Wednesday, July 31, 2019

68. ආඩම්බර සරුංගලේ


සරුංගල් කාලේ අයෙමත් ඇවිල්ල. හැමතැනම හොඳ සනීප හුළඟ. හදපු සරුංගල් විකුනන්න දාලා හැමතැනම. අපි පුංචි කාලේ නම් අපිම සරුංගල් හදාගෙන තමයි උඩ යැව්වෙ. තාත්ත කියනවා නිතරම. ඉතින් තාත්තවත් උදව් කරගෙන ගෙදරම සරුංගලයක් හදලා උඩ යවන්න පුංචි බබාටත් ලොකු ආසාවක් ආවා. “තාත්තේ අපි දෙන්නත් එක්ක ලස්සන සරුංගලයක් හදමු හාද? බබා ඇහුව විතරයි තාත්තත් වැඩේට කැමති වුනා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා බට පතුරක් කපාගෙන ඇවිල්ලා, පතුරු කපලා, බැමි බැඳලා, පාප්ප ගාලා, කොළ අලවලා, තව හැඩ වැඩ ටිකකුත් දාලා ඔන්න අන්තිමේ සරුංගලයක් හදලා ඉවර කරා.

ෂා... මං හරි ලස්සනයිනෙ. හදලා ඉවර වුනාම සරුංගලේට හිතුනා. කහ පාට පසුබිමේ කළු පාට වයිරන් වැටිච්ච මං වෙන්න ඇති මේ පළාතටම ඉන්න ලස්සන එක්කෙනා. සරුංගලේ ආඩම්බරෙන් හිතුවා. දැන් ඉතින් උඩට යනකන් එයාට ඉවසිල්ලක් නෑ. අනේ බබෝ මාව ඉක්මනට උඩට යවන්නකෝ. සරුංගලේ බබාට කිව්වා. ඉතින් බබත් ඔන්න හරිම ආසාවෙන් සරුංගලේ අරන් වෙල පැත්තට දිව්වා.

බබා නූල හිමිට දිග ඇරලා සරුංගලේ උඩ යවන්න පටන් ගත්තා. එදා හුළඟත් ගානට, සැර වැඩිමත් නෑ සැර අඩුමත් නෑ. ඉතින් වැඩි වෙලාවක් නොගෙනම සරුංගලේ උඩට නගින්න පටන් ගත්තා. බලන්න එපැයි උඩ යන්න යන්න සරුංගලේ හිනාව. කට කනෙත් ගෑ වෙනවද කොහේද. එයා හිනා වෙවීම උඩට යනවා. දැන් නම් නූලත් ඉවර වේගෙන එන්නේ. ඒත් තව උඩට නගින්නම තමයි සරුංගලේ හිත. ඒත් බබා නූල අල්ලාගෙන ඉන්න නිසා එයාට යන්න විදියක් නෑ. මේ බබෝ මාව අතාරින්නකෝ. මට අහසේ උඩටම ගිහින් වලාකුළු අස්සේ පා වෙවී ඉන්න ආසයි. සරුංගලේ එයාව අතාරින්න කියලා බබාට බල කරා. බබාට හරිම දුකයි. එයා වරුවක් තිස්සේ මහන්සි වෙලා හදපු සරුංගලේ නේ. ඒත් බේරෙන්න බැරිම තැන එයා සරුංගලේට උඩට යන්න නූල අත ඇරියා.


සරුංගලේ සතුටින් හිනා වෙවී ටික ටික උඩටම උඩටම ගියා. උස ගස් පහු කරා. උස ගොඩනැගිලි පහු කරා. කන්දක් පහු කරා. අන්තිමට වලාකුළුත් පහු කරා. සීතල වලාකුළු ඇඟේ ගෑවෙනකොට හරිම සනීපයි. එයා සනීපෙට උඩ ගියා. එයාට හරිම විනෝදයි මේ යන ගමන. මට හඳ මාමත් හම්බ වෙන්න පුළුවන් වෙයි. එයාට හිතුන. එයා ඔලුව දෙපැත්තට වන වනා සින්දු කිව්වා. සමහර වෙලාවට වටේට කැරකි කැරකි කරනම් ගැහුවා. පහල ඉඳන් බබා එයාට අත වනනවා එයාට පෙනුණා. ඒත් ටිකින් ටික එයා පොළොවෙන් ඈත් වෙනවත් එක්කම බබාගේ රූපෙත් තිතක් වගේ වෙලා නොපෙනී ගියා. සරුංගලේ සතුටින් උඩ යන විදිය ගොඩාක් වෙලා දුකින් බලන් හිටිය බබා අන්තිමේ හෙමින් හෙමින් ගෙදර ගියා.

ඒත් මේ සතුට සරුංගලේ ළඟ තිබුනේ ටික වෙලාවයි. හිතන්නවත් බැරි හදිස්සියකින් වගේ එක පාරටම ආපු ලොකු හුලඟකට අහු වුනු සරුංගලේ වේගෙන් උඩ පහල ගියා. එයාගේ රැළි ගැලවුණා. ඇඟ වටේට ඇඹරුනා. කොළ ඉරුණා. මේ මොකද මේ මට වෙන්නේ. සරුංගලේ හොඳටම බයෙන් ඇස් පියා ගත්තා. මේ විදියට ටික වෙලාවක් හුළඟත් එක්ක අහසේ ඔට්ටු වුන සරුංගලේ හරිම වේගෙන් පහලට ඇදිලා ආවා. ඒ ලඟම සෙල්ලම් පිට්ටනියේ තිබුණු ගහක අත්තක පැටලිලා පොළොවට කඩා නොවැටී යාන්තම් පණ බේරගෙන නැවතුනා.


වෙච්ච දේ ගැන සරුංගලේට දැන් හරිම දුකයි. ඒත් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපරාදේ මම බබාට කිව්වේ මගෙ නූල අත අරින්න කියලා. නැත්නම් මට එයත් එක්ක දිගටම ඉන්න තිබුනා. සරුංගලේ හිතුවා. මම දැන් කොහොමද බබාව හොයා ගන්නෙ. එයා හෙට සෙල්ලම් කරන්න මෙහෙට ඒවිද? බබා එන්න කලින් වෙන කෙනෙක් මාව දකීවිද? ඒ ඔක්කොටමත් කලින් වැස්සක් වැහැලා මාව දිය වෙලා යයිද ? සරුංගලේ මෙහෙම හිත හිතා බොහොම දුකෙන් ඒ වගේම බොහොම බයෙන් රෑ ගත කරා.

එදා රෑ බබාට නින්ද ගියෙත් නෑ. එයාට හීනෙනුත් සරුංගලේ පෙනුණා. ඒත් ඉතින් දැන් එයා මගේ ළඟ නැහැනේ. කමක් නෑ මං වෙන එකක් හදනවා. බබා හිත හදා ගන්න හැදුවා. ළමයි සරුංගල් අරින පැත්තට යන්න හොඳ නෑ. එතකොට ආපහු මට මගේ සරුංගලේ මතක් වෙයි. අද පිට්ටනියට යන්න ඕන බෝල ගහන්න. එහෙම හිතල බබා ඊළඟ දවසේ උදේ සෙල්ලම් පිට්ටනියට ගියා.

ටික වෙලාවක් සෙල්ලම් කරපු බබාට මහන්සි වෙලා ගහ යටට ආවා. ඇවිත් ගැහෙ හෙවන යට වාඩි වුනා. චුට්ට වෙලාවකින් එයා දැක්කේ කවුද? අනේ මෙන්න එයාගේ සරුංගලේ ගහේ එල්ලිලා එයා දිහා බලන් ඉන්නවා. පව් එයාට හොඳටම තුවාල වෙලා වගේ. මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. බබා ඉක්මනට උස අයියා කෙනෙක්ට කතා කරලා එයාව ගහට නග්ගලා එයාගෙ සරුංගල් යාළුවව බිමට ගත්තා.


අනේ මට සමාවෙන්න බබෝ. මම ආයෙ කවදාවත් ඔයාව දාල යන්න හිතන්නේ නෑ. මං දැන් දන්නවා මට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නේ බබා ළඟ ඉන්නකොට. මාත් එක්ක තරහ නෑ නේද. සරුංගලේ බබාගෙන් ඇහුවා. නෑ යාළුවේ මන් තරහා නෑ. ඉන්නකෝ මං ඔයාව තිබුනටත් වඩා ලස්සන කරලා ගන්නම්කො. බබා හිනාවෙලා කිව්වා. ඉතින් සරුංගලේට හරිම සතුටුයි.

මං තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න සරුංගලේ. බබාගෙ කරේ නැගල ගෙදර යන ගමන් සරුංගලේ හිතුවා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

2 comments:

  1. https://kadadasikole.blogspot.com/2017/05/107.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිඛිතා නැන්දේ. දිගටම කතා කියවන්න එන්න හොඳේ.

      Delete

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද