Friday, August 9, 2019

69. ඇඹුල් පේර ගස

සුද්දි කියන්නෙ පුංචි ගෑණු ළමයෙක්. එයා හරි සුදුයි. ඉතින් එයාගෙ අම්මයි තාත්තයි එයා පුංචිම කාලෙ එයාට ආදරේට කිව්වේ සුදු දෝණි කියලා. ටිකක් කල් ඔහොම කියනකොට මේ දිග නම කොට වෙලා සුදු දෝණි කියන එක සුදුනි වුණා. පස්සේ පස්සේ එකත් වෙනස් වෙලා තමයි සුදුනි කියන එක සුද්දි උනේ. දැන් නම් හරිම ලේසියි. ගෙදර අය විතරක් නෙමේ යාලුවො, අහල පහල අය වගේම දන්නා කියන ඔක්කොමලම සුද්දි කියල තමයි එයාට කතා කරන්නෙ.

සුද්දිගෙ ගෙදර මිදුලෙ ටිකක් ඈතට වෙන්න ඇඹුල් පේර ගහක් තිබුණා. ඒ ගහ හරි ලොකුයි. පහල ඉඳලම අතු බෙදිලා තිබුණු නිසා ලෙසිලෙන්ම නගින්න පුළුවන්. සුද්දි මේ ගහට නගින්න පටන් ගත්තේ එයාට ඇවිදින්න පුළුවන් උන දවස්වලමයි. පොඩි කාලෙ මිදුලට බැස්ස ගමන් විසි වෙවී ගහ ගාවට යන සුද්දි කොහොමහරි අතු වල එල්ලිලා බඩගාගෙන මේ ගහට නැග ගන්නවා. හරියට වඳුරු පැටියෙක් වගේ. ඊට පස්සේ ඉතින් ගහෙන් බිම බස්සවනවා හෙම බොරු. සමහර වෙලාවට උදේ වරුවම ගහේ. අනේ බහින්නකො පැටියො...බැස්සොත් මං ඔයාට තාත්තට කියල ලස්සන වළලු කැරැල්ලක් ගෙනත් දෙනවා...නැත්නම් ලස්සන බෝනික්කෙක්, රෝස පාට තොප්පියක්, ඉන ගාවට දිග මුතු ඇට මාලයක්, ලොලිපොප්, චොක්ලට්, මල් බිස්කට්, මේ වගේ සුද්දී ආස නොයෙක් ජාතියේ දේවල් ගැන කියා කියා කොයිතරම් කන්නලව් කරත් සුද්දී නෙමේ ගහෙන් බිමට බහින්නෙ. අන්තිමේදි අම්මට කවන්න වෙන්නෙත් සුද්දි ගහේ නැගලා ඉන්නකොට.


ඉතින් සමහර වෙලාවට සුද්දිගේ තාත්තට මේ ගැන හරියට තරහා යනවා. තවත් ඕකට නැග්ගොත් එහෙම මං ඔය ගහ මුලින්ම කපලා දානවා. ඔන්න ආපහු මං කියන්නේ නෑ. සමහර වෙලාවට සුද්දිගේ තාත්තා හොඳටම සැර කරනවා. වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ළමයා ගහෙන් වැටිලා අනතුරක් කරගනී කියන බයට. ඒත් බනින වෙලාවට පූස් පැටියෙක් වගේ අම්මගේ ඇඟ අස්සේ ගුලිවෙන සුද්දිට ඊළඟ දවසේ බැනිල්ල අමතකයි. උදේ පාන්දර ගහේ. ගහත් ඉතින් සුද්දි එනකන් බලන් හිටිය වගේ නැලවේවී ඉන්නෙ හරිම සතුටින්.

ඔන්න එක දවසක් නම් තාත්තට වෙනදට වඩා ගොඩාක් තරහ ගියා. එදා උදේම සුද්දි ගහේ නැගල තියෙන්නෙ හරියට ඇඳුමක් වත් අඳින්නේ නැතුව. අවදි වුන ගමන් ජංගි කොටේ පිටින්. එදා තාත්තගෙ ඉස්කෝලේ කාලේ යාලුවෙකුත් ඇවිල්ල. ගහෙන් බහින්න කියල කොච්චර කතා කරත් සුද්දි බැස්සේ නෑ. තාත්තට හරිම ලැජ්ජයි. දුකයි. තරහයි. යාළුවා ගියා විතරයි සුද්දිව අල්ලගත්ත තාත්තා කතා කරේ හරිම කේන්තියෙන්. “මෙච්චර දවසක් මම කිව්වා විතරයි. ඒත් අද මම කරලම පෙන්නනවා. අද මේ ගහේ අන්තිම දවස. මේක මම අදම කපල ලිපේ දානවා. නැතුව මේ ළමයා හදන්න බෑ. අද දැනගන්න පුළුවන් මේ තාත්තගෙ තරම.” එදා නම් කරපු වැඩේ වැරදි නිසා සුද්දි වෙනුවෙන් කතා කරලා සුද්දිව බේර ගන්න අම්මවත් ආවේ නෑ.

තාත්තගෙ නපුරු මූණ දැක්ක සුද්දී එදා නම් ඇත්තටම බය වුණා. එයා ඇඳට පැනලා කොට්ටෙකින් මුණ වහගෙන හැංගුනා. තාත්ත ඇත්තටම මගේ පේර ගහ කපල දාවිද දන්නේ නෑ. අනේ එහෙම උනොත් මගේ ගහ අඬයි. මං කොහොමද එයාව බේර ගන්නෙ. අනේ මගේ හොඳම යාළුවා. මට ඒ ගහ නැතුව ඉන්න බෑ. කෝට්ටේ අස්සේ මූණ ඔබාගෙන සුද්දී දුකෙන් කල්පනා කළා. අන්තිමේ දන්නෙම නැතුව ඇස් වලින් කඳුළු පේලියක් ආව. එයාට ඇඬුනා. අඬ අඬාම නින්දකට වැටුණා.


සුද්දි අවදි වෙද්දී හොඳටම හවස් වෙලා. ඒ වෙද්දී අම්මවත් තාත්තවත් පේන්න හිටියේ නෑ. සුද්දී හිමීට ඇඳෙන් බිමට බැස්සා. අවදි වුනාට මොකද මිදුල දිහා බලන්නවත් මිදුලට යන්නවත් සුද්දිට බයයි. කොටින්ම එයාට මිදුල දිහා බලන් ඇස් අරින්නත් බයයි. ඒත් අන්තිමේ එයා හිත තද කරගෙන හිමින් හිමින් මිදුල දිහාවට ඇවිදන් ගියා ඇස් බාගෙට පියාගෙනම. පේර ගහ තිබ්බ ඉසව්වට කිට්ටු කරා. අනේ මට ඇස් අරින්න බයයි. මගේ පේර ගහ කපල තිබුනොත් එහෙම. අනේ එහෙම වෙන්න එපා. මම ඇස් අරිද්දි මගෙ පේර ගහ මෙතන තියෙන්න ඕන. අනේ මීට පස්සේ මම අම්මයි තාත්තයි කියන දේ අහනවා. හොඳ ළමයෙක් වෙනවා. මේ ඇත්තමයි. සුද්දි ඇස් පියාගෙන එයාටම කියා ගත්තා. ඊට පස්සේ හිතට හයිය අරගෙන ලොකුවට හුස්මක් අරගෙන...බයෙන් බයෙන් ඇස් ඇරියා.

ඇස් ඇරපු ගමන් දැක්ක දෙයින් එයා අහසට නැගලා සුරංගනා ලෝකෙටම පාවෙලා ගියා. අනේ මේක හීනයක් ද? තටු ඇවිල්ල ඉගිල්ලෙන්න ඉන්න කිරිල්ලියෙක් වගේ එයා උඩ පැන්නේ. සතුට ඉහ වහා ගිහින්. එයා පේර ගහ බදාගෙන ගොඩක් වෙලා හිටියා. හාදු ගොඩකුත් දුන්නා. සුද්දි නිදි අතරේ තාත්ත පේර ගහේ බැඳලා තිබුනේ මොකක්ද?

ඔන්චිලාවක්.

ඔව් ඔන්චිල්ලාවක්.

ඉතින් සුද්දිගේ සතුට අප්‍රමාණයි. තාත්තා ගැන හිතට ආපු ආදරේ ඊටත් වඩා වැඩියි. එයාට හිතා ගන්නත් බැරි වුනා. ගේ ඇතුලේ ඉඳන් මේ ඔක්කොම බලාගෙන හිටිය තාත්තා සුද්දී ලඟට ඇවිල්ල සුද්දිව වඩා ගත්තේ හරිම ආදරෙන්. “මගේ දඟ කෙල්ල. අද ඉඳලා වැදගත් විදියට ඔන්චිල්ලා පදිනවා මිසක් ජංගි කොටේ පිටින් ගස් බඩ ගාන්න ඔට්ටු නෑ ඔන්න හොඳේ.” තාත්තා සුද්දිගෙ ඔළුව අත ගාන ගමන් ආදරෙන් කිව්වා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

4 comments:

  1. සැපදිල්ලා ගැහෙ බැඳලා තිබ්බ ඔන්චිල්ලාව, දිමියෝ කකා හොරෙන් නැගපු කරාඹු ගහ!

    අපිට හිටියේ නෑනේ ඔය වගේ සපෝට් එකට! උන්නෙම බාල්දි කාරයෝ... සුද්දී නම් හැබෑම වාසනාවන්තයි

    (එහෙමයි කියල අපි අතාරියාද? හුහ්.. පිස්සුද මෙයා!)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ලිඛිතා නැන්දේ. අනේ ආපහු මට පොඩි එකියක් වෙන්න හිතෙනවා මේවා අහනකොට.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියයි! ඊට පස්සේ බබාගේ අම්මට හෙම අහු උනොත් කකුල් කඩයි මේකිත් එක්ක ආශ්‍රය කරන්ට එපාය කියල.. හි හි හි

      දැන් උනත් බැරිය ඉතින් ළමයින්ගේ ගිණුමෙන් එහෙම ඔන්චිල්ල දෙක තුනක් හදවගන්න! ඇයි සරුංගල්? ගහට නග්ගවලා උන්ව බිමට බස්සවගන්න කියල, බැරිද අම්මටත් ගස් නගින්න? ( අයිඩියා නම් ඉතින් ඕනේ තරම්! ගොඩක් සීයයි)

      Delete
    2. ළමයාගේ ගිණුමට දාලා කරපු නසරානි වැඩ දෙක තුනක් අතේ මාට්ටු වෙලා පොඩි විරාමයක් අරන් තියෙන්නේ දැන්. මට පෙන්නේ ලිඛිතා නැන්දත් එහෙම ගොඩ ගිය කෙනෙක් වගේ.

      Delete

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද