Friday, August 26, 2022

105. අපූරු ගණුදෙනු










වත්ත පහල කජු ගහ එයාගෙ අතුවල ඉදුණු පුහුලන් පුරවගෙන හිනාවෙනවා. බලන්න ලස්සනයි. කහ පාට, රෝස පාට, රතු පාට, තැඹිලි පාට ලස්සන ලස්සන පාටවල් වලින් බල්බ් එල්ලලා වගේ. කජු ගහ ළඟින් අපූරු මිහිරි සුවඳකුත් එනවා. පුහුලමක් නොකා එතැනින් යන්න හිතෙන්නෙත් නෑ. කජු ගහ දැක්කත් ඇති හැමෝගෙම හිත පිරෙනවා. සුවඳ පුරවාගෙන, පාට පුරවාගෙන, රස පුරවාගෙන කජු ගහ මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්. 

හැබැයි මේ දවස්වල කජු ගහ වගේම සතුටින් ඉන්න තව කෙනෙක් ඉන්නවා. එයා එන්නෙ රෑට. දවල්ට එයා ගහක අත්තක එල්ලිලා හොඳටම නිදි. අවදි වෙන්නෙ රෑට. එහෙම අවදි වෙලා කජු පුහුළන් සුවඳ ඉව කර කර හනි හනික පියාඹලා කජු ගහට එනවා.දන්නවද  ඒ කවුද කියලා. ඒ තමයි වවුල් බබා.

වවුල් බබා හැමදාම රෑට කජු ගහට එනවා. ඉදුණු රසම රස කජු පුහුළන් කනවා. බඩ පිරුණාම ක්රීස් ක්රීස් කියලා සිංදුවකුත් කියනවා. කජු ගහ එයා එනකන් හැමදාම ඉන්නෙ  අවදියෙන්. කජු ගහ වවුල් බබාට රසම රස කජු පුහුලන් දීලා, රස කර කර එයා ඒවා හපා කාලා කජු ඇටත් එක්ක හපේ බිමට දාන හැටි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වවුල් බබාගෙ සිංදුත් ඉවර වුණාම තමයි කජු ගහ නිදාගන්නෙ. 

දවසක් ඔන්න ඔහොම කජු පුහුළන් කාලා ආපහු යන වවුල් බබාට කජු ගහ ගැන ලොකු දුකක් ඇති වුණා. "මට හැමදාම කජු පුහුලන් මහ ගොඩක් දීලා මගේ බඩ පුරවන කජු ගහ හරි හොඳයි. එයා මට පුහුලන් දුන්නට මම එයාට මොකුත් දෙන්නෙ නැහැනෙ. එයා පවු. හෙට ගියාම කජු ගහෙන් අහන්න ඕන එයාට මගෙනුත් මොනවා හරි ඕනද කියලා. මගෙනුත් මොකක් හරි තෑග්ගක්, එහෙමත් නැත්නම් මොකක්හරි උදව්වක් එයාට ඕනද දන්නෙ නෑ. අපි කාගෙන් හරි උපකාරයක් ගන්නවා නම් එකට හරි යන්න අපිත් ප්‍රති උපකාරයක් කරන්න එපැයි. එහෙමනෙ අම්මත් කියල දීල තියෙන්නෙ " යන ගමන් වවුල් බබා තනියෙන් කල්පනා කර කර ගියා. 

ඊළඟ දවසේ රෑ ඔන්න ආපහු වවුල් බබා ආවා. කජු ගහ එයාව ආදරෙන් පිලි අරගෙන කජු පුහුලන් ගොඩාරියක් දුන්නා. වවුල් බබා ඒවා කන ගමන් එයා හිතපු අර කාරණාව ගැන කජු ගහ එක්ක කතා කරා. කජු ගහට හරි සතුටුයි. ඇයි ඉතින් කවුරුහරි අපි ගැන හොයල බලනකොට, ආදරේ කරනකොට අපිට සතුටුයි නෙ. ටිකක් වෙලා කල්පනා කරපු කජු ගහ වවුල් බබාට මෙහෙම කිව්වා.

"මම ඔයාට උදව් කරනවා වගේ ඔයාටත් පුළුවන් තමයි මටත් උදව්වක් ලේසියෙන්ම කරන්න. ඔයාට තියෙන්නේ ඔයා හප කරලා බිමට දාන කජු පුහුලන් හපවලින් ටිකක්  යනගමන් මග දිගේ හලාගෙන යන්න. මොකද කියන්නෙ? පුලුවන්ද වවුල් බබෝ? " කජු ගහ ඇහුවා. වවුල් බබාට සතුටුයි. හැබැයි ටිකක් පුදුමයිත් වගේ. "අපෝ මොකද මට බැරි. ඕක මට සුළු දෙයක්නෙ. ඒත් කොහොමද ඒකෙන් ඔයාට උදව්වක් වෙන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ.? " වවුල් බබා ආ පිට කජු ගහට උත්තර දුන්නා. 

"මෙහෙමනෙ වවුල් බබෝ. ඔයා ඒවා මග දිගේ හලාගෙන ගියාම ටික කාලෙකින් ඒවායේ තියෙන කජු ඇට ඉබේටම පොළොවේ පැලවෙනවා. එතකොට මං වගේ තව පොඩි පොඩි කජු ගස් ගොඩක් ඒවායින් හැදේවි. ඒවා හැදිලා ලොකු වෙලා ඒවයෙත් මේ වගේ පුහුලන් ඒවි. දැන් ඔයා ඔක්කොම හප ටික ගහ මුලම දානවනෙ. එතකොට උදේට මේ ගෙදර පුංචි නංගි ඇවිත් ඒවා ඔක්කොම එකතු කරගන්නවා. එතකොට අලුත්ඒ පැල හැදෙන්නෙ නැහැනෙ. ඒ නැතත් මගේ මේ හෙවන ගහ යට තව කජු ගස් වලට හැදෙන්න ඉඩ මදිනෙ. ඒක හින්දා ඔයා යන ගමන් ඈතට ඈතට මග දිගට ඒවා හලාගෙන යන එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. දන්නවද ඒක මට විතරක් නෙමෙයි. අපි හැමෝටම කරන ලොකු උදව්වක්." කජු ගහ වවුල් බබාට කියා දුන්නා. 

වවුල් බබාට කාරණාව තේරුණා. එයා කන කජු පුහුලන් වලට හරියන්න කජු ගහටත් උදව්වක් කරන්න ලැබෙන හන්දා වවුල් බබාට ගොඩක් සතුටු හිතුණා. ඒක හරි අපූරු ගණුදෙනුවක් බව එයාට වැටහුණා. එයා ඒ ගැන එයාගෙ යාළුවන්ටත් කිව්වා. දැන් හරි අපුරුවට වවුල් බබාලා හැමෝම කජු ගස් එක්ක ගණුදෙනු කරනවා. කජු ගහෙන් පටන් ගත්ත මේ ගණුදෙනුව ටික ටික අනිත් පලතුරු ගස් එක්කත් කරන්න වවුල් බබාලාට වැඩි කාලයක් ගත වුණේ නැහැ. අඹ ගස්, රඹුටන් ගස්, පේර ගස්,  කාමරංකා ගස්, වැල වරකා ගස්, මේ හැමෝම එක්ක ගණුදෙනු කරන්න එයාලා දැන් දන්නවා.

දැක්කා නේද පුංචි යාළුවනේ. මේ වගේ හරි ලස්සන අපූරු ගනුදෙණු එකිනෙකා අතරේ තියෙනකොට අපි හැමෝම දිනුම් නේද?


5 comments:

  1. Replies
    1. ටැංකිව් නවීන් මාමෙ.

      Delete
    2. එච්චර ඉක්මනට මාව වයසට යැව්වද පූ😂?

      Delete
    3. හරි හරි මීට පස්සේ අයියෙ කියන්නම්කො. 😂

      Delete
    4. අයියෙ කියන්නත් මං පූට වඩා වැඩිමල් වෙන්න එපැයි. මට තම 19යි කොහොම හරි😅

      Delete

අලුත් සිතුවම්

136. සූකිරි දත්