Saturday, August 20, 2022

102. ඇවිදින ඉටි පන්දම

කළුවර වැටෙන වේලාවට පරිසරය හරිම ලස්සනයි. ඇඟටත් හරිම සනීපයි. ඒ වෙලාවට වට පිට කණා මැදිරි එළි බල බලා එළියේ අයියත් එක්ක කතා කර කර ඉන්න දෝණි ගොඩක් ආසයි. එක දවසක් ඔන්න කළුවර වැටෙන වෙලාවේ දෝණි එළියේ මල් පාත්තිය අයිනේ බංකුවේ වාඩි වෙලා අයියත් එක්ක රස කතාවක් කියා කියා හිටියා. "කළුවරේ එළියේ ඉන්න එපා ළමයිනේ." අම්මා ගේ ඇතුලේ ඉඳන් කිව්වා. ඒත් දෝණිටයි අයියටයි ගෙට යන්න හිතෙන්නේ නෑ. "අපි ඉටිපන්දමක් පත්තු කර ගමුද ? දෝණි අයියට කිව්වා. 

දෝණි ගෙට ගිහින් ඉටි පන්දම් දෙකකුයි ගිනි පෙට්ටියයි ගෙනාවා. අයියා ඉටි පන්දම් පත්තු  කරලා අලවන්න තැනක් හෙව්වා. "මම ගෙට ගිහින් ටින් එකක් ගේන්නද?" දෝණි ඇහුවා. "එපා ඕන නෑ. මේ තියෙන්නෙ හොඳ ගල් දෙකක්. අපි ඉටි පන්දම් මේ ගල් උඩින් හයි කරමු." ළඟ තිබුණු රවුම්  ගල් දෙක පෙන්නලා අයියා කිව්වා. දෙන්නම එකතු වෙලා ඉටි පන්දම් පත්තු කරලා ගල් උඩින් හයි කරා. දැන් නම් හොදට එළියයි. දෙන්නත් එක්ක ආපහු කතාව පටන් ගත්තා.

මෙහෙම කතාව යන අතරේදී දෝණි එක පාරටම දැක්කා ඉටි පන්දම හයි කරපු එක ගලක් හෙලවෙනවා. දෝණි කතාව නවත්තලා තව හොඳට බලාගෙන හිටියා. දෝණි හිතුවේ හුළඟට ගල හෙලවෙනවා කියලා. නෑ එහෙම දෙයක් නෙවෙයි.  ඉටිපන්දම හයි කරපු ගල ඇවිදිනවා. ඔව් ඇත්තටම ඇත්තටම ඇවිදිනවා. හරි වැඩේ. ඒත් එක්කම දෝණි කතා කරන්නේ නැත්තේ මොකද කියල බලන්න ඒ පැත්තට හැරුන අයියා මේ අරුම පුදුම වැඩේ දැක්කා. තව පොඩ්ඩ වෙලාවක් යනකොට මෙන්න අනිත් ගලත් ඇවිදිනවා. හෙමින් හෙමින් ගල් දෙකම මල් පත්තියෙන් එලියට යනවා. මේ මොන පුදුමයක්ද. දෝණි ඉක්මනට ගෙට ගිහින් අම්ම එක්කගෙන ඇවිත් මේ ඇවිදින ඉටිපන්දම් දෙක පෙන්නුවා. අම්මා ටිකක් කිට්ටු වෙලා බැලුවා. අම්මට හරිම හිනා.

"මේ ගල් දෙකක් නෙවෙයි පුතේ...මේ ඉන්නේ ඉබි හාමිලා දෙන්නෙක්. කාට හරි බය වෙලා දවල් කාලේ ඔය කටුව අස්සට වෙලා හැංගිලා ඉඳලා දැන් කළුවර වැටුනාට පස්සේ යන්න හදන්නේ... මේ බලන්නකෝ ඇවිල්ලා එයාලා ඇවිදින ලස්සන..." අම්මා කිව්වා. අයියයි නංගියි සද්ද නොකර ඇවිත් තව ටිකක් හොඳට කිට්ටු වෙලා බැලුවා. "අනේ හරිම හුරතල් ඉබි හාමිලා දෙන්නෙක් නේද අයියේ...මේ ඉටිපන්දම් වලින් එයාලට කරදරද දන්නෙ නෑ? අපි මේ දෙක ගලවමුද..." " දෝණි අයියාගෙන් ඇහුවා."එපා පුතේ ඔහොම යන්න දෙන්න. අපි අල්ලන්න ගියොත් එයාලා කලබල වෙයි. එයාලට පාර බලාගන්නත් එක්ක ඔහොම හොඳයි ..." අම්මා හිනා වෙවී කිව්වා. දෝණි අයියත් එක්ක හරිම ආසාවෙන් ඉබි හාමිලා යන දිහාව බලාගෙන හිටියා. "පරිස්සමින් යන්න පැටවුනේ ...." කියලා කිව්වා.ඉබි හාමිලා දෙන්නට තනියටද කොහෙදෝ කණා මැදිරි දෙන්නෙකුත් එයාලාට උඩින් ඉගිලෙමින් පාර කිව්වා.

එදා රෑ දෝණිටයි අයියටයි හරිම සතුටුයි. දෝණි නින්දෙන් ඇවිදින ඉටිපන්දම් ගොඩක් ඇවිත් එයාව වටකරගෙන ඉන්නවා හීනෙනුත් දැක්කා. අවට පරිසරය ගැන විමසිල්ලෙන් උනන්දුවෙන් ඉන්නවා නම් අපිට මොනතරම් ලස්සන දේවල් අහන්න දකින්න පුලුවන්ද? පරිසරය කියන්නේ වෙන මොකවත් නෙමේ. අපේම කොටසක්. පන්තියේදී ගුරුතුමී කියා දීපු පාඩම් දෝණිට මතක් වුණා. ඒ කතාව නම් හරිටම හරි. නේද යාළුවනේ? 




No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්