Tuesday, August 20, 2019

72. බලාගෙන ඇඳීම.


ගස් අතරින් ලස්සනට ඉර පායාගෙන ආවා. ඒ දිහා බල බලා උදේම පෙති විහිදලා පිපුණු මල් හිනා වුනා. ගස් වල කොළ නලවගෙන හිමින් හමාගෙන ආපු හුළඟ වටේටම මල් සුවඳ බෙදලා දුන්නා. එදා හරිම ලස්සන දවසක්.

ඉත්තෑ පුංචා කූරු පුම්බගෙන මේ ලස්සන බලන් හිටියා. ඉත්තෑ පුංචාගේ හොඳම යාළුවා හා පැංචා. අද දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න පිට්ටනියට යන දවස. කෝ තාම නෑනේ මේ හා පැංචා. ම්ම්ම්..මොකද කරන්නේ මම හා පැංචා එනකන්. තව වෙලා යයි වගේ එන්න. නරකද මේ ලස්සනට ඉර පායාගෙන එන දර්ශනේ චිත්‍රයක් ඇන්දොත්. ඉත්තෑ පුංචා හිතුවා. එහෙම හිතලා ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන එයා චිත්‍රෙ අඳින්න එලියට ගියා. වටේ පිටේ ලස්සන හොඳට පේන තැනකට ගිහින් එයා අඳින්න පටන් ගත්තා.

ඔන්න චිත්‍රෙ ඇඳලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට තමයි හා පැංචා එතනට ආවෙ. “ආව්..ආව්.. මේකෙ ලස්සන... මම දැනගෙන හිටියේ නෑනේ මගේ යාළුවා මේච්චර හොඳ චිත්‍ර ශිල්පියෙක් කියලා.” හා පැංචා ඉත්තෑ පුංචා ඇඳපු චිත්‍රෙ ලස්සන බලන ගමන් කිව්වා. “මේ ඉත්තෑ පුංචො...අනේ මගෙ රූපෙත් ඇඳලා දෙන්නකො...මං දන්නවා ඔයාට පුළුවන් මම මේ ඉන්නවටත් වඩා ලස්සනට අඳින්න..ඕකට මහා වෙලාවක් යන්නෙත් නෑනෙ. අනේ හා නේද..” ඉත්තෑ පුංචාගෙ චිත්‍රෙ දැක්ක හා පැංචාට එයාගේ රූපෙ අන්දවගන්න ලොකු ආසාවක් ඇවිත් ඉත්තෑ පුංචාට කන්නලව් කළා. බැරිම තැන ඔන්න ඉත්තෑ පුංචා වැඩේට කැමති උනා. හොඳම යාලුවනේ ඉතින්. හරි නෑනෙ බෑ කියල හිත රිද්දන්න. “හරි එහෙනම් අර ගල උඩට ඉහින් හිටගන්නකො. හැබැයි මම ඇඳලා ඉවර වෙනකන් එක විදියකට ඉන්න ඕන. දඟලන්න බෑ හොඳේ.” ඉත්තෑ පුංචා එහෙම කියලා ඔන්න අඳින්න ලේස්ති උනා.

ඔන්න දැන් ඉත්තෑ පුංචා ටික ටික හා පැංචව ඇඳගෙන යනවා. “කෝ දැන් ඉවරද... තාම මගෙ මූණද අඳින්නේ...මම පොඩ්ඩක් බලන්න එන්නද?” හා පැංචට ප්‍රශ්න ගොඩයි. ඉවසිල්ලක් නෑ ඇඳලා ඉවරවෙනකන්. සැරින් සැරේ කරදර කරනකොට ඉත්තෑ පුංචාට තරහා ආවා. “පොඩ්ඩක් ඉන්නකො වදේ. ඇඳලා ඉවර වෙනකන් බලන්න දෙන්න බෑ.” ඉත්තෑ පුංචා සැර දැම්මා. ඒත් ඉතින් හා පැංචාට මේක බලන්නමයි හිත. ටිකක් වෙලා හොරා වගේ ඉඳලා ඉත්තෑ පුංචා සද්දයක් නැතුව අනිත් පැත්ත හැරිලා හැඩ වැඩ දාන වෙලාවක් බලලා හා පැංචා චිත්‍රෙ බලන්න හිමින් එතනට කිට්ටු කරා.

අනේ ඒත් නොහිතපු දෙයක් සිද්ද වුනා. උඩින් උඩින් අඩි තිය තිය හොරා වගේ ආපු හා පැංචා දන්නෙම නැතුව ඉත්තෑ පුංචාගෙ තීන්ත බාල්දියක හැපුණා. දඩස් ගාල ඒක බිමට පෙරලුණා. හදිස්සියෙන් ආපූ සද්දෙට ගැස්සිච්ච ඉත්තෑ පුංචා මොකක්ද සද්දේ කියල බලන්න එක පාරටම අනිත් පැත්ත හැරුනා විතරයි එයාගෙ කකුලෙ හැපිලා තව තීන්ත බාල්දියක් පෙරළුණා. ඒත් එක්කම එක ලඟින් තියල තිබුණු තීන්ත බාල්දි ටික ඔක්කොම පේලියට පෙරලිලා ගියා. වෙනමම තැනක තිබුණු තද නිල් පාට එක විතරයි අන්තිමට ඉතුරු වුනේ.

“කෝ ඉතින් කියන එකක් ඇහුවේ නෑනෙ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අපරාදේ මගේ මහන්සිය.” හා පැංචාගේ හදිස්සිය නිසා වුනු දේට ඉත්තෑ පුංචාට හරිම කේන්තියි. හා පැංචටත් වුන වැඩේ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද. මෙහෙම ඇබැද්දියක් වෙයි කියල හිතුවේ නැහැනෙ එයා.

ඒ වෙද්දී ඉත්තෑ පුංචා හා පැංචාගෙ රූපෙ ඔක්කොම වගේ ඇඳලා ඉවර වෙලා තිබුනෙ. කන් දෙක විතරයි ඇඳලා තිබුනෙ නැත්තේ. ඒත් දැන් කොහොමද චිත්‍රෙ ඉතුරු ටික අඳින්නෙ. සායම් ටිකත් පෙරළුණා. “මට බෑ...මං අඳින්නෙ නෑ ඉතුරු ටික ...හොඳ වැඩේ...මේ විදිය තමයි හරියන්නේ ඔය වගේ හදිස්සි කාරයින්ට...කන් දෙක නැතුව තමයි හොඳ...ඇයි ඉතින් කන් දෙක තිබුනට කියන දෙයක් කනකට ගන්නේ නැහැ නේ..” ඉත්තෑ පුංචාට තරහා ගිහින් හා පැංචාට හොඳටම දොස් කිව්වා. “අනේ ඉත්තෑ පුංචො මට මේ අදට විතරක් .. ඔව් අදට විතරක් අදට සමාවෙලා කන් දෙක ඇඳලා මේක ඉවරයක් කරලා දෙන්නකො” හා පැංචා ආපහු කන්නලව් කරා.

“බෑ මම කිව්වනෙ...පේනවනෙ ඉතුරු වෙලා තියෙන්නෙ නිල් පාට විතරනේ...ඔයාගෙ කන් දෙක නිල් පාට නෙමෙයි නෙ කොහොමත්. ඉතින් නිල් පාටින් ඇන්දොත් වැරදියි. ඒ නිසා මට බෑ ආපහු අඳින්න.” ඉත්තෑ පුංචා සැරෙන් කිව්වා.හා පැංචා මොකුත් කිව්වේ නෑ. දිග කන් දෙක නමාගෙන ටිකක් වෙලා දුකින් කල්පනා කළා. පස්සේ මොකක් හරි මතක් වුනා වගේ එක පාරටම සතුටින් උඩ පැනලා නිල් සායම් බාල්දිය ගාවට ගියපු එයා එයාගේ දිග කන් දෙක ඒකෙ ඔබා ගත්තා. කරපු වැඩක්! දැන් එයාගෙ කන් දෙකම නිල් පාටයි. එහෙම කරගෙන එයා ගල උඩට ගිහින් කලින් විදියටම හිට ගෙන ඉත්තෑ පුංචා දිහා බැලුවා. “දැන් හරි නෙ.”

ඉත්තෑ පුංචාගේ තරහ කොහෙන් ගියාද දන්නේ නෑ. බකස් ගාල හිනාවක් එලියට පැන්නා. අතින් කට වහගෙන ටිකක් වෙලා වෙලා හිනා වෙවී හිටිය ඉත්තෑ පුංචා තමුන්ගෙ හොඳම යාලුවගෙ කන් දෙක අඳින්න ආපහු පටන් ගත්තේ හරිම ආදරණීය හිතින්.

© සිත්තර පැංචි.


5 comments:

  1. ඒත් මම මේ බැලුව....

    වෙලාවට ඔය හා පැන්චා එයා විසින්ම කන්දෙක නිල් පාටින් පාටකරගත්තේ. නැතිනම් මම තමයි ඔබ්බෝලා ගන්නේ තියෙන දාන්ගලේට! ආ.. මම නෙවෙයිනේ ඉත්තෑ පුංචා....

    තව එකාක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා නැන්දේ. අපි තව කතාවක් දැම්මා මීට කලින්. කෝ ඒක කියෙව්වේ නැද්දෝ..

      Delete
    2. මේහ්.. ඒක නෙවෙයි.... පොඩි බඩ්ඩක් අහන්න හිටියේ.

      අපිත් ඔහොම බලාගෙන අඳින්න කියලා හැදුවා. අනේ ඉතින් මගේ අවාසනාවට ඔහොම පෙරලගෙන ඇවිත් බලන්න ඕනේ කමක් තිබ්බේ නැහැනේ. නැතිනම් මම ඇඳපු බලි කුටුට්ටට හේතුව එයා එහා මෙහා උන හින්දා කියලා ගොඩදාගන්න තිබ්බා.. බැරි උනානේ


      'මේ මොකාද මේ?' කියලා ඇහුවම හාවෙක්ගේ මුණක් දාගෙන , කන්දෙක පාත් කරගෙන මම හිටියා. අම්බෝ... තව ඩින්ගෙන් !

      Delete
    3. ආන්න කිව්වා තිත්ත වුනත් ඇත්ත කතාව. අපි ඇන්දොත් ඉතින් අඳින එක හරි එකාව හරි නම් කරන්න වෙනවා. නැත්නම් මලාට හොයන්න බෑ. අනේ අපේ චිත්‍ර.

      Delete
  2. මේ කතා මරුනෙ. ගහන්ඩකො ‌පොතක්...

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්