Sunday, June 9, 2024

148. සොයුරු පෙම

මල් ගහ උඩ පුංචි කුරුළු කූඩුවක් තිබුණා. කුඩුව කුරුළු ඇතුලේ පැටව් තුන්දෙනයි. ලොකුම එක්කෙනා කුරුළු අයියා. අනිත් දෙන්නා කුරුළු නංගියි මල්ලියි. අයියා පොඩ්ඩක් ලොකු උනාට නංගියි මල්ලියි තවම පොඩියි. නමුත් තුන් දෙනාටම තාමත් පියාඹන්න බැහැ. තව ටිකක් ලොකුවෙලා පිහාටු සවිමත් වුණාම තමයි තනියම එළියට යන්න පුළුවන් වෙන්නෙ. එතකන් පරිස්සමින් කූඩුවට වෙලා ඉන්න ඕනෙ. කුරුළු අම්මා නිතරම බබාලා තුන්දෙනාට අවවාද දුන්නා. 


එක දවසක් කුරුළු අයියා උදේම ඇහැරුණා. වටපිට බැලුවා. අම්මා පේන්න හිටියේ නැහැ. නංගියි මල්ලියි තවම නිදි. අම්මා කෑම හොයාගෙන එන්න ගිහිල්ලා වෙන්න ඇති. කුරුළු අයියා කල්පනා කළා. ටික වෙලාවකින් කුරුළු අයියාට මහා බඩගින්නක් දැනුණා. අම්මාට ඉක්මනින් එන්න කියන්න ඕනේ. කුරුළු අයියා කට ඇරලා කියුක් බියුක් කියලා සද්ද කරන්න පටන් ගත්තා. අම්මාට මේ සද්දේ ඇහුණා. කෑමත් හොටෙන් අරගෙන අම්මා ඉක්මනට ඉගිළිලා කූඩුව ලඟට ආවා. 

ඒත් එක්කම කුරුළු මල්ලි අවදි වුණා. කෑම සුවඳ දැනුණා. හනික හනික කට ඇරියා. දැන් අයියයි මල්ලියි දෙදෙනාම කටවල් ඇරගෙන. කාටද ඉස්සෙල්ලා කවන්නෙ. අම්මා මොහොතක් බලා හිටියා. "මට වඩා මල්ලිට බඩගිනි ඇති. තවම පොඩියිනෙ." කුරුළු අයියාට කල්පනා උනා. එයාගෙ කට පියාගත්තා. අම්මා මල්ලිට කෑම කැව්වා. මල්ලි ඉක්මනට ඉක්මනට කෑම ගිල්ලා. අයියාට සතුටුයි. අම්මා තව කෑම ගෙන්න ගියා.

අම්මා දෙවෙනි පාරත් කෑම ගෙනාවා. අයියා හයියෙන් කට ඇරියා. නමුත් එතකොටම මොකද දන්නවාද උනේ? චූටි කුරුළු නංගි ඇහැරුණා. මහා විසාලෙට බඩගිනි කට අරුණා. දැන් අය්යයි නංගියි දෙන්නාම කටවල් ඇරගෙන. කාටද කවන්නෙ කියලා අම්මා මොහොතක් කල්පනා කළා."මට වඩා නංගිට බඩගිනි ඇති. තවම පොඩියිනෙ." කුරුළු අයියාට කල්පනා උනා. එයාගෙ කට පියාගත්තා. අම්මා නංගිට කෑම කැව්වා. නංගි ඉක්මනට කෑම ගිල්ලා. අයියාට සතුටුයි. අම්මා තුන්වෙනි පාරටත් කෑම ගෙන්න ගියා.

මේ පාර නම් අම්මා කෑම අරන් එනකොට නංගිගෙයි මල්ලිගෙයි බඩ පිරිලා. අයියාට බඩගිනි ඉවසලා ඉවසලා හරිම අමාරුයි. අයියා ලොකුවට කට ඇරියා. අම්මා ආදරෙන් අයියාට කෑම කැව්වා. බඩ පිරෙනකන්ම කැව්වා. කාලා ඉවර වුණාම අම්මා අයියාව ආදරෙන් තුරුළු කරගත්තා. "ආදරණිය පුතෙක්...ආදරණිය අයියෙක්." මගේ පුතාට තුණුරුවන් සරණයි. අම්මා සතුටු කඳුලක් සලමින් පැවසුවා. අයියාට හරිම සතුටුයි. මේ කතාව නංගිටයි මල්ලිටයි ඇහුණා. දෙන්නා දෙපැත්තෙන් ඇවිත් අයියාව තුරුළු කරගත්තා. සහෝදර ප්‍රේමය හරිම සුවඳයි. එතැනින් හමාගෙන ගිය සුළං කුමාරිට ඉබේම කියවුණා.

© සිත්තර පැංචි 
 2024-06-03

2 comments:

  1. රසවත්, ආදර්ශමත්, අහිංසක කතා! හැබැයි අද සමාජයේ මේ කතාවලින් ඉලක්කගත පරම්පරාව මේවා කියවන්න තරම් අහිංසක ද කියන එන තමයි ප්‍රශ්නය.

    ReplyDelete

අලුත් සිතුවම්

148. සොයුරු පෙම