Sunday, August 28, 2022

106. ලස්සන වැස්ස












එකමත් එක රටක ලොකු ගංගාවක් තිබුණා. ගඟ ළඟ අවට පරිසරය හරි ලස්සනයි. ගඟේ ඉවුර දෙපැත්තේම එක එක ජාතියේ ගස් වැවිලා ලස්සනට මල් පිපිලා තිබුණා. මේ අතරින් ගංගාව ළඟම තිබුන එක පුංචි මල් ගහක් ගංගාව එක්ක ගොඩක් යාළුයි. එයා විටින් විට ගංගාව එක්ක කතා කරනවා. දුක සැප අහනවා. විස්තර බෙදා හදා ගන්නවා. දෙන්නා හොඳ යාලුවෝ. 

ගංගාව එහා පැත්තේ වනන්තරේ පදිංචි වෙලා හිටිය අලි පැංචා හැමදාම ගංගාවට වතුර බොන්න එනවා. අලි පැංචා වතුර බොන්න ආවාම ඉතින් වතුර ටිකක් විතරක් බීලා නිකන්ම යන්නෙ නැහැනෙ. එයා වතුරේ සෙල්ලං කරනවා. හොඩේට වතුර අරගෙන ඔලුවට උඩින් වටේටම වතුර ඉහිනවා. ඊට පස්සේ ගොඩක් වෙලා නා ගන්නවා. ඉතින් අලි පැංචාත් එක්කම වටේ පිටේ තියෙන ගස් කොළන් ඔක්කොමත් නානවා. එහෙම හිතේ හැටියට ජල ක්‍රීඩා කරලා ඉවර වෙලා තමයි අලි පැංචා ආපහු යන්නෙ.

දවසක් ඔන්න ගංගාව එයාගෙ යාලු මල් ගහ එක්ක කතා කර කර හිටියා. "මේ පායන කාලෙ හරිම රස්නෙයි නේද? මගේ ළඟ වතුරත් දැන් අඩු වේගෙන යන්නෙ. ගොඩක් කාලෙකින් වැස්සෙ නැහැනෙ. අද හෙට ලොකු වැස්සක් වැස්සොත් හොඳයි. මම නම් වැස්සක් වැටෙනකන් මග බලාගෙන ඉන්නෙ. " ගංගාව මල් ගහට කිව්වා. මල් ගහට පුදුමයි. "ඔයා මොනවද මේ කියන්නෙ. මේ වහින්නෙ හැමදාම. මම හොඳටම තෙමෙනවනේ. ඊයෙත් වැස්සා ලොකු වැස්සක් වැස්සා මතක නැද්ද? " මල් ගහ ගංගාවට පිළිතුරු දුන්නා.

මේ මොනවද මෙයා මේ කියන්නේ. ගංගාව පොඩ්ඩක් වෙලා කල්පනා කළා. කාරණාව තේරුණා. ගංගාව හයියෙන් බඩ හොලව හොලවා හිනා වුණා. "ඔය වැස්ස වහින්නේ ඔයාට විතරයි. අපිට නෑ. අද වහින වෙලාවට එහෙනම් ඔයා හොඳට ඇස් ඇරලා බලන් ඉන්නකො. වැස්ස වහින්නේ කොහොමද කියලා එතකොට  ඔයාටත් තේරෙයි " හිනාවෙලා ඉවර වෙලා ගංගාව මල් ගහට කිව්වා. ඒ මොකටද කියලා ඇත්තටම තේරුණේ නැති වුණත් මල් ගහ හා කියලා ඔළුව වැනුවා.

ඔන්න වෙනදා වෙලාවටම අලි පැංචා වතුර බොන්න ආවා. ටික වෙලාවක් ගත වුණා. ඒත් එක්කම පුදුමෙකට වගේ මල් ගහට වහිනවා. තෙමි තෙමීම මල් ගහ අමාරුවෙන් ඇස් ඇරලා හොඳට අවට බැලුවා. ගංගාව කියපු දේ ඇත්ත තමයි. මේ වැස්ස වහින්නේ මගේ වටේට විතරයි නේ. තව ටිකක් හොඳට ඇස් ඇරපු මල් ගහ උඩ බැලුවා. මුලින් එයා දැක්කේ විසාල කළු පාට ගලක්. ඊට පස්සේ ලොකු කළු ගල ලොකු අතක් උඩට උස්සලා එයාගේ වටේට වතුර ඉහිනවා මල් ගහ දැක්කා. ඒ වතුරෙන් තමයි මල් ගහට වහැලා මල් ගහ තෙමෙන්නෙ. මල් ගහ තව ටිකක් කල්පනා කළා. "ආ මේ අලි පැංචා නේ මට වැස්ස අරන් ඇවිල්ලා තියෙන්නෙ." මල් ගහ ගංගාවට ඇහෙන්නම හයියෙන් හිනා වෙලා කිව්වා. "දැන් තේරුණා නේද? ඔයාට විතරක් වහින්නේ කොහොමද කියලා." ගංගාවත් හයියෙන් හිනා වෙලා කිව්වා. 

අලි පැංචාට ගොඩක් සතුටුයි. අහසට වගේ ලෝකෙටම වැස්ස දෙන්න බැරි වුනාට මේ මල් ගහ වගේ කීප  දෙනෙකුට හරි වැස්සක් වස්සන්න එයාට පුළුවන් වුනානෙ. ගංගාවටත් සතුටුයි. වහින වැස්ස එකතු කරගෙන ඉඳලා අලි පැංචාටයි අනිත් සත්තු ඔක්කොටෝමයි  වතුර දෙන්නෙ එයානෙ. මල් ගහටත් සතුටුයි. ඇයි එයා දැනගත්තානෙ එයාට හැමදාම මෙහෙම වැස්සක් වහින්නෙ කොහොමද කියලා. ඉතින් අපිටත් සතුටුයි. ලස්සන කතන්දරයක් ඇහුවානෙ. එහෙම නේද යාළුවනේ? 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්