Friday, May 17, 2019

54. මුහුදු වෙරළ සහ දියඇලි


මුහුද බලන්නට පැංචිට ලොකුවට ආසාවක් ආවයි.
ලස්සන ඇඳුමක් ඇඳලා හනිකට ඇය වෙරළට ආවයි
සුළඟට හසුවී ඇගෙ දිග කොන්ඩේ එහෙ මෙහෙ පා වූවයි
දේදුණු බබෙකුත් මේ මහ කලබල බලන්න දිව ආවයි

වෙරළේ නටලා වැලි ගාගන්නට අනෙ මට නම් බැරියෝ
මාව ගලවලා තියලා යනවද මගෙ සුදු කිරි පැටියෝ
බයෙන් හරිම එක සපත්තුවක් හයියෙන් බෙරිහන් දෙනවෝ
අනිත් සපත්තුව ආසයි වතුරට එනිසා හිනැහෙනාවෝ

මොකක්ද දැන් මං කරන්නෙ කියලා පැංචි ටිකක් සිතනා
ටිකිරි මොළෙන් මෙහි වාසි අවාසිය හිමිහිට මැන බලනා
මුහුද සිනාසී හරි ලොකු රැල්ලක් වෙරල වෙතට එවනා
ඔක්කොම ඉවරයි, පුළුවන් හය්යෙන් පැංචි උඩට පනිනා.

© සිත්තර පැංචි 
2019.04 03  


දුන්හිඳ හැලෙනා සින්දුව තාලෙට කියන්න මං ආසයි 
කියන ගමන් හරි ලස්සන දියඇලි අඳින්නටත් ආසයි 
උස කඳු නගින්න පල්ලම් බහින්න ඇවිදින්නට ආසයි 
නිවාඩුවට දිය ඇල්ලක් බලන්න යන්නට මං ආසයි 

උස් කඳු මුදුනේ සිට දිය දහරක් පහලට ඇද වැටෙනා
සුදු සේලය වගෙ පහළට වැටෙද්දි මනරම් ලෙස පෙනෙනා 
සීත මීදුමේ පාවී පාවී සොඳුරු දසුන් මැවෙනා 
ගල් පර්වතවල හැපෙද්දි රිදෙයිද මසිතට බිය දැනෙනා. 


© සිත්තර පැංචි 
2022.10.08 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්