Thursday, May 9, 2024

139. හැංගි මුත්තං

උදේ පාන්දර ඉර ලස්සනට පායලා. පළාතම හරි එළියයි. සමනලයා පාවි පාවි නැලවි නැලවි මල් ගොමුවට ආවා. පැණි ටිකක් බීලා බන්ඩි ගෙඩිය පුරවාගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. එහෙට පියාසැලුවා. මෙහෙට පියාසැලුවා. වට රවුම් ගියා. කරණම් ගැහුවා. මල් උඩින් ගියා. මල් යටින් ගියා. සමනලයගේ  සෙල්ලම බලන්න ලස්සනයි.

අහසෙ පාවෙමින් හිටිය වළාකුලක් මේක දැක්කා. එයාටත් පොඩ්ඩක් සමනලයා එක්ක සෙල්ලම් කරන්න ආසාවක් ආවා. වලාකුල හිමින් හිමින් පහලට පාවෙලා ඇවිත් සමනලයා ලඟට කිට්ටු කළා. "යාලුවේ මාත් එන්නද සෙල්ලම් කරන්න". වළාකුල සමනලයාගෙන් ඇහුවා. "හරි ශෝක්නෙ. එන්න එන්න. මාත් මේ යාළුවෙක් එනකං තමයි හිටියෙ." සමනලයා හිනා වෙලා කිව්වා. "මොකක්ද ඉතින් අපි කරන සෙල්ලම?" ඉක්මනින් සෙල්ලමක් පටන් ගන්න ආසාවෙන් සමනලයා වලාකුලෙන් ඇහුවා. "අපි හැංගි මුත්තං කරමු." වළාකුල කිව්වා. "අන්න වැඩේ. මං කැමතියි. හැංගි මුත්තං හැංගියෝ....නොපෙනෙන තැනක හැංගියෝ...." සමනලයා සිංදුවකුත් කියමින් සතුට ප්‍රකාශ කළා.

"මම ඇස් දෙක වහගෙන විස්සට ගණින්නම්. ඔයා ඉස්සෙල්ලා හැංගෙන්න." වළාකුල සමනලයාට කිව්වා. වළාකුල ඇස් වහ ගත්තා. "එක දෙක තුන හතර ...." වලාකුළ ගණන් කරන අතරේ සමනලයා ඉක්මනට ඒ ලඟම තිබුණු සුවඳ මලක පෙත්තකට මුවා වෙලා හැංගුනා. වළාකුල තාම ගණන් කරනවා.

මේ අතරේ පාඩම් මේසෙ උඩ තියෙන මල් පෝච්චියට දාන්න අලුත් මලක් කඩාගන්න හිතාගෙන පැංචි ගෙදරින් එළියට ආවා.. හැංගිමුත්තන් සෙල්ලම ගැන කිසිම දෙයක් නොදන්නා පැංචි සමනලයා හැංගිලා හිටිය මල නටුවෙන් කඩා ගත්තා. ගේ ඇතුලට අරන් ගිහින් පෝච්චියට දැම්මා..

වළාකුල ගණන් කරලා ඉවර වෙලා ඇස් ඇරියා. සමනලයාව හොයන්න පටන් ගත්තා. "මේ හොර ගෙඩියා කොහේ හැංගුනාද මන්දා." එහෙම හිතන ගමන් වළාකුල සමනලයාව හැම තැනම හෙව්වා. මල් ගොමුව පුරාම හෙව්වා. ඒත් සමනලයා හොයා ගන්න නම් බැරි උනා. දැන් මොකද කරන්නෙ. වළාකුල කල්පනා කළා.

ඔහොම කල්පනා කරද්දී පැංචි කඩාගෙන ගිය මලේ ඉතිරි වෙලා තිබුණු නටුව වළාකුල දැක්කා. "කෝ මෙතන තිබුණු මල? කවුරුහරි කඩාගෙන ගිහින් වගේ. ඒ මල හොයාගෙන ගිහින් බලන්න ඕනේ." වළාකුල හිතුවා. ඒත් කොහොමද මම ඒ මල හොයාගන්නෙ. කවුරු කොහෙට අරන් ගියාද දන්නෙ නැහැනේ. වළාකුල පොඩ්ඩක් කල්පනා කළා. හොඳ අදහසක් හිතට ආවා.

මල නැති උනාට ඒ අවට තවමත් මල් සුවඳ රැඳී තිබුණා. මල් සුවඳ දිගේ ඉව කරමින් වළාකුල පා වුනා. මල් ගොමුව ඇතුලේ පාවුණා. මල් ගොමුවෙන් එළියට පාවුණා. ඊට පස්සේ ගේ පැත්තට පාවුණා. අන්තිමට මල් සුවඳ දිගේ පාවෙලා පාවෙලා ගිහින් පැංචි ගේ පාඩම් මේසෙ ළඟටම ආවා. "ආ මේ පෝච්චියේ දාල තියෙන්නේ මං හොයපු මල තමයි." වළාකුල හෙමින් හෙමින් මලට කිට්ටු වෙලා විපරම් කළා. ඔන්න එතකොට මලේ පෙති අස්සෙන් සමනලයාගේ පිහාටුවක කෙළවරක් පෙනුණා. වළාකුල හරිම සීරුවට පරිස්සමින් මල් පෙත්ත උස්සලා බැලුවා. මේ ඉන්නෙ චණ්ඩියා. "දැක්කා දැක්කා...එළියට එන්නෝ...එළියට එන්නෝ...." වළාකුල අත්පුඩි තලලා සමනලයාට කතා කළා. සමනලයා හිනා වේවි එලියට ආවා.

"ඔයා දක්ෂයි. මං හිතුවේ මාව හොයාගන්න බැරි වෙයි කියලා.පැංචි අක්කා මාව අරන් යද්දිත් මම හෙලවෙන්නෙම නැතුව හිටියේ ඔයාට හොයාගන්න බැරි වෙන්න." මල් ගොමුවට යන ගමන් සමනලයා වලාකුලට කිව්වා. "මෙන්න මෙයා තමයි මට උදවු කලේ. ඔයාව හොයාගන්න. නැත්නම් මම තාමත් හොයනවා." හිනා වේවි එහෙම කියන ගමන් වළාකුල එයාගෙ ඔළුවට ඇඟිල්ල තියලා සමනලයාට පෙන්නුවා. ඒකට නම් සමනලයාටත් හිනා ගියා. "හෙට සෙල්ලම් කරද්දී පැංචි අක්කාටත් කතා කරමු නේද. නැත්නම් හෙටත් ඔයාව අරන් ගිහින් පෝච්චියේ දා ගනියි." වළාකුල කිව්වා.දෙන්නාම අයෙමත් මහ සද්දෙට හිනා වුණා. හෙට උදේ නැවත හමුවන පොරොන්දුව පිට අළුත් යාළුවො දෙන්නා සිනාසෙමින්ම විසිර ගියේ කියන්න බැරි තරම් සතුටින්.

© සිත්තර පැංචි 
2024-05-09


No comments:

Post a Comment

අලුත් සිතුවම්

145. වෙසක් කූඩු