Friday, May 27, 2022

95. අපූරු දඬුවම

මිදුලේ අඹ ගහේ ලොකු ලස්සන කුරුළු කූඩුවක් තිබුණා. ඒකෙ කුරුළු අම්මෙකුයි ලස්සන කුරුළු බබාලා දෙන්නෙකුයි හිටියා. කුරුළු අයියයි මල්ලියි. මේ දෙන්නා හරිම දඟකාරයි. 

දවසක් මේ දෙන්නා හොඳටම දවල් වෙනකන් නිදා ගත්තා. අවදි වෙලා බලනකොට අම්මා කූඩුවේ පේන්න හිටියේ නෑ. "අම්මා අපිට කෑම ගේන්න යන්න ඇති. අම්මා එනකන් අපි සෙල්ලම් කරමු." කුරුළු අයියා මල්ලිට කිව්වා. 

දෙන්නා සෙල්ලම් කරන්න පටන් ගත්තා. කුරුළු අම්මා ලස්සනට පිළිවෙලට අස් කරලා ගිය කුරුළු කූඩුව ටික ටික හැඩි වුණා. ඇතුලේ අතුරලා තිබුණු පුළුන් කෑලි තැන තැන විසිරුණා. වටේ හරිම පරෙස්සමට අලවලා තිබුණු කෙඳි ගැලවිලා බිමටත් වැටුණා. මේ අතරේ අම්මා කෑමත් අරගෙන කුරුළු කූඩුවට ආවා. 

"කෝ මට ඉස්සෙල්ලා කවන්න.. මට ඉස්සෙල්ලා කවන්න... " අම්මා එනවා දැක්ක ගමන් අයියයි මල්ලියි දොර ලඟට ඇවිත් කටවල් ඇරගෙන තරඟෙට කෑ ගැහුවා. ඒත් කූඩුව දිහා බලපු කුරුළු අම්මා දෙන්නගේ කෑ ගැහිල්ල ඇහුනේ නෑ වගේ ගෙනාපු කෑමත් අරන් ආපහු ඉගිළිලා ගියා. 

"අර මොකද අම්මා ආපහු ගියේ...අපි බඩගින්නෙ ඉන්න බව අමතක වුනාද....කමක් නෑ ආපහු ඒවිනෙ.." අයියයි මල්ලියි ආයෙ සෙල්ලම පටන් ගත්තා.අවුල් වෙලා තිබුණු කූඩුව තවත් හැඩි වුණා. ටිකකින් ආපහු අම්මා කෑම අරන්ආවා. ඒත්කූඩුව දිහා බලපු ගමන් එයා කලින්ආ විදියටම ආපහු ගියා. "අර මොකද අම්මා අද නපුරු වෙලා? " අයියයි මල්ලියි කල්පනා කරා. 

ටිකකින් වැඩේ තේරුණා. දෙන්නත් එක්ක එකතු වෙලා හැඩි කරපු කූඩුව ඉක්මනට අස්කරා. බඩු පිළිවෙලට තිව්වා. ගැලවුණු කෙදි ටික ආපහු ඇමිණුවා. පුළුන් ටික එකතු කරලා අරගෙන  ලස්සනට ඇඳ හැදුවා. ඊට පස්සේ දොර ළඟට වෙලා අම්මා  එනකන් බලාගෙන හිටියා. ටිකකින් ආපු කුරුළු අම්මාට හරි සතුටුයි. අයියටයි මල්ලිටයි දෙන්නටම ආදරෙන් කෑම කැව්වා.

"හොඳ ළමයි ඔන්න ඔහොම ලස්සනට පිළිවෙළට වැඩ කරන්න ඕන. එතකොට කවදාවත්  අම්මලා නපුරු වෙන්නෙ නෑ." කුරුළු අම්මා කිව්වා. අයියයි මල්ලියි ලස්සනට හිනා වුණා.





2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පොඩි ළමයින්ට කියවා තේරුම් කර දීමට සුදුසු උපදේශාත්මක පුංචි කතන්දරයක්! තව ලියන්න.

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්