ඉත්තෑ පුංචා එදා උදේම සිදාදියට ගියා. සිදාදියේ හරි සෙනග. ගියපු කාරණාව ඉෂ්ට කරගෙන ආපහු එන්න පිටත් වෙන්න හුඟක් වෙලා ගත වුනා. යන්තං හැන්දෑ වෙනකොට කැලෑ ගමට කිට්ටු වුන ඉත්තෑ පුංචා ඉක්මනට ඉක්මනට ගෙදරට යන්න පිටත් වුනා. ඒත් අතරමගදී අහස එක පාරටම කළු කරගෙන වහින්න ගත්තේ මහා වරුසාවක්. ඉත්තෑ පුංචා වැස්ස මැද්දේ කරකියාගන්න දෙයක් නැතුව අසරණ වුණා. මුවා වෙන්න ලොකු ගහක් වත් තිබුනේ නෑ අහල පහල. ලොකු කැන්ද කොලයක් කඩාගෙන යන්තන් ඔළුවට උඩින් ඉහල ගත්තට මොකද ඉත්තෑ පුංචා හොඳටම තෙමුනා.
“අනේ තරහ වෙන්න එපා. මෙහෙ නවතින්න නම් දෙන්න බෑ. මම කොහොමද එක පාරටම ඔයාව විශ්වාස කරන්නේ. ඉස්සර ඔයාලගේ සීයා කෙනෙක් නවත්තගෙන අන්තිමට අපිටත් ගෙදරින් යන්න වුනාලු. ඔයාත් ඒ වගේ කූරු පුම්බන්න ගත්තොත් එහෙම මටත් යන්න වෙයි. අනික මගේ පුංචි ගෙදර දෙන්නෙකුට හොඳටම ඉඩ මදි.” හා පැංචා කිව්වා. “අනේ හා පැංචෝ.. ඒ ගොඩක් ඉස්සරනේ. අපි දැන් එහෙම නෑ. මේ ඇත්තමයි. මට පුංචි ඉඩක් දෙන්න. මම ඔයාට කරදරයක් නොවෙන්න ඉන්නම්. අනේ හාද?” මෙහෙම ටික වෙලාවක් බැගෑපත් වෙද්දී හා පැංචාට ඉත්තෑ පුංචා ගැන දුක හිතුනා. “හා එහෙනම් කමක් නෑ. හැබැයි මතකයිනෙ කොන්දේසිය. කුරූ පුම්බලා මාව අමාරුවේ දාන්න එපා.” හා පැංචා අන්තිමට කොන්දේසි පිට ඉත්තෑ පුංචාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.
ඉත්තෑ පුංචා කිව්වා වගේම හා පැංචාට කිසිම කරදරයක් කරේ නෑ. අහිංසක විදියට පැත්තකට වෙලා හිටියා මිසක්. අන්තිමේ දෙන්නත් එක්ක තිබුණු කෑම බෙදාගෙන කාලා ගිනි මැලේ ළඟ උණුසුම් වෙලා හොඳට නිදා ගත්තා. ඉත්තෑ පුංචා උදේ යන්න පිටත් වුනේ හරිම සතුටින්. එයා හා පැංචාට ගොඩක් ස්තුති කරා. “මට මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ. ඔයාට බොහම ස්තුතියි හා පැංචෝ.” ඉත්තෑ පුංචා හා පැංචාට ආදරෙන් සමු දීලා ගෙදර ගියා.
හා පැංචා එක එක ජාතියෙන් කාම ජාති ගොඩක් තෝර ගත්තා. බීට් අල, රාබු අල, බතල, පේර, දොඩම්, අනෝදා...මෙකී නොකී හැම දේම. අපොයි ඒත් කලින් මතක් වුනේ නැහැනෙ මල්ලක් ගේන්න. දැන් කොහොමද මං මේ ගතිපු බඩු කන්දරාව ගෙදර අරන් යන්නෙ. මල්ලක් ඉල්ලගන්නවත් කෙනෙක් නැහැනෙ. හා පැංචා කල්පනා කළා. එතකොටම කවුදෝ පිටිපස්සෙන් ඇවිල්ලා හා පැංචාගේ ඇස් දෙක වහගත්තා.“ආ හා පැංචෝ.. පොළේ ආවද...කොහොමද ඉතින් සැප සනීප...එදායින් පස්සේ අපිට හම්බවෙන්නත් බැරි වුනානෙ...” ඇස් වහගත්ත එක්කෙනා පුරුදු කටහඬකින් කියාගෙන ගියා. හා පැංචාට මොනවත් එකපාරටම හිතාගන්න බැරි වුනා.“ කෝ තාම අඳුරගන්න බැරිද මාව...” අමුත්තා ආපහු ඇහුවා. හා පැංචා කල්පනා කළා.
ඔන්න ටික වෙලාවකට පස්සේ හා පැංචාට මතක් වුණා. “හරී හරී..මතකයි... මේ ඉත්තෑ පුංචා නේද...” හා පැංචා හිනා වෙවී කෑ ගහල ඇහුවා. එතකොටම ඇස් දෙක වහන් හිටිය අත් දෙක අයින් වුනා. හරි නේන්නම්..මේ ඉන්නෙ හිනා කටක් පුරෝගෙන ඉත්තෑ පුංචා.
ටික වෙලාවක් ආගිය විස්තර කතා කර කර හිටිය යාළුවො දෙන්නා ගොඩ කාලෙකින් හමු වීම ගැන බොහොම සතුටු වුනා. “ඇයි ඉතින් මේ ගෙදර නොයා ඉන්නේ.. කවුරු හරි එනකන් ද ..” ඔක්කොම විස්තර කතා කරලා ඉවර වෙලා ඉත්තෑ පුංචා අන්තිමට ඇහුවා. ඔන්න එතකොට තමයි හා පැංචාගේ මූණ නරක වුනේ. හා පැංචා ඉතින් එයාගෙ බඩු ටික ගෙදරට ගෙනියන්න විදියක් නැතුව ඉන්න බව ඉත්තෑ පුංචාට කිව්වා හරිම දුකින්.
ඉත්තෑ පුංචාට කට කොනකට හිනාවක් ගියා. “අයියෝ ඕක මොකක්ද.. සුළු දෙයක් නේ...මට පුළුවන් උදව් කරන්න...කෝ ගන්න ඔය බඩු ටික මෙහාට..” ඉත්තෑ පුංචා ඉක්මනට හා පැංචාගේ බඩු ටික අරන් එයාගේ පුම්බගත්ත කුරූ වල එකින් එක එකින් එක අමුනගත්තා. මේ තියෙන්නේ හරිම ලේසි විදියක්. යමු මම ගෙදරටම ඇරලවන්නම්. ඉත්තෑ පුංචා ඉස්සර වුනා.
කූරු වල නැග - ගෙදර යන හැටි
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...
හරිම ලේසියි ...හරිම පහසුයි...
කූරු ඇත්නම් - ප්‍රවාහනයට
එළවළු...පළතුරු...
එළවළු...පළතුරු...
ඉත්තෑ පුංචා සිංදුවකුත් කියා කියා නට නට යනවා. හා පැංචාගේ සතුට කෙළවරක් නෑ. ඉත්තෑ පුංචාටත් හරි සතුටුයි එයාගේ යාලුවට උදව්වක් කරන්න පුළුවන් වුන එක ගැන. මේ වගේ යාලු මිත්‍රකම් තියෙනකන් ඉතින් මේ ලෝකේ කොච්චර ලස්සනද...දෙන්නාම ගෙදර යනකන් කල්පනා කරා. ඔන්න ඔහොම තමයි ඉතින් ඉත්තෑ පුංචයි හා පැංචයි අඹ යාළුවෝ වුනේ.
© සිත්තර පැංචි
හලේ ඉතින් මේක මගෑරිලා නේ මට!
ReplyDeleteමමත් මේ බැලුවා ගෙදෙට්ට වැද්දගන්න නැති තරමට මෙව්වා වෙලා තිබ්බ හාවයි, ඉත්තෑවයි දෙන්නා ගජයෝ උනේ කොහොමද කියල
එක නම් සෝක් ! ඒ කියන්නේ අපිට කතා ගොඩක් අහන්න ලැබෙනවා කියන එකනේ
ස්තුතියි ලිඛිතා නැන්දේ. ඔන්න ලියාගෙන හිටිය කතා ටික දැන් දාල ඉවරයි. අලුතින් ලියන්න ඉතින් අපේ ඔපීසියේ පින්වතුන්ට කියල තව සතියකට ලීව් ඇප්රුව් කරගන්න වෙන සීන් එකක් තියෙන්නේ. අහෝ ඛේදයකි ඉරකි තිතකි
Delete