Friday, December 30, 2022

118. නත්තල් ලියුම

 

මේ දෙසැම්බර් මාසේ. හරිම හීතලයි. නත්තල් එන්නේ මේ මාසෙ අන්තිම සුමානෙ. බබීට හොඳට මතකයි. මේ පාරත් මට නත්තල් සීයා තෑගි ගෙනත් දෙයිද? බබී කල්පනා කළා. ඇත්තෙන්ම බබී මේ අවුරුද්දම ඉතා හොඳ ගැහැණු ළමයෙක් විදියට තමයි කාලෙ ගත කලේ. අම්මටයි තාත්තටයි කීකරුව හිටියා. ඉස්කෝලේ වැඩ හොඳට කළා. යාළුවන්ට උදව් උපකාර කළා. බබී ගොඩක්ම හොඳ වෙලා හිටිය නිසා තමයි මේ පාර පන්තියේ 'නැණවත් ගුණවත් පුංචි කුමාරි' සම්මානෙත් එයාටම හම්බ වුණේ. ඉතින් නත්තල් සීයා එහෙම හොඳ ළමයෙකුට තෑගි නොදී ඉඳියිද? නෑනෙ. අනිවාර්යයෙන්ම තෑගී අරන් ඒවි. බබී තනියෙන් කල්පනා කළා. මේ විස්තර ඔක්කොම කියලා නත්තල් සීයාට ලියුමක් ලියන්න ඕනෑ. එතකොට නත්තල් සීයාටත් සතුටු හිතෙයි. කල්පනාව අන්තිමේ බබී තීරණය කළා.

බබී ලියුම ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඇයි දැන් එයාට ඉංගීසිත් පුළුවන්නේ. ලියුම ලියලා ඉවර වෙලා ලස්සන චිත්රෙකුත් ඇඳලා හැඩ වැඩ කරලා ලියුම් කවරෙකත් දාලා බබී ලියුම නත්තල් ගහ යට හොඳට පේන තැනකින් පරිස්සමට තිව්වා. ඊට පස්සෙ දවසින් දවස ගෙවුණේ  බොහොම දිග කාලයක්. හැමදාම උදේ අවදි වුන ගමන් බබී නත්තල් ගහ ලඟට දුවගෙන ගිහින් නත්තල් සීයා එයාගෙ ලියුම අරගෙන ගිහින්ද කියලා බැලුවා. මොකද කලින් අවුරුද්දේ නම් එයාට හොඳට මතකයි එයාගෙ ලියුම නත්තල් සීයා අරගෙන ගිහින් තිබුණා. ඒක කියවල බලලා තමයි එයා ඉල්ලපු තෑගි ඔක්කොම නත්තල් සීයා අරගෙන ඇවිත් තිබුණේ. ඉතින් බබී දවස් ගානක් තිස්සේ බලාගෙන හිටියා. ඒත් නත්තල් සීයා ලියුම අරගෙන යන්න ආවෙ නෑ. බබීට හොඳටම දුකයි. නත්තල් සීයා ඉංග්‍රීසි දන්නෙ නැති නිසා ලියුම ගෙනියන්න නැතුව ඇති කියලා තාත්තා නම් බබීට හැමදාම විහිලු කළා.එතකොට නම් බබීට කේන්තිත් ආවා. අම්ම නම් කිව්වෙ කෝකටත් කියලා අපි සිංහලෙනුත් ලියුමක් ලියමු කියලා. බලා ඉඳලා බලා ඉඳලා බැරිම තැන බබී නත්තල් සීයාට සිංහලෙනුත් ලියුමක් ලිව්වා.දැන් ලියුම් දෙකම නත්තල් ගහ යට තියෙනවා. ඒත් නත්තල් සීයා නම් ආවෙ නෑ. දැන්මේ නත්තල් දවසටත් හොඳටම ළඟයි. මේ පාර මට තෑගි ලැබෙන එකක් නැති වෙයිද? බබී නිතරම දුකින් කල්පනා කළා.

ඔහොම ගිහින් ඔන්න නත්තල් දවසට කලින් දවස ඒ කියන්නෙ 24 වෙනිදා දවස ආවා. එදා නම් බබී කෑවෙ බිව්වෙත් නත්තල් ගහ යට ඉඳන්. ඒ කොයි වෙලේ හරි නත්තල් සීයා ඇවිත් එයාගේ ලියුම අරන් යයි කියලා බලාපොරොත්තුවෙන්. එත් රෑ වෙනකන්ම කිසිම විශේෂත්යවක් වුණේ නැහැ. දැන් නම් නිදාගන්න වේලාවත් ඇවිත්. අහල පහල ගෙවල්වල ළමයි තාම අවදියෙන්. ඒගොල්ලෝ හිනාවෙන කතාකරන සද්දේ බබීට තාම ඇහෙනවා.හැම ගෙදරම වගේ නත්තල් සැරසිලි වලින් ලස්සන වෙලා. එලිය වෙලා. එයාලගෙ ලියුම් නත්තල් සීයා බලලද දන්නෙ නෑ. ඔය තරම් සතුටින් ඉන්නෙ ඒගොල්ලන්ගෙ ලියුම් නත්තල් සීයා අරන් ගිහින් වෙන්න ඇති. බබී කල්පනා කළා. "දැන් ගිහින් නිදාගන්න පැටියෝ...හෙට උදේම අවදි වෙලා බලන්නකෝ...ඔයාටත් අනිවාර්යයෙන්ම තෑග්ගක් ලැබිලා තියෙයි..." සීයා ඇවිත් බබීගේ හිත හදලා නිදාගන්න එක්කරගෙන ගියා.

එදා රෑ අහස පුරාම තරු බැබළුණා. හරියට මල්පි පිපිලා වගේ. අමුතු එළියකින් මුළු පලාතම වැහිලා තිබුණා. හරියට ලොකු උත්සවේකට ලේස්ති වෙනවා වගේ. පුදුම ලස්නසනයි. හැම පැත්තෙන්ම හිත නිවෙන සැනසෙන විදියේ ගීතිකා ඇහුණා. එදා රෑ බබී නත්තල් සීයා හීනෙන් දැක්කා. පිණි මුවෝ දෙන්නෙක් බැඳපු ලස්සන කරත්තෙක නැගලා ආපු සුදුම සුදු රැවුල තියෙන නත්තල් සීයා ළමයි හැමෝටම තෑගී බෙදුවා. ඉස්සෙල්ලම ගියේ ඉස්පිරිතාලේ ලෙඩ වෙලා ඉන්න ළමයි බලලා තෑගි දෙන්න. ඊගාවට එයා කාත් කවුරුත් නැතිව තනිවුන පුංචි ළමයි ඉන්න ළමා නිවාසෙට ගියා. නත්තල් සීයා දැකලා ඒ ළමයින්ගේ ඇස් තරු වගේ දිලිසුණා. ඊටත් පස්සෙ නත්තල් සීයා පාරෙ ඇවිද ඇවිද යන්න එන්න තැනක් නැතුව අම්මලත් එක්ක පාරෙ තැන් තැන් වල හිටිය අසරණ ළමයින්ට තෑගි බෙදුවා. එතැනින් පස්සෙ නත්තල් සීයා ගමේ දුප්පත් අහිංසක ළමයින්ගෙ ගෙවල්වලට තෑගි අරන් ගියා. අම්මෝ දුප්පත් ළමයි මේ තරම් ගොඩක්?. මට වඩා තෑගි බෝග ඕන කරන ළමයි මේ ලෝකේ කොච්චර ඉන්නවද? බබිට කල්පනා වුණා. ඇත්තටම නත්තල් සීයා ගොඩාක් හොඳ හරිම කරුණාවන්ත කෙනෙක් තමයි. මට තෑගී නැති වුනාට කමක් නෑ. තෑගි ඕන කරන අයට ලැබුණානෙ. මට ඒ ඇති. බබී නත්තල් සීයාගේ මුහුණ බැලුවා. නත්තල් සීයා හරිම ආදරෙන් බබීට හිනා වෙලා බබීට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කළා. ඒත් එක්කම බබී හරිම සනීප නින්දකට වැටුණා.

25 වෙනිදා නත්තල් දවසේ බබී ඇහැ ඇරුනේ අමුතුම සතුටකින්. ඇහැරිලා බැලින්නම් ගෙදර කවුරුවත් නෑ. බබී ටිකක් විපරම් කරලා බැලුවා. මෙන්න හැමෝම හිනා වේවි නත්තල් ගහ ළඟ ඉන්නවා. මොකක්ද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ. බබී ඉක්මනට නත්තල් ගහ ලඟට දුවලා ගියා. අනේ......බබීට හරිම සතුටුයි. නත්තල් ගහ ළඟ දිලිසෙන කොළවලින් ඔතපු ලොකුම ලොකු තෑගි පෙට්ටියක් තිබුණා. බබී ප්‍රවේසමෙන් එක ඇරලා බැලුවා.හරිම හරිම පුදුමයක්. බබී ඉල්ලපු තෑගි ඔක්කොම ඒ පෙට්ටිය ඇතුලෙ තිබුණා. බබී සතුටින් උඩ පැන්නා. එයාට කියාගන්න බැරි තරම් සතුටුයි. නත්තල් සීයාට එයාව අමතක වෙලා නෑ එහෙනම්. බබී තෑගි පෙට්ටිය බදාගෙන නත්තල් ගහ වටේම නැටුවා. හැමෝටම හරිම සතුටුයි. ඒත් එක ප්‍රශ්නයක් තාම බබී ළඟ ඉතුරුයි. මගේ ලියුම් බලලා අරගෙන ගියේ නැතුව නත්තල් සීයා කොහොමද මම ඉල්ලපු තෑගිම හරියටම ගෙනත් දුන්නේ? මේ තියෙන්නෙ තාම ලියුම් දෙකම නත්තල් ගහ ළඟ තිබුණු තැනම. නැටිල්ල නවත්තලා ආපහු ලියුම් දෙක අතට ගන්න ගමන් බබී සීයාගේ මුහුණ දිහා බැලුවා. සීයාට කාරනාව තේරුණා. "මේ පාර නත්තල් සීයා ලියුම් කියවලා ගිහින් විතරයි. අරගෙන ගිහින් නෑ." සීයා හිනා වේවි කිව්වා.

ඉතින් බබීගේ සියලු සැක සංකා ඒ මොහොතෙ ඉවර වුණා. එයාට දැනුණේ පුදුමාකාර සතුටක්. "හොඳ ළමයින්ට හැමෝම ආදරෙයි." ගුරුතුමී පන්තියෙදි කිව්වා බබීට මතක් වුණා. මම ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳ ළමයෙක් වෙනවා. බබී හුඟාක් සතුටින් එයා ටම පොරොන්දු වුණා. මේක තමයි මගේ හොඳම නත්තල. මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම සතුට ලැබෙන්න ඕන. කිසිම දුකක් නම් වෙන්න එපා. මොහොතකට ඇස පියා ගත්ත බබී නත්තල්  සීයා ගෙනත් දීපු තෑග්ග හරිම ආදරෙන් තුරුළු කරගන්න ගමන් ප්‍රාර්ථනා කළා.















© සිත්තර පැංචි


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්