Friday, May 17, 2024

144. මල් මිතුරෝ

ඉර මාමා උදෙන්ම අවදි උනා. ගස් අතරින් රන්වන් රැස් දහරාවක්ම  ලෝබ නතුව පොළොවට එව්වා. පැංචිගේ මල් පාත්තියේ මල් ඔක්කොම ඉක්මනට ඉක්මනට පෙති ඇරියා. එක එක පාටින් ලස්සනට හිනා වුනා. වටපිටාව දැන් හරිම සුන්දරයි. ඒ වගේම සුවඳයි. 

තැඹිලි පාට මල හිනා වෙමින්ම අවට බැලුවා. එයා අනිත් මල් වලට වඩා උසට හිටිය හින්දා හැමෝවම හොඳට පෙනුනා. තැඹිලි පාට මලට පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. "පේනවා නේද? උස වෙන එක තමයි හොඳම. ඔයාලා කොච්චර ඉස්සුනත් මට වගේ වටේම පේන්නේ නෑනේ.  අනික මේ...මට ඇති තරම් ඉර එළිය නා ගන්නත් පුළුවන්." තැඹිලි පාට මල එයා ළඟම හිටිය රෝසපාට මල දිහා බලලා ආඩම්බරෙන් කිව්වා.

"ඇත්ත තමයි. මටත් මේ වගේ උසට ඉන්න තිබුණ නම් කොච්චර හොඳද? දැන් ඉතින් ඉර එළිය ටිකක් නාන්නත් අස්සෙන් අස්සෙන් එබෙන්න එපැයි. මිටි උනාම කරදරයි." රෝසපාට මලට ටිකක් දුක හිතුණා. "මොනවා කරන්නද ඉතින්. මගෙ නටුවට පුළුවන් උපරිම උසට ගිහිල්ලනෙ ඉන්නෙ. මිටියට ඉන්න එකම මල මම නෙවෙයිනෙ. මටත් වඩා මිටි මල් මේ තව ඉන්නෙ" එහෙම හිතලා රෝස පාට මල දුක තුනී කර ගත්තා.

ඔන්න ටිකකින් ලොකු සුළඟක් හමන්න පටන් ගත්තා. ටික ටික සුළං වේගය වැඩි උනා. සුළං පහර තරහෙන් වගේ ඇවිත් තැඹිලි පාට මලේ වැදුණා. තැඹිලි පාට මලේ නටුව වේගෙන් දෙපැත්තට පැද්දුනා. " අනේ මේ සුළං පාරට මගේ නටුව කැඩිලා යයිද? "මලට බොහොම බය හිතුණා. මල වෙව්ලන්න පටන් ගත්තා. මිටි රෝස පාට මල මේක බලාගෙන හිටියා. තැඹිලි පාට මල දෙපැත්තට වැනෙනකොට එයාගෙ ඇගෙත් හැපුණා. රෝස පාට මලට දුක හිතුනා. එයා තැඹිලි පාට මලේ නටුවට එයාගේ ඇඟට හේත්තු වෙලා ඉන්න ඉඩ දුන්නා. තැඹිලි පාට මල රෝස පාට මලට හේත්තු වෙලා යන්තම් නොපැද්දී හිටියා. 

ටික වෙලාවකින් සුළඟ අඩු වෙලා මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මොර ගෙඩි වගේ වැහි බිංදු තැඹිලි පාට මලේ පෙති උඩට වැටුණා. වතුර බිංදුවල බරට තැඹිලි පාට මලේ පෙති ඔක්කොම තෙතබරියං උනා. එයාගෙ නටුවට කෙළින් ඉන්න බැරුව දෙකට මැදින් නැවිලා ගියා. රෝස පාට මලට නම් වැස්සෙනුත් ලොකු කරදරයක් උනේ නෑ. එයාගේ මල් පෙති හොඳට ඝනකම්ව හැදිලා තිබුණ නිසා ඉක්මනට තෙතබරිත උනේ නෑ. මිටි මහත නටුව කිසිම බයක් නැතුව චන්ඩියා වගේ වැස්සට මුහුණ දුන්නා. තැඹිලි පාට උස මල වැස්ස ඉවරවෙනකන් රෝස පාට මල උඩ මුහුණ හංගාගෙන බයේ වෙව්ල වෙව්ල හිටියා. රෝස පාට මල බොහොම ආදරෙන් එයාව වැටෙන්න නොදී අල්ලාගෙන වැස්සෙන් ආරක්ෂා කළා. 

වැස්ස පායලා ආපහු ඉර මාමා හිනා වුණා. තැඹිලි පාට මල නැගිටලා ඇස් ඇරියා. "ඔයා නැත්නම් මම බිම වැටිලා. මම හොඳටම බයවෙලා හිටියේ. ඔයා නිසා යන්තම් නොවැටී බේරුණා. මාව බේරා ගත්තාට ඔයාට බොහොම ස්තුතියි." තැඹිලි පාට උස මල රෝස පාට මිටි මලට කිව්වා. රෝස පාට මල ලස්සනට හිනා වුණා. "උස වෙන එකට වඩා ඔයා වගේ මිටි වෙන එක හොඳයි. එතකොට කරදර අඩුයි." තැඹිලි පාට උස මල ආපහු කිව්වා. රෝස පාට මල හිස වැනුවා.

"හිනා වෙලා සතුටින් ඉන්න වැදගත් වෙන්නෙ උස වෙන එකවත් මිටි වෙන එකවත් නෙවෙයි. යාලුකමයි සමගියයි. රෝස පාට මල තැඹිලි පාට මලට කිව්වා. "අද මම ඔයාට උදව් කළා. හෙට සමහර විට ඔයා මට උදව් කරයි. අපි හැමෝම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. හැම වෙලේම එකිනෙකාට උදවු කරගන්න ඕනේ."රෝස පාට මල් තැඹිලි පාට මලට ලොකු පාඩමක්ම කියා දුන්නා. "ඔයා කිව්වේ ඇත්ත තමයි. මමත් එක තේරුම් ගත්තා. අපි හැමදාම යාළුකමින් සමගියෙන් එකට ඉමු." තැඹිලි පාට මල එහෙම කියලා රෝස පාට මලේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ දෙන්නා එක්ක නැලවි නැලවි ලස්සන නැටුමක්  නැටුවා. ටික වෙලාවකින් මල් මිතුරෝ සියලු දෙනාම නැටුමට එකතු උනා.මල් මිතුරන්ගේ නැටුම් ප්‍රසංගය හුඟ වෙලාවක් යනකන් පැවතුණා. 

© සිත්තර පැංචි 
 2024-05-17

No comments:

Post a Comment

අලුත් සිතුවම්

148. සොයුරු පෙම