Thursday, August 25, 2022

103. ඉගිලෙන ලාම්පු

අද හඳමාමා නිවාඩු අරන්. තරු ටිකත් වළාකුළු අස්සෙ හැංගිලා. අහස කළුවරම කළුවරයි. කුරුළු පැංචා කළුවරට බයයි. කුරුළු අම්මා නැලවෙන්න කවියක් කියලා පැංචාව දොයි කරවන්න හදන්නේ ගොඩ වෙලාවක ඉඳන්. ඒත් කුරුළු පැංචාට නින්ද යන්නෙම නෑ. "අනේ මට ඇස් පියාගන්න බයයි, මම කළුවරට ආස නෑ. මට කොහෙන් හරි එළියක් ගෙනත් දෙන්නකෝ" කිය කියා කුරුළු පැංචා අඬනවා. කුරුළු අම්මාට හරිම දුකයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. එයා දන්න තරම් කතන්දර කවි සිංදු ඔක්කොම කියා කියා කුරුළු පැංචා නලවන්න හදනවා.

ඔහොම ටික වෙලාවක් ගත්ත වෙද්දී කණාමැදිරි අයියා කෙනෙක් එතනින් යන්න ආවා. කුරුළු පැංචා අඬන සද්දේ කණාමැදිරි අයියාට ඇහුණා. එයා කුරුළු කූඩුව ලඟට ඇවිල්ලා විපරම් කළා. එයාට කුරුළු අම්මා ගැනත් කුරුළු පැංචා ගැනත් ලොකු දුකක් ඇති වුණා. කොහොමද මෙයාලාට උදව්වක් කරන්නේ කියලා හිතමින් ඉන්නකොට එයාට හොඳ උපායක් පහල වුණා. 

කණාමැදිරි අයියා හනි හනිකට එයාගේ යාළුවො ටික ඉන්න දිහාවට පියඹලා ගියා. අඹ ගහ යට මල් පාත්තියේ කැරකි කැරකි හිටිය යාළුවො ඔක්කොටම වැදගත්ට පණිවිඩයක් කියන්න ලඟට කතා කලා. කළුවරට බයේ නිදාගන්නේ නැතුව ඇහැරගෙන ඉන්න කුරුළු පැංචාගේ විස්තරේ ඇහුවාම කණාමැදිරි යාලුවන්ට ගොඩක් දුක හිතුණා. ඒ නිසාම ඒගොල්ලෝ ඔක්කොම කණාමැදිරි අයියා ගෙනාව යෝජනාවට එක පයින් කැමති වුණා. 

දැන් ඔන්න කණාමැදිරි යාලුවෝ ඔක්කොම එකට එකතු වෙලා කුරුළු පැංචාගේ කූඩුව තියෙන පැත්තට යනවා. හප්පේ බලන්න එපාය පෙහහරක් වගේ ඒගොල්ලෝ යන ලස්සන. එහෙම ගිහින් කට්ටියම එක්ක කුරුළු කූඩුවට ඉහළින් නතර වුණා. ඊට පස්සේ හැමෝම එක එක්කෙනාගේ ඇඟවල් බදාගෙන ලොකු ගුලියක් වගේ හැදුණා. වටේට වටේට තව තව කට්ටිය එකතු වුනා. එතකොට කුරුළු කුඩුවට ඉහලින් පෙනුණේ මොකක්ද? හරිම ලස්සන එළිය විහිදෙන ලාම්පුවක්. ඒ ලාම්පුව කුරුළු පැංචාගේ කුඩුවට ඉහළින් ලස්සනට දිලිසුණා. කුරුළු කූඩුවට හොඳටම එලිය වැටුණා. කුරුළු පැංචාගේ බය කොහෙන් ගියාද දන්නෙ නෑ. මේ ලස්සනට දිලිසෙන අමුතු ලාම්පුව දිහා එයා ආසාවෙන් බලාගෙන හිටියා. ලාම්පුවේ තිබුණු නිවෙන පත්තුවෙන පොඩි බල්බ් එක්කම එයාත් කොහේදෝ කොහේදෝ දුර ඈතකට පාවෙලා යනවා වගේ කුරුළු පැංචාට තේරුණා. ටිකකින් කුරුළු පැංචා හීනෙන් හිනා වෙවී හොඳටම දොයි.

කුරුළු අම්මාට හුඟක් සතුටුයි. එයා කණාමැදිරි අයියා ඇතුළු කණාමැදිරි කණ්ඩායමට හුඟාක් ස්තුති කළා. "ඕක සුළු දෙයක් කුරුළු අම්මේ. හඳමාමා වගේ ලොකුවට ලෝකෙටම එලිය දෙන්න අපිට බැරි වුණාට පුළුවන් තරමින් එක්කෙනෙකුට හරි එළියක් වෙන්න ලැබීම අපිටත් ලොකු සතුටක්." කණාමැදිරි අයියා කුරුළු අම්මාට පැහැදිලි කළා. ඉන් පස්සේ ඒගොල්ලෝ ලොකු ලාම්පුව නිවාදමලා ආපහු යන්න පිටත් වුණා පුංචි පුංචි ලස්සන ලාම්පු  ටික කළුම කළු කළුවරේ තිත් වගේ නොපෙනී යනකන්ම කුරුළු පැංචා තුරුළු කරගත් කුරුළු අම්මා ඒ දිහා බලාගෙන හිටියා.

ඔයාලත් ඒ වගේ ඉගිලෙන පුංචි ලාම්පු දැකලා තියෙනවා නේද යාලුවනේ? 




No comments:

Post a Comment

අලුත් සිතුවම්

148. සොයුරු පෙම