ගස් අතරින් ලස්සනට ඉර පායාගෙන ආවා. ඒ දිහා බල බලා උදේම පෙති විහිදලා පිපුණු මල් හිනා වුනා. ගස් වල කොළ නලවගෙන හිමින් හමාගෙන ආපු හුළඟ වටේටම මල් සුවඳ බෙදලා දුන්නා. එදා හරිම ලස්සන දවසක්.
ඔන්න චිත්‍රෙ ඇඳලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට තමයි හා පැංචා එතනට ආවෙ. “ආව්..ආව්.. මේකෙ ලස්සන... මම දැනගෙන හිටියේ නෑනේ මගේ යාළුවා මේච්චර හොඳ චිත්‍ර ශිල්පියෙක් කියලා.” හා පැංචා ඉත්තෑ පුංචා ඇඳපු චිත්‍රෙ ලස්සන බලන ගමන් කිව්වා. “මේ ඉත්තෑ පුංචො...අනේ මගෙ රූපෙත් ඇඳලා දෙන්නකො...මං දන්නවා ඔයාට පුළුවන් මම මේ ඉන්නවටත් වඩා ලස්සනට අඳින්න..ඕකට මහා වෙලාවක් යන්නෙත් නෑනෙ. අනේ හා නේද..” ඉත්තෑ පුංචාගෙ චිත්‍රෙ දැක්ක හා පැංචාට එයාගේ රූපෙ අන්දවගන්න ලොකු ආසාවක් ඇවිත් ඉත්තෑ පුංචාට කන්නලව් කළා. බැරිම තැන ඔන්න ඉත්තෑ පුංචා වැඩේට කැමති උනා. හොඳම යාලුවනේ ඉතින්. හරි නෑනෙ බෑ කියල හිත රිද්දන්න. “හරි එහෙනම් අර ගල උඩට ඉහින් හිටගන්නකො. හැබැයි මම ඇඳලා ඉවර වෙනකන් එක විදියකට ඉන්න ඕන. දඟලන්න බෑ හොඳේ.” ඉත්තෑ පුංචා එහෙම කියලා ඔන්න අඳින්න ලේස්ති උනා.
අනේ ඒත් නොහිතපු දෙයක් සිද්ද වුනා. උඩින් උඩින් අඩි තිය තිය හොරා වගේ ආපු හා පැංචා දන්නෙම නැතුව ඉත්තෑ පුංචාගෙ තීන්ත බාල්දියක හැපුණා. දඩස් ගාල ඒක බිමට පෙරලුණා. හදිස්සියෙන් ආපූ සද්දෙට ගැස්සිච්ච ඉත්තෑ පුංචා මොකක්ද සද්දේ කියල බලන්න එක පාරටම අනිත් පැත්ත හැරුනා විතරයි එයාගෙ කකුලෙ හැපිලා තව තීන්ත බාල්දියක් පෙරළුණා. ඒත් එක්කම එක ලඟින් තියල තිබුණු තීන්ත බාල්දි ටික ඔක්කොම පේලියට පෙරලිලා ගියා. වෙනමම තැනක තිබුණු තද නිල් පාට එක විතරයි අන්තිමට ඉතුරු වුනේ.
“කෝ ඉතින් කියන එකක් ඇහුවේ නෑනෙ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අපරාදේ මගේ මහන්සිය.” හා පැංචාගේ හදිස්සිය නිසා වුනු දේට ඉත්තෑ පුංචාට හරිම කේන්තියි. හා පැංචටත් වුන වැඩේ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද. මෙහෙම ඇබැද්දියක් වෙයි කියල හිතුවේ නැහැනෙ එයා.
ඒ වෙද්දී ඉත්තෑ පුංචා හා පැංචාගෙ රූපෙ ඔක්කොම වගේ ඇඳලා ඉවර වෙලා තිබුනෙ. කන් දෙක විතරයි ඇඳලා තිබුනෙ නැත්තේ. ඒත් දැන් කොහොමද චිත්‍රෙ ඉතුරු ටික අඳින්නෙ. සායම් ටිකත් පෙරළුණා. “මට බෑ...මං අඳින්නෙ නෑ ඉතුරු ටික ...හොඳ වැඩේ...මේ විදිය තමයි හරියන්නේ ඔය වගේ හදිස්සි කාරයින්ට...කන් දෙක නැතුව තමයි හොඳ...ඇයි ඉතින් කන් දෙක තිබුනට කියන දෙයක් කනකට ගන්නේ නැහැ නේ..” ඉත්තෑ පුංචාට තරහා ගිහින් හා පැංචාට හොඳටම දොස් කිව්වා. “අනේ ඉත්තෑ පුංචො මට මේ අදට විතරක් .. ඔව් අදට විතරක් අදට සමාවෙලා කන් දෙක ඇඳලා මේක ඉවරයක් කරලා දෙන්නකො” හා පැංචා ආපහු කන්නලව් කරා.
“බෑ මම කිව්වනෙ...පේනවනෙ ඉතුරු වෙලා තියෙන්නෙ නිල් පාට විතරනේ...ඔයාගෙ කන් දෙක නිල් පාට නෙමෙයි නෙ කොහොමත්. ඉතින් නිල් පාටින් ඇන්දොත් වැරදියි. ඒ නිසා මට බෑ ආපහු අඳින්න.” ඉත්තෑ පුංචා සැරෙන් කිව්වා.හා පැංචා මොකුත් කිව්වේ නෑ. දිග කන් දෙක නමාගෙන ටිකක් වෙලා දුකින් කල්පනා කළා. පස්සේ මොකක් හරි මතක් වුනා වගේ එක පාරටම සතුටින් උඩ පැනලා නිල් සායම් බාල්දිය ගාවට ගියපු එයා එයාගේ දිග කන් දෙක ඒකෙ ඔබා ගත්තා. කරපු වැඩක්! දැන් එයාගෙ කන් දෙකම නිල් පාටයි. එහෙම කරගෙන එයා ගල උඩට ගිහින් කලින් විදියටම හිට ගෙන ඉත්තෑ පුංචා දිහා බැලුවා. “දැන් හරි නෙ.”
© සිත්තර පැංචි.