මල් ගහ උඩ පුංචි කුරුළු කූඩුවක් තිබුණා. කුඩුව කුරුළු ඇතුලේ පැටව් තුන්දෙනයි. ලොකුම එක්කෙනා කුරුළු අයියා. අනිත් දෙන්නා කුරුළු නංගියි මල්ලියි. අයියා පොඩ්ඩක් ලොකු උනාට නංගියි මල්ලියි තවම පොඩියි. නමුත් තුන් දෙනාටම තාමත් පියාඹන්න බැහැ. තව ටිකක් ලොකුවෙලා පිහාටු සවිමත් වුණාම තමයි තනියම එළියට යන්න පුළුවන් වෙන්නෙ. එතකන් පරිස්සමින් කූඩුවට වෙලා ඉන්න ඕනෙ. කුරුළු අම්මා නිතරම බබාලා තුන්දෙනාට අවවාද දුන්නා.
Sunday, June 9, 2024
148. සොයුරු පෙම
147. දත් දොස්තර
Friday, May 31, 2024
146. කුරුළු බබා
Friday, May 17, 2024
145. වෙසක් කූඩු
144. මල් මිතුරෝ
ඉර මාමා උදෙන්ම අවදි උනා. ගස් අතරින් රන්වන් රැස් දහරාවක්ම ලෝබ නතුව පොළොවට එව්වා. පැංචිගේ මල් පාත්තියේ මල් ඔක්කොම ඉක්මනට ඉක්මනට පෙති ඇරියා. එක එක පාටින් ලස්සනට හිනා වුනා. වටපිටාව දැන් හරිම සුන්දරයි. ඒ වගේම සුවඳයි.
තැඹිලි පාට මල හිනා වෙමින්ම අවට බැලුවා. එයා අනිත් මල් වලට වඩා උසට හිටිය හින්දා හැමෝවම හොඳට පෙනුනා. තැඹිලි පාට මලට පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. "පේනවා නේද? උස වෙන එක තමයි හොඳම. ඔයාලා කොච්චර ඉස්සුනත් මට වගේ වටේම පේන්නේ නෑනේ. අනික මේ...මට ඇති තරම් ඉර එළිය නා ගන්නත් පුළුවන්." තැඹිලි පාට මල එයා ළඟම හිටිය රෝසපාට මල දිහා බලලා ආඩම්බරෙන් කිව්වා.
"ඇත්ත තමයි. මටත් මේ වගේ උසට ඉන්න තිබුණ නම් කොච්චර හොඳද? දැන් ඉතින් ඉර එළිය ටිකක් නාන්නත් අස්සෙන් අස්සෙන් එබෙන්න එපැයි. මිටි උනාම කරදරයි." රෝසපාට මලට ටිකක් දුක හිතුණා. "මොනවා කරන්නද ඉතින්. මගෙ නටුවට පුළුවන් උපරිම උසට ගිහිල්ලනෙ ඉන්නෙ. මිටියට ඉන්න එකම මල මම නෙවෙයිනෙ. මටත් වඩා මිටි මල් මේ තව ඉන්නෙ" එහෙම හිතලා රෝස පාට මල දුක තුනී කර ගත්තා.
ඔන්න ටිකකින් ලොකු සුළඟක් හමන්න පටන් ගත්තා. ටික ටික සුළං වේගය වැඩි උනා. සුළං පහර තරහෙන් වගේ ඇවිත් තැඹිලි පාට මලේ වැදුණා. තැඹිලි පාට මලේ නටුව වේගෙන් දෙපැත්තට පැද්දුනා. " අනේ මේ සුළං පාරට මගේ නටුව කැඩිලා යයිද? "මලට බොහොම බය හිතුණා. මල වෙව්ලන්න පටන් ගත්තා. මිටි රෝස පාට මල මේක බලාගෙන හිටියා. තැඹිලි පාට මල දෙපැත්තට වැනෙනකොට එයාගෙ ඇගෙත් හැපුණා. රෝස පාට මලට දුක හිතුනා. එයා තැඹිලි පාට මලේ නටුවට එයාගේ ඇඟට හේත්තු වෙලා ඉන්න ඉඩ දුන්නා. තැඹිලි පාට මල රෝස පාට මලට හේත්තු වෙලා යන්තම් නොපැද්දී හිටියා.
ටික වෙලාවකින් සුළඟ අඩු වෙලා මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මොර ගෙඩි වගේ වැහි බිංදු තැඹිලි පාට මලේ පෙති උඩට වැටුණා. වතුර බිංදුවල බරට තැඹිලි පාට මලේ පෙති ඔක්කොම තෙතබරියං උනා. එයාගෙ නටුවට කෙළින් ඉන්න බැරුව දෙකට මැදින් නැවිලා ගියා. රෝස පාට මලට නම් වැස්සෙනුත් ලොකු කරදරයක් උනේ නෑ. එයාගේ මල් පෙති හොඳට ඝනකම්ව හැදිලා තිබුණ නිසා ඉක්මනට තෙතබරිත උනේ නෑ. මිටි මහත නටුව කිසිම බයක් නැතුව චන්ඩියා වගේ වැස්සට මුහුණ දුන්නා. තැඹිලි පාට උස මල වැස්ස ඉවරවෙනකන් රෝස පාට මල උඩ මුහුණ හංගාගෙන බයේ වෙව්ල වෙව්ල හිටියා. රෝස පාට මල බොහොම ආදරෙන් එයාව වැටෙන්න නොදී අල්ලාගෙන වැස්සෙන් ආරක්ෂා කළා.
වැස්ස පායලා ආපහු ඉර මාමා හිනා වුණා. තැඹිලි පාට මල නැගිටලා ඇස් ඇරියා. "ඔයා නැත්නම් මම බිම වැටිලා. මම හොඳටම බයවෙලා හිටියේ. ඔයා නිසා යන්තම් නොවැටී බේරුණා. මාව බේරා ගත්තාට ඔයාට බොහොම ස්තුතියි." තැඹිලි පාට උස මල රෝස පාට මිටි මලට කිව්වා. රෝස පාට මල ලස්සනට හිනා වුණා. "උස වෙන එකට වඩා ඔයා වගේ මිටි වෙන එක හොඳයි. එතකොට කරදර අඩුයි." තැඹිලි පාට උස මල ආපහු කිව්වා. රෝස පාට මල හිස වැනුවා.
"හිනා වෙලා සතුටින් ඉන්න වැදගත් වෙන්නෙ උස වෙන එකවත් මිටි වෙන එකවත් නෙවෙයි. යාලුකමයි සමගියයි. රෝස පාට මල තැඹිලි පාට මලට කිව්වා. "අද මම ඔයාට උදව් කළා. හෙට සමහර විට ඔයා මට උදව් කරයි. අපි හැමෝම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. හැම වෙලේම එකිනෙකාට උදවු කරගන්න ඕනේ."රෝස පාට මල් තැඹිලි පාට මලට ලොකු පාඩමක්ම කියා දුන්නා. "ඔයා කිව්වේ ඇත්ත තමයි. මමත් එක තේරුම් ගත්තා. අපි හැමදාම යාළුකමින් සමගියෙන් එකට ඉමු." තැඹිලි පාට මල එහෙම කියලා රෝස පාට මලේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ දෙන්නා එක්ක නැලවි නැලවි ලස්සන නැටුමක් නැටුවා. ටික වෙලාවකින් මල් මිතුරෝ සියලු දෙනාම නැටුමට එකතු උනා.මල් මිතුරන්ගේ නැටුම් ප්‍රසංගය හුඟ වෙලාවක් යනකන් පැවතුණා.
Monday, May 13, 2024
143. වෙසක්
Sunday, May 12, 2024
142. කැරට්
හා පැටියා උදෙන්ම නැගිට්ටා. මුහුණ කට සේදුවා. හොඳටම බඩගිනි වගේ. මොනවාහරි කන්න හිතාගෙන කැරට් පාත්තිය පැත්තට ගියා. ආ මේ තියෙන්නෙ කැරට් හොඳට හැදිලා. සමහර ලස්සන ලස්සන කැරට් අල පොලොවෙනුත් උඩට මතු වෙලා. හා පැටියාගේ කටට කෙල ඉනුවා.
හා පැටියා පොඩ්ඩක් පොළව හාරලා කරත අලයක් ගලවලා ගත්තා. "අපෝ මේ කැරට් අලේ බොහොම පුංචියි නේ. මගේ බඩගින්නේ හැටියට මේක මගේ බඩේ ගෑවෙන්නවත් මදි." හා පැටියා තනියම කියෙව්වා. පුංචි කැරට් අලේ කේන්තියෙන් පැත්තකට දාලා හා පැටියා ආපහු පොළොව හෑරුවා. තව අලයක් ගලවා ගත්තා. "අපෝ මේකත් පුංචි වැඩියිනෙ. මේක මගේ බඩේ බාගයක් පිරෙන්නත් මදි. මේ පාත්තියේ පුංචි කැරට් අල විතරමද තියෙන්නෙ. තව ටිකක් හාරලා ලොකු අලයක් කොහොමහරි ගලවා ගන්න ඕනෙ." හා පැටියා ආපහු පොළොව හාරන්න පටන් ගත්තා.
"මේ පාර නම් විසාල අලයක් ලබෙන්න වගේ. අදිනවා අදිනවා කෝ කැරට් අලේ එන්නේ නෑ." හා පැටියා හොද හුස්මක් අරන් පුළුවන් තරම් හයියෙන් කැරට් අලේ ඇද්දා. කිව්වත් වගේ ඒ පාර නම් හම්බ වුණේ මහා විසාල කැරට් අලයක්. "බුදු අම්මෝ මේකේ ලොකු. මේක මට තනියෙන් කාලා ඉවර කරන්න බෑ. මගේ බඩත් පැලෙයි මේක සේරම කන්න ගියොත්." හා පැටියා ආයෙමත් තනියෙන් කියෙව්වා.
"අපරාදෙ මගෙ මහන්සිය. ඇයි අප්පා. මගේ බඩට හරියන කැරට් අලයක් හොයන්න මේ තරම්ම අමාරුද? අතාරින්න නරකයි. මේ ගැලෙව්වා වගේ තව එකක් ගලවගන්න ඕනෑ." හා පැටියා එයාටම කියා ගන්නා ගමන් ආපහු කැරට් පාත්තිය හාරන්න ලෑස්ති වුණා.
"හෝව්...හෝව්...හෝව්...." පොළොව හාරන්න හැදුවා විතරයි හා පැටියාට කවුදෝ කතා කරනවා ඇහුණා. කෝ කවුද? කොහෙන්ද කතා කරන්නෙ. හා පැටියා වට පිට හැමතැනම බැලුවා. කෝ කවුරුවත් නෑනෙ. "මෙහේ මෙහේ. මං මෙහේ. වටපිට බලලා හරියන්නේ නෑ. උඩ බලන්න." කතාකරන සද්දේ ආපහු ඇහුණා. හා පැටියා උඩ බැලුවා. ආ මේ ඉන්නේ ඉර මාමානෙ. හා පැටියා දිහා බලාගෙන හිනා වෙවී.
Saturday, May 11, 2024
141. කිමිදුම් සහ පියාසර
Friday, May 10, 2024
140. කොළපට්ටා බූම්
පැංචිගේ හොඳම යාලුවා තමයි කුකූ. මේ නිවාඩු කාලේ කුකූගේ ලොකුම රාජකාරිය තමයි පැංචි එක්ක සෙල්ලම් කරන එක. මේ සෙල්ලම් වලිනුත් මේ දෙන්නා වැඩියෙන්ම කරන්නේ කොළපට්ටා බූම් එකේ යන සෙල්ලම. ගහෙන් ගැලවිලා වැටුණු පුවක් අත්තක් අරන් ඒකෙ නාරටියේ කොළ ටික ගලවලා දාලා මේ කොළපට්ටා බූම් එක මේ දෙන්නාට හදලා දුන්නෙ ආච්චම්මා.
කුකූ මුල් කාලේ කොළපට්ටා බූම් එකේ යන්න බය වුණා. උස්සගෙන ඇවිත් බලහත්කාරෙන් සීට් එකේ වාඩි කෙරෙව්වත් කුකූ නෙවෙයි ඒකෙ ඉන්නෙ. ඒ සැණින් පැනලා අහකට දුවනවා. ඒකටත් එක්ක දැන්. පැංචි කොලපට්ටා බූම් එක ගන්නකොටම කුකූ ඇවිත් සීට් එකේ වාඩි වෙනවා. කුකූ ඒ තරම් ආසයි මේ බූම් එකේ යන්න.Thursday, May 9, 2024
139. හැංගි මුත්තං
උදේ පාන්දර ඉර ලස්සනට පායලා. පළාතම හරි එළියයි. සමනලයා පාවි පාවි නැලවි නැලවි මල් ගොමුවට ආවා. පැණි ටිකක් බීලා බන්ඩි ගෙඩිය පුරවාගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. එහෙට පියාසැලුවා. මෙහෙට පියාසැලුවා. වට රවුම් ගියා. කරණම් ගැහුවා. මල් උඩින් ගියා. මල් යටින් ගියා. සමනලයගේ සෙල්ලම බලන්න ලස්සනයි.
අහසෙ පාවෙමින් හිටිය වළාකුලක් මේක දැක්කා. එයාටත් පොඩ්ඩක් සමනලයා එක්ක සෙල්ලම් කරන්න ආසාවක් ආවා. වලාකුල හිමින් හිමින් පහලට පාවෙලා ඇවිත් සමනලයා ලඟට කිට්ටු කළා. "යාලුවේ මාත් එන්නද සෙල්ලම් කරන්න". වළාකුල සමනලයාගෙන් ඇහුවා. "හරි ශෝක්නෙ. එන්න එන්න. මාත් මේ යාළුවෙක් එනකං තමයි හිටියෙ." සමනලයා හිනා වෙලා කිව්වා. "මොකක්ද ඉතින් අපි කරන සෙල්ලම?" ඉක්මනින් සෙල්ලමක් පටන් ගන්න ආසාවෙන් සමනලයා වලාකුලෙන් ඇහුවා. "අපි හැංගි මුත්තං කරමු." වළාකුල කිව්වා. "අන්න වැඩේ. මං කැමතියි. හැංගි මුත්තං හැංගියෝ....නොපෙනෙන තැනක හැංගියෝ...." සමනලයා සිංදුවකුත් කියමින් සතුට ප්‍රකාශ කළා.
"මම ඇස් දෙක වහගෙන විස්සට ගණින්නම්. ඔයා ඉස්සෙල්ලා හැංගෙන්න." වළාකුල සමනලයාට කිව්වා. වළාකුල ඇස් වහ ගත්තා. "එක දෙක තුන හතර ...." වලාකුළ ගණන් කරන අතරේ සමනලයා ඉක්මනට ඒ ලඟම තිබුණු සුවඳ මලක පෙත්තකට මුවා වෙලා හැංගුනා. වළාකුල තාම ගණන් කරනවා.
මේ අතරේ පාඩම් මේසෙ උඩ තියෙන මල් පෝච්චියට දාන්න අලුත් මලක් කඩාගන්න හිතාගෙන පැංචි ගෙදරින් එළියට ආවා.. හැංගිමුත්තන් සෙල්ලම ගැන කිසිම දෙයක් නොදන්නා පැංචි සමනලයා හැංගිලා හිටිය මල නටුවෙන් කඩා ගත්තා. ගේ ඇතුලට අරන් ගිහින් පෝච්චියට දැම්මා..
වළාකුල ගණන් කරලා ඉවර වෙලා ඇස් ඇරියා. සමනලයාව හොයන්න පටන් ගත්තා. "මේ හොර ගෙඩියා කොහේ හැංගුනාද මන්දා." එහෙම හිතන ගමන් වළාකුල සමනලයාව හැම තැනම හෙව්වා. මල් ගොමුව පුරාම හෙව්වා. ඒත් සමනලයා හොයා ගන්න නම් බැරි උනා. දැන් මොකද කරන්නෙ. වළාකුල කල්පනා කළා.
ඔහොම කල්පනා කරද්දී පැංචි කඩාගෙන ගිය මලේ ඉතිරි වෙලා තිබුණු නටුව වළාකුල දැක්කා. "කෝ මෙතන තිබුණු මල? කවුරුහරි කඩාගෙන ගිහින් වගේ. ඒ මල හොයාගෙන ගිහින් බලන්න ඕනේ." වළාකුල හිතුවා. ඒත් කොහොමද මම ඒ මල හොයාගන්නෙ. කවුරු කොහෙට අරන් ගියාද දන්නෙ නැහැනේ. වළාකුල පොඩ්ඩක් කල්පනා කළා. හොඳ අදහසක් හිතට ආවා.
මල නැති උනාට ඒ අවට තවමත් මල් සුවඳ රැඳී තිබුණා. මල් සුවඳ දිගේ ඉව කරමින් වළාකුල පා වුනා. මල් ගොමුව ඇතුලේ පාවුණා. මල් ගොමුවෙන් එළියට පාවුණා. ඊට පස්සේ ගේ පැත්තට පාවුණා. අන්තිමට මල් සුවඳ දිගේ පාවෙලා පාවෙලා ගිහින් පැංචි ගේ පාඩම් මේසෙ ළඟටම ආවා. "ආ මේ පෝච්චියේ දාල තියෙන්නේ මං හොයපු මල තමයි." වළාකුල හෙමින් හෙමින් මලට කිට්ටු වෙලා විපරම් කළා. ඔන්න එතකොට මලේ පෙති අස්සෙන් සමනලයාගේ පිහාටුවක කෙළවරක් පෙනුණා. වළාකුල හරිම සීරුවට පරිස්සමින් මල් පෙත්ත උස්සලා බැලුවා. මේ ඉන්නෙ චණ්ඩියා. "දැක්කා දැක්කා...එළියට එන්නෝ...එළියට එන්නෝ...." වළාකුල අත්පුඩි තලලා සමනලයාට කතා කළා. සමනලයා හිනා වේවි එලියට ආවා.
"ඔයා දක්ෂයි. මං හිතුවේ මාව හොයාගන්න බැරි වෙයි කියලා.පැංචි අක්කා මාව අරන් යද්දිත් මම හෙලවෙන්නෙම නැතුව හිටියේ ඔයාට හොයාගන්න බැරි වෙන්න." මල් ගොමුවට යන ගමන් සමනලයා වලාකුලට කිව්වා. "මෙන්න මෙයා තමයි මට උදවු කලේ. ඔයාව හොයාගන්න. නැත්නම් මම තාමත් හොයනවා." හිනා වේවි එහෙම කියන ගමන් වළාකුල එයාගෙ ඔළුවට ඇඟිල්ල තියලා සමනලයාට පෙන්නුවා. ඒකට නම් සමනලයාටත් හිනා ගියා. "හෙට සෙල්ලම් කරද්දී පැංචි අක්කාටත් කතා කරමු නේද. නැත්නම් හෙටත් ඔයාව අරන් ගිහින් පෝච්චියේ දා ගනියි." වළාකුල කිව්වා.දෙන්නාම අයෙමත් මහ සද්දෙට හිනා වුණා. හෙට උදේ නැවත හමුවන පොරොන්දුව පිට අළුත් යාළුවො දෙන්නා සිනාසෙමින්ම විසිර ගියේ කියන්න බැරි තරම් සතුටින්.
Wednesday, May 8, 2024
138. සුවඳ කුමාරි
වෙලාව හවස පහයි. උදේ ඉඳලම සුවඳ හදලා හදලා සුවඳ කුමාරිට හරි මහන්සියි. සුවඳ කුමාරි වැඩ නවත්තලා මාළිගාවෙන් එළියට ආවා. පොඩි විවේකයක් ගන්නත් එක්ක වළාකුලක් උඩ සනීපෙට වාඩි වෙලා පහල බලාගෙන හිටියා. ඉර බැහැගෙන යන්න කිට්ටු නිසා අහස රත්තරන් පාට වෙලා. මුළු පළාතම හරිම ලස්සනයි.
ටිකකින් කවුදෝ ඈතින් එනවා වගේ පෙනුණා. සුවඳ කුමාරි ඒ දිහා බලන් හිටියා. ඈතින් ආපු කෙනා ටික ටික කිට්ටු උනා. "ආ... මේ පාට කුමාරිනෙ. කොහේ ගිහින්ද මේ හති දාගෙන එන්නෙ? සුවඳ කුමාරි පාට කුමාරිගෙන් ඇහුවා.
"මම උදේම මල් පෙති පාට කරන්න ගියානෙ. දැන් තමයි මේ වැඩ ඉවර වුණේ." පාට කුමාරි දාඩිය පිස දමමින් සුවඳ කුමාරිට කිව්වා. "අන්න අර පේන හෙන්දිරික්කා මල් යාය තමයි මම අන්තිමට පාට කලේ. ඔයාට පේනවා නේද ඒවායේ පාටවල ලස්සන. මම ඒවා එක එක පාටවලින් පාට කළේ හරිම ආසාවෙන්." පාට කුමාරි සුවඳ කුමාරිට පහල හෙන්දිරිකා මල් යාය පෙන්නන ගමන් කිව්වා.
සුවඳ කුමාරිට පොඩි දුකක් දැනුණා. ඉර මාමා ගියාට හඳ මාමා එනවානේ. රෑට පිපෙන මල් වලටත් පාට පොඩ්ඩක් දාලම ගියා නම් කොච්චර හොඳද? ඒත් ඉතින් පාට කුමාරි මහන්සි වෙලානෙ ගියෙ. සුවඳ කුමාරි කල්පනා කලා. රෑට පිපෙන මල් පව්. සුවඳ කුමාරිට හිතුණා. මට පුළුවන් නම් මං ගිහින් එයාලව පාට කරනවා. කෝ ඒත් මම පාට හදන්න දන්නෙ නෑනෙ. මම දන්නෙ සුවඳ හදන්න විතරනෙ. සුවඳ කුමාරි රෑ වෙනකන්ම කල්පනා කළා.
රෑ වෙද්දී සුවඳ කුමාරිගෙ දුක වැඩි උනා. ඒ හින්දාම රෑට පිපුණු මල් බලන්න සුවඳ කුමාරි පහලට බැස්සා. මගෙ අම්මෝ. පිපිච්ච මල් ගොඩ. සේපාලිකා, සමන්පිච්ච, රෑ කුමාරි, කඩුපුල්, ඇට්ටේරියා ....නම් දන්න නොදන්න මල් ජාති මහා ගොඩක් පිපිලා හිනා වේවි ඉන්නවා. ඒ අතරට පොකුණේ කුමුදු මලුත් පිපිලා. හරිම ලස්සනයි. එයාලා සුදු පාට පෙති දිග ඇරගෙන සුවඳ කුමාරි දිහා බලන් හිටියේ හරියට පාට ටිකක් ඉල්ලගන්න වගේ. සුවඳ කුමාරිට හොඳ අදහසක් ආවා. පාට නැති උනාට මොකෝ. මට පුළුවන් නේ මෙයාලට මම හදපු සුවඳ ජාති බෙදලා දෙන්න. සුවඳ කුමාරි හිතුවා.
සුවඳ කුමාරි එක එක මල් ළඟට ගියා. ඒ හැමෝටම සුවඳ කුමාරි එයාම හදපු සුවඳ වලින් ටික ටික බෙදා දුන්නා. ඒත් එක්කම හැම මලකින්ම මිහිරි සුවඳක් හැමුවා. දැන් නම් මුළු පලාතම හරිම සුවඳයි. මල් වලින් පටන් ගත්ත මිහිරි සුවඳ වටේට වටේට ගිහින් ඈතට ඈතට ගිහින් උඩට උඩට ගිහින් හඳ මාමා ගාවට එනකල්ම හැමුවා.
සුවඳ බෙදලා ඉවර වුණු සුවඳ කුමාරි යන්න ලැස්ති වෙලා මල් වලට අත වැනුවා. "බොහොම ස්තුතියි සුවඳ කුමාරි...පරිස්සමින් ගිහින් එන්න." මල් ඔක්කොම එක හඬින් සුවඳ කුමාරිට සමු දීලා සුවඳ කුමාරි ඈතට ඈතට ගිහින් අහසේ නොපෙනී යනකන්ම බලාගෙන හිටියා. අද තමයි මං වැඩියෙන්ම සතුටු උන දවස. ඈතට පාවෙලා යන ගමන් සුවඳ කුමාරි හිතුවා.