Tuesday, November 10, 2020

77. රිලා හාමියේ


ඈත කැලෑවේ ඉඳලා කෑම හොයාගෙන තනියම
ළඟදි අපේ වත්තට ආ රිලා හාමියේ 

ටොමියට අහු උනොත් එහෙම බව් බව් ගා පැනල උඩට
අල්ලගනියි ඇවිදිනකොට හරි පරිස්සමින්

කන්නෙත් නෑ ගැටත් එක්ක ඔක්කොම ගෙඩි කඩලා දාල
පාලු කරල මගෙ වගාව තාත්ත කෙන්තියෙන්

රතු එළියක් සැරට විදින පන්දම ගෙන ඇවිත් සීයා
මූණට ඇල්ලුවොත් එහෙම ඉන්න ඇස් පියන් 

මේක හරිම කරදරයක් ගහක කොලක නෑ ගෙඩියක්
රතින්යා වත් දැම්මොත් හරි අම්මා කියනවා

අම්මගෙ ඒ කීම අහල අහස් කූරු උඩට යවල
ඔයා එලවගන්න අයියා ඔන්න එනවා දැන්

යකාගෙ වෙස් මූන බැඳල හැංගි හොරා ඇවිත් ඔයා
බය කරලා අල්ලගනියි අක්කා දක්ෂයා 

ඔක්කොම සතුරන් උනාට මම නම් මිතුරුයි ඔයාට 
ඒ උනාට මටත් ඔයා කරයි වෙනස්කම් 

වැලේ තිබුණු මගෙ ලේන්සු ඔක්කොම ටික අරන් ගිහින්
උඩ දම දම හිනා වෙනව ඔයා මට හොරෙන්

අපල කාලයක් ළඟ ළඟ කරදර හිරිහැර අපමණ
රෑ තිස්සේ ඔයා ගැනම ඉන්නෙ මම දුකෙන්

ගතවෙන මොහොතක් ගානේ සැනසිල්ලක් නැතුවානේ
පණ බේරන් ආයෙ යන්න කැලෑවට ඉතින්

© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්