ඉබි හාමිගෙ ගෙදර තියෙන්නෙ පිට උඩනෙ. ඉතින් ඉබි හාමි යන යන තැනට ගේත් අරගෙන තමයි යන්න වෙන්නෙ. ගෙයක් පිටේ අරන් යන නිසා ඉබි හාමිට ඉක්මනට ගමන් බිමන් යන්න බෑ. ඇයි ඉතින් ගෙදර හරිම බරයිනෙ. මේක ඉබි හාමිට හරිම හිතට කරදරයක්. යාලුවොත් වෙලාවකට ඉබි හාමිට හිනා වෙනවා. ඇයි වදේ. මෙච්චර මේ ලෝකේ සත්තු ඉන්න රටේ ඉබි හාමි විතරක් ගෙයක් පිටේ තියන්. මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ.ම්ම්ම්...ඉබි හාමි කල්පනා කළා.
ඔන්න ටික වෙලාවකින් ඉබි හාමිට අපූරු අදහසක් කල්පනාවට ආවා. මම මේ ගෙදර කැලෑ ගමේ කඩේට විකුන්නන්න ඕන. ඉබි හාමි හිතුවා. ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ. ඉබි හාමි ඉක්මනට ඉක්මනට කැලෑ ගමේ කඩේට ගියා එයාගේ ගෙදර විකුනන්න. ගිහින් ආපු කාරණේ වලස් මුදලාලිට කිව්වා.
ආ..හරි හරි ඉබි හාමි. ඉබි හාමි කියනවනම් මම ඉබි හාමිගේ ගෙදර අරගෙන ඉබි හාමිට හොඳ ගානක් දෙන්නම්. මේක අහපු ඉබි හාමිට හරිම සතුටුයි . ඉබි හාමි එක පයින් කැමති උනා ගේ විකුනන්න. ඉතින් වලස් මුදලාලි ඉබි හාමිගේ ගේ අරගෙන ඉබි හාමිට කාසි ගොඩාක් දුන්න.
දැන් ඉබි හාමිගේ හිත හරිම නිදහස්. ඉබි හාමි දැන් වෙඩිල්ල වගේ. ඉක්මනට ගමන් බිමන් යනවා. ඉක්මනට දුවලා පැනලා වැඩ කරනවා. අනිත් යාලුවොත් එක්ක හරි හරියට සෙල්ලම. පිට උඩ ගේ නැති නිසා යාළුවො විහිලු කරන්නෙත් නෑ. ඉතින් ඉබි හාමි හැරිම සතුටින් දවස් ගෙව්වා.
මෙහෙන ඉන්නගමන් ඉබි හාමි දවසක් ගමනක් ගියා. කැලේ මැදින් මහා දුර ගමනක් තමයි යන්න තිබුනේ. අපොයි එක පාරටම කැලේ මැදදී ලොකු වැස්සක් කඩාගෙන වැටුනා. හදිස්සියේ වැස්ස නිසා දුවගෙන ගිහින් බේරෙන්න තැනකුත් නෑ. ඉබි හාමි ලොකු ගහකට මුවා වුනා. ඒත් ඉබි හාමි හොඳටම තෙමුනා. අනේ මගේ ගෙදර තිබුන නම් මට මෙහෙම වෙන්නේ නැහැනේ. ඉබි හාමිට ගෙදර මතක් වුනා. දුක හිතුනා.
ඔහොම ටික කලක් යනකොට කැලේට ලොකු නියඟයක් ආව. හරිම තද පෑවිල්ලක්. ඉර එලිය හරිම රස්නෙයි. එලියට බැහැල ඇවිදින්න හරිම අමාරුයි. පිට පිච්චෙනවා. ඉබි හාමිට කෑමක් වත් හොයාගණන් යන්න විදියක් නෑ රස්නේ නිසා. අව්ව වැටිලා හැම පිච්චිලා ගිහින් ඉබි හාමිගෙ පිට රිදෙන්නත් පටන් අරන්ගෙන දැන්. අනේ ඉබි හාමිට ආපහු ගෙදර මතක් වුනා. මගේ අපූරු ගේ පොඩ්ඩ. ඒක තිබ්බනම් මට මෙහෙම දුක් විඳින්න්න වෙන්නෙ නැහැනේ. ඉබි හාමි දුකින් කල්පනා කළා. තමුන් හදිස්සි වෙලා ගේ විකුණුවේ අපරාදේ කියල හිතුන.
මේ සිද්දියෙන් පස්සේ ඉබි හාමිට නිතර නිතර එයාගේ ලස්සන ගේ පොඩ්ඩ මතක් වෙන්න පටන් ගත්ත. වැඩි වැඩියෙන් ගෙදර අගේ තේරෙන්න පටන් ගත්ත. අනේ මගේ ගෙදර. ඉබි හාමි දුකින් කල්පනා කළා. මට මෙච්චර කල් නොතේරුනාට මොකද ගේ පිට උඩ තියෙන එක මට මොනතරක් වාසියක්ද. අපරද්දේ මම යාලුවන්ගේ විහිළුවලට රැවටිලා මගේ ගෙදර නැති කරගත්ත. මම හරිම මෝඩයෙක්. මම ඉක්මනටම ආපහු ගිහින් මගේ ගෙදර අරන් එන්න ඕන. ඉබි හාමි අන්තිමට එයා විකුනපු ගේ ආපහු වලස් මුදලාලිගෙන් කාසි ගොඩක් දීල අරගත්තා.
දැන් ඉබි හාමි කාටවත්ම බය නෑ. ඉබි හාමි දැන් එයාගේ ගේ පොඩ්ඩ හරිම ආදරෙන් බලාගන්නවා. එක එක විදියෙ හද වැඩ දාල ගෙදර ලස්සන කරනවා. ගෙදරත් පිට උඩ තියාගෙන ඉබි හාමි ගමන් බිමන් යන්නෙ හරිම ආඩම්බරෙන්. එයා දන්නවා එයාගෙ පුංචි ගෙදර එයාට කොච්චර වටිනවද කියලා. වෙන කාටවත්ම නැති එයාට විතරක්ම තියෙන මේ අපූරු ගේ පොඩ්ඩ ඉබි හාමිට උපතින්ම ලැබුණු තෑග්ගක්. අපි ඒ වගේ දේවල් නැති කරගන්න හොඳ නෑ. ආදරෙන් බලාගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන. සොබාදහම තරම් අපිට ආදරේ කරන වෙන කවුරුවත් නෑ. ඉබි හාමිට දැන් හොඳට තේරෙනවා. ඒ හින්ද ඉබි හාමි හරිම සතුටින්, හරිම විනෝදෙන්, එයාගෙ ගේ පොඩ්ඩත් එක්ක ගොඩාක් කල් ඒ කැලේ ජීවත් වුනා.
© සිත්තර පැංචි
ඉබිහාමිට හම්බෙලා නැද්ද අර ගොළුබෙලිහාමි? එයත් ඔය යසට ගෙයක් එක්ක ගමන් යන්නේ??
ReplyDeleteඒ කොහොම උනත් ආපහේ ගේ ගත්ත එක හොඳයි.. වල් ඌරො ටික කැකුණ තලන්න එහෙම සල්ලි වලට කඩෙන් ගෙනියලා තිබ්බනම් තමයි වැඩේ වෙන්නේ...
බොහොම ස්තුතියි ලිඛිතා.
Deleteමටත් මතක් වුනා ගොළුබෙලි හාමි. ඒත් දැන් ඕක වෙනස් කරොත් අපේ පොඩි උත්තමාවිය මාත් එක්ක ගෝරි දායි. මොකද එයාට කියල තියෙන්නේ ඔය ලියපු විදියට. මම බලන්නම්කෝ ගොළුබෙලි හාමිවත් මේකට පටලගන්න හොඳ විදියක්.