Tuesday, November 10, 2020

74. සින්දුයි බින්දුයි



සිංදු කියන්නෙ පුංචි පූස් පැටියෙක්. එයා පොඩි කාලෙ අම්මගේ වටේ හුරතලේට ඇවිද ඇවිද පුරු පුරු ගානකොට සිංදුවක් කියනවා වගේ හරිම ලස්සනයි ලු. ඒකයි එයාට සිංදු කියල නම වැටුනේ. පුංචි උනාට මොකද සිංදු හරිම දඟකාරයා. ඒ වගේම ආඩම්බරකාරයා. ගෙදර හැමෝම එයාට තමයි වැඩියෙන්ම ආදරේ කරන්න ඕන කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. කොහොමත් ඉතින් එහෙම තමයි. ගෙදර හෙමෝම සිංදුට හරිම ආදරෙයි. සිංදු ඒ ගෙදර පුංචි හුරතලා.

සිංදුට ගෙදර බඩු ගොඩක් තිබුනා. කොම්බුවක් වගේ රවුම් වෙලා නිදා ගන්න ලස්සන සිනිදු පුළුන් කොට්ටයක්, කම්මැලි වෙලාවට මොනවා හරි කල්පනා කර කර කකුල් උඩ දාගෙන හාන්සි වෙලා ඉන්න සනීප පුටුවක්, පෙරලා පෙරලා සෙල්ලම් කරන්න පුංචි බෝලයක්, උඩ විසික් කර කර නටවන්න චීක් චීක් හඬින් සද්ද කරන සෙල්ලම් මීයෙක්, හිටි ගමන් ලඟට ගිහින් වටේ කැරකි කැරකි හැඩ බලන්න පුංචි කන්නාඩියක්, කෑම කන්න මාළුවෙකුගේ රූපයක් ඇඳපු රතු පාට පිඟානක්, කිරි බොන්න කිරිම කිරි පාට ලස්සන කෝප්පයක්...මේ බඩු ඔක්කොගෙම අයිතිකාරයා තමයි සිංදු. ඒවා ඔක්කොටොම සිංදු හරි ආසයි. 

මෙහෙම ඉන්නකොට දවසක් සිංදු හිතුවේ නැති විදියේ වැඩක් වුනා. ඒ මොකක්ද දන්නවද? මේ ගෙදරට අලුත් සාමාජිකයෙක් එකතු උනා. එයාත් සිංදු වගේම පොඩියි. එයා පුංචි බව්වෙක්. බ්‍රවුන් පාට හමේ ලස්සන සුදු බින්දු දෙකක් විතරක් පිට මැද තියෙන, කොච්චරවත් හිනා වීගෙනම ඉන්න, නවත්තන්නේ නැතුව නැට්ට දෙපැත්තට වනන, වෙලාවකට එයාගෙම නැට්ට අල්ලගන්න බැරුව වටේ කරකැවෙන හරිම සෙල්ලක්කාර බව්වෙක් තමයි එයා. එයාගේ නම බිංදු. මේ මොන කරදරකාරයෙක් ද? දැක්ක ගමන්ම සිංදුට හිතුනේ එහෙම. මෙයාගේ නැටිල්ල හොඳටම වැඩියි. මේ ගෙදර හැමෝම ආදරේ මට. මෙයා ආව කියල එකේ වෙනසක් වෙන්න විදියක් නෑ. හොඳයි බලාගමුකෝ අපි ඉස්සරහට. සිංදු අහක බලාගෙන කේන්තියෙන් කල්පනා කරා.

ඒත් සිංදුට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නෑ. එයා දැක්කා එයාගෙ බින්දු එයාගේ ලපටි අත්දෙක තියල ඉස්සිලා එයාගෙ හාන්සි පුටුවට නගින්න හදනවා. මේ මොන කෝලමක්ද? සිංදුට තරහා ගියා. යනවා යන්න ඔතනින් අහකට. ඔය පුටුව මගේ. ඔයාගේ නෙවෙයි. එහෙම කියපු සිංදු පුටුව උඩට ගිහින් හොඳට ඔලුව කෙලින් කරලා වාඩි  උනා. මෙයාව ගණන් ගන්න හොඳ නෑ. ආඩම්බරේට ඉන්න ඕන. එහෙම ඉන්න ගමන් සිංදු හිතුවා. ඒත් බින්දු නම් හරිම ආදරෙන් හිනාවෙවී සිංදු ගේ දිහාම බලන් හිටියේ එයාට අලුත් යාලුවෙක් හම්බ වුනු සතුටට. එයාගේ නිල්පාට ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා. අනේ එන්නකෝ සෙල්ලම් කරන්න. බින්දු ඇඟ නවාගෙන ඔලුව පහතට  කරගෙන පස්ස උඩ දාගෙන නැට්ට හොලවමින් සිංදුට කතා කරා. යනවා යන්න අහකට මෙතනින්. මට වෙලාවක් නෑ ඔයාත් එක්ක නටන්න. මට මගේ සෙල්ලම් බඩු තියෙනවා. මම ඒවායින් සෙල්ලම් කරන්නම් මට ඕන කමක් ආවොත්. සිංදු එයාව එලවගත්ත. අනේ ඒත් එහෙම ඉන්න වුනේ ටික වෙලාවයි. 

ඒ පාර බින්දු ගිහින් සිංදුගේ කොට්ටෙ කටින් ඇදගෙන එනවා. නවත්තන්න නේද කිව්වේ. ඕක මගේ කොට්ටෙ. සිංදු සැර දැම්මා. කිසි ගානක් නැතුව කොට්ටෙ අතෑරපු බින්දු සිංදුගේ බෝලෙ පෙරලන්න පටන් ගත්තා. පුටු යටින් මේස යටින් හිනා වෙවී එයා බොලේ පස්සේ දුවනකොට සිංදුගේ සෙල්ලම් මීයා බින්දුට පෑගුනා. ඒ පාර බින්දු කරේ මොකක්ද දන්නවද? මීයාත්  කටින් උස්සගෙන බොලේ පස්සෙන් දුවන එක. එයාට හරිම විනෝදයි. මීයව කටින් හපනකොට චීක් චීක් සද්දෙකුත් එනවා. බින්දු මීයාව හපන ගමන් බොලේ පෙරලනවා. ඒ පාර නම් සිංදුගේ ඉවසීමේ සීමාව පැන්නා. දෙනවා මෙහෙට මගේ සෙල්ලම් බඩු. මේක මගේ බෝලෙ. මේක මගේ සෙල්ලම් මීයා. ආයේ මේවා අරගත්තොත් බලාගමු. සිංදු එයාගේ සෙල්ලම් බඩු ඔක්කොම බින්දුගෙන් උදුරාගෙන පුටුව උඩට අරගෙන ලඟින් තියා ගත්තා. ආයෙත් ටික වෙලාවක් සද්ද නැතුව ගෙවුනා. සිංදු ආයෙම කන්දෙක උස්සලා බැලුවේ ටිකක් එහායින් බව් බව් හඬින් බුරන සද්දරක් ඇහිලා. සිංදු ටිකක් ලඟට කිට්ටු වෙලා බැලුවා. බින්දු කණ්නාඩිය අතින් පහුරු ගගා ඒක දිහා බලාගෙන බුරනවා. අනේ ඇත්තට ඇයි මටම මෙහෙම වෙන්නේ. කොහෙන්ද මෙයාට මගේ කණ්නාඩිය අල්ලන්න තරම් අයිතියක්. යනවා යන්න මෙතනින්... මේක මගේ කන්නාඩිය. හොඳටම තරහ ගියපු සිංදු ඒකත් අරගෙන ගිහින් පුටුවෙන් තියා ගත්තා. බින්දුට ගානක් වත් නෑ. එයා හිනාවෙවී කුස්සිය පැත්තට ගියා. සින්දු නම් හැබැයි හිටියෙ හොඳටම තරහෙන්. 

මාත් යන්න ඕන මොනවා හරි කාලා එන්න. උදේ ඉඳලා මෙයාට කෑ ගහල මගේ උගුරත් රිදෙනවා දැන්. මෙහෙම කල්පනා කරමින්ම සිංදු කුස්සියට ගියා. අද දවස නම් හරි නරක එකක්. උදේ ඉඳලම කිසිම හොඳක් නෑ. මෙහෙම හිත හිත ගියපු සිංදු ආපහු දැක්කේ එයාගේ තරහ ඇවිස්සෙන විදියේ වැඩක්. බින්දු ගිහින් සිංදුගේ රතු පිඟානේ මොනවද කනවා. ටිකකින් එයාගේ සුදු කෝප්පෙන් වතුරත් බොනවා. කේන්ති සින්දු ආපහු සද්දෙන් කතා කරා.මෙයාව නම් හදන්න බෑ. මෙහෙ දෙනවා මෙහාට මගේ පිඟානයි කොප්පෙයි. සිංදු ගෙරෙව්වා. මේක මගේ පිඟාන. මේක මගේ කෝප්පේ. ත්රෙරුනා නේද හොඳට ...  ගන්නේ එහෙම නෑ මීට පස්සේ. සිංදු හොඳටම තරහයෙන් ඒ දෙකත් අරන් ගිහින් පුටුව උඩින් තියා ගත්තා. දැන් හරි සින්දුගේ ඔක්කොම බඩු. එයාගේ පුටුව උඩ.

ඒත් බිංදුගේ කරදරේ එතනින් ඉවර වුනේ නෑ. දැන් තමයි ලොකුම කරදරේ. එයා සිංදු යන යන තැනට පස්සෙන් එනවා. එලියට ගියොත් එතන. පස්සෙන් ඇවිත් විරිත්තාගෙන මූන බලාගෙන ඉන්නවා. පුටුවට ගියොත් එතන. එයත් පුටුවට නගින්න හදනවා කොහොමහරි. කුස්සියට ගියොත් එතන. ඇඟේ ගෑවී ගෑවී ලඟින් වාඩිවෙන්න හදනවා. එක්කෝ පාර හරස් කරනවා. සෙල්ලම් කරොත් එතන. නැට්ටෙන් අදින්න හදනවා. වටේට දුවනවා. ඇඟට පනින්න හදනවා. එක යුද්දයයි. මේක නම් හරියන්නේ නෑ. මෙයාට හොඳ පාඩමක් උගන්නන්න ඕන. ඉන්නකො මම කරන්නම් හොඳ වැඩක්. කැරකිල්ල හැදෙනකන් මෙයාව දුවවනවා අද පිට්ටනියට ගිහින්. තවත් එන්න බැරි වෙයි මගේ පස්සෙන් එතකොට. එහෙම හිතපු සිංදු වත්ත පහල පිට්ටනියට දිව්වා. බින්දුත් පස්සෙන් දිව්වා. එක වටයක් දිව්වා. දෙකක් දිව්වා. තුනක් දිව්වා. බින්දුත් පස්සෙන් දුවනවා හිනා වෙවී කර ඇරගෙන. වට හතරයි. වට පහයි. සිංදුට නම් දැන් මහන්සියි. බින්දුට නම් මේ දිවිල්ල හරිම විනෝදයි. හයයි. හතයි. අටයි. එක පාරටම  මොකක්ද උනේ. චන්ඩියා වගේ ඉස්සරහින් දුවපු සිංදු කැරකිල්ල හැදිලා බිමට ඇදගෙන වැටුනා. බින්දුට නම් දිව්වා කියලා කිසිම ගානක් නෑ. තාම හිනා වෙවී බලන් ඉන්නවා සිංදු නැගිටලා ආපහු දුවනකන්. ඒත් සිංදුට අමාරුයි වගේ. කෝ නැගිටින්නෙ නෑනෙ. සින්දු නැගිටිනකන් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන බින්දු සිංදුව උස්සගෙන ගෙදර අරගෙන ගියා. 

සිංදු සනීප වෙනකොට එයා හිටියේ එයාගේ හාන්සි පුටුව උඩ. බින්දු ලඟට වෙලා බලාගෙන හිටියා. සිංදුට සනීප වුනු බව තේරුණු බිංදුගේ මූන මලක් වගේ පිපුණා. සතුට කෙළවරක් නෑ. එයා බව් බව් සින්දුව කියා කියා පුටුව වටේ කැරකි කැරකි නටන්න පටන් ගත්තා. ඇති යන්තම් සිංදුට සනීප උනා. හුරේ....අපිට ආපහු දුවන්න පුළුවන්. බින්දු නටන ගමන් හිතුවා. සිංදුට පහුගිය දේවල් එකින් එක මතක් උනා. එයා ලොකු හුස්මක් අරන් මෙච්චර වෙලා පුටුව උඩ තිබුණු එයාගෙ බඩු භාණ්ඩ දිහා බැලුවා. 

මගේ හාන්සි පුටුව ....
මගේ සිනිදු කොට්ටේ ...
මගේ පෙරලෙන බෝලෙ...
මගේ සෙල්ලම් මීයා ... 
මගේ ලස්සන කණ්නාඩිය ...
මගේ රතු පිඟාන....
මගේ සුදු කෝප්පෙ... 

ඊළඟට එයා නටමින් සිටි බින්දු දිහා ආදරෙන් බැලුවා. ගතවුනේ එක මොහොතයි. එක පාරටම බිංදුගේ ලඟට පැනපු සිංදු එයාගේ බෙල්ල බදාගෙන මෙහෙම කිව්වා.

මගේ ආදර බින්දු...

ඒ වෙලාවේ ඉඳන් සින්දුගෙයි බින්දුගෙයි කෝන්තරේ ඉවර උනා. දෙන්නා හොඳම යාළුවො වෙලා එකිනෙකාට  බොහෝම ආදරෙන් සතුටින් සමගියෙන් ජීවත් උනා. 

© සිත්තර පැංචි.




No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්