Thursday, August 25, 2022

104. කළු කපුටියි සුදු කිකිළියි

සුදු කිකිළි හිටියෙ අඹගහ යට. කළු කපුටි හිටියෙ අඹගහ උඩ. කළු කපුටි කපුටු කාක් කාක් කියනකොට සුදු කිකිළි කෙකර පේක් පේක් කියනවා. හැබැයි ඉතින් ඒ තරහට එහෙම නෙවෙයි. එහෙම කියන්නෙ යාලු කමට.එකම අඹගහ බෙදාගෙන අඹ ගහේ උඩයි යටයි කූඩු හදාගෙන ජීවත් වුන මේ දෙන්නා හොඳ යාළුවො. ටික දවසක් යද්දි මේ දෙන්නා බිත්තර දෙකක් දැම්මා. බිත්තර දෙකම එක වගේ. සුදු පාටයි. වටකුරුයි. ලස්සනයි. දෙන්නම පණ වගේ ආදරෙන් බිත්තර දෙක රැක්කා.

"මේ බලන්නකෝ මගේ බිත්තරේ දැන් ලොකුයි. මට පුළුන් බෝලයක් වගේ සුදුම සුදු  පැටියෙක් ළඟදීම හම්බ වෙන්න යන්නෙ." දවසක් සුදු කිකිළි කළු කපුටිට කිව්වා. "ඔයා දන්නවද වැඩක්. මගේ බිත්තරෙත් දැන් ලොකුයි. ඒකත් ඔයාගෙ බිත්තරේ වගේම සුදුම සුදුයි. මටත් ලඟදිම පැටියෙක් ඒවි. " කළු කපුටිත් සුදු කිකිළි එක්ක කතා වුනා. "බිත්තරේ සුදු නිසා ඔයාටත් මට වගේ සුදුම සුදු පැටියෙක් හම්බ වෙයිද දන්නෙ නෑ." සුදු කිකිළි කළු කපුටිට විහිලු කළා. ඇත්තටම මේ කට්ට කළු මට සුදු කපුටු පැටියෙක් හම්බ වෙයිද ? එහෙම වුනොත් කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ? කළු කපුටිට පොඩි බයකුත් ආවා. 

අඹ ගහ ළඟ ගෙදර හිටියේ දඟ මල්ලි කෙනෙක්. කළු කපුටිත් සුදු කිකිලිත් බිත්තර දාපු බව දැනගත්ත දඟ මල්ලිට පුංචි අදහසක් හිතට ආවා. ඒක ටිකක් දඟ වැඩක් තමයි බලාගෙන ගියාම. ඒත් ඉතින් දඟ මල්ලියෙක් උනාම දඟ වැඩ කරන්නත් හිතෙනවනෙ. සුදු කිකිළිත් කළු කපුටිත් කෑම හොයාගෙන යන වෙලාවක් බලලා දඟ මල්ලි කූඩු දෙකේ තිබුණු බිත්තට දෙක මාරු කරා. කළු කපුටිගේ බිත්තරේ සුදු කිකිලිගෙ කූඩුවට දැම්මා. සුදු කිකිළිගේ බිත්තරේ කළු කපුටිගේ කූඩුවට දැම්මා. දැන් බලමු මොකද වෙන්නෙ කියලා. දඟ මල්ලිට හිනාවක් ගියා. මේ මොකවත් නොදන්නා සුදු කිකිළිත් කළු කපුටිත් වෙනදා වගේම ආදරෙන් බිත්තර දෙක රැක්කා.

ඔහොම ටික දවසක් ගතවෙලා බිත්තර බිඳෙන දවස ආවා. කූඩු දෙකේම බිත්තර බිඳුණා. කළු කපුටිටයි සුදු කිකිළිටයි පුදුමෙනුත් පුදුමයි. සුදු කිකිලි රැක්ක බිත්තරෙන් එලියට ආවේ කළුම කළු කපුටු පැටියෙක්. කළු කපුටි රැක්ක බිත්තරෙන් එලියට ආවෙ සුදුම සුදු කිකිළි පැටියෙක්. අඹ ගහ යට කිකිලි කුඩුවේ කපුටු කාක් කාක් කියා කියා කපුටු පැටියෙක් අඬනවා. අඹගහ උඩ කපුටු කූඩුවේ කෙකර පේක් පේක් කිය කියා කිකිළි පැටියෙක් අඬනවා. කොහොමද මෙහෙම වුනේ. හරි වැඩක් තමයි. කළු කපුටියි සුදු කිකිළියි හිනා වෙවී මූණෙන් මූණ බල ගත්තා. 

පොඩි වෙලාවක් ගත වෙනකොට දෙන්නටම වැඩේ තේරුණා. කවුරු හරි අපි නැති අතරෙදි අපේ බිත්තර මාරු කරන්න ඇති. කළු කපුටි සුදු කිකිළිට කිව්වා. ඒක තමයි අපි ඉක්මනට මාරු ඇරගනිමු. සුදු කිකිළි කළු කපුටිට කිව්වා. කළු කපුටි සුදු කිකිළි පැටියා යට කූඩුවේ සුදු කිකිලිට දීලා කළු කපුටු පැටියා එක්කගෙන උඩ කූඩුවට ගියා. දැන් හරි. කපුටු කූඩුවේ කපුටු පැටියා. කිකිළි කූඩුවේ කිකිළි පැටියා. කපුටු කූඩුවේ කපුටු කාක් කාක් සද්දෙ. කිකිළි කූඩුවේ කෙකර පේක් පේක් සද්දෙ. අවුල ලිහුණා. දැන් නම් පැටියත් හරි. පාටත් හරි. සද්දෙත් හරි. ඔක්කොම හරි.

අම්මලා දෙන්නටම හරිම සතුටුයි. බිත්තර දැම්මා. බිත්තර රැක්කා. පැටවු හම්වුබ වුණා. පැටවු මාරු වුණා. පැටවු හුවමාරු වුණා. හරියට චිත්‍රපටියක් වගේ. බිත්තර මාරු කලාට මොකද? අපේ පැටවු නම් කාටවත් මාරු කරන්න බෑ. "ඔයාගේ පැටියා ඔයා වගේ කළු පාට. මගේ පැටියා මං වගේ සුදු පාට." සුදු කිකිළි කළු කපුටිට කිව්වා. "ඒක හරි. ඔයාගෙ කෙකර පේක් බබෙක්. මගේ කපුටු කාක් බබෙක්. කළු කපුටි සුදු කිකිලිට කිව්වා. දෙන්නටම හිනා ගියා. 

කෙකර පේක් පේක් පේක් ........කපුටු කාක් කාක් කාක්...

කෙකර පේක් පේක් පේක් ........කපුටු කාක් කාක් කාක්...

මහා සද්න්දෙන් ඇහුන අම්මලා දෙන්නගෙ ගීතවත් හිනාව ගොඩ වෙලාවක් යනකන් අඹගහ වටේ දෝංකාර දුන්නා.




No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්