Tuesday, November 10, 2020

76. පුංචි මොළේ



සාස්තර පුංචා ගමනක් යනවා
බිත්තිය මුදුනේ චික් චික් චික්
කුරුමානම ගෙන අල්ලාගන්නට
කිටියා බිම ඇත ම්යැව් ම්යැව් ම්යැව්

හදිස්සි වී මගෙ ගමන ගියෝතින්
කිටියා මාව අල්ලන් කනවා
ටිකක්  නැවතිලා යන්නට ඕනෑ
එහෙම උනොත් පණ බේරෙනවා

ආසම කෑමක් බිත්තිය මුදුනේ
පෙනේවි ටිකකින් මගේ තෙද
අන්තිම ගමනයි දැන් ඔය යන්නේ
සාස්තර පුංචෝ ඔයා අද 

අද නම් හරි නෑ කිටියා යන් නෑ
බේරෙන්නට බැරි වෙයි මෙමට
පොඩියක් හිතුවා ඇඟම නැටෙව්වා
වලිගෙ කඩා දැම්මා බිමට 

උඩ බිම බැලුවා මොකක්ද ඒ වුනෙ
වැටුනා නේද චන්ඩියා බිමට 
පිම්මක් පැන්නා නලියන වලිගෙට
කිටියා අල්ලගත්තා තදට
 
වලිගෙ නැති වුනා - ඒත් කමක් නෑ
ආයෙ වැවෙනවා ෂහ් ෂහ් ෂා
කිටියා රැවටුනා අදත් බේරුනා
කොහොමද මගෙ වැඩ හහ් හහ් හා
 
කරදර බාධක කාටත් උරුමයි
හැංගෙන්නට හොඳ නෑනෙ බයෙන්
වරදින්නේ නෑ දිනන්න පුළුවනි
අරගත්තොත් වැඩ පුංචි මොළෙන්.

© සිත්තර පැංචි 



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්