියපු කතාව ඇත්ත. ගොවි නැන්දා කරේ බැඳපු මාලේ අතගාන ගමන් එයා කල්පනා කළා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ගිරා පැටියා මාල ගිරවෙක් වුනේ.

Friday, August 9, 2019

69. ඇඹුල් පේර ගස

සුද්දි කියන්නෙ පුංචි ගෑණු ළමයෙක්. එයා හරි සුදුයි. ඉතින් එයාගෙ අම්මයි තාත්තයි එයා පුංචිම කාලෙ එයාට ආදරේට කිව්වේ සුදු දෝණි කියලා. ටිකක් කල් ඔහොම කියනකොට මේ දිග නම කොට වෙලා සුදු දෝණි කියන එක සුදුනි වුණා. පස්සේ පස්සේ එකත් වෙනස් වෙලා තමයි සුදුනි කියන එක සුද්දි උනේ. දැන් නම් හරිම ලේසියි. ගෙදර අය විතරක් නෙමේ යාලුවො, අහල පහල අය වගේම දන්නා කියන ඔක්කොමලම සුද්දි කියල තමයි එයාට කතා කරන්නෙ.

සුද්දිගෙ ගෙදර මිදුලෙ ටිකක් ඈතට වෙන්න ඇඹුල් පේර ගහක් තිබුණා. ඒ ගහ හරි ලොකුයි. පහල ඉඳලම අතු බෙදිලා තිබුණු නිසා ලෙසිලෙන්ම නගින්න පුළුවන්. සුද්දි මේ ගහට නගින්න පටන් ගත්තේ එයාට ඇවිදින්න පුළුවන් උන දවස්වලමයි. පොඩි කාලෙ මිදුලට බැස්ස ගමන් විසි වෙවී ගහ ගාවට යන සුද්දි කොහොමහරි අතු වල එල්ලිලා බඩගාගෙන මේ ගහට නැග ගන්නවා. හරියට වඳුරු පැටියෙක් වගේ. ඊට පස්සේ ඉතින් ගහෙන් බිම බස්සවනවා හෙම බොරු. සමහර වෙලාවට උදේ වරුවම ගහේ. අනේ බහින්නකො පැටියො...බැස්සොත් මං ඔයාට තාත්තට කියල ලස්සන වළලු කැරැල්ලක් ගෙනත් දෙනවා...නැත්නම් ලස්සන බෝනික්කෙක්, රෝස පාට තොප්පියක්, ඉන ගාවට දිග මුතු ඇට මාලයක්, ලොලිපොප්, චොක්ලට්, මල් බිස්කට්, මේ වගේ සුද්දී ආස නොයෙක් ජාතියේ දේවල් ගැන කියා කියා කොයිතරම් කන්නලව් කරත් සුද්දී නෙමේ ගහෙන් බිමට බහින්නෙ. අන්තිමේදි අම්මට කවන්න වෙන්නෙත් සුද්දි ගහේ නැගලා ඉන්නකොට.


ඉතින් සමහර වෙලාවට සුද්දිගේ තාත්තට මේ ගැන හරියට තරහා යනවා. තවත් ඕකට නැග්ගොත් එහෙම මං ඔය ගහ මුලින්ම කපලා දානවා. ඔන්න ආපහු මං කියන්නේ නෑ. සමහර වෙලාවට සුද්දිගේ තාත්තා හොඳටම සැර කරනවා. වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ළමයා ගහෙන් වැටිලා අනතුරක් කරගනී කියන බයට. ඒත් බනින වෙලාවට පූස් පැටියෙක් වගේ අම්මගේ ඇඟ අස්සේ ගුලිවෙන සුද්දිට ඊළඟ දවසේ බැනිල්ල අමතකයි. උදේ පාන්දර ගහේ. ගහත් ඉතින් සුද්දි එනකන් බලන් හිටිය වගේ නැලවේවී ඉන්නෙ හරිම සතුටින්.

ඔන්න එක දවසක් නම් තාත්තට වෙනදට වඩා ගොඩාක් තරහ ගියා. එදා උදේම සුද්දි ගහේ නැගල තියෙන්නෙ හරියට ඇඳුමක් වත් අඳින්නේ නැතුව. අවදි වුන ගමන් ජංගි කොටේ පිටින්. එදා තාත්තගෙ ඉස්කෝලේ කාලේ යාලුවෙකුත් ඇවිල්ල. ගහෙන් බහින්න කියල කොච්චර කතා කරත් සුද්දි බැස්සේ නෑ. තාත්තට හරිම ලැජ්ජයි. දුකයි. තරහයි. යාළුවා ගියා විතරයි සුද්දිව අල්ලගත්ත තාත්තා කතා කරේ හරිම කේන්තියෙන්. “මෙච්චර දවසක් මම කිව්වා විතරයි. ඒත් අද මම කරලම පෙන්නනවා. අද මේ ගහේ අන්තිම දවස. මේක මම අදම කපල ලිපේ දානවා. නැතුව මේ ළමයා හදන්න බෑ. අද දැනගන්න පුළුවන් මේ තාත්තගෙ තරම.” එදා නම් කරපු වැඩේ වැරදි නිසා සුද්දි වෙනුවෙන් කතා කරලා සුද්දිව බේර ගන්න අම්මවත් ආවේ නෑ.

තාත්තගෙ නපුරු මූණ දැක්ක සුද්දී එදා නම් ඇත්තටම බය වුණා. එයා ඇඳට පැනලා කොට්ටෙකින් මුණ වහගෙන හැංගුනා. තාත්ත ඇත්තටම මගේ පේර ගහ කපල දාවිද දන්නේ නෑ. අනේ එහෙම උනොත් මගේ ගහ අඬයි. මං කොහොමද එයාව බේර ගන්නෙ. අනේ මගේ හොඳම යාළුවා. මට ඒ ගහ නැතුව ඉන්න බෑ. කෝට්ටේ අස්සේ මූණ ඔබාගෙන සුද්දී දුකෙන් කල්පනා කළා. අන්තිමේ දන්නෙම නැතුව ඇස් වලින් කඳුළු පේලියක් ආව. එයාට ඇඬුනා. අඬ අඬාම නින්දකට වැටුණා.


සුද්දි අවදි වෙද්දී හොඳටම හවස් වෙලා. ඒ වෙද්දී අම්මවත් තාත්තවත් පේන්න හිටියේ නෑ. සුද්දී හිමීට ඇඳෙන් බිමට බැස්සා. අවදි වුනාට මොකද මිදුල දිහා බලන්නවත් මිදුලට යන්නවත් සුද්දිට බයයි. කොටින්ම එයාට මිදුල දිහා බලන් ඇස් අරින්නත් බයයි. ඒත් අන්තිමේ එයා හිත තද කරගෙන හිමින් හිමින් මිදුල දිහාවට ඇවිදන් ගියා ඇස් බාගෙට පියාගෙනම. පේර ගහ තිබ්බ ඉසව්වට කිට්ටු කරා. අනේ මට ඇස් අරින්න බයයි. මගේ පේර ගහ කපල තිබුනොත් එහෙම. අනේ එහෙම වෙන්න එපා. මම ඇස් අරිද්දි මගෙ පේර ගහ මෙතන තියෙන්න ඕන. අනේ මීට පස්සේ මම අම්මයි තාත්තයි කියන දේ අහනවා. හොඳ ළමයෙක් වෙනවා. මේ ඇත්තමයි. සුද්දි ඇස් පියාගෙන එයාටම කියා ගත්තා. ඊට පස්සේ හිතට හයිය අරගෙන ලොකුවට හුස්මක් අරගෙන...බයෙන් බයෙන් ඇස් ඇරියා.

ඇස් ඇරපු ගමන් දැක්ක දෙයින් එයා අහසට නැගලා සුරංගනා ලෝකෙටම පාවෙලා ගියා. අනේ මේක හීනයක් ද? තටු ඇවිල්ල ඉගිල්ලෙන්න ඉන්න කිරිල්ලියෙක් වගේ එයා උඩ පැන්නේ. සතුට ඉහ වහා ගිහින්. එයා පේර ගහ බදාගෙන ගොඩක් වෙලා හිටියා. හාදු ගොඩකුත් දුන්නා. සුද්දි නිදි අතරේ තාත්ත පේර ගහේ බැඳලා තිබුනේ මොකක්ද?

ඔන්චිලාවක්.

ඔව් ඔන්චිල්ලාවක්.

ඉතින් සුද්දිගේ සතුට අප්‍රමාණයි. තාත්තා ගැන හිතට ආපු ආදරේ ඊටත් වඩා වැඩියි. එයාට හිතා ගන්නත් බැරි වුනා. ගේ ඇතුලේ ඉඳන් මේ ඔක්කොම බලාගෙන හිටිය තාත්තා සුද්දී ලඟට ඇවිල්ල සුද්දිව වඩා ගත්තේ හරිම ආදරෙන්. “මගේ දඟ කෙල්ල. අද ඉඳලා වැදගත් විදියට ඔන්චිල්ලා පදිනවා මිසක් ජංගි කොටේ පිටින් ගස් බඩ ගාන්න ඔට්ටු නෑ ඔන්න හොඳේ.” තාත්තා සුද්දිගෙ ඔළුව අත ගාන ගමන් ආදරෙන් කිව්වා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

Wednesday, July 31, 2019

68. ආඩම්බර සරුංගලේ


සරුංගල් කාලේ අයෙමත් ඇවිල්ල. හැමතැනම හොඳ සනීප හුළඟ. හදපු සරුංගල් විකුනන්න දාලා හැමතැනම. අපි පුංචි කාලේ නම් අපිම සරුංගල් හදාගෙන තමයි උඩ යැව්වෙ. තාත්ත කියනවා නිතරම. ඉතින් තාත්තවත් උදව් කරගෙන ගෙදරම සරුංගලයක් හදලා උඩ යවන්න පුංචි බබාටත් ලොකු ආසාවක් ආවා. “තාත්තේ අපි දෙන්නත් එක්ක ලස්සන සරුංගලයක් හදමු හාද? බබා ඇහුව විතරයි තාත්තත් වැඩේට කැමති වුනා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා බට පතුරක් කපාගෙන ඇවිල්ලා, පතුරු කපලා, බැමි බැඳලා, පාප්ප ගාලා, කොළ අලවලා, තව හැඩ වැඩ ටිකකුත් දාලා ඔන්න අන්තිමේ සරුංගලයක් හදලා ඉවර කරා.

ෂා... මං හරි ලස්සනයිනෙ. හදලා ඉවර වුනාම සරුංගලේට හිතුනා. කහ පාට පසුබිමේ කළු පාට වයිරන් වැටිච්ච මං වෙන්න ඇති මේ පළාතටම ඉන්න ලස්සන එක්කෙනා. සරුංගලේ ආඩම්බරෙන් හිතුවා. දැන් ඉතින් උඩට යනකන් එයාට ඉවසිල්ලක් නෑ. අනේ බබෝ මාව ඉක්මනට උඩට යවන්නකෝ. සරුංගලේ බබාට කිව්වා. ඉතින් බබත් ඔන්න හරිම ආසාවෙන් සරුංගලේ අරන් වෙල පැත්තට දිව්වා.

බබා නූල හිමිට දිග ඇරලා සරුංගලේ උඩ යවන්න පටන් ගත්තා. එදා හුළඟත් ගානට, සැර වැඩිමත් නෑ සැර අඩුමත් නෑ. ඉතින් වැඩි වෙලාවක් නොගෙනම සරුංගලේ උඩට නගින්න පටන් ගත්තා. බලන්න එපැයි උඩ යන්න යන්න සරුංගලේ හිනාව. කට කනෙත් ගෑ වෙනවද කොහේද. එයා හිනා වෙවීම උඩට යනවා. දැන් නම් නූලත් ඉවර වේගෙන එන්නේ. ඒත් තව උඩට නගින්නම තමයි සරුංගලේ හිත. ඒත් බබා නූල අල්ලාගෙන ඉන්න නිසා එයාට යන්න විදියක් නෑ. මේ බබෝ මාව අතාරින්නකෝ. මට අහසේ උඩටම ගිහින් වලාකුළු අස්සේ පා වෙවී ඉන්න ආසයි. සරුංගලේ එයාව අතාරින්න කියලා බබාට බල කරා. බබාට හරිම දුකයි. එයා වරුවක් තිස්සේ මහන්සි වෙලා හදපු සරුංගලේ නේ. ඒත් බේරෙන්න බැරිම තැන එයා සරුංගලේට උඩට යන්න නූල අත ඇරියා.


සරුංගලේ සතුටින් හිනා වෙවී ටික ටික උඩටම උඩටම ගියා. උස ගස් පහු කරා. උස ගොඩනැගිලි පහු කරා. කන්දක් පහු කරා. අන්තිමට වලාකුළුත් පහු කරා. සීතල වලාකුළු ඇඟේ ගෑවෙනකොට හරිම සනීපයි. එයා සනීපෙට උඩ ගියා. එයාට හරිම විනෝදයි මේ යන ගමන. මට හඳ මාමත් හම්බ වෙන්න පුළුවන් වෙයි. එයාට හිතුන. එයා ඔලුව දෙපැත්තට වන වනා සින්දු කිව්වා. සමහර වෙලාවට වටේට කැරකි කැරකි කරනම් ගැහුවා. පහල ඉඳන් බබා එයාට අත වනනවා එයාට පෙනුණා. ඒත් ටිකින් ටික එයා පොළොවෙන් ඈත් වෙනවත් එක්කම බබාගේ රූපෙත් තිතක් වගේ වෙලා නොපෙනී ගියා. සරුංගලේ සතුටින් උඩ යන විදිය ගොඩාක් වෙලා දුකින් බලන් හිටිය බබා අන්තිමේ හෙමින් හෙමින් ගෙදර ගියා.

ඒත් මේ සතුට සරුංගලේ ළඟ තිබුනේ ටික වෙලාවයි. හිතන්නවත් බැරි හදිස්සියකින් වගේ එක පාරටම ආපු ලොකු හුලඟකට අහු වුනු සරුංගලේ වේගෙන් උඩ පහල ගියා. එයාගේ රැළි ගැලවුණා. ඇඟ වටේට ඇඹරුනා. කොළ ඉරුණා. මේ මොකද මේ මට වෙන්නේ. සරුංගලේ හොඳටම බයෙන් ඇස් පියා ගත්තා. මේ විදියට ටික වෙලාවක් හුළඟත් එක්ක අහසේ ඔට්ටු වුන සරුංගලේ හරිම වේගෙන් පහලට ඇදිලා ආවා. ඒ ලඟම සෙල්ලම් පිට්ටනියේ තිබුණු ගහක අත්තක පැටලිලා පොළොවට කඩා නොවැටී යාන්තම් පණ බේරගෙන නැවතුනා.


වෙච්ච දේ ගැන සරුංගලේට දැන් හරිම දුකයි. ඒත් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපරාදේ මම බබාට කිව්වේ මගෙ නූල අත අරින්න කියලා. නැත්නම් මට එයත් එක්ක දිගටම ඉන්න තිබුනා. සරුංගලේ හිතුවා. මම දැන් කොහොමද බබාව හොයා ගන්නෙ. එයා හෙට සෙල්ලම් කරන්න මෙහෙට ඒවිද? බබා එන්න කලින් වෙන කෙනෙක් මාව දකීවිද? ඒ ඔක්කොටමත් කලින් වැස්සක් වැහැලා මාව දිය වෙලා යයිද ? සරුංගලේ මෙහෙම හිත හිතා බොහොම දුකෙන් ඒ වගේම බොහොම බයෙන් රෑ ගත කරා.

එදා රෑ බබාට නින්ද ගියෙත් නෑ. එයාට හීනෙනුත් සරුංගලේ පෙනුණා. ඒත් ඉතින් දැන් එයා මගේ ළඟ නැහැනේ. කමක් නෑ මං වෙන එකක් හදනවා. බබා හිත හදා ගන්න හැදුවා. ළමයි සරුංගල් අරින පැත්තට යන්න හොඳ නෑ. එතකොට ආපහු මට මගේ සරුංගලේ මතක් වෙයි. අද පිට්ටනියට යන්න ඕන බෝල ගහන්න. එහෙම හිතල බබා ඊළඟ දවසේ උදේ සෙල්ලම් පිට්ටනියට ගියා.

ටික වෙලාවක් සෙල්ලම් කරපු බබාට මහන්සි වෙලා ගහ යටට ආවා. ඇවිත් ගැහෙ හෙවන යට වාඩි වුනා. චුට්ට වෙලාවකින් එයා දැක්කේ කවුද? අනේ මෙන්න එයාගේ සරුංගලේ ගහේ එල්ලිලා එයා දිහා බලන් ඉන්නවා. පව් එයාට හොඳටම තුවාල වෙලා වගේ. මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. බබා ඉක්මනට උස අයියා කෙනෙක්ට කතා කරලා එයාව ගහට නග්ගලා එයාගෙ සරුංගල් යාළුවව බිමට ගත්තා.


අනේ මට සමාවෙන්න බබෝ. මම ආයෙ කවදාවත් ඔයාව දාල යන්න හිතන්නේ නෑ. මං දැන් දන්නවා මට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නේ බබා ළඟ ඉන්නකොට. මාත් එක්ක තරහ නෑ නේද. සරුංගලේ බබාගෙන් ඇහුවා. නෑ යාළුවේ මන් තරහා නෑ. ඉන්නකෝ මං ඔයාව තිබුනටත් වඩා ලස්සන කරලා ගන්නම්කො. බබා හිනාවෙලා කිව්වා. ඉතින් සරුංගලේට හරිම සතුටුයි.

මං තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න සරුංගලේ. බබාගෙ කරේ නැගල ගෙදර යන ගමන් සරුංගලේ හිතුවා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

Tuesday, July 30, 2019

67. කරුණාවන්ත පූසි










සුදු පූසිට පූස් පැටව් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලීනු, අනිත් එක්කෙනා වීනු. මේ දෙන්නා හරිම පුංචියි තාම. පුංචි උනාට නෑ දෙන්නටම හරිම දාංගලේ. වෙන වැඩකුත් නැහැනේ ඉතින්. අම්මගෙන් කිරි බොනවා. දෙන්නත් එක්ක දඟලනවා. ආපහු කිරි බොනවා. ආපහු දඟලනවා. ඔන්න ඔහොම තමයි ඉතින් දවස ගෙවෙන්නේ. උඩ පනිනවා. ඇඟවල් හපාගන්නවා. කුරුමානම් අල්ලනවා. දුවල ගිහින් අම්මගේ බෙල්ලේ එල්ලෙනවා. පනිනවා. විකාර ලෝකයයි එතන. එයාගෙ පැටව් දෙන්නා ගැන සුදු පූසි හිටියේ හරිම ආඩම්බරෙන්. බලන්න එපාය ලඟට අරගෙන කිරි පොවන ගමන් ඇඟ ලෙව කකා හුරතල් කරන විදිය. හරිම ආදරණීයයි.


ඉතින් ඔන්න එක දවසක් උදේ පාන්දර මේ තුන්දෙනා හොඳට ගුලි වෙලා නිදි. එක පාරටම ඈතින් ඇහෙන්න පටන් ගත්තා පුංචිම පුංචි මියැව් මියැව් සද්දයක්. ඉතින් ටිකින් ටික මේ මියැව් මියැව් සද්දෙ එයාලගේ ලඟට කිට්ටු උනා. මෙන්න පුංචිම පුංචි අළු පාට පූස් පැටියෙක් ඈත ඉඳන් ඇවිදගෙන එනවා සුදු පූසි දැක්කා. කවුදෝ තාප්පෙට උඩින් වත්තට විසි කරලා. තාම හරියට ඇවිදගන්නවත් බැරි කිරි සප්පයෙක්. කෑ ගහල වැඩිකමටදෝ කොහේදෝ හඬ පිටවෙන්නෙත් යන්තමින්. මේ තුන් දෙනා ඉන්න බව ඉව වැටිලද කොහේදෝ එයා ඉක්මනට ඉක්මනට කකුල් පැටලී පැටලී එන්න හදනවා. අනේ පව්.

අලුත් පූස් පැටියා දිගටම ආවේ සුදු පූසි ගාවට. එයාගේ අම්මා කියලා එයා සුදු පූසිට රැවටිලා. ලඟට ඇවිල්ල කිරි ඉල්ලනවා. හුරතල් වෙන්න හදනවා. ඒත් සුදු පූසි නෙමෙයි ගණන් ගන්නෙ. එයාට තරහ ගියා.“ මේ මොන කරදරයක්ද මේ. මොකද මේ මගේ ලඟට එන්නෙ. ඔයා මගේ පැටියෙක් නෙමෙයි. යනවා යන්න අහකට. මම කිරි දෙන්නෙ මගේ පැටව් දෙන්නට විතරයි.” සුදු පූසි මූණ පුම්බලා ගොරවමින් කිව්වා. ඒත් පූස් පැටියා නැවැත්තුවේ නෑ. එයා තාම පුංචිම එක්කෙනෙක් නිසා එයාට තේරෙන්නෙ නැහැනේ. එයා හිතන්නේ මේ එයාගේ අම්ම කියලා. එලවන්න එලවන්න එයා ආපහු ලඟට ඇවිල්ල සුදු පූසිගේ ඇඟේ එතෙනවා. දැන් නම් සුදු පූසි හොඳටම කේන්තියි. “යන්න නේද කිව්වේ අහකට. සුදු පූසි ආපහු ගොරවලා ගස්සාගෙන යන්න ගියා.


අනේ පුංචි පූස් පැටියට හරිම දුකයි. එයාට හොඳටම ඇඬුනා. වුනේ මොකක්ද කියල ලීනුටයි වීනුටයි නම් එච්චරම තේරුමක් නෑ. කිරි බීල බීල කොට්ට වගේ බඩවල් පිම්බිච්ච නිසා දෙන්නම තාම ඉන්නේ නිදි මතේ වගේ. අලුතින් ආපු පුංචි පූස් පැටියත් අඬ අඬාම ලීනුගෙයි වීනුගෙයි ඇඟට හේත්තු වෙලා බඩගින්නෙම නිදා ගත්තා.

ඉතින් ඔහොම ටිකක් නිදිය ගත්තට පස්සේ ලීනුටයි වීනුටයි ඇහැ ඇරුනා. මෙන්න බොලේ කවුදෝ මල්ලි කෙනෙක් අපිත් එක්කම නිදි. මේ කවුද මේ...මෙයා හොඳයි අපේ සෙල්ලම් වලට.. ඇදලා බලන්න ඕන නැට්ටෙන්. ඉතින් මේ ලීනු අක්කයි වීනු අයියයි දෙන්න ඔන්න අලුත් පූස් පැටියාගේ නැට්ටෙන් අදිනවා. කන හපනවා. ඇඟට පනිනවා. බෙල්ල බදා ගන්නවා. එක සෙල්ලමයි. පුංචි පූස් පැටියටත් ඉතින් කොච්චර දුකින් බඩගින්නේ ඉන්න වෙලාවක වුනත් ඒ ඔක්කොටම වඩා සෙල්ලම ලොකු වුනා. එයත් හිමින් හිමින් අයියයි අක්කයි එක්ක සෙල්ලමට එකතු වෙලා හරි හරියට සෙල්ලම් කරා. එයාට දැන් අම්මා ගැන වගේ වගක් නෑ.

ටික වෙලාවකින් සුදු පූසි ආවා. එයාට පුදුමයි එයාගේ පැටව් දෙන්නා අලුත් පූස් පටියත් එක්ක සෙල්ලම් කරනවා දැක්කම. එයා ඒ දිහා බලන් හිටියා. අලුත් පූස් පැටියා පුංචි කමට දඟලන දැඟලිල්ල දැක්කම එයාගෙ හිත පොඩ්ඩක් වෙනස් වීගෙන ආව. අනේ කොච්චර හුරතල්ද? කොච්චර අහිංසකද? මගේ පැටව් දෙන්න වගේමයි. ඇයි මම ඉස්සෙල්ල්ල සැර දැම්මෙ මේ පැටියට? එයා කල්පනා කළා.


මේ ඇත්තටම මගේ පැටියෙක් නෙමෙයි නේ. ඉතින් මොකටද මට අම්ම කියන්නෙ. ඒකනෙ මම සැර වුනේ. එයාට මතක් වුනා. කාගේ උනත් ඉතින් මේ පැටියා අම්මා නැති අනාථයෙක් නේ දැන්. අනික එයා හිතන්නේ මම එයාගෙ අම්ම කියලා. ඒකට මක් වෙනවද ඉතින්. මට බැරිද මෙයත් මගේ පැටියෙක් වගේ හිතන්න. මෙයාටත් මගෙ පැටව් දෙන්නට වගේ සලකන්න. සුදු පූසි ආයෙම හිතුවා. මොකද බැරි මට පුළුවන්. පූසි එයාටම කියා ගනිමින් සෙල්ලම් කරන පැටව් තුන් දෙනා දිහා ආදරෙන් බලන් හිටියා. අපරාදෙ මේ පැටියට මම උදේ සැර වුනේ. ආපහු මම එහෙම කරන්න හොඳ නෑ. පූසි තදින්ම හිතට ගත්තා. එහෙම හිතාගෙන එයා ආදරෙන් පැටවුන්ට කතා කරා.

මේ මොකවත්ම ගානක් නැතුව සෙල්ලමේම ඇලිලා හිටිය පූස් පැටව් තුන් දෙනා අම්මගෙ කටහඬ ඇහුනා විතරයි විදුලියක් වගේ ලඟට දුවලා ආව. ඇවිල්ල දැන් කිරි බොන්නයි ලෑස්තිය. අලුත් පූස් පටියත් ඉතින් හොඳට හරි බරි ගැහිලා කිරි බොන්න ලේස්ති වුණා. සුදු පූසි තුන් දෙනාටම එක වගේ සතුටින් කිරි දුන්නා. ඇඟ ලෙව කෑවා. මැක්කන්ව හපලා දැම්මා. මූණ ඉම්බා. ආදරේ කරා.


මේ ඔයාලගේ අලුත් මල්ලි. මෙයා අපි ගාවට ආපු වෙලේ කෑ ගහපු විදිය මතකයි නේ? අපි මෙයාට සීනු කියල නම දාමු ඒක මතක් වෙන්නත් එක්ක. සුදු පූසි කිව්වා. මේක අහපු ලීනුයි වීනුයි සීනුයි තුන් දෙනා පොඩ්ඩකට කිරි බීම නවත්තලා මූණෙන් මූණ බලාගත්තා. එතකොටම ලොකු හිනාවක් පිපිරෙනවා ඇහුණා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

Monday, July 29, 2019

66. බබාගේ චිත්‍රය

එදා වැහි දවසක්. වැස්ස කිව්වට එහෙම එක දිගට වහින ලොකු වැස්සක්ම නෙමෙයි. කඩින් කඩ වැටෙන පොද වැස්සක්. ඒත් වටපිටාව හරියට හැන්දෑවක් වගේ කළුවර වෙලා. ඒ නිසා එලියට යන්න කම්මැලියි. අද මම මොකද කරන්නේ කියල බබා කල්පනා කළා. ඔන්න එක පාරටම පුංචි මොලේට අපූරු අදහසක් ආවා.

ගිය සතියේ බබාට තෑග්ගක් හම්බ වුනා. අම්මගේ යාලු නැන්දි කෙනෙක්ගෙන්. මොකක්ද දන්නවද ඒක. ලස්සනම ලස්සන දිය සායම් පෙට්ටියක්. ඒකෙ පාට ගොඩාක් තියෙනවා. බබා හරිම ආසයි මේ තෑග්ගට. මම මේකෙන් අද ලස්සන චිත්‍රයක් අඳින්න ඕන. බබා හිතුව. ඊට පස්සේ ඔක්කොම ඕන කරන දේවල් අරන් පාඩම් මේසෙට ගිහින් බබා චිත්‍රය අඳින්න පටන් ගත්ත.

මුලින්ම අහස. ඊට පස්සේ ලොකු වලාකුළු දෙකක්. ඊට පස්සේ ලොකුවට අඩ රවුම් හතක්... දේදුන්න තියෙන්නේ ලස්සන කන්දකට උඩින්. දේදුන්න අල්ලාගෙන ඉන්නවා වගේ ලොකු ගස් දෙකක් දෙපැත්තෙන්. ගස් දෙක මැද්දෙ පුංචි ගෙදරක්. මේ තියෙන්නේ ලස්සනට. හරියට නිකන් දේදුන්න ගෙට එබිකම් කරනවා වගෙයි කවුද මේකේ ඇතුලේ ඉන්නේ කියලා. බබාට ආස හිතුනා. හිතුවටත් වඩා ඉක්මනට ඇඳලා ඉවර වුනා. දැන් තියෙන්නේ පාට කරන්න.

ම්ම්...මොනවද දේදුන්නට එන පාටවල්.. බබා කල්පනා කරනවා. ආ.. හරි හරි මතක් වුනා. අම්ම කියල දුන්නනෙ ලේසි විදියක් මේ පාටවල් මතක තියා ගන්න. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී. ඒ විදියට පාට හතක් දේදුන්නට දාලා..වලාකුළු වලට ලා නිල් පාට දාලා..පිට්ටනියට කොළ පාට දාලා..ඔහොම ඔහොම බබා ඉස්සෙල්ල හිතින් එයා ඇඳපු චිත්‍රෙ පාට කළා.
බබා අම්මට කියලා ගානට වතුර දාල පාටවල් දිය කරලා හදාගෙන ඔන්න ඇත්තටම පින්සලෙන් පාට කරන්න පටන් ගත්ත. හරිම ලස්සනයි පැටියෝ ඔයාගෙ චිත්‍රෙ. ලස්සනට පාට කරන්න ඕන හොඳේ...අම්මා යන ගමන් කියාගෙන ගියා. බබාට හරි සතුටුයි. එයා ටිකින් ටික ටිකින් ටික දැන් ඔන්න චිත්‍රෙ පාට කරමින් යනවා.

මෙහෙම පාට කර කර ඉද්දි ඔන්න එක පාරටම බබාට දැනුනා සිනිඳුවට මොකක් හරි දෙයක් මෙසේ යටින් එයාගෙ කකුලේ ගෑ වෙනවා. මේසේ යටට එබිලා බැලුවා. අනේ මෙන්න සුදු පුසී ඇවිල්ලා. බබා හිතුව සුදු පුසිවත් ඔඩොක්කුවට ගන්න ඕන කියලා. එහෙම හිතලා සුදු පුසිව ගන්න බිමට නැමුණා විතරයි අතේ හැපිලා පින්සල හෝදන්න ගෙනල්ල තිබුන පොඩි වතුර කෝප්පෙ පෙරලුනා. අනේ..මෙච්චර වෙලා මහන්සියෙන් අන්දපු චිත්‍රෙ පුරා..ම වතුර ඉහිරුනා. දැන් ඉතින් මොකද කරන්නේ. දනි පනි ගාලා කොලේ අරන් ඉහිරුණු වතුර ගසලා දැම්මත් වැඩක් වුනේ නෑ. චිත්‍රෙ හොඳටම බොඳ වෙලා. වතුරට පෙඟිලා සමහර තැන් වලින් කොලේ ඉරෙන්නත් වගේ. බබාට හොඳටම දුකයි. ලොකු කඳුළු බින්දු දෙකක් ඇස් වලින් බිමට බේරුනා. බබාට හොඳටම ඇඬුනා. අනේ සමාවෙන්න මට.. කියන්න වගේ සුදු පුසිත් දුකෙන් බලන් ඉන්නවා. එයා ලඟට ඇවිල්ල කකුලේ ඇතිල්ලුන නිසානෙ මේ ඔක්කොම.

කෝප්පෙ වැටෙන සද්දෙටයි.. බබා අඬන සද්දෙටයි කලබල වුනු අම්මා ඉක්මනට පාඩම් මේසෙ ලඟට දුවගෙන ආවා. අනේ වෙලා තියෙන දේට එයාටත් දුකයි. දුක් වෙන්න එපා පුතේ. අපි වෙන එකක් අඳිමු. ඔහොම තමයි ඉතින් සමහර වෙලාවට අපි නොහිතන දේවල් වෙනවනෙ. අම්ම බබාව තුරුළු කරගෙන හිත සැනසුවා. කෝ අපි යමු පොඩ්ඩක් එළියට. එළියේ ඉඳන් උණු කොපි එකක් බොමු ඕක අමතක වෙන්නත් එක්ක. අර දැන් අව් රැල්ලකුත් වැටීගෙන එන්නේ. හා නේද...අම්ම බබාවත් වඩාගෙන එලියට ගියා. සුදු පුසිත් දෙන්නගේ පස්සෙන් ගියා. ඊට පස්සේ බබාව අඹ ගහ යට බංකුව උඩින් වාඩි කරවලා අම්ම ගියා කෝපි හදන්න.

දැන් සුදු පුසියි බබයි දෙන්න බංකුව උඩ ඉඳගෙන ඉන්නවා අම්මා කොපි ගේනකන්. වෙච්ච දේට දෙන්නට තාම දුකයි. සුදු පුසිව අතගාන ගමන් බබා නිකමට වගේ අහස දිහා බැලුවා. හෑ........මේ මොන පුදුමයක් ද. එයාට ඇස් අදහාගන්නත් බැරි වුනා. එයා දැක්කේ එයා දිහා බලාගෙන හිනාවෙන ලස්සන දේදුන්නක්. බබාට හයියෙන් කෑ ගැහුනා බංකුවෙනුත් නැගිට්ටුනා. මේ ඇත්තමද කියලා හිතා ගන්න බැරුව බබා ඇස් දෙක පිහිදාළ ආයෙම අහස දිහා බැලුවා. ඒත් තාමත් දේදුන්න හිනාවී ගත්ත ගමන්මයි. හරියට එයා කොලේ ඇඳපු දේදුන්න අහසට ඇවිල්ල වගේ. බබාට පුදුම සතුටක්. එයා විදුලි වේගෙන් ගෙට දුවලා අම්මවත් ඇදගෙන ආව දේදුන්න පෙන්නන්න.





ෂා.. කොච්චර ලස්සනද. අපිටම තමයි මේක නම් අද පායලා තියෙන්නේ. හැමෝටම හරිම සතුටුයි. බබා සුදු පුසිව වඩාගෙන උඩ පැන්නා. අම්ම හිනාවෙවී බලාගෙන හිටියා. අපි මේකේ ලස්සන ෆොටෝ එකක් ගනිමු. එහෙම කියපු අම්මා ගෙට ගිහින් එයාගේ කැමරාව අරන් ඇවිල්ල අහසයි, දේදුන්නයි , බබයි සුදු පුසියි ඔක්කොමලා එක්ක ලස්සන පින්තුර ටිකක් ගත්තා. එයාලගෙ හිනා පිරිච්ච මූණු පින්තූර වල හරිම ලස්සනට සටහන් වෙලා තිබුනා.

මගේ වතුර හැලිලා බොඳ වෙච්ච චිත්‍රෙ වෙනුවට මට ඊටත් වඩා ලස්සන චිත්‍රයක් හම්බුනා.....නේද සුදු පූසි? ..කියල බබා සතුටින් කිව්වා. සුදු පුසිත් බෝල ඇස් කරකවලා ඔව් ඔව් කියන්න වගේ මියැව් මියැව් කිව්වා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

Thursday, July 25, 2019

65. සමනල ගස

එක උයනක ගහක් තිබුනා. මේ ගහ අනිත් ගස් වලට වඩා ටිකක් වෙනස්. මෙයා ටිකක් උසට මහතාට වැඩිලා හිටියට මොකද මෙයාගෙ තාම මල් පිපුනේ නෑ. මල් පිපෙන්නේ නැතුව ඉතින් ගෙඩි හැදෙන්නෙත් නැහැනෙ. හැබැයි එයාගේ අතු ලස්සන තද කොළ පාට කොළ වලින් පිරිලා තිබුනා. ඒත් ඉතින් උයනට එන පුංචි ළමයි එහෙම මේ ගහ දිහා බැලුවේ වත් නෑ. එයාල ගියේ ලස්සන මල් පොකුරු පොකුරු පිපිලා තියෙන ලස්සන මල් ගස් ගාවට. ගිහින් මල් අල්ලාගෙන, අතු අල්ලාගෙන, ගස් බදාගෙන එක එක විදියට සෙල්ලම් කළා. ළමයින්ගෙ අම්මලා තාත්තලා තමුන්ගේ ළමයි උයනේ සෙල්ලම් කරන විදිය බලල හරියට සන්තෝස වුණා. සමහර අය පින්තූරත් ගත්ත. ඒත් මේ කියන මල් නැති ගහත් එක්ක එකම එක පින්තූරයක් වත් ගන්න කවුරුත් අවේ නෑ. මේ නිසා මේ ගහ පාලුවෙන් තනියෙන් පැත්තට වෙලා හිටියා.

ඉතින් එක දවසක් උයනට ආපු එක පුංචි සමනලයෙක් මේ දුකින් වගේ ඉන්න ගහ දැක්ක. සමනලයා ටිකක් උනන්දුවෙන් බලාගෙන හිටියා. ටිකක් වෙලා බලන් ඉන්නකොට එයාට තේරුනා මේ ගහට කිසිම යාලුවෙක් නැති බව. ඇයි? එයත් එක්ක සෙල්ලම් කරන්න කවුරුත් එන්නේ නැහැ නේ. එයාගේ යාලු අනිත් සමනල්ලුත් හැමතිස්සෙම යන්නේ ලස්සන මල් තියෙන ගස් ගාවට. සමනලයට මේ ගහ පව් කියල හිතුන. එයා ඉගිලිලා ගිහින් ගහේ අත්තක් උඩ වැහුවා. ඊට පස්සේ ආදරෙන් ගහ දිහා බැලුවා. මං ඔයගේ යාලුවෙක් කරගන්න කියල කියනවා වගේ. ගහත් පුදුම වෙලා වගේ බැලුව මොකද මේ කවදාවත් නැතුව සමනලයෙක් එයාගේ අත්තක් උඩ වාඩිවෙලා එයාගේ දිහා බලන් ඉන්නේ කියල. එක්කෙනෙක්වත් කතා කරේ නැතුවට මොකද ටික වෙලාවක් යනකොට දෙන්නගේ හිත් දෙන්නට තේරුනා. දෙන්න දෙන්නත් එක්ක හිනා වුනා. විස්තර කතා කරා.

ඉතින් මේ ගහ එයාගේ දුක් කතාව සමනලයට කිව්වා. “හරි හරි යාලුවේ. මා ගාව හොඳ අදහසක් තියෙනවා. ඔයා හෙට වෙනකන් ඉවසන්නකෝ. මම මේ උයනට එන හැම කෙනෙක්ම ඔයාගෙ යාලුවෙක් කරලා දෙන විදියක් දන්නවා.” සමනලයා එයාගේ යාලු ගහේ හිත සැනසුවා. යාළුවො වුනාම එහෙම තමයි නේද වෙන්න ඕන. යාලුවෙක් ට දුකක් කරදරයක් වුනාම අපි එයාට පිහිට වෙන්න එපැයි. ඔක්කොමල එක්ක සතුටින් හිනා වෙලා ඉන්නකොටනේ මේ ලෝකේ ලස්සන. “එහෙනම් යාලුවේ මම ගිහින් එන්නම්...ඔයා පරිස්සමින් ඉන්න ඕන හොඳේ”. මෙහෙම කියල සමනලයා යන්න ලැස්ති වුනා. ගහට හරිම සතුටුයි. ඒ වගේම හෙට දවස වෙනකන් ඉවසිල්ලක් නෑ. එයා හරිම ආදරෙන් එයාගේ යාලුවට සමු දුන්නා.

ඉතින් ඔන්න දිගම දිග රැයකට පස්සේ මේ යාළුවො දෙන්නාම ආසාවෙන් බලාගෙන හිටිය දවස උදා වුනා. හප්පේ එදා උදේ ගහේ තිබුණු සිරියාව. පිණි වැස්සේ හිතේ හැටියට නෑවිලා කොළ වෙනදාටත් වඩා කොළ පාටට දිලිසුනා. ලස්සන සිංදුවකට නටන්න වගේ අතු ඉති එහාට මෙහාට නැලවුනා. මේ සතුට දෙගුණ තෙගුණ කරමින් එයා ඈතින් එනවා දැක්කේ කවුද දන්නවද? එයාගේ යාලු සමනලයා. සමනලයත් එක්ක ලොකු හිනාවත් දාන්න ඒ පැත්ත බැලුව විතරි ගහට ඇස් අදහාගන්නත් බැරි වුනා. සමනලයාගේ පිටිපස්සෙන් සමනල්ලු සේනාවක්ම එනවා පෙරහැර වගේ. ඒ ගොල්ලෝ හිනා වීගෙනම ඇවිල්ල ගහේ අතු වල වැහුව. දැන් ගහේ සමනල්ලු පිරිලා. කොළ පේන්නෙත් නෑ සමනල්ලුගෙන් වැහිලා එක සමනල ගහක් වෙලා. කොච්චර ලස්සන දෙයක්ද ?


මේ පුදුමය දැක්ක උයනට ඇවිල්ල හිටිය පුංචි ළමයි, එයාලගේ අම්මල තාත්තල, කුරුල්ලෝ මේ කවුරුත් ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව ගහ දිහාම බලාගෙන ඉන්නවා. අනේ කොච්චර ලස්සනද අර සමනල් ගහ? එයාල ඔක්කොම කතා වෙනවා. ඉන් පස්සේ කට්ටියම ඇවිල්ලා මේ සමනල් ගහ වට කරගත්තා. ගහට ආදරේ කරන්න පටන් ගත්තා. ගහ වටේ අත් අල්ලන් සින්දු කිය කියා නට නටා යන්න පටන් ගත්ත. එදා තමයි ගහ එයාගේ ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටිය දවස. පින්තුර ගැනිලි, බදා ගැනිලි, පුරසාරම්, වර්ණනා කෙළවරක් නෑ. යාළුවො එනවා එනවා එනවා කෙලවරකුත් නෑ. “අනේ සමනල් යාලුවේ ඔයාට බොහොම ස්තුතියි පාලුවෙන් හිටිය මා ගාවට මේ යාලුවන්ව ගෙන්නලා දුන්නට. ගොඩාක් පින් ඔයාට.” ගහ එයාගේ යාලු සනමලයාගේ කනට කොඳුරලා කිව්වා.


එදා ඉඳල හැමදාමත් උයනේ මල් ලඟට යන ගමන්ම සමනල්ලු මේ ගහටත් ආව. ඇවිල්ල අතු වල වාඩි වෙලා ටික වෙලාවක් ගහත් එක්ක කතා කර කර හිටිය. ඉතින් උයනට එන අනිත් හැමෝමත් මේ ලස්සන සමනල් ගහ ලඟට එන්න, එකේ ඉන්න සමනල්ලුන්ගේ ලස්සන බලන්න, කොළ ඉති අතගාලා ආදරේ කරන්න, පින්තූර ගන්න අමතක කරේ නෑ. ඉතින් ගහ එයාගේ මුල්ම යාළුවා වෙච්ච පුංචි සමනලයයි, අලුත් යාලුවොයි එක්ක හරිම සතුටින් උයනේ ගොඩ කාලයක් ජීවත් වුනා. (පින්තූර අන්තර්ජාලයෙනි)

Wednesday, July 24, 2019

64. බකමූණා හූම් හූම්














ඉස්සරම කාලේ බකමූනො දවල්ට නිදා ගත්තේ නෑ. අනිත් කුරුල්ලෝ වගේම එයාලත් දවල්ට අවදියෙන් හිටියා. උදේ ඉරමාමා එන්නත් කලින් අවදිවෙන මේ කුරුල්ලෝ ආපහු කූඩු වලට ගිහින් නිදාගත්තේ ඉර බැහැගෙන යන වෙලාවේදී.

ඉතින් එක දවසක් කැලේ ලොකු උත්සවයක් තිබුණා. මොකක්ද දන්නවද ඒ උත්සවේ. කුරුලුගමේ අවුරුදු උත්සවේ. හැම කුරුල්ලෙක්ම හරිම උනන්දුවෙන් තමයි උත්සව දවස එනකන් හිටියේ. උත්සවේ දවසේදී පවත්වන්න ගොඩාක් තරඟ සංවිදානය කරලයි තිබුනෙ. එක එක ජාතියේ ඉගිලෙන තරඟ, එක එක ජාතියේ පලතුරු කෑමේ තරඟ, ඇවිදීමේ තරඟ, වතුර නෑමේ තරඟ, මල් කැඩීමේ තරඟ වගේ තරග ගොඩයි. දිනන අයට තෑගිත් දෙනවා. අවුරුදු කුරුල්ලා තේරීමේ තරඟය මහා ගායකයා තේරීමේ තරඟය තමයි ඒ අතරින් හැමෝගෙම හිත ගත්ත තරඟ දෙක.

ඉතින් ඔන්න කුරුළු ගමේ අවුරුදු කුරුල්ලා වෙන්න හොඳට වතුරේ ගිලිලා නාගෙන, ලස්සනට පිහාටු පීරාගෙන, දිලිසෙන්න හොටවල් මැදගෙන කවුරු කවුරුත් ලැස්ති උනා. සිංදු කීමත් ඊට දෙවෙනි උනේ නෑ. හැම තැනම පෙනුනේ පෙර පුහුණුවීම් කරන කුරුල්ලෝ. මේ නිසා මුළු කුරුළු ගමම එකම සංගීතයක් වගේ උනා. ගසුත්, මලුත්, සුළඟත් ලස්සනට එහෙට මෙහෙට වැනෙමින් තාලේ අල්ලා දිදී කුරුල්ලන්ව උනන්දු කළා. ඉතින් ඔන්න අපේ බකමූනූ හාමිත් මේ තරඟ දෙකට ලෑස්ති උනා හරිම උනන්දුවෙන්.


උත්සවේ දවස හරිම ඉක්මනින් උදා වුනා. හැමෝම උදෙන්ම ආව තරඟ පිටියට. අනෙකුත් තරඟ බොහොමයක් ඉවර වෙලා අවුරුදු කුරුල්ලා තෝරන තරගය තමයි දැන් පටන් ගන්න යන්නේ. ලස්සනට වේදිකාව හදල තියෙනවා. වටේටම නරඹන්නෝ. විසිල් ගහනවා. හුරේ දානවා. හරිම ගෝසාව. ඉතින් ඔන්න කුරුල්ලෝ එක්කෙනා පස්සේ එක්කෙනා ඇවිල්ල විනිශ්චය මණ්ඩලේට තම තමන්ගේ ලස්සන පෙන්නනවා. ඔය අතරේ බකමූනූ හාමිත් ආව. හරිම ආඩම්බරෙන් වටයක් කැරකිලා තමුන්ගේ ලස්සන පෙන්නුවා හැමෝටම. හැමෝම සහභාගී වුනාට පස්සේ ඒ තරගේ ඉවර වුනා.

ඊළඟට ආව මහා ගායකයා තේරීමේ තරඟය. එතනත් උත්සව ශ්‍රීය පිරිලා. සින්දු අහන්න කලින්ම කට්ටිය ආසන වල වාඩිවෙලා ලැස්ති වෙලා ඉන්නවා. තරඟය පටන් ගත්ත. ඉස්සෙල්ලම මාල ගිරවා කිව්වා සිංදුවක්. වේදිකාව පුපුරන්න තරම් අත්පොලොසන් හඬක් ආව එයාට. ඊළඟට කොහාගේ සිංදුව. ඒක ඊට හපන්. ඊළඟට බට්ටිච්චා. ඊළඟට සැළලිහිණියා. එකකට එකක් නොදෙවෙනි සින්දු. මේ අතරේ බකමූනූ හාමිත් ඇවිල්ල එයාගේ හරිම ජනප්‍රිය හූම් හූම් සිංදුව කිව්වා.

ඉතින් යාලුවනේ දැන් ඔන්න හැමෝම බලා ඉන්නේ විනිශ්ය මණ්ඩලේ තීරණය එනකන්. මීක් කියන සද්දයක් නෑ එක්කෙන්ක්වත්. අන්තිමට කවුරුත් බලා හිටිය විනිශ්චය හම්බ උනා. කුරුළු ගමේ අවුරුදු කුරුල්ලා විදියට තේරුනේ මොණර හාමි. හප්පේ බලන්න එපාය එයයිගේ ආඩම්බරේ. කුරුළු ගමේ මහා ගායකයා ලෙස සම්මාන දිනා ගත්තේ කොවුල් හාමි. එයා ඉතින් කොහොමත් සින්දුවෙන්ම ඉන්න එක්කෙනානේ.ඉතින් හැම කුරුල්ලෙක්ම මොකක්මහරි තරගෙකින් දිනලා තෑගී අරගත්තත් බකමූනූ හාමිට විතරක් කිසිම තෑග්ගක් දිනා ගන්න බැරි උනා. අනිත් කුරුල්ලන්ගේ ප්‍රීති ගෝසාව මැද්දේ උත්සවේ ඉවර වෙන්නත් කලින්ම බකමූනූ හාමි ගෙදර යන්න පිටත් උනා. වෙච්ච වැඩේට එයාට හරිම දුකයි. හිතට හරිම අමාරුයි.


බකමූනූ හාමි ගෙදර ගිහින් කල්පනාවට වැටුණා. මොන විදියට හිතුවත් එයාගෙ හිත හැදුනෙම නෑ. හිතල හිතලා ඔළුවත් රිදෙන්න වගේ. ඔක්කොම අමතක කරලා නිදාගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ. එහෙට මෙහෙට පෙරලුනා විතරයි. මන් කොහොමද අනිත් කුරුල්ලන්ට මුණ දෙන්නේ..එයාල මට හිනා වෙයිද..මට විහිලු කරයිද..මාව ගණන් නොගෙන ඉඳීවිද.. කට්ටියම එකතුවෙලා මාව පල කරයිද.. හිත ඇතුලේ ප්‍රශ්න ගොඩයි.

අන්තිමට මුළු රෑම අවදියෙන් කල්පනා කර කර හිටිය බකමූනූ හාමි නිදාගන්නකොට උදේ ඉරත් පායලා. පරක්කු වෙලා නින්දට ගිය හින්දයි, හිතේ අමාරුව හින්දයි එයාට මුළු දවල් දවසම නින්ද ගියා. ආපහු ඇහැරුනේ කළුවර වැටුනට පස්සේ. අවදි වුනු ගමන්ම මේ මොකක්ද මට වුනේ කියල හිතා ගන්න බැරි උනත් ටිකක් වෙලා කල්පනාවේ ඉද්දි එයාට මතක් වුනා වෙච්ච දේවල් ඔක්කොම එකින් එක. ඒත් එක්කම එයාට හිතුන මම මොකටද කාගේවත් හිනාවට ලක්වෙන්නේ. මම දිගටම දවල්ට නිදාගෙන මේ විදියට රෑට අවදි වෙන්න පුළුවන් නේ. එතකොට ප්‍රශ්න මොකුත් නෑ. කවුරුත් මට විහිලු කරන්න කෙනෙකුත් නෑ. මට හිතේ හැටියට සින්දුවක් කියාගෙන සන්තෝසෙන් ඉන්න පුළුවන්. මෙහෙම හිතපු බකමූනූ හාමි ඇති යාන්තන් මගේ හිතේ කරදරේ ඉවරයි කියල සැනසුම් සුසුමක් හෙලුවා. විසිල් පාරකුත් ගැහුවා.


මුලින් මුලින් අමාරු වුනත් ටික දවසක් ගත වෙද්දී එයාගෙ ඇස් හොඳට අඳුරට හුරු වුනා. එයාට දවල් අමතකම වෙලා ගියා. අලුත් යාලුවොත් හම්බ වුනා. බකමූනූ හාමි දැන් ඉන්නෙ හරිම සතුටින්. ඉතින් ඔන්න ඔහොම තමයි බකමූනූ හාමිගේ දවල් නිදාගැනිල්ල පටන් ගත්තේ. දවල්ට හොඳට නිදාගැන බකමූනූ හාමි රා වුනාට පස්සේ අවදි වෙලා එයාගේ දවස පටන් ගන්නවා. දැක්ක නේද නිකන් හිත කරදර කරගන්න වත් දුක් වෙන්නවත් යන්න හොඳ නෑ අපි කොයිම වෙලාවකවත්. හැම දෙයක්ම විසඳෙන හොඳ විදියක් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එක විතරයි. එතකොට පුළුවන් හැමදාමත් හිනාවෙලා සන්තෝසෙන් ඉන්න. බකමූනූ හාමි අපිට කියාදෙන ලස්සන පාඩම තමයි ඒක.

(මෙහි එන සියළුම පින්තූර අන්තර්ජාලයෙනි)

63. ඉබි හාමිගෙ ගෙදර










ඉබි හාමිගෙ ගෙදර තියෙන්නෙ පිට උඩනෙ. ඉතින් ඉබි හාමි යන යන තැනට ගේත් අරගෙන තමයි යන්න වෙන්නෙ. ගෙයක් පිටේ අරන් යන නිසා ඉබි හාමිට ඉක්මනට ගමන් බිමන් යන්න බෑ. ඇයි ඉතින් ගෙදර හරිම බරයිනෙ. මේක ඉබි හාමිට හරිම හිතට කරදරයක්. යාලුවොත් වෙලාවකට ඉබි හාමිට හිනා වෙනවා. ඇයි වදේ. මෙච්චර මේ ලෝකේ සත්තු ඉන්න රටේ ඉබි හාමි විතරක් ගෙයක් පිටේ තියන්. මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ.ම්ම්ම්...ඉබි හාමි කල්පනා කළා.

ඔන්න ටික වෙලාවකින් ඉබි හාමිට අපූරු අදහසක් කල්පනාවට ආවා. මම මේ ගෙදර කැලෑ ගමේ කඩේට විකුන්නන්න ඕන. ඉබි හාමි හිතුවා. ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ. ඉබි හාමි ඉක්මනට ඉක්මනට කැලෑ ගමේ කඩේට ගියා එයාගේ ගෙදර විකුනන්න. ගිහින් ආපු කාරණේ වලස් මුදලාලිට කිව්වා.

ආ..හරි හරි ඉබි හාමි. ඉබි හාමි කියනවනම් මම ඉබි හාමිගේ ගෙදර අරගෙන ඉබි හාමිට හොඳ ගානක් දෙන්නම්. මේක අහපු ඉබි හාමිට හරිම සතුටුයි . ඉබි හාමි එක පයින් කැමති උනා ගේ විකුනන්න. ඉතින් වලස් මුදලාලි ඉබි හාමිගේ ගේ අරගෙන ඉබි හාමිට කාසි ගොඩාක් දුන්න.

දැන් ඉබි හාමිගේ හිත හරිම නිදහස්. ඉබි හාමි දැන් වෙඩිල්ල වගේ. ඉක්මනට ගමන් බිමන් යනවා. ඉක්මනට දුවලා පැනලා වැඩ කරනවා. අනිත් යාලුවොත් එක්ක හරි හරියට සෙල්ලම. පිට උඩ ගේ නැති නිසා යාළුවො විහිලු කරන්නෙත් නෑ. ඉතින් ඉබි හාමි හැරිම සතුටින් දවස් ගෙව්වා.

මෙහෙන ඉන්නගමන් ඉබි හාමි දවසක් ගමනක් ගියා. කැලේ මැදින් මහා දුර ගමනක් තමයි යන්න තිබුනේ. අපොයි එක පාරටම කැලේ මැදදී ලොකු වැස්සක් කඩාගෙන වැටුනා. හදිස්සියේ වැස්ස නිසා දුවගෙන ගිහින් බේරෙන්න තැනකුත් නෑ. ඉබි හාමි ලොකු ගහකට මුවා වුනා. ඒත් ඉබි හාමි හොඳටම තෙමුනා. අනේ මගේ ගෙදර තිබුන නම් මට මෙහෙම වෙන්නේ නැහැනේ. ඉබි හාමිට ගෙදර මතක් වුනා. දුක හිතුනා.


ඔහොම ටික කලක් යනකොට කැලේට ලොකු නියඟයක් ආව. හරිම තද පෑවිල්ලක්. ඉර එලිය හරිම රස්නෙයි. එලියට බැහැල ඇවිදින්න හරිම අමාරුයි. පිට පිච්චෙනවා. ඉබි හාමිට කෑමක් වත් හොයාගණන් යන්න විදියක් නෑ රස්නේ නිසා. අව්ව වැටිලා හැම පිච්චිලා ගිහින් ඉබි හාමිගෙ පිට රිදෙන්නත් පටන් අරන්ගෙන දැන්. අනේ ඉබි හාමිට ආපහු ගෙදර මතක් වුනා. මගේ අපූරු ගේ පොඩ්ඩ. ඒක තිබ්බනම් මට මෙහෙම දුක් විඳින්න්න වෙන්නෙ නැහැනේ. ඉබි හාමි දුකින් කල්පනා කළා. තමුන් හදිස්සි වෙලා ගේ විකුණුවේ අපරාදේ කියල හිතුන.


දවසක් බඩගින්නේ ඉන්න බැරිම තැන ඉබි හාමි එලියට බැස්සේ කෑමට මොනවහරි හොයාගන්න හිතාගෙන. ටික දුරක් ඉක්මනට ඉක්මනට ඇවිදගෙන යනකොට කවුද දන්නවද ඉස්සරහ එනවා පෙනුනේ. කපටි නරි රාළ. අපොයි මම දැන් කොහොමද මේ නරියගෙන් බේරෙන්නේ. ගේ තිබුනානම් එක ඇතුලට රිංගල බේරෙන්න තිබුන. නරි රාල වැඩිම උනොත් මාව එහෙට මෙහෙට පෙරලලා බලල යන්න යාවි. එත් දැන් ගෙයක් නැහැනෙ. කොහොමද බේරෙන්නෙ. හිත හිතා ඉන්න වෙලාවක් නෑ නරි රාල ටිකින් ටික කිට්ටුවටම එනවා. ඉබි හාමි පණ එපා කියල දුවන්න පටන් ගත්ත. එදා යාන්තම් පණ බේර ගත්තේ දුවල ගිහින් ගඟට පැනගන්න පුළුවන් වුනු නිසා. නැත්නම් මෙලහකටත් ඉබි හාමි නරි රාලගේ කටේ.


මේ සිද්දියෙන් පස්සේ ඉබි හාමිට නිතර නිතර එයාගේ ලස්සන ගේ පොඩ්ඩ මතක් වෙන්න පටන් ගත්ත. වැඩි වැඩියෙන් ගෙදර අගේ තේරෙන්න පටන් ගත්ත. අනේ මගේ ගෙදර. ඉබි හාමි දුකින් කල්පනා කළා. මට මෙච්චර කල් නොතේරුනාට මොකද ගේ පිට උඩ තියෙන එක මට මොනතරක් වාසියක්ද. අපරද්දේ මම යාලුවන්ගේ විහිළුවලට රැවටිලා මගේ ගෙදර නැති කරගත්ත. මම හරිම මෝඩයෙක්. මම ඉක්මනටම ආපහු ගිහින් මගේ ගෙදර අරන් එන්න ඕන. ඉබි හාමි අන්තිමට එයා විකුනපු ගේ ආපහු වලස් මුදලාලිගෙන් කාසි ගොඩක් දීල අරගත්තා.


දැන් ඉබි හාමි කාටවත්ම බය නෑ. ඉබි හාමි දැන් එයාගේ ගේ පොඩ්ඩ හරිම ආදරෙන් බලාගන්නවා. එක එක විදියෙ හද වැඩ දාල ගෙදර ලස්සන කරනවා. ගෙදරත් පිට උඩ තියාගෙන ඉබි හාමි ගමන් බිමන් යන්නෙ හරිම ආඩම්බරෙන්. එයා දන්නවා එයාගෙ පුංචි ගෙදර එයාට කොච්චර වටිනවද කියලා. වෙන කාටවත්ම නැති එයාට විතරක්ම තියෙන මේ අපූරු ගේ පොඩ්ඩ ඉබි හාමිට උපතින්ම ලැබුණු තෑග්ගක්. අපි ඒ වගේ දේවල් නැති කරගන්න හොඳ නෑ. ආදරෙන් බලාගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන. සොබාදහම තරම් අපිට ආදරේ කරන වෙන කවුරුවත් නෑ. ඉබි හාමිට දැන් හොඳට තේරෙනවා. ඒ හින්ද ඉබි හාමි හරිම සතුටින්, හරිම විනෝදෙන්, එයාගෙ ගේ පොඩ්ඩත් එක්ක ගොඩාක් කල් ඒ කැලේ ජීවත් වුනා.
(පින්තූර අන්තර්ජාලයෙනි)

Monday, July 15, 2019

62. පොකුණෙ නාපු හඳමාමා




















එදා ඔන්න පෝය දවසක්. හඳමාමා ලස්සනට කහපාට බෝලයක් වගේ අහසේ බැබලෙමින් හිටියා. තරු පොකුරු හඳමාමගේ වටේට ඉඳන් හිනාවෙවී පහත බලන් හිටියා. හඳ එලිය වැටිලා පොලොව හරිම ලස්සනයි. රැයක් උනාට කිසිම කළුවර ගතියක් අහලක වත් නෑ. ගස් වැල්, මල්, කණාමැදිරි, බකමුනු මේ ඔක්කොමල ඉන්නෙ හරිම සතුටින්. හඳ එළියේ ලස්සනට වශී වෙලා වගේ එයාලා ඔක්කොම අහස දිහා බලාගෙන.

මෙහෙම ඉන්නකොට හඳමාමා දැක්කා ලස්සන පොකුණක්. එකේ වතුර හඳ එළියට ලස්සනට දිලිසෙනවා.ඒ වතුර අස්සෙන් හඳමාමා ට පේන්න ගත්තා එයාගේ ලස්සන රූපෙ. හප්පේ කාටද ඉතින් ඒ වගේ ලස්සන රුපයක් තියෙනකොට ආඩම්බර. හඳමාම ආඩම්බරෙන් හිනාවෙලා තව තවත් එයාගෙ හැඩ බැලුව වතුරෙ.පුදුම ලස්සනක්. මෙහෙම බල බල ඉන්නකොට හඳමාමාට අපූරු අදහසක් ආව.

"මේ පොකුණේ වතුර හරිම සීතලට සනීපෙට ඇති. අනේ මට මේ වතුරෙන් නාගන්න ඇත්නම්" කියල එයාට හිතුන. මම අහසට වෙලා ඉන්නවා මිසක් කවදාවත් නාන්නෙ නැහැනෙ. නෑවොත් මාව තවත් හැඩට පෙනෙයි. එයාට හිතුන. හඳමාමා එයාගේ මේ අදහස තරුවලට කිව්වා.

"අපොයි හඳමාමෙ, මේ රෑ පොකුණේ බැහැල නෑවොත් හෙම්බිරිස්සාව හැදෙයි. අමාරු උනොත් එහෙම උණ ගන්නත් බැරි නෑ. අනික හඳමාමාට නාල පුරුදුත් නැහැනෙ" තරු හනික හඳමාමාට තේරුම් කරලා දුන්න නෑවොත් වෙන දේ.

අනේ ඒත් හඳමාමාගේ හිත වෙනස් වුනේ නෑ. එයාට ඕන උනේ පොකුණෙන් නාගන්නමයි. තරු මොනවා කිව්වත් නාන්න තියෙන එයාගෙ ආසාව පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ. අන්තිමේ තරු ටික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉඳල පහලට බැහැ ගත්ත හඳමාමා පොකුණට පැන්න. පොකුනෙ සීතල වතුර හොඳට නා ගත්ත. හම්මේ දැනෙන සනීපෙ. හන්දමාමට හිතුන. කවුරුත් දකින්න කලින් ඉක්මනට අහසට නගින්න ඕන. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නෙ. මෙහෙම හිතපු හඳමාමා ඔලුව අතින් පිහ පිහ ඉක්මනට අහසට නැගගත්තා. නැගල ආපහු පුරුදු විදියට හිනා

එහෙම ටිකක් වෙලා යනකොට හඳමාමාට වෙනසක් තේරුනා . මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වේගෙන එනවා වගේ. ඔලුවත් බරයි. " හචීන්, හචීන් " මහා සද්දෙට හචිනුත් යනවා. මොකද්ද මේ වේගෙන එන්නෙ මට. හඳමාමට බය හිතුන. ටිකින් ටික ඇඟේ අමාරු ගතිය වැඩි වුනා. එළි වේල්ල ලං වෙද්දී හඳමාමට හොඳටම අමාරුයි. පහල බලන් ඉන්නත් බැරි තරමට. බැරිම තැන හඳමාම තරු වලට විස්තරේ කිව්වා. එයා හොරෙන් පහලට බැහැල පොකුණෙන් නාපු විදිය.

"අනේ අම්මෝ හඳමාමේ මොනවද මේ කරගත්තේ. දැන් ඉතින් වෙද ගෙදර යන්න වෙයි. නැතුව මේක සනීප වෙන්නේ නෑ." තරු පොකුරු බය වෙලා හඳමාමව උස්සගෙන හනික හනික වෙද ගෙදරට දිව්වා. වෙද ගෙදර තියෙන්නේ අහසේ ගොඩාක් උඩ, ලොකුම ලොකු සුදු වලාකුලක් ඇතුලෙ. හරිම අමාරුවෙන් එහෙට අරන් ගිහින් ලෙඩේ කියල හඳමාමට බොන්න තිත්ත බෙහෙත් අරන් දීල තමයි තරු ටික සැනසුම් සුසුමක් හෙළුවේ. වලාකුළු වෙද ගෙදර වෙද සීයා හඳමාමට මාසෙකට බෙහෙත් නියම කළා.

"හරියට වෙලාව නොවරදවා බෙහෙත් බොන්න ඕන. මුලදී මුලදී තිත්ත බෙහෙත් බොන කොට ලෙඩේ ටිකක් වැඩි වෙනවා වගේ පෙනෙයි. ඇඟේ තියෙන ලස්සන අඩු වෙනවා වගේ පෙනෙයි. ඒක හිතට ගන්නේ නැතුව එක දිගට බෙහෙත් බොන්න ඕන. හරිද හඳමාමෙ. එතකොට තමයි ඔය ලෙඩේ හරියටම සනීප වෙන්නෙ" වෙද සීය උපදෙස් පත්තරයක්ම දුන්න. ඇති යාන්තන්. ඔක්කොටම හා කියල ඔලුව වනපු හඳමාම, තරුත් එක්ක අමාරුවෙන් ගෙදර ආව.

ඒ කිව්වා වගේම තමයි බෙහෙත් බොද්දි හඳමාමට හරියට අමාරු උනා. ඇඟේ තියෙන ලස්සන අඩු වුනා. පෙනුමත් වෙනස් උනා. ලස්සනට රවුමට හිටිය හඳමාමා පොඩි වකයක් වගේ වෙලා අන්තිමට පේන්නෙත් නැතුව යන තරමට පුංචි වුනා. ඒ දවස්වල හඳමාමා ඇඳේමයි හිටියේ. පොළොවට පෙන්න අහසට ආවෙත් නෑ. හිනාවත් ටිකින් ටික අඩු වෙලා ගියා.

දවස් පහළොවක් විතර යනකොට ඔන්න හඳමාමට සනීපයක් එන්න පටන් ගත්ත.ටිකින් ටික මූණට එලිය වැටුන. වකයක් වෙලා තිබුන ඇඟ ආපහු ටික ටික රවුම් වෙන්න පටන් ගත්ත. පොඩ්ඩ පොඩ්ඩ සනීප වේගෙන එනවා වගේ. හඳමාමට හරියට සතුටු හිතුන. තව තව උනන්දුවෙන් බෙහෙත් බිව්වා. තවත් දවස් පහළොවක් විතර ගෙවිලා යනකොට මෙන්න හොඳටම සනීපයි. ඊළඟ පෝය දවස වෙනකොට හඳමාමට හොඳටම හොඳයි. හප්පේ මුණේ ලස්සන. වෙනදටත් වඩා එලිය වැටිලා වගේ හිනාව. හඳමාම ආපහු තරු වට කරන් අහසට ඇවිල්ල බොහොම ලස්සනට හිනා වුනා. හිනා වීගෙනම පොළොවට එලිය බෙදල දෙන්න පටන් ගත්ත. කාටත් හරිම සතුටුයි, ඇයි? හඳමාම ආපහු අහසට ඇවිල්ලනේ. හඳමාමා නැතුව පාලුවෙන් සාංකාවෙන් හිටිය හැමෝටම හරීම සතුටුයි. විනෝදයි.

ඒත් දන්නවද? පොඩි රහසක් තියෙනවා. පෝයදාට හඳ එලියට දිලිසෙන ලස්සන පොකුණක් දැක්ක ගමන් එදා වගේම හඳමාමට ගිලිලා නාන්න හිතෙනවා. හිතුනට පස්සේ ඉතින් ආපහු නොකර කොහොමද. ඉතින් එදා වගේම හැමෝටම හොරෙන් හඳමාමා නානවා. නාල අහසට නගිනවා. නෑවට පස්සේ ලෙඩ වෙන්නේ නැද්ද ඉතින්. මොකෝ නැත්තේ. ලෙඩ වෙලා මාසයක්ම බෙහෙත් බොනවා. ආපහු පෝයට තමයි සනීප වෙන්නෙ.

ඔන්න ඔහොම තමයි අපි පෝයදාට ලොකුවට දකින හඳමාම ඊට පස්සේ ටික ටික පුංචි වකයක් වෙලා නොපෙනී යන්නෙයි, ආයෙම ටික ටික ලොකු වෙලා ලස්සන වෙලා පේන්න ගන්නෙයි. දැක්ක නේද රහස. හඳමාමගෙ මේ රහස මෙච්චර කල් දැනගෙන හිටියේ පහල පොළොවේ තිබුණු ලස්සන පොකුණ විතරයි. දැන් ඔන්න ඔයාලත් දන්නවා. මීට පස්සේ අහස බලනකොට පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්නකො. පොකුණේ නාපු හඳමාමගෙ වෙනස් වීම ඔයාලටත් පෙනේවි.

Tuesday, June 4, 2019

61. ගහක් වෙන්න තියෙනවනම්


ගිමන් නිවා කොළ සොලවා සිසිල් පවන් සලා
හෙවන දෙමින් ලඟට ඇදෙන කඩි පැංචට පවා
සින්දු කියන්නට සුළඟට අතු ඉති නම නමා
ගහක් වෙන්න තියෙනවනම් හරි ආසයි මෙමා

කුරුළු කොබෙයියන්ට කූඩු හදාගන්න දෙමින්
සුකිරි බටිල්ලන්ගෙ ලෝකෙ අඹ යාළුවා වෙමින්
උන්ගෙ පැටව් තුරුළු කරන් පිරිමදිමින් හෙමින්
කතා කියා නලවගන්න ඇහැකිනෙ මට හොඳින්

මගේ සතුට ලස්සන මල් ලෙසින් ලොවට දෙවා
මගේ කඳුළු පිණි බිඳු ලෙස හිමින් බිමට එවා
මගේ සිහිල සුළං කැරැල්ලක කැටි කර හොවා
ගහක් වෙන්න ඇත්නම් මට වෙනවා මං වහා
 

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද