Friday, May 31, 2024

146. කුරුළු බබා

 

 ඉර මාමා හරි එළියයි පාන්දරින් පායලා 
 දිස්නෙ දිදී පොළොව දිහා බලා සිටී හිනැහිලා 
 බන්ඩි ගෙඩිය පුරවගන්න මල් පැණිවල රස බලා 
 කුරුළු බබා මල් ගොමුවට ආව හනික පියඹලා 

 'මගෙ අම්මෝ හරි රස්නේ' අව්ව හරිම සැර වැඩියි 
 ඉහින් කනින් බේරී බේරී දාඩිය වැල් වැල් ගලයි 
 අව්වෙ ඉඳන් මල්වල පැණි බොන්න හරිම අපහසුයි 
 මොකක්ද මේකට පිළියම කුරුළු බබා දුර සිතයි 

 කුරුළු බබා හරි වේගෙන් දුර අහසට පියඹුවා 
 කාරණාව පැහැදිලි කර ඉර මාමට පැවසුවා 
 රස්නෙ ටිකක් අඩු කරන්න ඉල්ලීමක් ඉල්ලුවා 
 'හා හා හරි' ඉර මාමා එකඟ වෙමින් පැවසුවා 

 වලාකුළට මුවා වෙලා ඉර මාමා හැංගුණා 
 ඒ එක්කම අව් රස්නය හෙමින් හෙමින් අඩු උණා
 'හරිම රසයි මේ මල්පැණි' බන්ඩි පිරී සැනසුනා 
 කුරුළු බබා හරි සතුටින් මල් ගොමුවෙන් ඉගිලුණා.

© සිත්තර පැංචි 
 2024-06-01

No comments:

Post a Comment

අලුත් සිතුවම්

148. සොයුරු පෙම