වෙලාව හවස පහයි. උදේ ඉඳලම සුවඳ හදලා හදලා සුවඳ කුමාරිට හරි මහන්සියි. සුවඳ කුමාරි වැඩ නවත්තලා මාළිගාවෙන් එළියට ආවා. පොඩි විවේකයක් ගන්නත් එක්ක වළාකුලක් උඩ සනීපෙට වාඩි වෙලා පහල බලාගෙන හිටියා. ඉර බැහැගෙන යන්න කිට්ටු නිසා අහස රත්තරන් පාට වෙලා. මුළු පළාතම හරිම ලස්සනයි.
ටිකකින් කවුදෝ ඈතින් එනවා වගේ පෙනුණා. සුවඳ කුමාරි ඒ දිහා බලන් හිටියා. ඈතින් ආපු කෙනා ටික ටික කිට්ටු උනා. "ආ... මේ පාට කුමාරිනෙ. කොහේ ගිහින්ද මේ හති දාගෙන එන්නෙ? සුවඳ කුමාරි පාට කුමාරිගෙන් ඇහුවා.
"මම උදේම මල් පෙති පාට කරන්න ගියානෙ. දැන් තමයි මේ වැඩ ඉවර වුණේ." පාට කුමාරි දාඩිය පිස දමමින් සුවඳ කුමාරිට කිව්වා. "අන්න අර පේන හෙන්දිරික්කා මල් යාය තමයි මම අන්තිමට පාට කලේ. ඔයාට පේනවා නේද ඒවායේ පාටවල ලස්සන. මම ඒවා එක එක පාටවලින් පාට කළේ හරිම ආසාවෙන්." පාට කුමාරි සුවඳ කුමාරිට පහල හෙන්දිරිකා මල් යාය පෙන්නන ගමන් කිව්වා.
සුවඳ කුමාරිට පොඩි දුකක් දැනුණා. ඉර මාමා ගියාට හඳ මාමා එනවානේ. රෑට පිපෙන මල් වලටත් පාට පොඩ්ඩක් දාලම ගියා නම් කොච්චර හොඳද? ඒත් ඉතින් පාට කුමාරි මහන්සි වෙලානෙ ගියෙ. සුවඳ කුමාරි කල්පනා කලා. රෑට පිපෙන මල් පව්. සුවඳ කුමාරිට හිතුණා. මට පුළුවන් නම් මං ගිහින් එයාලව පාට කරනවා. කෝ ඒත් මම පාට හදන්න දන්නෙ නෑනෙ. මම දන්නෙ සුවඳ හදන්න විතරනෙ. සුවඳ කුමාරි රෑ වෙනකන්ම කල්පනා කළා.
රෑ වෙද්දී සුවඳ කුමාරිගෙ දුක වැඩි උනා. ඒ හින්දාම රෑට පිපුණු මල් බලන්න සුවඳ කුමාරි පහලට බැස්සා. මගෙ අම්මෝ. පිපිච්ච මල් ගොඩ. සේපාලිකා, සමන්පිච්ච, රෑ කුමාරි, කඩුපුල්, ඇට්ටේරියා ....නම් දන්න නොදන්න මල් ජාති මහා ගොඩක් පිපිලා හිනා වේවි ඉන්නවා. ඒ අතරට පොකුණේ කුමුදු මලුත් පිපිලා. හරිම ලස්සනයි. එයාලා සුදු පාට පෙති දිග ඇරගෙන සුවඳ කුමාරි දිහා බලන් හිටියේ හරියට පාට ටිකක් ඉල්ලගන්න වගේ. සුවඳ කුමාරිට හොඳ අදහසක් ආවා. පාට නැති උනාට මොකෝ. මට පුළුවන් නේ මෙයාලට මම හදපු සුවඳ ජාති බෙදලා දෙන්න. සුවඳ කුමාරි හිතුවා.
සුවඳ කුමාරි එක එක මල් ළඟට ගියා. ඒ හැමෝටම සුවඳ කුමාරි එයාම හදපු සුවඳ වලින් ටික ටික බෙදා දුන්නා. ඒත් එක්කම හැම මලකින්ම මිහිරි සුවඳක් හැමුවා. දැන් නම් මුළු පලාතම හරිම සුවඳයි. මල් වලින් පටන් ගත්ත මිහිරි සුවඳ වටේට වටේට ගිහින් ඈතට ඈතට ගිහින් උඩට උඩට ගිහින් හඳ මාමා ගාවට එනකල්ම හැමුවා.
සුවඳ බෙදලා ඉවර වුණු සුවඳ කුමාරි යන්න ලැස්ති වෙලා මල් වලට අත වැනුවා. "බොහොම ස්තුතියි සුවඳ කුමාරි...පරිස්සමින් ගිහින් එන්න." මල් ඔක්කොම එක හඬින් සුවඳ කුමාරිට සමු දීලා සුවඳ කුමාරි ඈතට ඈතට ගිහින් අහසේ නොපෙනී යනකන්ම බලාගෙන හිටියා. අද තමයි මං වැඩියෙන්ම සතුටු උන දවස. ඈතට පාවෙලා යන ගමන් සුවඳ කුමාරි හිතුවා.
අපූරු අදහසක්!
ReplyDeleteබොහොම ටැංකිව් Litseeker. 😁💐
Delete