ඉතින් එක දවසක් උදේ, හැමෝම අවදි වෙලා කෑම හොයාගෙන යන්න ලෑස්ති වෙලා පැටීව අවදි කරන්න හැදුවා. ඒත් කතා කළා කතා කළා පැටී අවදි වුනේ නෑ. බැරිම තැන කම්මැලියා අද ඕන දෙයක් කරගත්තාවේ කියලා , තාරා අම්මා අනිත් පැටව් ටිකත් එක්ක යන්න පිටත් උනා.
ඔන්න හැමෝම ගෙදරින් ගිහිල්ල ගොඩ වෙලාවකට පස්සේ පැටී අවදි වුනා. අපොයි හරිම බඩගිනියි. කන්න මොකුත් තියේද කියලා බලන්න ගේ හැමතැනම හෙව්වත් කිසිම දෙයක් හම්බ වුනේ නෑ. එලියට වත් ගිහින් මොනවහරි හොගායෙන කාල බඩගිනි නිවාගන්න ඕන. මෙහෙම හිතපු පැටී අකමැත්තෙන් උනත් එලියට බැහැල හිමින් හිමින් පොකුණ දිහාට යන්න පටන් ගත්තා.
ඉතින් ඔහොම යනකොට හොඳට බඩ පුරවාගෙන ගහක් උඩට වෙලා සිංදු කියා කියා හිටපු පැණි කුරුල්ලෙක් කම්මැලි ගමනින් ඇවිදගෙන එන පැටීව දැක්කා. “කොහෙද තාර පැටියො මේ තනියම යන්නෙ.” පැණි කුරුල්ලා පැටීගෙන් ඇහුවා. “නෑ මම මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ.” එහෙම කියපු පැටී ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” පැණි කුරුල්ලා ආයෙම කියල ඔලොක්කුවට හිනා වුණා. පැටීට ලජ්ජා හිතුනා.
පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා
පැණි කුරුල්ලා සමච්චලේට කියපු සිංදුව ඇහුනේ නෑ වගේ පැටී හනි හනික යන්න ගියා.
ඊළඟට පැටීට හම්බ වුනේ හා පැංචි. සුදු බොලේ වගේ පෙරලි පෙරලි උඳුපියලිය ගොඩේ පිනුම් ගහනවා. උදේට හොඳ කෑමක් කන්න ඇති හා පැංචිව දැක්ක ගමන් පැටී හිතුවා. “ආයුබෝවන් තාර පැටියො.. කොහෙද මේ තනියෙන් යන්නෙ.” පැටීව දැකපු හා පැංචි ඇහුවා. “නෑ මේ දුරකට නෙමේ. පොකුණට යන්නෙ. ” පැටී පුරුදු උත්තරේම දීලා ගමන ඉක්මන් කළා. “හූ.. හූ.. දැන් ඉක්මන් කරන්න හැදුවට මොකද අපි දන්නවා හොරේ...කම්මැලියා දවල් වෙනකන් නිදා ගත්තා නේද...” හා පැංචිත් පැටීට සමච්චලේට හිනා වුනා. දෙවෙනි වතාවටත් අර ආස නැති සිංදුව.
පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
දවල් වෙලා අවදි වෙලා - කෑම හොයාගෙන යනවා
පැටී හිමින් හිමින් පොකුණ ලඟට කිට්ටු කරා. කකුලක් හිමීට වතුරේ ගාවල බැලුවා. “බුදු අම්මෝ. මේ වතුරෙ සීතල. අපොයි මට නම් බෑ බහින්න මේකට. මාව සීතලට ගල් වෙයි. පැටී පොකුණේ ඉවුර උඩ වාඩිවෙලා වතුර දිහා බයෙන් වගේ බැලුවා.
පැටී හරිම කම්මැලියා - නිදාගන්න හරි රුසියා
සීතල වතුරට බහින්න - බයේ ඉවුරෙ වෙව්ලනවා.
“ඈ කවුද මේ ආපහු මට හිනාවෙන්නේ. අද නම් හරිම නරක දවසක්.” පැටී වට පිට බලල බල හිතුවා. “ජබු..ස්” කියල එක පාරටම ආපු සද්දෙකුත් එක්ක පොකුණට පැන්නේ කවුද දන්නවද? ඉබි පැංචා. ඉබි පැංචා වතුරට පැනපු පාරට පැටීව ඔලුවේ ඉඳන් සීතල වතුරෙන් නෑවිලා ගියා. හූ....කම්මැලියා නෑවා.....කියමින් ඉබි පැංචා ඈතට පීනලා යනවා පැටී බලන් හිටියේ හරිම කේන්තියෙන්. නිකන්ම නෙමෙයි ඉබි පැංචා ගියේ. අර ආස නැති සිංදුවත් කියාගෙනමයි.
මේක හරියන්නේ නෑ. මං මොකටද කාටවත් විහිලු සපයන්නෙ. හෙට ඉඳල උදේම අවදි වෙන්න ඕන. මම කම්මැලියෙක් නෙමෙයි කියලා හැමෝටම පෙන්නන්න ඕන. එතකොට බලමු ඔය සිංදුව කියන්නේ කොහොමද කියලා. පැටී ඔලුවේ වතුර පිහිදාන ගමන් තරහෙන්ම කල්පනා කළා. කොහොමත් තෙමිච්ච එකේ මම දැන් නාගෙනම ගෙදර යන්න ඕන කියලා පොකුණට බැහැලා හොඳට නාගෙන ඕලු ඇට ටිකකුත් හප හපා ගෙදර කල්පනාවෙන්ම ගියා.
පැටී පොකුණ ලඟට එනකොටම දැක්කා පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනාම පොකුණ ළඟ ඉන්නවා. “ලොකු කතාවක් වගේ මම ටිකක් පේන්න ඉන්නෝන.” පැටීත් ඒ දිහාවට කිට්ටු කරා. “හානේ මෙන්න තාර පැටියා අද උදෙන්ම අවදි වෙලා... මොකෝ මේ..කොහෙද යන්නේ...” පැටීව දැකපු ගමන් යාළුවො තුන් දෙනා පුදුමෙන් ඇහුවා. “මම මේ පොකුණට ආවා. කෑම ටිකක් හොයා ගන්න.” එහෙම කියපු පැටී “ජබු..ස්” ගාල වතුරට පැනලා පීනන්න පටන් ගත්තා. “හෑ...මෙන්න මෙයා පීනනවා...ඊයේ වතුර සීතලයි කියලා බහින්නේ නැතුව ඉවුරට වෙලා හිටියේ...අද නම් මොකක් හරි වෙලා තමයි.” ඉබි පැන්චාට පැටීගෙ වෙනස හිතා ගන්නවත් බැරි වුනා. මේගොල්ලෝ ටිකක් වෙලා පැටී දිහා බලන් හිටියා. තාර පැටියා දැන් වෙනස් වෙලාවගේ. වෙනදා ඉන්න තාර පැටියා නෙමේ දැන් ඉන්නේ. කම්මැලි නැති හොඳ තාර පැටියෙක්. අපි මෙයාවත් අපේ යාලුවෙක් කර ගනිමු. පැණි කුරුල්ලයි, හා පැන්චියි ඉබි පැන්චයි තුන් දෙනා කතා වුනා.ඊට පස්සේ ඇහුනෙ කෑ ගහලා හයියෙන් කියන සිංදුවක්.
හරිම කඩිසරයි පැටී - උදෙන් අවදි වෙයි පැටී.
කම්මැලිකම් මග ඇරී - පුදුමයි හොඳ වුන හැටී
පොඩ්ඩක් එනවද පැටී - මේක අහනවද පැටී
අපි කැමතියි යාලු වෙන්න - හාද කියන්නකො පැටී...
© සිත්තර පැංචි
පැටි කැමති නෑනේ එකපාරම සවුත්තු වෙන්න. හුහ්.. අපිත් එහෙමයි... පාන්දර නැගිටලා කුස්සියේ බැංකුව උඩ නිදි කිර කිර අම්මගේ අතින් උණුවෙන එළකිරි කෝප්පේ ලැබෙනකල්...........
ReplyDeleteඅනේ ඒ උනාට එකෙක්කත් ආවේ නෑනේ යාලුවෙන්ඩ ! සක් ඉතරක්!! ( පැටි දන්නේ නැහැ පැටි... )
පැටී කැමතිලු ලිඛිතා නැන්දා එක්කත් යාලු වෙන්න. නේද පැටී.
Deleteආයේ එහෙම අඩාගෙන එනවා එහෙම නෙවෙයි ඈ ! ( කවුදෝ කියනවා ඇහුනා.... ඇහුනේ නෑ වගේ ඉන්ඩ )
Deletep.s. හුහ්.. මහා ලොකු සිත්තර පැංචිලු... ඔක්ක්කොම හොරෙන් උස්සපු පින්තුර....
ReplyDeleteඅපි එහෙම පින්තුර දැම්මොත් හැමෝටම රිදෙයි ඈ !
ඒකනේ. වස ලැජ්ජාව වෙලා තියෙන්නෙ. ලුණු පොල්කට්ටේ පනින්න ඔන්න මෙන්න තියෙද්දී ඕන් පින්තුර තුන හතරක් ඇඳගන්න පුළුවන් උනා. අනේ ඒත් මේ තාරාව ඇඳුනෙම නෑනෙ. සක් ඉතරක්.
Deleteහැක් හැක්
Deleteඅපේ පූ නේද මේ සිත්තර පැංචි? හරි ලස්සන කතන්දර ආකරයක්නේ. අපේ පැංචාට කියලා දෙන්න කතන්දර නැතුව මං මේ වේලි වේලි ඉන්න කාලේ. කොටින්ම ඔන්න ඊයෙ රෑ එයාට මං කිව්වේ අඹ යාළුවෝ කතන්දරේ. මං හිතුවේ මුල ටික, අර අඹ පොරේ ගැන කියලා, ඊට පස්සෙ ඒ දෙන්නා හොඳම යාළුවෝ වෙච්ච හරිය වෙනකල් විතරක් කියනවා කියලා. ඒ ටික කියද්දි පැංචාට නින්ද යයි කියලා. මොන! මට මුළු කතන්දරේම කියන්ඩ වුණානෙ. මේ වගේ සුට්ටං සුට්ටං කතන්දර තියෙනවානං හරි ෂෝක්. තැන්කිව් පූ! <3
ReplyDeleteඅපේ පූයි අපේ පූගේ සුට්ටන් දූයි තමා මේක රන් කරන්නේ. සිත්තමීට කියන්න සිත්තමී ඔය කට්ටේ රහ ඉතින් මන් තාමත් රම රෑකම ඇත දකිමින් පවතිනවා. එයින් දෙක තුනක් ලියලා තියන්න හිතුනේ අද මම කියපු ඒවා මොනවද කියල හෙට මටම මතක නැති නිසා. ඒ තරම් විසිස්ට මෙමරියක් අයි හෑව්. ඔයාටත් මේවා උදව්වක් උන එක ගැන සතුටුයි.
Delete