Thursday, August 15, 2019

72. කොහොල්ල බබා

එදා නරි රාළට හරිම බඩගිනි දවසක්. උදේ ඉඳලම කැලේ හැමතැනම ඇවිද ඇවිද හෙව්වත් කන්න පුළුවන් දෙයක් හම්බ වුනේ නෑ. දැන් නම් හරිම මහන්සිත් එක්ක. යන්න ඕනේ ගම්මානෙ දිහාවටවත්. එහෙම හිතපු නරි රාල ගම දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ටික දුරක් ඇවිදගෙන යනකොට නරි රාල දැක්කා ගහක අලෝලා තියෙන ලොකු බෝලයක් වගේ එකක්. තව ටිකක් හොඳට ලඟට කිට්ටු වෙලා බැලුවම ඒක ලොකු කොහොල්ල ගුලියක් බව නරි රාලට පෙනුනා. ඒත් එක්කම එයාට අපුරු අදහසක් ආවා.

නරි රාල හොඳ පරිස්සමින් කොහොල්ල ගුලිය අරගෙන ඒක එහෙට මෙහාට අඹරවල එකෙන් හැදුවා ලස්සන පුංචි බබෙක්. බබාගේ ඇස් දෙකට දිලිසෙන සියඹලා ඇට දෙකක් ඇලෙව්වා. නහයට සියඹලා පොත්තක් තිව්වා. කටට රෝස පාට ලොකු මල් පෙත්තක් ඇලෙව්වා. ෂා.. මේ තියෙන්නේ ලස්සනට. දැන් නම් ඇත්ත බබෙක් වගේමයි.


ඊට පස්සේ නරි රාල බබාව පරිස්සමින් අරගෙන ගිහින් ගහකට හේත්තු කරා. “දැන් කවුරු හරි මේ ගහ යට ඉන්න කොහොල්ල බබාව ඇල්ලුවොත් එයාව බබාට ඇලෙනවා. ඊට පස්සේ මට පුළුවන් පැනපු ගමන් එයාව අල්ල ගන්න.” මෙහෙම කල්පනා කරපු නරි රාල ටිකක් ඈතට ගිහින් හැංගිලා බලන් හිටියා.

ඔහොම ටික වෙලාවක් ගතවෙනකොට හා පැංචෙක් එතනින් යන්න ආවා. හරිම විනෝදෙන් සිංදුවකුත් කියා කියා ආපු හා පැංචා දැක්කා ගහ යට බබෙක් ඉන්නවා. පොඩ්ඩක් කතා බහ කරලා බලන්න ඕන කියල හිතපු හා පැංචා බබා ගාවට ආවා. “හලෝ බබෝ... මොකෝ මේ තනියම ගහ යට..” හා පැංචා ඇහුවා. ම්හු. කතා කරන්නේ නෑ. හිනා වෙනවා විතරයි. “ඇයි අනේ ඔයා කතා කරන්නේ නැත්තේ. ලැජ්ජයිද ඔයාට.” හා පැංචා ආයෙම ඇහුවා. ම්හු. ඒත් කතා කරන පාටක් නෑ. “ හරි නරකයි ඔයා... තරහයි ඔන්න මං...” බොරු තරහක් ගත්ත හා පැංචා බබාට හිමින් පාරක් ගැහුවා. හරි පුදුමයි නෙ. කතා නොකලට මොකද මෙන්න එතකොටම බබා හා පැංචාගෙ අත තද කරලා අල්ලගත්තා. කෝච්චර තදින් අල්ලගත්තද කියනවනම් හා පැංචා අත අදිනවා අදිනවා බබා අත අරින්නෙම නෑ. හොඳටම ඇලවිලා. දැන් නම් ඔන්න ඇත්තටම හා පැංචාට තරහක් එනවා. “අත අරින්න නේද කිව්වේ මගේ අත.” එහෙම කියලා හා පැංචා අනිත් අතින් කොහොල්ල බබාට පාරක් ගැහුවා. ඒත් එක්කම ඒ අතත් බබාගේ ඇඟේ තදින් ඇලවුනා.

දැන් ඉතින් හා පැංචාට හරි වැඩේ. ඇත දෙක හොලවගන්නවත් බෑ. බබාගෙ ඇඟට ඇලවිලා. ටිකින් ටික හා පැංචාට දාඩියත් දමන්න පටන් ගත්තා. “ඉන්නවකෝ මං ඔයැයිට කරන්න හොඳ වැඩක්.” එහෙම කියපු හා පැංචා කකුලෙන් බබාට රිදෙන්න පාරක් ගැහුවා. හරි වැඩේ. ඒ පාර කකුලත් ඇලුනා. හා පැංචාට දැන් නම් හොඳටම කේන්තියි. “මාව සෙල්ලමකට ගන්න එපා හරිද. අතාරින්න නේද කිව්වෙ. එනවා මෙතන මාව අල්ලන්න.” හා පැංචා ඒ පාර නම් කකුල පද්දලා හොඳ පාරක් හයියෙන් ගැහුවා මේ මුරණ්ඩු බබාට පාඩමක් උගන්නත් එක්ක. අනේ ඒත් මොකක්ද වුනේ. ඒ කකුලත් බබාගෙ ඇඟේ ඇලුනා. දැන් හා පැංචාට හෙලවෙන්නවත් බෑ. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම බබාට ඇලවිලා.

වෙච්ච වැඩේට හා පැංචාට හොඳටම කේන්තියි. දැන් ඔලුව විතරයි ඉතුරු. “යාලු කමට පොඩ්ඩක් කතා කරන්න ආවම මෙහෙම කරන එක හරිද... ඔලුව හොලවමින් හා පැංචා තරහෙන් ගිගිරුවා. අද මම ඔයැයිව මට්ටු කරලම තමයි පස්ස බලන්නේ.” හා පැංචා එයාගේ ඔලුවෙන් පුළුවන් තරම් හයියෙන් බබාට ගැහැව්වා. අපොයි. එතකොටම හා පැංචාගේ ඔළුවත් බබාගෙ ඇඟේ ඇලුනා. බබාට පාඩම් උගන්නන්න ගිහින් මදැයි හා පැංචා කරගත්ත හරිය. දැන් ඉතින් මොකෝ කරන්නේ. හා පැංචා ට හෙලවෙන්නවත් බෑ.

පැත්තක ඉඳන් මේ සෙල්ලම බලාගෙන හිටිය නරිරාලගේ සතුට දැන් ඉහ වහා ගිහින්. එයා එක පිම්මට එතනට දුවගෙන ආව එයාගෙ ගොදුර අල්ලගන්න.

“අහු වුනා අහු වුනා මගෙ උගුලට අහු වුනා .

රැවටුනා රැවටුනා බොරු බබාට රැවටුනා ...”

හහ් හහ් හා...හහ් හහ් හා...

“දැන් ඉතින් හා පැංචෝ..කරපු හොඳ නරක මතක් කර ගන්න එකයි ඇත්තෙ...තව ටිකකින් ඔයා මගේ බඩේ.” හා පැංචා කොහොල්ල බබාගෙන් පරිස්සමට ගලව ගන්න ගමන් නරි රාල කිව්වා.

අනේ ඒත් බෝනික්කෙක් වගේ ලස්සන සුදු හා පැංචාගේ කඳුළු පිරුණු ලොකු ඇස් දෙක දැක්කම නරි රාලගේ හිත ටිකක් උණු වුනා. හා පැංචාව කන්න ලෝබ හිතුනා. කොහොමත් මේ පුංචි එකෙක් කාල මක් කරන්නද. මගේ එක කටටත් මදි මේකව. නරි රාල හිතුවා. කොහොල්ල බබාගෙන් ගැලවිලා නරි රාලගේ අතට ආපු හා පැංචා ඒ වෙනකොටත් හිටියෙ හොඳටම බයේ වෙව්ල වෙව්ල.

“හරි එහෙනම් අපි මෙහෙම කරමු. අදට මම ඔයාව කන්නේ නැතුව යන්න දෙන්නම්කො. මෙන්න මේ විදියට දහ පාරක් කියන්න ඕන එක හුස්මට නවත්නන්නේ නැතුව. හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕන. නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි, නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි..... මොකද කියන්නේ .. හාද? එහෙම වුනොත් තමයි යන්න දෙන්නෙ.” නරි රාල හා පැංචාගෙන් ඇහැව්වා.

කන් දෙක ලොකු කරන් බයේ වෙව්ලමින් මේ කතාව අහන් හිටිය හා පැංචා නරි රාලගේ යෝජනාවට එක පයින් කැමති උනා. එක පාරටම ලොකු හුස්මක් ඇද්ද හා පැංචා නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි, නරි රාල හරි හොඳයි. කැලේ රජුටත් අගෙයි….කියලා දහ පාරක් කියලා දාලා පිම්මේ දිව්වේ පස්ස නොබලා.

“මේ... මග ඉන්න බබාලා එක්ක එහෙම කතා කරන්න නවතින්න එපා හොඳේ ...” පිම්මේ දුවන හා පැංචා දිහා හිනා වෙවී බලන් හිටිය නරි රාල හා පැංචාට ඇහෙන්න හයියෙන් කෑ ගහලා කිව්වා.

3 comments:

  1. ඇති යන්තම් නරි රාළ ටිකාරියක් විතර කරුණාවන්ත වෙච්ච හින්දා අර මොට්ට පුළුන් බෝලේ බේරුනා!

    හැබෑටම ඔය ඔහොම තියෙන අමුතු දෙයක් දැක්කහම අහක බලාගෙන යන්න අමරුයිනේ ඉතින් පැන්චෙක් උනාම? ඔව්ව තේරෙනවද මේ දැන් ඉන්න අම්මලට? හුහ්. එයාලා නම් කියයි.

    මට මේක මතක් උනා.....
    කියෝලා බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිඛිතා නැන්දේ. මේක කියවලා හරිම අමාරුවෙන් බේරුනේ. තව පොඩ්ඩෙන් මට සිහි නැතිඉවෙනවා හිනා වෙලාම.

      Delete
  2. :D

    ඔයාට කියන්න මෙයා....

    ඔය උඩින් ඉන්න නරි රාල ඉන්න බයිස්කෝප් එක බැලුවනේ... අනේ ඒ වගේ පොලිස් කෙනෙක් වෙන්නය කියලාම හිත කියනවා. අර කුළු හරක් මැද්දේ, පුටුවේ වාඩි උනාට කන්දෙක ඇරෙන්න මොකවත් නොපෙනෙන, ඒ උනාට මහා ගායකින් පන දාගෙන ප්‍රැක්ටිස් කරලා උනන්දුව නිසාම උන්ට හලන්න බැරිවෙන එකෙක්? අනේ එහෙම හාවෙක් වෙන එක මාරම ජොලි නේ?

    කැරට් කඩයක් දාගෙන ඉන්නවට වඩා මාර ජොලි අනේ ඒක !

    ReplyDelete

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද