Tuesday, November 10, 2020

85. බකමූණු නින්ද



















කජු ගහ මුදුනේ බකමූනෙක් නිදි
හ්ම් හ්ම් නෑ හරි නිශ්ශබ්දයි
කිචි බිචි කිචි බිචි ගාලගෝට්ටිය
පුංචි කුරුල්ලන් හරි සද්දයි 

ගහට උඩින් ලොකු හුළඟක් හැමුවා
කජු පුහුලන් අත්තෙන් මිදුනා
නිදි බකමූනගෙ ඔලුව උඩට ඉන්
ලොකුම එකක් සද්දෙට වැටුනා

ඒත් වගක් නෑ එයා තාම නිදි
කිචි කිචි බිචි බිචි හරිම හිනයි
දැක්කද අර අර කම්මැලියෙක් නිදි
කුරුළු කතාබහ එතැන ගොඩයි 

මොකද වදේ මේ නිදාගන්න නෑ
නවත්තගන්නයි ඔය සද්දේ
ඇහැරී සද්දෙට බකමූණා සැර
දමා සැවොම එලවා ගත්තේ

රෑන පිටින් ගොස් කුරුළු සීයා වෙත
වෙච්ච හදිය සීයට කිව්වා
සීයා සිනාසී පුංචි කතාවක්
කියා ඊට උත්තර දුන්නා

පුතේ අපිවගේ නොවෙයි එයාලා
කෑම සොයා යන්නේ රෑට
මහන්සි හින්දයි දවල් නිදන්නේ
හිනා වෙන්න හොඳ නෑ ඊට 

වට පිටාවෙ අපි ජීවත් වෙනකොට
මේ වගෙ දේවල් හමුවෙනවා
හෙමින් සැරේ පරිසරය අපේ අපි
තේරුම් අරගත යුතු වෙනවා. 

© සිත්තර පැංචි 



84. වටිනම නහය

















වැලක් වගේ දිගයි නහය  අපේ වගේ නෙමෙයි
යාළුවො ටික හිනා වුනා අලි පැංචට දුකයි 

යන්න හිතෙන්නෑ සෙල්ලම් කරනවත් අද
ඇත්තෙන් මේ නහය මොකද මගෙ විතරක් දිග ?

අලි පැංචා කල්පනාවෙ වෙලාව ගත වුනා
අව්වෙ නටල යාළුවො දාඩිය හලන්න වුනා 

පවන් ගසයි කටින් පිඹියි කට්ටිය හති දමයි
හරිම රස්නෙ වැස්සක් වත් වැස්සොතින් හොඳයි 

අලි පැංචා හනික පහල ගලන දොලට ගිහින්
පුරවා හොඩවැලට සීත වතුර ආව අරන්
 
ඔසවාගෙන හොඩවැල අහසට කොම්බුව වගේ
යාළුවන්ට පොඩි වැස්සක් වැස්සුවෙ හරි අගේ 

උදේ කරපු විහිළු මතක් වෙද්දි සැමට දුකයි
වැඩිම වටින නහය ඇත්තෙ අලි පැංචට තමයි

වෙනස්ය හැඩරුව කවුරුත් එක වාගෙම නොවෙයි
හැමෝම එනමුත් වටිනව දන්නව හොඳ ළමයි.

© සිත්තර පැංචි 
2020-11-10 


83. සූකිරිට පාඩමක්

 
















අඹ වෙනුවට ගස්ලබු දී සූකිරි අද තරහ වෙලා
හිනා කතා නෑ මොනවත් ඉන්නේ අයිනකට වෙලා

වෙච්චි දේට මටත් දුකයි පැටියෝ අද අඹ ඉවරයි
කන්න දෙන්න ඔයාට ළඟ තියෙන්නෙ ගස්ලබු විතරයි 

කාට උනත් ඔහොම තමයි මාත් ඔයා වගෙයි ටිකක්
ආස දෙයක් නොලැබුනාම දුක දැනෙනව හිතට හුඟක් 

ඕන උනත් මට බරිකිත් ඉඳිආප්ප අද ලැබුනේ
ආස නැතත් අම්ම පවුනෙ එනිසයි ඔක්කොම කෑවේ

තාත්ත මට අරන් දීපු සිංදු කියන බෝනික්කා
ආස වුනත් ගොඩාරියක් නංගි අඬනකොට දුන්නා

නැති දේවල් ගැන හිත හිත කරදර වෙන එක නරකයි
ලැබෙන දෙයින් සතුටු වීම එය හොඳ ළමයගෙ සිරිතයි 

ගස්ලබු කමු නේද අදට මගෙ සූකිරියෝ එහෙනම්
රස අඹයක් කඩෙන් ගෙනත් ඔයාට හෙට මම දෙන්නම්! 

© සිත්තර පැංචි 
2022-12-05 


81. සමනලයා



ගස උඩ මල් මල් පිපිලා
ගස යට මල් මල් වැටිලා

සමනලයෙක් එහි ආවා
වට පිට හැඩ වැඩ බැලුවා 

කොහෙද කොහෙද මල් තියෙන්නෙ
පැණි බොන්නයි මං හොයන්නෙ

ගස එතකොට හිනා වුනා
සමනලයට කතා කළා
 
මගෙ ළඟ මල් ගොඩක් ඇතී
පැණි බොන්නට ඔබට හැකී

සමනලයා පැණි බිව්වා
රසයි රසයි පැණි කිව්වා 

මට මල් දුන්නට ඔයාට
බොහොම ස්තුතියි කිව්වා.
.
© සිත්තර පැංචි 
2019-09-07


80. යාළුවෝ



පාන්දරින් අවදි වෙලා කපුටු කාක් කාක් කියා
තටු පීරලා හොට මැදගෙන ආව ඔන්න මං 

උදේ පිපුණු මලක් වගේ ආසයි දැක්කම හරියට
පුංචි පැංචි ඔතන මොකද කනවද ඔය බත්

පියඹලා ඇවිත් දුරක් මටත් බඩගිනියි දැන් නම්
පින් සිදුවෙයි බත් ගුලියක් මටත් දෙනව නම්

කළුම කලුයි අඟුරු වගෙයි ලස්සන නෑ ඔයා කැතයි
ඒ හින්දා බෑ දෙන්නට ඔයාට මගෙ බත්

අර පැණිබොන සමනලයා දැක්කද මල උඩ ඉන්නා
දෙන්නේ බත් ඒ වාගේ අයට තමයි මං

හා හා හා පැංචි බබෝ එපා ඔහොම නපුරු වෙන්න
කළු උනාට එයත් අපේ යාලු කුරුල්ලෙක් 

සමනලයෙක් වෙන්න කලින් මාත් කැතම කැත පණුවෙක්
අහක බලන් යන්නට යයි බබා දැක්ක නම්

කපුටු හාමි සමාවෙන්න බත් ගුලියක් මගෙන් කන්න
සමනලයෝ ඒ කියමන හිතට ගත්ත මං

ලස්සන කැත නොවේ ඇඟේ යාලුකමයි ඕන හිතේ
ලස්සන එතකොටයි ලෝකෙ පැංචි දනී දැන්

© සිත්තර පැංචි 


79. පිණි බිඳුවේ කතාව



නෙලුම් විලේ මල් පිපිලා - බොහොම අගෙයි අද
අම්මා එක්ක මම ඉවුරේ - බලා ඉඳිමි හැඩ

උදේ වැටුණු පිනි වැස්සෙන් - නෙලුම් කොලේ උඩ
මැණික් වගේ දිලිසි දිලිසි - ඉන්නව පිනිකැට

හරිම ලස්සනයි අම්මේ - දැක්කද අර පිණි
මැණික් වගේමයි පේන්නෙ - මාවත් රැවටුනි 

දිලිසි දිලිසි හිටියට පිණි - නෙලුම් කොලේ උඩ
මොනවා වෙයිද බලමුකො අපි - වැටුනම වතුරට 

කියනකොටම අන්න එකක් - පහලට වැටුණා
දිලිසෙන් නෑ නොපෙනී ගොස් - වතුරේ ගිලුණා

හරි පුදුමයි නේද අම්මෙ - ඒක දකිනකොට
කොහොමද ඒ වගේ වෙන්නෙ - නෑ තේරුනෙ මට 

පිනි බිංදුව නෙලුම් කොලේ - උඩ ඉඳ දිලිසෙයි
වතුරට වැටුනොත් මොහොතින් - එය නොපෙනී යයි 

දිලිසෙනවා දියවෙනවා - තෝරා ගත්මගේ
අපිත් ඉතින් වෙනසක් නෑ - පිණි බින්දුව වගේ

අපිට සුදුසු තැන කොතනද - සිතා බලා මතු
හරිම කල්පනාවෙන් අපි - තෝරා ගත යුතු

© සිත්තර පැංචි 


78. කණාමැදිරි පැංචා



පොඩි එළියක් පිටේ බැඳන් - කණාමැදිරියෙක් ඇවිදින
දැකල අහසෙ හඳ මාමට - හරිම හිනාවයි

ඕකත් එළියක්ද පැංචො - බැබලෙන මේ මං ඉඳිද්දි
මට නම් අද දවසෙ දැක්ක - ලොකුම විහිළුවයි 

ඔයත් එක්ක බැලුවම මම - ගොඩක් පුංචි බව ඇත්තයි
ඒ උනාට හඳ මාමේ - මේක අහන්නයි

හැමදාමත් රවුම් වෙලා - ඔයා එන්නෙ නෑ අහසට
සමහර දවසට බැලුවම - කට්ට කළුවරයි 

හිටියත් නැති උනත් ඔයා - ගහට කොළට එළිය දෙන්න
පුංචි උනත් මම නම් හැම - දාම එනවමයි

ලොකු ලොකු වැඩ බැරි උනාට - පුංචි මටත් හැකි අයුරින්
කාට නමුත් පිහිට වීම - මගේ යුතුකමයි.

© සිත්තර පැංචි 


77. රිලා හාමියේ


ඈත කැලෑවේ ඉඳලා කෑම හොයාගෙන තනියම
ළඟදි අපේ වත්තට ආ රිලා හාමියේ 

ටොමියට අහු උනොත් එහෙම බව් බව් ගා පැනල උඩට
අල්ලගනියි ඇවිදිනකොට හරි පරිස්සමින්

කන්නෙත් නෑ ගැටත් එක්ක ඔක්කොම ගෙඩි කඩලා දාල
පාලු කරල මගෙ වගාව තාත්ත කෙන්තියෙන්

රතු එළියක් සැරට විදින පන්දම ගෙන ඇවිත් සීයා
මූණට ඇල්ලුවොත් එහෙම ඉන්න ඇස් පියන් 

මේක හරිම කරදරයක් ගහක කොලක නෑ ගෙඩියක්
රතින්යා වත් දැම්මොත් හරි අම්මා කියනවා

අම්මගෙ ඒ කීම අහල අහස් කූරු උඩට යවල
ඔයා එලවගන්න අයියා ඔන්න එනවා දැන්

යකාගෙ වෙස් මූන බැඳල හැංගි හොරා ඇවිත් ඔයා
බය කරලා අල්ලගනියි අක්කා දක්ෂයා 

ඔක්කොම සතුරන් උනාට මම නම් මිතුරුයි ඔයාට 
ඒ උනාට මටත් ඔයා කරයි වෙනස්කම් 

වැලේ තිබුණු මගෙ ලේන්සු ඔක්කොම ටික අරන් ගිහින්
උඩ දම දම හිනා වෙනව ඔයා මට හොරෙන්

අපල කාලයක් ළඟ ළඟ කරදර හිරිහැර අපමණ
රෑ තිස්සේ ඔයා ගැනම ඉන්නෙ මම දුකෙන්

ගතවෙන මොහොතක් ගානේ සැනසිල්ලක් නැතුවානේ
පණ බේරන් ආයෙ යන්න කැලෑවට ඉතින්

© සිත්තර පැංචි 


76. පුංචි මොළේ



සාස්තර පුංචා ගමනක් යනවා
බිත්තිය මුදුනේ චික් චික් චික්
කුරුමානම ගෙන අල්ලාගන්නට
කිටියා බිම ඇත ම්යැව් ම්යැව් ම්යැව්

හදිස්සි වී මගෙ ගමන ගියෝතින්
කිටියා මාව අල්ලන් කනවා
ටිකක්  නැවතිලා යන්නට ඕනෑ
එහෙම උනොත් පණ බේරෙනවා

ආසම කෑමක් බිත්තිය මුදුනේ
පෙනේවි ටිකකින් මගේ තෙද
අන්තිම ගමනයි දැන් ඔය යන්නේ
සාස්තර පුංචෝ ඔයා අද 

අද නම් හරි නෑ කිටියා යන් නෑ
බේරෙන්නට බැරි වෙයි මෙමට
පොඩියක් හිතුවා ඇඟම නැටෙව්වා
වලිගෙ කඩා දැම්මා බිමට 

උඩ බිම බැලුවා මොකක්ද ඒ වුනෙ
වැටුනා නේද චන්ඩියා බිමට 
පිම්මක් පැන්නා නලියන වලිගෙට
කිටියා අල්ලගත්තා තදට
 
වලිගෙ නැති වුනා - ඒත් කමක් නෑ
ආයෙ වැවෙනවා ෂහ් ෂහ් ෂා
කිටියා රැවටුනා අදත් බේරුනා
කොහොමද මගෙ වැඩ හහ් හහ් හා
 
කරදර බාධක කාටත් උරුමයි
හැංගෙන්නට හොඳ නෑනෙ බයෙන්
වරදින්නේ නෑ දිනන්න පුළුවනි
අරගත්තොත් වැඩ පුංචි මොළෙන්.

© සිත්තර පැංචි 



75. ඇබැද්දිය


එක දවසක් හනි හනිකට
අනෝදා ගෙඩියක් කනකොට
අනෝදා ඇටයක් නොදැනිම - මා හට ගිලුනා  

මොකද ඉතින් දැන් කරන්නෙ 
කොහොමද මේ ඇටේ ගන්නෙ
බයක් හිතී මට හොඳටම - දාඩිය දැම්මා
 
මේක බඩේ පැල වේවිද
කන් දෙකෙන්ම ගස් ඒවිද
කකුල් දෙකට මුල් යාවිද - අම්මෝ මට බෑ

කවුරුත් මට හිනා වේවි
පුදුමෙන් මා දෙස බලාවි
ඇවිදින ගස යැයි කියාවි - එතකොට මම පව් 

අම්මෙ අම්මෙ මේ අහන්න
කරන දෙයක් මට කියන්න
බැරිම තැනදි වුන දේ මං - අම්මට කිව්වා 

ගණන් ගන්න එපා පුතේ
කෑමත් යන මගක් ඇතේ
උදේට අර ගමන යද්දි - ඕක යන්න යයි 

අම්මා කිව්වා වගේම මං
උදෙන්ම ඒ ගමන ගියා
දැන්නම් මේ පුංචි බඩට - හරිම සනීපයි
 
බඩේ ඇටේ පැලවුනෙ නෑ
කනෙන් ගහක් ආවෙත් නෑ
තාම හොඳට මං ඉන්නවා - මට හරි සතුටුයි

කෝක උනත් කන බොනකොට
හදිස්සි වෙන්නට හොඳ නෑ
පිළිවෙළකට හෙමින් කෑම - තමයි හොඳම දේ.
.
© සිත්තර පැංචි 


74. සින්දුයි බින්දුයි



සිංදු කියන්නෙ පුංචි පූස් පැටියෙක්. එයා පොඩි කාලෙ අම්මගේ වටේ හුරතලේට ඇවිද ඇවිද පුරු පුරු ගානකොට සිංදුවක් කියනවා වගේ හරිම ලස්සනයි ලු. ඒකයි එයාට සිංදු කියල නම වැටුනේ. පුංචි උනාට මොකද සිංදු හරිම දඟකාරයා. ඒ වගේම ආඩම්බරකාරයා. ගෙදර හැමෝම එයාට තමයි වැඩියෙන්ම ආදරේ කරන්න ඕන කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. කොහොමත් ඉතින් එහෙම තමයි. ගෙදර හෙමෝම සිංදුට හරිම ආදරෙයි. සිංදු ඒ ගෙදර පුංචි හුරතලා.

සිංදුට ගෙදර බඩු ගොඩක් තිබුනා. කොම්බුවක් වගේ රවුම් වෙලා නිදා ගන්න ලස්සන සිනිදු පුළුන් කොට්ටයක්, කම්මැලි වෙලාවට මොනවා හරි කල්පනා කර කර කකුල් උඩ දාගෙන හාන්සි වෙලා ඉන්න සනීප පුටුවක්, පෙරලා පෙරලා සෙල්ලම් කරන්න පුංචි බෝලයක්, උඩ විසික් කර කර නටවන්න චීක් චීක් හඬින් සද්ද කරන සෙල්ලම් මීයෙක්, හිටි ගමන් ලඟට ගිහින් වටේ කැරකි කැරකි හැඩ බලන්න පුංචි කන්නාඩියක්, කෑම කන්න මාළුවෙකුගේ රූපයක් ඇඳපු රතු පාට පිඟානක්, කිරි බොන්න කිරිම කිරි පාට ලස්සන කෝප්පයක්...මේ බඩු ඔක්කොගෙම අයිතිකාරයා තමයි සිංදු. ඒවා ඔක්කොටොම සිංදු හරි ආසයි. 

මෙහෙම ඉන්නකොට දවසක් සිංදු හිතුවේ නැති විදියේ වැඩක් වුනා. ඒ මොකක්ද දන්නවද? මේ ගෙදරට අලුත් සාමාජිකයෙක් එකතු උනා. එයාත් සිංදු වගේම පොඩියි. එයා පුංචි බව්වෙක්. බ්‍රවුන් පාට හමේ ලස්සන සුදු බින්දු දෙකක් විතරක් පිට මැද තියෙන, කොච්චරවත් හිනා වීගෙනම ඉන්න, නවත්තන්නේ නැතුව නැට්ට දෙපැත්තට වනන, වෙලාවකට එයාගෙම නැට්ට අල්ලගන්න බැරුව වටේ කරකැවෙන හරිම සෙල්ලක්කාර බව්වෙක් තමයි එයා. එයාගේ නම බිංදු. මේ මොන කරදරකාරයෙක් ද? දැක්ක ගමන්ම සිංදුට හිතුනේ එහෙම. මෙයාගේ නැටිල්ල හොඳටම වැඩියි. මේ ගෙදර හැමෝම ආදරේ මට. මෙයා ආව කියල එකේ වෙනසක් වෙන්න විදියක් නෑ. හොඳයි බලාගමුකෝ අපි ඉස්සරහට. සිංදු අහක බලාගෙන කේන්තියෙන් කල්පනා කරා.

ඒත් සිංදුට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නෑ. එයා දැක්කා එයාගෙ බින්දු එයාගේ ලපටි අත්දෙක තියල ඉස්සිලා එයාගෙ හාන්සි පුටුවට නගින්න හදනවා. මේ මොන කෝලමක්ද? සිංදුට තරහා ගියා. යනවා යන්න ඔතනින් අහකට. ඔය පුටුව මගේ. ඔයාගේ නෙවෙයි. එහෙම කියපු සිංදු පුටුව උඩට ගිහින් හොඳට ඔලුව කෙලින් කරලා වාඩි  උනා. මෙයාව ගණන් ගන්න හොඳ නෑ. ආඩම්බරේට ඉන්න ඕන. එහෙම ඉන්න ගමන් සිංදු හිතුවා. ඒත් බින්දු නම් හරිම ආදරෙන් හිනාවෙවී සිංදු ගේ දිහාම බලන් හිටියේ එයාට අලුත් යාලුවෙක් හම්බ වුනු සතුටට. එයාගේ නිල්පාට ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා. අනේ එන්නකෝ සෙල්ලම් කරන්න. බින්දු ඇඟ නවාගෙන ඔලුව පහතට  කරගෙන පස්ස උඩ දාගෙන නැට්ට හොලවමින් සිංදුට කතා කරා. යනවා යන්න අහකට මෙතනින්. මට වෙලාවක් නෑ ඔයාත් එක්ක නටන්න. මට මගේ සෙල්ලම් බඩු තියෙනවා. මම ඒවායින් සෙල්ලම් කරන්නම් මට ඕන කමක් ආවොත්. සිංදු එයාව එලවගත්ත. අනේ ඒත් එහෙම ඉන්න වුනේ ටික වෙලාවයි. 

ඒ පාර බින්දු ගිහින් සිංදුගේ කොට්ටෙ කටින් ඇදගෙන එනවා. නවත්තන්න නේද කිව්වේ. ඕක මගේ කොට්ටෙ. සිංදු සැර දැම්මා. කිසි ගානක් නැතුව කොට්ටෙ අතෑරපු බින්දු සිංදුගේ බෝලෙ පෙරලන්න පටන් ගත්තා. පුටු යටින් මේස යටින් හිනා වෙවී එයා බොලේ පස්සේ දුවනකොට සිංදුගේ සෙල්ලම් මීයා බින්දුට පෑගුනා. ඒ පාර බින්දු කරේ මොකක්ද දන්නවද? මීයාත්  කටින් උස්සගෙන බොලේ පස්සෙන් දුවන එක. එයාට හරිම විනෝදයි. මීයව කටින් හපනකොට චීක් චීක් සද්දෙකුත් එනවා. බින්දු මීයාව හපන ගමන් බොලේ පෙරලනවා. ඒ පාර නම් සිංදුගේ ඉවසීමේ සීමාව පැන්නා. දෙනවා මෙහෙට මගේ සෙල්ලම් බඩු. මේක මගේ බෝලෙ. මේක මගේ සෙල්ලම් මීයා. ආයේ මේවා අරගත්තොත් බලාගමු. සිංදු එයාගේ සෙල්ලම් බඩු ඔක්කොම බින්දුගෙන් උදුරාගෙන පුටුව උඩට අරගෙන ලඟින් තියා ගත්තා. ආයෙත් ටික වෙලාවක් සද්ද නැතුව ගෙවුනා. සිංදු ආයෙම කන්දෙක උස්සලා බැලුවේ ටිකක් එහායින් බව් බව් හඬින් බුරන සද්දරක් ඇහිලා. සිංදු ටිකක් ලඟට කිට්ටු වෙලා බැලුවා. බින්දු කණ්නාඩිය අතින් පහුරු ගගා ඒක දිහා බලාගෙන බුරනවා. අනේ ඇත්තට ඇයි මටම මෙහෙම වෙන්නේ. කොහෙන්ද මෙයාට මගේ කණ්නාඩිය අල්ලන්න තරම් අයිතියක්. යනවා යන්න මෙතනින්... මේක මගේ කන්නාඩිය. හොඳටම තරහ ගියපු සිංදු ඒකත් අරගෙන ගිහින් පුටුවෙන් තියා ගත්තා. බින්දුට ගානක් වත් නෑ. එයා හිනාවෙවී කුස්සිය පැත්තට ගියා. සින්දු නම් හැබැයි හිටියෙ හොඳටම තරහෙන්. 

මාත් යන්න ඕන මොනවා හරි කාලා එන්න. උදේ ඉඳලා මෙයාට කෑ ගහල මගේ උගුරත් රිදෙනවා දැන්. මෙහෙම කල්පනා කරමින්ම සිංදු කුස්සියට ගියා. අද දවස නම් හරි නරක එකක්. උදේ ඉඳලම කිසිම හොඳක් නෑ. මෙහෙම හිත හිත ගියපු සිංදු ආපහු දැක්කේ එයාගේ තරහ ඇවිස්සෙන විදියේ වැඩක්. බින්දු ගිහින් සිංදුගේ රතු පිඟානේ මොනවද කනවා. ටිකකින් එයාගේ සුදු කෝප්පෙන් වතුරත් බොනවා. කේන්ති සින්දු ආපහු සද්දෙන් කතා කරා.මෙයාව නම් හදන්න බෑ. මෙහෙ දෙනවා මෙහාට මගේ පිඟානයි කොප්පෙයි. සිංදු ගෙරෙව්වා. මේක මගේ පිඟාන. මේක මගේ කෝප්පේ. ත්රෙරුනා නේද හොඳට ...  ගන්නේ එහෙම නෑ මීට පස්සේ. සිංදු හොඳටම තරහයෙන් ඒ දෙකත් අරන් ගිහින් පුටුව උඩින් තියා ගත්තා. දැන් හරි සින්දුගේ ඔක්කොම බඩු. එයාගේ පුටුව උඩ.

ඒත් බිංදුගේ කරදරේ එතනින් ඉවර වුනේ නෑ. දැන් තමයි ලොකුම කරදරේ. එයා සිංදු යන යන තැනට පස්සෙන් එනවා. එලියට ගියොත් එතන. පස්සෙන් ඇවිත් විරිත්තාගෙන මූන බලාගෙන ඉන්නවා. පුටුවට ගියොත් එතන. එයත් පුටුවට නගින්න හදනවා කොහොමහරි. කුස්සියට ගියොත් එතන. ඇඟේ ගෑවී ගෑවී ලඟින් වාඩිවෙන්න හදනවා. එක්කෝ පාර හරස් කරනවා. සෙල්ලම් කරොත් එතන. නැට්ටෙන් අදින්න හදනවා. වටේට දුවනවා. ඇඟට පනින්න හදනවා. එක යුද්දයයි. මේක නම් හරියන්නේ නෑ. මෙයාට හොඳ පාඩමක් උගන්නන්න ඕන. ඉන්නකො මම කරන්නම් හොඳ වැඩක්. කැරකිල්ල හැදෙනකන් මෙයාව දුවවනවා අද පිට්ටනියට ගිහින්. තවත් එන්න බැරි වෙයි මගේ පස්සෙන් එතකොට. එහෙම හිතපු සිංදු වත්ත පහල පිට්ටනියට දිව්වා. බින්දුත් පස්සෙන් දිව්වා. එක වටයක් දිව්වා. දෙකක් දිව්වා. තුනක් දිව්වා. බින්දුත් පස්සෙන් දුවනවා හිනා වෙවී කර ඇරගෙන. වට හතරයි. වට පහයි. සිංදුට නම් දැන් මහන්සියි. බින්දුට නම් මේ දිවිල්ල හරිම විනෝදයි. හයයි. හතයි. අටයි. එක පාරටම  මොකක්ද උනේ. චන්ඩියා වගේ ඉස්සරහින් දුවපු සිංදු කැරකිල්ල හැදිලා බිමට ඇදගෙන වැටුනා. බින්දුට නම් දිව්වා කියලා කිසිම ගානක් නෑ. තාම හිනා වෙවී බලන් ඉන්නවා සිංදු නැගිටලා ආපහු දුවනකන්. ඒත් සිංදුට අමාරුයි වගේ. කෝ නැගිටින්නෙ නෑනෙ. සින්දු නැගිටිනකන් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන බින්දු සිංදුව උස්සගෙන ගෙදර අරගෙන ගියා. 

සිංදු සනීප වෙනකොට එයා හිටියේ එයාගේ හාන්සි පුටුව උඩ. බින්දු ලඟට වෙලා බලාගෙන හිටියා. සිංදුට සනීප වුනු බව තේරුණු බිංදුගේ මූන මලක් වගේ පිපුණා. සතුට කෙළවරක් නෑ. එයා බව් බව් සින්දුව කියා කියා පුටුව වටේ කැරකි කැරකි නටන්න පටන් ගත්තා. ඇති යන්තම් සිංදුට සනීප උනා. හුරේ....අපිට ආපහු දුවන්න පුළුවන්. බින්දු නටන ගමන් හිතුවා. සිංදුට පහුගිය දේවල් එකින් එක මතක් උනා. එයා ලොකු හුස්මක් අරන් මෙච්චර වෙලා පුටුව උඩ තිබුණු එයාගෙ බඩු භාණ්ඩ දිහා බැලුවා. 

මගේ හාන්සි පුටුව ....
මගේ සිනිදු කොට්ටේ ...
මගේ පෙරලෙන බෝලෙ...
මගේ සෙල්ලම් මීයා ... 
මගේ ලස්සන කණ්නාඩිය ...
මගේ රතු පිඟාන....
මගේ සුදු කෝප්පෙ... 

ඊළඟට එයා නටමින් සිටි බින්දු දිහා ආදරෙන් බැලුවා. ගතවුනේ එක මොහොතයි. එක පාරටම බිංදුගේ ලඟට පැනපු සිංදු එයාගේ බෙල්ල බදාගෙන මෙහෙම කිව්වා.

මගේ ආදර බින්දු...

ඒ වෙලාවේ ඉඳන් සින්දුගෙයි බින්දුගෙයි කෝන්තරේ ඉවර උනා. දෙන්නා හොඳම යාළුවො වෙලා එකිනෙකාට  බොහෝම ආදරෙන් සතුටින් සමගියෙන් ජීවත් උනා. 

© සිත්තර පැංචි.




Monday, November 2, 2020

73. සමගි බලේ



උදේ පාන්දර ඇහෙනවා අහසෙන් ලොකු සද්දයක් 
ඉර මාමයි වළාකුලයි අහසේ ලොකු රණ්ඩුවක්

හදලා මම ලොකු වැස්සක් අද පොළොවට වස්සනවා
පුංචි අයට ඔරු යවන්න මිදුලෙ වතුර පුරවනවා

ඒවා කොහෙද මාත් එක්ක අව්ව ගොඩක් මම දෙනවා
එළියේ සෙල්ලමට ළමයි එතකොට සතුටින් එනවා

බෑ බෑ අද මගේ දවස ගිය සතියෙත් හිටියෙ ඔයා
අද වැස්සොත් හොඳයි කියා ගොවි මාමත් කියල ගියා

ඔයාගෙ ඔය වැස්සෙ තෙමිල ලෙඩ වුනොතින් පවුනෙ ළමයි
ඒ වගේද මගේ අව්ව විටමින් ඩී ඇඟට ගුණයි

වැස්ස හින්ද තමයි ලෝකෙ සැම ජීවත් වෙලා ඉන්නෙ
පැල හැදිලා මල් පිපිලා එළවලු පලතුරු හැදෙන්නෙ

ඒ දේවල් වෙන්නෙ ඉතින් මගෙත් උදව් ඇතුව නේද
වැස්ස වැහල විතරක් මදි අව්වත් ඔක්කොටොම ඕන

හා හා දැන් හොඳටම ඇති  නවත්වන්න ඔය රණ්ඩුව
අහස ඇවිත් මැදට පැනල නවත්ත ගත්තා දෙන්නව

රණ්ඩු කරන්නට ගියොතින් ලැබෙන දේත් නැති වෙනවා
මිතුරු වුනොත් සමගි බලේ අපිට හොඳම දේ දෙනවා

ඔයා වහිනකොට එහෙනම්  මම එන්නම් අව්ව අරන්
යාලු වුනා ආයෙ දෙන්නා  ඒ ඔවදන හිතට අරන්

අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි
දේදුන්නක් හිනා වෙවී  සමගි බලේ ලොවට කියයි!

© සිත්තර පැංචි 

අලුත් සිතුවම්

136. සූකිරි දත්