Thursday, July 25, 2019

65. සමනල ගස

එක උයනක ගහක් තිබුනා. මේ ගහ අනිත් ගස් වලට වඩා ටිකක් වෙනස්. මෙයා ටිකක් උසට මහතාට වැඩිලා හිටියට මොකද මෙයාගෙ තාම මල් පිපුනේ නෑ. මල් පිපෙන්නේ නැතුව ඉතින් ගෙඩි හැදෙන්නෙත් නැහැනෙ. හැබැයි එයාගේ අතු ලස්සන තද කොළ පාට කොළ වලින් පිරිලා තිබුනා. ඒත් ඉතින් උයනට එන පුංචි ළමයි එහෙම මේ ගහ දිහා බැලුවේ වත් නෑ. එයාල ගියේ ලස්සන මල් පොකුරු පොකුරු පිපිලා තියෙන ලස්සන මල් ගස් ගාවට. ගිහින් මල් අල්ලාගෙන, අතු අල්ලාගෙන, ගස් බදාගෙන එක එක විදියට සෙල්ලම් කළා. ළමයින්ගෙ අම්මලා තාත්තලා තමුන්ගේ ළමයි උයනේ සෙල්ලම් කරන විදිය බලල හරියට සන්තෝස වුණා. සමහර අය පින්තූරත් ගත්ත. ඒත් මේ කියන මල් නැති ගහත් එක්ක එකම එක පින්තූරයක් වත් ගන්න කවුරුත් අවේ නෑ. මේ නිසා මේ ගහ පාලුවෙන් තනියෙන් පැත්තට වෙලා හිටියා.

ඉතින් එක දවසක් උයනට ආපු එක පුංචි සමනලයෙක් මේ දුකින් වගේ ඉන්න ගහ දැක්ක. සමනලයා ටිකක් උනන්දුවෙන් බලාගෙන හිටියා. ටිකක් වෙලා බලන් ඉන්නකොට එයාට තේරුනා මේ ගහට කිසිම යාලුවෙක් නැති බව. ඇයි? එයත් එක්ක සෙල්ලම් කරන්න කවුරුත් එන්නේ නැහැ නේ. එයාගේ යාලු අනිත් සමනල්ලුත් හැමතිස්සෙම යන්නේ ලස්සන මල් තියෙන ගස් ගාවට. සමනලයට මේ ගහ පව් කියල හිතුන. එයා ඉගිලිලා ගිහින් ගහේ අත්තක් උඩ වැහුවා. ඊට පස්සේ ආදරෙන් ගහ දිහා බැලුවා. මං ඔයගේ යාලුවෙක් කරගන්න කියල කියනවා වගේ. ගහත් පුදුම වෙලා වගේ බැලුව මොකද මේ කවදාවත් නැතුව සමනලයෙක් එයාගේ අත්තක් උඩ වාඩිවෙලා එයාගේ දිහා බලන් ඉන්නේ කියල. එක්කෙනෙක්වත් කතා කරේ නැතුවට මොකද ටික වෙලාවක් යනකොට දෙන්නගේ හිත් දෙන්නට තේරුනා. දෙන්න දෙන්නත් එක්ක හිනා වුනා. විස්තර කතා කරා.

ඉතින් මේ ගහ එයාගේ දුක් කතාව සමනලයට කිව්වා. “හරි හරි යාලුවේ. මා ගාව හොඳ අදහසක් තියෙනවා. ඔයා හෙට වෙනකන් ඉවසන්නකෝ. මම මේ උයනට එන හැම කෙනෙක්ම ඔයාගෙ යාලුවෙක් කරලා දෙන විදියක් දන්නවා.” සමනලයා එයාගේ යාලු ගහේ හිත සැනසුවා. යාළුවො වුනාම එහෙම තමයි නේද වෙන්න ඕන. යාලුවෙක් ට දුකක් කරදරයක් වුනාම අපි එයාට පිහිට වෙන්න එපැයි. ඔක්කොමල එක්ක සතුටින් හිනා වෙලා ඉන්නකොටනේ මේ ලෝකේ ලස්සන. “එහෙනම් යාලුවේ මම ගිහින් එන්නම්...ඔයා පරිස්සමින් ඉන්න ඕන හොඳේ”. මෙහෙම කියල සමනලයා යන්න ලැස්ති වුනා. ගහට හරිම සතුටුයි. ඒ වගේම හෙට දවස වෙනකන් ඉවසිල්ලක් නෑ. එයා හරිම ආදරෙන් එයාගේ යාලුවට සමු දුන්නා.

ඉතින් ඔන්න දිගම දිග රැයකට පස්සේ මේ යාළුවො දෙන්නාම ආසාවෙන් බලාගෙන හිටිය දවස උදා වුනා. හප්පේ එදා උදේ ගහේ තිබුණු සිරියාව. පිණි වැස්සේ හිතේ හැටියට නෑවිලා කොළ වෙනදාටත් වඩා කොළ පාටට දිලිසුනා. ලස්සන සිංදුවකට නටන්න වගේ අතු ඉති එහාට මෙහාට නැලවුනා. මේ සතුට දෙගුණ තෙගුණ කරමින් එයා ඈතින් එනවා දැක්කේ කවුද දන්නවද? එයාගේ යාලු සමනලයා. සමනලයත් එක්ක ලොකු හිනාවත් දාන්න ඒ පැත්ත බැලුව විතරි ගහට ඇස් අදහාගන්නත් බැරි වුනා. සමනලයාගේ පිටිපස්සෙන් සමනල්ලු සේනාවක්ම එනවා පෙරහැර වගේ. ඒ ගොල්ලෝ හිනා වීගෙනම ඇවිල්ල ගහේ අතු වල වැහුව. දැන් ගහේ සමනල්ලු පිරිලා. කොළ පේන්නෙත් නෑ සමනල්ලුගෙන් වැහිලා එක සමනල ගහක් වෙලා. කොච්චර ලස්සන දෙයක්ද ?


මේ පුදුමය දැක්ක උයනට ඇවිල්ල හිටිය පුංචි ළමයි, එයාලගේ අම්මල තාත්තල, කුරුල්ලෝ මේ කවුරුත් ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව ගහ දිහාම බලාගෙන ඉන්නවා. අනේ කොච්චර ලස්සනද අර සමනල් ගහ? එයාල ඔක්කොම කතා වෙනවා. ඉන් පස්සේ කට්ටියම ඇවිල්ලා මේ සමනල් ගහ වට කරගත්තා. ගහට ආදරේ කරන්න පටන් ගත්තා. ගහ වටේ අත් අල්ලන් සින්දු කිය කියා නට නටා යන්න පටන් ගත්ත. එදා තමයි ගහ එයාගේ ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටිය දවස. පින්තුර ගැනිලි, බදා ගැනිලි, පුරසාරම්, වර්ණනා කෙළවරක් නෑ. යාළුවො එනවා එනවා එනවා කෙලවරකුත් නෑ. “අනේ සමනල් යාලුවේ ඔයාට බොහොම ස්තුතියි පාලුවෙන් හිටිය මා ගාවට මේ යාලුවන්ව ගෙන්නලා දුන්නට. ගොඩාක් පින් ඔයාට.” ගහ එයාගේ යාලු සනමලයාගේ කනට කොඳුරලා කිව්වා.


එදා ඉඳල හැමදාමත් උයනේ මල් ලඟට යන ගමන්ම සමනල්ලු මේ ගහටත් ආව. ඇවිල්ල අතු වල වාඩි වෙලා ටික වෙලාවක් ගහත් එක්ක කතා කර කර හිටිය. ඉතින් උයනට එන අනිත් හැමෝමත් මේ ලස්සන සමනල් ගහ ලඟට එන්න, එකේ ඉන්න සමනල්ලුන්ගේ ලස්සන බලන්න, කොළ ඉති අතගාලා ආදරේ කරන්න, පින්තූර ගන්න අමතක කරේ නෑ. ඉතින් ගහ එයාගේ මුල්ම යාළුවා වෙච්ච පුංචි සමනලයයි, අලුත් යාලුවොයි එක්ක හරිම සතුටින් උයනේ ගොඩ කාලයක් ජීවත් වුනා. (පින්තූර අන්තර්ජාලයෙනි)

3 comments:

  1. මේක නම් නියමයි!

    මේ කියන්නේ ඔය අර ලියපු කවියේ ඉන්න ගහ ගැන නේද මේ ?????

    මේකේ අන්තිම කොටසට මම මෙහෙම එකතු කරන්නම්.

    සමනල්ලු පිරිලා ඉටපු ගා දිහා මෙච්චර වෙලා ළඟ තිබ්බ මල් වැල දැන් සෑහෙන වෙලාවක් තිස්සේ හොරැහින් බලමින් හිටියේ. සමනල්ලු චුට්ටක් එහාට මෙහාට වෙනකල් ඉඳලා ඒ වැල ඉතින් චුට්ට චුට්ට ලංවෙලා , එකපාරටම ගහ බදාගත්තා. ගහට හිතාගන්නත් බැරුව ගියා. එතකොටම තමයි දැක්කේ වැලේ තිබ්බ මල් පොකුර.

    "ඔයාට මල් නැතුවට කමක් නැහැ.. මගේ ගාව තියෙනවා මල්!"

    එහෙම කියලා මල්වැල ලස්සනට හිනා උනා.

    ReplyDelete
    Replies
    1. ෂා.. නියමයි ලිඛිතා. මේ අවසානය හරිම ලස්සනයි. මේ අනේ ඔයාට බැරිද අපේ ගෙදර ඇවිත් නවතින්න.

      Delete
    2. ආ අමතක වුනානෙ උත්තර දෙන්න. අර කවියේත් තියෙන්නේ මේ ගහම තමයි.

      Delete

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද